Thursday 31 October 2013

මෙන්න මෙහෙමයි එදා මං අනාගතේ ප්ලෑන් කෙරුවේ හෙවත් කිරි ඉහිරී යයි! - When I become the General Manager


මව් කිරෙන් ඇරුණ දා ඉඳලා අපි හැමෝම වගේ බොන්නේ කිරි පිටි නේ.

ඔය අතරේ දෙතුන් පාරක්, එක පාරකට මාස කීපය ගානේ එළකිරිත් බීලා තියෙනවා මං. ඒ අල්ලපු ගෙවල්වල එළදෙන්නු හිටිය වකවානුවලයි. එක පාරක් ලඟපාත ගෙදරක එළු දෙනක් පැටවෙක් දාපු කාලේ එළු කිරිත් බීලා තියෙනවා වගේ මතකයි.

නමුත් ජීවිතේ වැඩිකාලයක් බීලා තියෙන්නේ කිරිපිටි දියකරලායි.

අපි පොඩි කාලේ තිබුණු කිරිපිටි තේ වලට දාලා දිය කරන කොට කැට හැදෙනවා. කොච්චර හැඳි ගෑවත් ඒ සමහර කැට දියවෙන්නේ නෑ. ඒ කාලේ කිරි තේ හදලා ඉවර වෙලා පෙරන්නත් ඕනෑ මේ හින්දා.

මේ කිරිපිටි කැටි ගැගෙන එකට තිබුණු එක විසඳුමක් තමයි, තේ වතුරවලට කිරිපිටි දාන්නේ නැතුව කිරිපිරිවලට තේවතුර දාන එක.

ඕක ප්‍රගුණ කළ යුතු එක්තරා විදියක කලාවක්. මං ඉතා පොඩි කාලේම, ඒ කියන්නේ අවුරුදු දහයේ දී විතර ඔය කලාව ප්‍රගුණ කරන්න පටන් ගත්තා!

ඔන්න ඉස්සෙල්ලා කොප්පෙට සීනි හැඳි තුනක් විතරයි (පොඩි කාලේ එහෙම තමයි, දැන්නම් තේවලට සීනි දාන්නේ ඉතා අඩුවෙන්!), පිටි හැඳි දෙකක් විතරයි දානවා. ඊට පස්සේ ඒවා ඉතා හොඳින් මිශ්‍ර කරනවා.

මුලින්ම තේ වතුර දාන්නේ ඉතාම ස්වල්පයයි. ඒ දාපු ගමන් ඉතා තදින් හැඳිගාලා තලපයක් වගේ හදනවා. දැන් ටික ටික තේ වතුර එකතුකරමින් හැඳි ගාමින් තේ එක හදාගන්න ඕනෑ.

මේ ක්‍රමයෙන් කිරිපිටි දිය නොවී කැට හැදීම ඉතා හොඳින් වළක්වා ගන්න පුළුවනි.

නමුත් ප්‍රශ්නේ මෙන්න මේකයි.

අර කිරිපිටි සහ සීනි එකිනෙක මිශ්‍ර කළායින් පස්සේ මට ඒ මිශ්‍රනයෙන් ටිකක් කන්න හිතෙනවා. මේක මාර රහයි. ඉතිං, තවත් ටිකක් කන්න හිතෙනවා. අන්තිමේදී තේ හදන්න දා ගත්තු සීනි සහ කිරිපිටිවලින් බාගයක්ම කැවෙනවා.

මේ වැඩේට අපේ අම්මා හරි ම විරුද්ධයි!

නමුත් මට නං හිතෙන්නේ මුලින් කැවත් පස්සේ දියකරලා බිව්වත් කොහොම වුණත් බඩටනේ යන්නේ කියලයි.

එක දවසක් අපේ අම්මා ඔය සීනි-කිරිපිටි මිශ්‍රනය මං කනවා දැකලා මට හොඳටෝම බැන්නා.

මං ඇඬුම් අතරින්ම කිව්වේ මෙච්චරයි.

"ඉන්න, මං ලොකු වෙලා රස්සාවකට ගිහිල්ලා ඉස්සෙල්ලාම ගන්න පඩියෙන් සීනි රාත්තලකුයි, කිරිපිටි පැකට් එකකුයි ගෙනැල්ලා හොඳට අනලා කාගෙන කාගෙන යනවා!"

-කතන්දරකාරයා

ප/ලි:
ඒ දවස්වල සමහර කඩවල්වල තේ හදන්නේ ටිංකිරි දාලා. මේ තේ මාර රහයි. අපේ අම්මා ඉඳලා හිටලා කිරිටොෆී හදන්න ටිංකිරි ගෙනාපු දවසක හිස් ටින් එක හෝදාගෙන බිව්වොත් මිසක ගෙදරදී අපිට ටිංකිරි දාපු තේ බොන්න ලැබෙන්නේම නෑ.

මං ඒ දවස්වල කරපු තවත් ප්ලෑන් එකක් තමයි, ලොකු වුණාම ටිංකිරි තේ හදාගෙන බොන එක.

පොඩි කාලේ මේ වගේ ප්ලෑන් කළත් කවදාකවත් හරි නොගිය අනිත් දේවල් එක්ක ගත්තාම මේ කිරිපිටි-ටිංකිරි ප්ලෑන් ක්‍රියාත්මක කරන්න බැරිවීම නම් ඉතිං නතිං තමයි!


(image: http://www.whatsonyourwall.com/abstract-art-5/black-white-milk-drop-9166.htm)

Tuesday 29 October 2013

පාලිත ලංකාගමගේ - අහෝ ඔබ කොහිද? :: My country, my car, my family, my petrol


විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ ආස්සරේ කෙරුවේ එකම වර්ගයේ සෙට් එකක් නේ. කොටින්ම ඒ බොහෝ දෙනෙක් අනුකලනය දන්නා අය.

එතැනින් චුතවෙලා එක එක ජොබ් කරන කාලේ විවිධ ආකාරයේ මිනිස්සු ආශ්‍රය කරන්න ලැබුණා.

මං අර ගෑණු බොස් හෙවත් බොසී යටතේ දැහැමෙන් සෙමෙන් රැකියාව කරගෙන ඉන්න කාලේ ඔතන හිටිය එක පොරක් තමයි මේ පාලිත ලංකාගමගේ කියන්නේ.

අපි දෙන්නා වැඩ කෙරුවේ අංශ දෙකක නිසාත්, පොර මට වඩා අවුරුදු හයක් විතර ජ්‍යෙෂ්ඨ සේවකයෙකු නිසාත් රාජකාරී වෙලාවේදී අපි නිතර හමුවුණේ නෑ. පොර බැඳලා නිසා දවල්ට අපි තනිකඩයෝ බත්කාපු තැනට ආවෙත් නෑ.

මාසික ප්‍රගති විමර්ෂණ රැස්වීමේදී විතරයි නිතිපතා හමුවුණේ.

නමුත් ඉඳලා හිටලා දවසක තිබුණු පොඩි පාටි පොජ්ජකදී නම් පාලිත ලංකාගමගේ ව අනිවා මුණ ගැහුණා.

ඔය වගේ පොරව මුණ ගැහිලා හොඳට අඳුණා ගත්තු දවසක් තමයි අපේ මිස්සක රත්නපාල රට ගිය දවස.

මිස්සක ලංකාවේ ඉගෙන ගත්තු එකෙක් නොවෙයි, ඒරොප්පේ රටකට සිස්සස්සයක් හම්බවෙලා ගිහින් එහේ අවුරුදු පහක් විතර ගතකරලා උපාධි අරගෙන ඇවිත් ඒ වෙනකොට අවුරුදු ගාණක්ම මේ කොම්පැණියේ වැඩකරපු තවත් සීනියර් පොරක්.

මිස්සකයා එක පාරටම වගේ ප්‍රකාශ කළා ඔන්න ආපහු රට යනවාය කියලා, යන්නම යන්න, ජොබ් එකෙනුත් අස්වෙලා.

ඉතිං එහෙම නිකං යන්න දෙන්න බෑනේ!

ඔන්න අපි සංවිධානය කළා මහා පාටියක්.

අපේ තනිකඩ ලැයින් කාමරවල කුස්සිය කරපු සෝමපාලට බයිට් එකට මාලු බදින්න, චිකන් ඩෙවල් දාන්න සල්ලි දීලා, ටවුමට ගිහින් පරණ ඒවායින් තුන හතරක් ගෙනැල්ලා, නා කියාගෙන ඔන්න එක සිකුරාදාවක හවස අපි සෙට් වුණා.

මිස්සක රත්නපාල, පාලිත ලංකාගමගේ, කුසුම්සිරි ලියනගේ, අරූ, මූ වගේ කීප දෙනෙක්ම මේ ෆෙයාවෙල් සාදයට සහභාගී වුණා. එකක් කියන්න ඕනෑ අවුරුදු පහ හයක් සීනියර්, ජුනියර් වුණාට අපි එකිනෙකා අමතාගත්තේ නම්වලින් මිසක් අයියා-මල්ලී භාෂාවෙන් නම් නොවෙයි.

ඔන්න බෝතල් එකක් දෙකක් හිස්වෙන කොට, බැදපු මාලු, ඩෙවල් චිකන් දිසි පිටින් අතුරුදහන්වෙන කොට ටික ටික පාටිය උණුසුම් වුනා.

ඔය බයිට්වලට නම් වැඩියෙන්ම වග කිව්වේ අර සින්තටික් සිහින එකේ කේස් එකම තිබුණු අපේ වෙනත් යාළුවෙක්.

"මචං, මිස්සක, අයි විෂ් යූ ඕල් ද බැස්ට් මචං. යූ ගෝ ඇන්ඩ් හෑව් අ නයිස් ලයිෆ්. ඕක හොඳ රටක්. දැන් අපේ එවුන් කී දෙනෙක් නං ගියාද?"

පාලිත ලංකාගමගේ ටිකක් හැඟීම්බර වෙලා!

"ඔව් අර අවුරුදු දෙකකට කලින් ගිය එදිරිය මතකද? අන්න ඌ ඇවිත් ගියා ගිය මාසේ. පොර දැන් එහේ මාස්ටර්ස් එකක් කරනවාලු!" කවුදෝ කිව්වා.

"ඔව්, මචං, එහේ ගියොත් නං යූ විල් හෑව් සෝ මෙනි ඔපොචියුනිටීස්. හැබැයි මං නං කවදාකවත් මේ රට දාලා යන්නේ නෑ මචං, යු හැව් මයි වර්ඩ් ඔන් දැට්."

පාලිත ලංකාගමගේ තවත් ටිකක් හැඟීම්බර වෙලා!

"ඇයි බං මෙතන කඹුරලා ඇති පලක් තියේයැ, ගෙයක් හදාගන්න ලෝන් එකක් ගන්නත් කොච්චර අමාරුද?" ඒ කුසුම්සිරි. පොර මේ දවස්වල ගෙයක් හදන එක ගැනමයි කතාව.

"මං නං යන්නේම නෑ මචං පිටරට" ලංකාගමගේ නැවතත්. "උඹලා දන්නේ නෑ, අපේ පවුලේ සහෝදර සහෝදරියෝ හතරදෙනා කොච්චර ක්ලෝස් ද කියලා. අපි අතරේ තියෙන්නේ මචං පුදුමාකාර සහෝදර බැම්මක් පොඩි කාලේ ඉඳලාම. නන් ඔෆ් අස් විල් එවර් ලිව් දිස් කන්ට්‍රි ඕ ඊච් අදර්. අපි හතරදෙනා කවදාකවත් මේ රට දාලා යන්නේ නෑ."

පාලිත ලංකාගමගේ හොඳටෝම හැඟීම්බර වෙලා! මූ මේසෙට ගහපු පාර තව ඩිංගෙන් ඕල්ඩ් බෝතලේ බිම.

ඔය සිද්ධිය වෙලා දැන් සෑහෙන්න කල්. මාත් ඒ දවස්වලම වගේ හොඳ චරිත සහතිකයක් අරගෙන වෙන තිප්පොලක වැඩට ගියා. කාලෙකින් ඔය විවිධ චරිත ටික ටික මතකයේ යටට ගියා.

ඔන්න දැන් අවුරුදු පහ හයකට කලින් මට ඒ පරණ බජාර් එකේ පොරක් හදිසියේම වගේ හමුවුණා. ආගිය තොරතුරු, පරණ විස්තර හෙම කතා කර කර ඉන්න අතරේ පාලිත ලංකාගමගේ ගැනත් මතක්වුණා.

"දැන් පාලිතයා අතන ලොක්කෙක් වෙන්න ඇති නේද මචං? "

"මොන පිස්සුද බං, ඌ දැන් එතන නෑ."

"ඇයි වෙන කොම්පැනියකට ගියාද?"

"නෑ බං ඌ දැන් රටෙත් නෑ, උඹ ගිහින් අවුරුද්දකට විතර පස්සේ ඌ රට පැන්නානේ."

"ඈ, මොනවා? ඌ අර පාටිය දවසේ පොළොවේ අත ගහලා දිවුරුවා නේද රට යන්නේ නෑ කියලා."

"කාපු බීපු වෙලාවට කියන දේවල් නේ මචං, ඌ දැන් කැනඩාවේ හොඳින් ඉන්නවාය කියලයි ආරංචිය."

එහෙනං මුලු සහෝදර සමාගම ම රට යන්න ඇති, මට හිතුණා!

-කතන්දරකාරයා

ප/ලි
මෙය මා 2011 පෙබරවාරියේ දී ප්‍රසිද්ධ කළ "වෙන්ඩ කතන්දර සීයෙන්" එකකි.

මෙන්න පිටරට පැන්න අයගේ වැඩ ගැන වෙනත් කතන්දර දෙකක්.

1. දේශප්‍රිය පිටරට පනී!
http://kathandara.blogspot.com/2010/10/blog-post_16.html

2. ඕස්ට්‍රේලියාව ට පැන්න අපේ උං ගේ කවි - Australia : Sinhala Poetic Impressions
http://kathandara.blogspot.com/2011/07/australia-sinhala-poetic-impressions.html


(image: http://asikindigitalmedia.blogspot.com.au/)

Sunday 27 October 2013

ෆේස් බුකියෙන් ඉගෙන ගත්තු වැඩක් මෙන්න බ්ලොග් ලෝකයට - Show and tell


ෆේස් බුකිය කියන්නේ සමාජ සම්බන්ධතා අළුත් කරගන්න, අමතක නොකර පවත්වාගෙන යන්න උදව්වෙන තැනක් වගේම, වෙන කරන්න වැඩක් නැති අයට කාලේ කන්න හොඳ තැනක්.

මව්බිම නැත්තං තොට මරණය කියන කෂ්ටිය, පැණි හැලිවල වැටුණු ඇඹලයෝ වගේම එතන සාහිත්‍යට ඇල්මක් තියෙන අයත් ඉන්නවා.

මේ කියන සාහිත්‍යකාරයොත් බොහෝ විට කරන්නේ තමන් ලඟ තියෙන පොතක ෆොටෝ එකක් දාලා, හා අපි දැන් මේ ගැන කතා කරමු කියන එකයි.

ලස්සන මල්, දියඇලි, දර්ශන පසුබිමේ තමන් ගේ ෆොටෝ අරගෙන ඒවා ලයික් කරන කං බලා ඉන්නවා වගේම මේකත් ජොලි වැඩක්.

මාත් මේ වැඩේට දැන් සම්මාදම් වෙලයි ඉන්නේ.

ඉතිං මට හිතුණා මේ සද්කාර්යය කතන්දර බ්ලොග් එකෙත් පටන් ගන්න.

මේකේ මුල් පියවර තමයි මං ලියපු "පොර ටෝක් දෙන කූප්‍රකට බ්ලොග්කාරයෙක් ගේ නින්දිත රහස් හෙළිවේ!" කියන කතන්දරේ. ඒක කියෝලා හුඟ දෙනෙක් වලිගේ පාගා ගත්තා.

මෙන්න අද කතාව.

මේ කියන කූප්‍රකට බ්ලොග්කාරයාගේ පොත් රාක්කේ තිබිලා මට තවත් අපූරු පොත් කිහිපයක්ම හමුවුණා.

මෙන්න ඒවා.

පරමේෂ්වරී සහ වෙනම රටක් - ලක්‍ෂ්මන් කොඩිතුවක්කු - සුරස - රු 225
ගමනක මුල - ගුණදාස අමරසේකර - විසිදුනු - රු 330
තාරකා විජිතය - ජගත් ජේ එදිරිසිංහ - දයාවංශ ජයකොඩි සමාගම - රු 280


අත්ත බිදෙයි පය බුරුලෙන් - ඒ වී සුරවීර - ඇස් ගොඩගේ සහ සහෝදරයෝ - රු 250
මුවලින්ද තාප්පය - ඊ ඒ ඩෝසන් ප්‍රීති - ඇස් ගොඩගේ සහ සහෝදරයෝ - රු 200
ඉස්කෝලෙ කාලේ - ජගත් ජේ එදිරිසිංහ - ඇස් ගොඩගේ සහ සහෝදරයෝ - රු 250


අතර මග - ගුණදාස අමරසේකර - විසිදුනු - රු 350
පේරාදෙණි ගුරුකුලය සහ ගුණදාස අමරසේකර - වින්තක රණසිංහ - සූරිය - රු 250
පොදු පුරුෂයා - සුනේත්‍රා රාජකරුණානායක - සරසවි - රු 450

ඉතිං මේ පොත් ටික අපේ බ්ලොග්කාරයා ගේ පොත් රාක්කයේ තිබීම මහ අරුමයක් නොවෙයි. හැබැයි තවත් පොඩ්ඩක් බලන කොට මෙන්න මට අහුවුණු හොරයක්.



තේරුණේ නැතිද? ඊට වඩා පැහැදිලියි මේකෙන්.



මේකෙන්.



මෙන්න තවත් සෙට් එකක්.



දැන් පැහැදිලි නේද?

අපේ මේ බ්ලොග්කාරයා එකම පොතෙන් කොපි දෙක දෙක අරගෙන.

මේ වැඩේ වෙලා තියෙන්නේ මෙහෙමලු.

ඔන්න පොර සෝබනේට හෙවත් ෂෝ එකට වගේ පොත් ගන්නවා. ආයෙත් පාරක් පොත් කඩේට ගියාම තවත් පොත් ගන්නවා. නමුත් පොරම දන්නේ නෑ, ඒ පොත් කලින් දවසේත් ගත්තා නේද කියලා.

එහෙම දැනගෙන ඉන්න පොත් කියවන එකෙක් වෙන්න එපායැ!

බල්ල පිදුරු කන්නෙත් නෑ, කන ගොණාට දෙන්නෙත් නෑ!

ඒ වගත් මෙසේම.

-කතන්දරකාරයා

ප/ලි:
ෆෙස් බුකියේ කෙසේ වෙතත් බ්ලොග් ලෝකයේ නම් සයිකෝපැත්ලත් ඉන්නවා. බුකියෙත් ඇති, තවම මට නං මුණ ගැසිලා නෑ!

කතන්දරකාරයා ගේ ෆේස් බුක් ගිනුමට තවත් මිතුරන් එකතුකරගත නොහැකි නිසා ඔන්න දැන් දෙවෙනි ගිනුමක් තියෙනවා.
https://www.facebook.com/kathandarakaraya2

Friday 25 October 2013

ජනක මිලාන් ගේ ජී ඇස් කිව් මැතමැටික්ස් - Know your (A) level


මේක මං අර අයිතිකාරයෝ ඉන්න අහවල් ඉස්කෝලේට යන කාලේ වෙච්ච පරණ කතාවක්.

අපේ දහයේ පන්තියේ කෂ්ටිය ඒ පන්තියෙන් එකොලහේ පන්තියට නිකම්ම වගේ පාස් වෙලා උසස් පෙළ කරන්න පටන් ගත්තා.

පොඩි අප්සැට් එකකට තිබුණේ එදා මා එක්ක එකට ඉස්කෝලේ දහයේ පන්තියට ජොයින් වුණු කොල්ලන්ගෙන් බාගයක් විතරක් මැත්ස් පන්තියට එද්දී ඉතුරු අය බයෝ පන්තිවලට ගිය එකයි.

මට අද වගේ මතකයි අපි තුන් මහල් ගොඩනැගිල්ලේ ඉහල මාලයේ කෙලවරේ පන්තියේ ඉඳලා දෙකට බෙදිලා දෙමහල් ගොඩනැගිල්ලේ වෙනස් පන්ති දෙකකට ගිය හැටි.

මැත්ස් කරන්න පටන් ගත්තු ගමන්, දෛශික ද, සම්ප්‍රයුක්ත බල පද්ධති ද, වර්ගජ සමීකරණ ද, අරව ද, මේව ද යනාදී වශයෙන් කලින් අහලාවත් තිබුනේ නැති එක එක කෑලි ඇහෙද්දී මුළදී බයක් තමයි දැනුණේ.

ඒක හින්දා නිකමට වගේ මටත් හිතුණා ටියුෂන් පන්තියකට යන්න.

මං ගියේ ටියුෂන් ව්‍යාපාරයේ අගනුවර වෙන ගම්පහ තිබුණු ටියුෂන් ක්ලාස් එකකටයි.

මේ පන්තිය කෙරුවේ අපි ඉස්සර ඉඳලාම දන්නා ගුරුවරයෙක්. නමුත් පොර ඉස්කෝලෙක උසස් පෙළ පන්තිවලට උගන්වන ගුරුවරයෙක් නම් නොවෙයි. නමුත් ඉතිං ඒක මුළදී අපිට එච්චර ප්‍රශ්ණයක් වුනේ නෑ. හැබැයි මාස හය හතකින් විතර මං ඒ පන්තියෙන් හැලුණා!

මේ කාලේ වෙනකොට අපි අවකලනය සමතික්‍රමණය කරලා අනුකලනයටත් සම්ප්‍රාප්ත වෙලයි තිබුණේ.

ඔය අනුකලනය තියෙනවා නේද? ඕක එක විදියක බීස්ට් කෙනෙක්. ලේසියි කියලා පෙණුනට ලේසියෙන් ආම්බාං කරගන්න බෑ.

නමුත් අපේ පන්තියේ එක පොරක් හිටියා, නම ජනක මිලාන් කියමු, අයියෝ ඕවත් වැඩද කියන ආකරයෙන් හැසිරෙන. අපි මේ නිකං දෙකයි පනහේ අනුකලනය කරද්දී මූ පන්තියේ පස්සට වෙලා ඩබල් ඉන්ටිග්‍රේෂන් ද අරව ද මේව ද ගණං හදනවා ඕසෙට.

පස්සේ බැලින්නම් ඒ අමුතු ගණං මූ යන ටියුෂන් පන්තියේ සෑර් දුන්නු ඒවා.

"මේවා කොළඹ යුනිවසිටියේ ෆර්ස්ට් ඉයර් මැත්ස්වලට දෙන අනුකලනය ගණං!" ජනක මිලාන් අපිත් එක්ක ආඩම්බරෙන් කිව්වා. පොර ගේ ටියුෂන් ගුරා ඒ වෙන කොට කොළඹ විශ්ව විද්‍යාලයේ ෆයිනල් ඉයර් එකේ ශිෂයෙක්.

"උඹටත් ඔන්නම් ජොයින් වෙන්න පුළුවන්. සර් ඩබල් මැත්ස්, පිසික්ක්ස් විතරක් නෙමෙයි කෙමිස්ට්‍රිත් උගන්නනවා."

මටත් පොඩි ආසාවක් ඇති වුණා මේ පන්තියට යන්න. නමුත් සතියේ හැමදාම හවස තුනේ ඉඳලා හය වෙනකං පන්ති. ඒ මදිවට ගාණත් සැරයි. මොකද මේ ටියුෂන් පන්තියේ මේ වෙනකොට ඉන්නේ තුන් දෙනයි. මේක ගෲප් ක්ලාස් එකක්. ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන්.

ඉතිං ඒ හින්දා මං අර විස්ස විජ්ජාල අනුකලන ගණං ඉගෙන ගන්න තිබුණු ආසාව අතහැරියා.

කෙමිස්ට්‍රිවලට අවුරුදක් එක දිගට ක්ලාස් ගිහිං, ඒ මදිවාට තව මාස තුනක රිවිෂන් එකකට ගියත් මං අනිත් සබ්ජෙක්ට්ස්වලට එක දිගට ටියුෂන් ගියේ නෑ. ඔය තැනින් තැන එක එක ටොපික් එකක් අල්ල ගන්න ගියා මිසක.

ජනක මිලාන් දිගටම යුනිවසිටි ගණං හැදුවා. පියෝ මැත්ස්, ඇප්ලයිඩ් විතරක් නොවෙයි, පිසික්ස්, කෙමිස්ට්‍රි හෙමත් යුනිවසිටි ලෙවල් එකෙන් ඉගෙන ගන්න ඇති.

පොර හැමදාම පාසල් ආවත් පන්තියේ ගුරුවරු උගන්වන අතරේත් අර ටියුෂන් ක්ලාස් එකේ වැඩ තමයි වැඩියෙන් කෙරුවේ. ඔය අතරේ අපිටත් ඉඳලා හිටලා පොඩි කිණ්ඩියක් දානවා, අපි හිරවෙලා ඉන්න ගණං ගැන.

අපි හිතුවේ ජනක මිලාන් කෙලින්ම ඒ හතරක් අරගෙන කප් එක ගනියි කියලයි. නමුත් අන්තිමේදී විභාග ප්‍රතිපල ආවාම බැලින්නම් පොර යාන්තං ජාම් බේරාගෙන තිබුණා විතරයි.

මං හිතන්නේ වෙන්න ඇත්තේ මේකයි.

ජනක මිලාන් කැම්පස් ටියුට්ස් හදමින් හිටියා මිසක උසස් පෙළ විෂය නිර්දේශයට අඩංගු දේවල් ගැන වැඩි දැණුමක් තියෙන්න නැතුව ඇති.

කාර් එලවන්න පුළුවන් වුණු පළියට බයිසිකල් එකක් පදින්න බෑනේ.

පොරට විභාගෙන් වැලේ වැල් නැතිවෙන්න ඇත්තේ ඒකයි.

ඉස්කෝලෙන් පස්සේ අපි එහෙට මෙහෙට විසිරිලා ගියා නේ. එදායින් පස්සේ මං ජනක මිලාන් කොහේ ඉන්නවාද, මොනවා කරනවාද කියලා දන්නේ නෑ.

-කතන්දරකාරයා

(image: http://www.superbtutors.com/san-diego-math-tutoring.htm)

Wednesday 23 October 2013

මේ ඇනෝනිමස් පාඨකයා ගේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න - Any "Ask Aruni's" or "Aunt Agony's" out there?


කාලෙකට ඉස්සර මට මතකයි සන්ඩේ ඔබ්සවර් එකේ "ආස්ක් අරුණී" වගේ නමක් තියෙන කොලමක් ගියා. විවිධ සමාජීය සහ පුද්ගලික ප්‍රශ්න තියෙන අය මේ කොලම් එකට ඒ ප්‍රශ්නය කෙටියෙන් ලියලා යැව්වාම අරුණී ඒකට පිළිතුරක් දෙනවා.

මේ වගේ පාඨක ප්‍රශ්නවලට විසඳුම් දෙන කොලම් පස්සේ තරුණයා, කුමරී වගේ පත්තරවලත් ගියා. ඒ සමහර ඒවා නම් මට හිතුණේ පත්තරේ අයම ලියලා දානවාද මන්දා කියලයි.

මේ අරුණී ලා වගේ අයට සාමාන්‍යයෙන් කියන්නේ "ඇගනි ආන්ටිලා" කියලයි. ඒක මේ ආන්ටිලා කරන්නේ අනිත් අයගේ ප්‍රශ්න, අසහන, ආතතිවලට විසඳුම් හොයන දේ හින්දා පට බැඳුණු නමක්.

දැන් "ඇගනි ආන්ටිලා" පත්තරවල නැති හින්දා ද, පත්තරවලට වඩා බ්ලොග් කියවන හින්දාද මන්දා එක්තරා නිර්නාමික පාඨකයෙක් කතන්දර බ්ලොග් එකට ප්‍රශ්නයක් එවලා තියෙනවා.

මෙන්න ඒ ප්‍රශ්නය.
කකා, මම යාළුවෙලා ඉන්න කාන්තාව මට වඩා අවුරුදු 7 ක් වැඩිමහල්. එයා කලින් කසාද බැඳලා හිටියේ. ඒත් දැන් ඩිවෝස්.

මට නොසැහෙන්න වියදම් කරනවා එයා. අපේ පවුල ව්‍යාපාරික පවුලක්. සල්ලි තිබ්බට තාත්තා තමයි ඒවා පාලනය කරන්නේ. මගේ බිස්නස් තාම පොඩියට යන්නේ.

මම කැමතියි එයාව කසාද බදින්න කකා, ඒත් එයා කැමති නෑ ඒකට. එයා කියනවා මගේ පවුලේ අය කවදා හරි කියායි ලූ එයා මාව අල්ලා ගත්තා කියලා.

මට එයාව අමතක කරන්න බැහැ කකා. මම දන්නවා විද්‍යාත්මකව ගත්තොත් කාන්තාව ඉක්මනට වයසට යනවා කියලා, ඒ කියන්නේ එයා කොහොමත් මට වඩා වයස නිසා පස්සේ කලෙක අපි දෙන්නගේ වයස පරතරය සෑහෙන්න පෙනෙනවා කියන එකත් මම දන්නවා. තමන්ට වඩා තමුන්ගේ පිරිමියා තරුනව හිටියම කාන්තාව නොරිස්සුම් සහගත වෙන එකත් මම දන්නවා කකා.

ඒත් කකා මට දැන් මොකුත් හිතා ගන්න බැහැ. කකා පිළිතුරක් දෙන්න. මම මොකක්ද කරන්න ඕනි කියලා.

මට එයාව අමතක කරන්න බැහැ කකා.

අදාල නැති කොමෙන්ට් දැම්මට සමාවෙන්න. ඒත් ජිවිතයේ යන්තම් දශක දෙකක් ගෙවා ඇති මට මේ ප්‍රශ්න ගැන විවෘතව කතා කරන්න කෙනෙක් නෑ කතන්දර.

මීට කලිනුත් මට මේ වගේ ප්‍රශ්ණයක් ඊ-මේල් එකකින් ඇවිත් තියෙනවා. හරියටම මේ ප්‍රශ්නයේ අනිත් පැත්ත. ඒකට නං මං පුද්ගලිකව උපදෙස් දීලා පිළිතුරක් ඇරියා.

නමුත් මේ ප්‍රශ්නය නිර්නාමික හින්දා මට හිතුනා බ්ලොග් එකේ පලකරලා, මගේ අදහස් වගේම මේක කියවන අනිත් අයගේත් අදහස් සහ අත්දැකීම් එකතුකරලා අපේ ඇනෝනිමස් පාඨකයාට කියවන්න සලස්වන්න.

කරුණාකර සංයමයෙන් ප්‍රතිචාර දක්වන්න.

-කතන්දරකාරයා

පසුව ලියමි.
(මෙය කමෙන්ටුවක් ලෙසින් ද දමා ඇත.)
මෙන්ම මගේ දෙකයි පනහ.

අවුරුදු විස්ස කියන්නේ නං කසාද බඳින්න කල් වැඩියි. මොකද ලව් කරමින් ඉන්නවා වගේ නොවෙයි කසාද බඳිනවා කියන්නේ. ඒක ලොකු වගකීමක් බාර ගැනීමක්.

වයස ප්‍රශ්ණේ ඉස්සර තිබුණාට දැන් ඒක කේස් එකක් නොවෙයි. අන්න සිරාගේ කාමරේත් මේ මාස තුනක කතාවක් නිසා මගුලක් කැබුණු කේස් එකක් දාලා තිබුණා.

පියදාස සිරිසේන ගේ පොතක තියෙනවා මිනිහකේ බඳින්න ඕනෑ තමන්ගේ වයස දෙකෙන් බෙදලා ඒකට හතක් එකතු කළාම එන වයස තිේ‍රන ගෑණු කෙනෙක් කියලා. ඒ න්‍රිමයට අනුව මං බඳින්න තිබුණේ වයස දහ අටේ වෙන්ඩ කතන්දර හාමිනේ ට දාසය කාලේ. නමුත් මං බැන්දේ ඔන්න මෙන්න තිහේ දී.

වයස ප්‍රශ්නය වගේම තවත් කේස් එකක් තමයි බඳින්න යන කෙල්ල තමන්ට වඩා උසද මිටිද කියන එක.

ඒ එක්කම කෙල්ල තමන්ට වඩා උගත්ද නැත්ද කියන එකත් සමහරුන්ට ප්‍රශ්න.

මට නං හිතෙන්නේ ප්‍රශ්නයක් කියා තමන්ට හිතෙනවා නං ඒකම ඉතිං ප්‍රශ්නයක් තමයි!

(image: http://www.ekantipur.com/the-kathmandu-post/2010/04/08/Metro/Agony-Aunt/207003/)

Tuesday 22 October 2013

වෙඩින් ගොයින් බයි අනුන් ගේ කාර් - What I would do, if I were you?


ඔන්න අපි යුනිවසිටියෙන් අවුට් වෙලා අවුරුදු පහ හයකින් විතර අපේ බැචෙක්ගේ වෙඩිමකට මට ආරාධනාවක් ආවා.

මේ වෙනකොට අපේ බැචාලා තවත් දහ දොළොස් දෙනෙක් ම කසාද බැඳලා, සමහරු තාත්තලා බවට පරිවර්තනය වෙලාත් ඉවරයි.

මං අර පස්තාච්චි කුපාඩි වැඩවලට එහේ මෙහේ ගිහින් හිටිය හින්දා ඔය වෙඩිං ගොඩකට යන්න ලැබුණේ නෑ.

ඒ හින්දා, මේ වෙඩිම තිබුණේ දුර බැහැර පලාතක (මාතර කියමු) වුනත්, මේකට නොවරදවා යන්න ඕනෑ ය කියලා මං හිතා ගත්තා.

දුර බැහැරය කිව්වාට කොහේ වුනත් ලංකාව ඇතුලේ නේ. අනික අපි කොළඹ අවට හිටිය අයට තමයි ඔය දුර. ඒ පලාතේ හිටිය නං වෙඩිම අත ලඟ!

ඉතිං මං ප්ලෑන් කළා උදේම කොළඹ ගිහින් බස් එකක නැගලා මාතර අහ යන්න. පෝරුවේ නැකත තිබුණේ දහයකුත් ගාණටද කොහෙද?

කවදා හරි ඔය පෝරුව කියන අට්ටලමේ නගින්න වෙන හින්දා ඒ පෝරුවේ කරුමාන්තේ වෙන හැටිත් බලා කියා ගන්න මට ඕනෑකම තිබුණා.

ඔන්න වෙඩිමට සතියක් විතර තියලා මගේ වැඩපොළට ආවා කෝල් එකක් මගේ හොඳ මිතුරෙක් වෙන සෙත්සිරි ගෙන්.

"මචං, කතන්දරකාරයා, උඹ ෂෙල්ටා ගේ වෙඩිමට මාතර යනවාද?"

"ඔව් මචං යන්නයි හිතන් ඉන්නේ, උඹ යනවාද?"

"ඔව්, ඔව්, මාත් යනවා. මචං මං මගේ කාරෙකේ යන්නයි ඉන්නේ. උඹටත් එන්න පුළුවන්. අපි පෙට්‍රල්වලට යන ගාණ බෙදා ගම්මු."

මේ කාලේ වෙනකොට සෙත්සිරියා පොඩි පහේ ෆැක්ටරි මැනේජර් කෙනෙක්.

මංතුමා 6% තියා හුලංවත් නැති නිකම්ම නිකං ආණ්ඩුවේ ආධාර සහිත වැඩපොළක කඹුරණ අසරණයෙක්.

ඔය දවස්වල ලිටරේ තිස් පහයිද කොහෙද, ඒත් ඉතිං අපේ පඩිත් ඒ වගේම අඩුයිනේ!

සෙත්සිරියාට පෙට්‍රල් ගහන්න සල්ලි නැත්තං, මා ලඟ කොහෙන්ද ඒකට සල්ලි?

"මචං මං බස් එකේ ගිහින් එන්නයි හිතන් ඉන්නේ!" මං ෂේප් එකේ ෂේප් වුණා එහෙම කියලා.

ඒ කොහොම වුණත්, පහුවදාම තවත් මේ වගේ ෆැක්ටරියක මැනිජර්කමක් කරපු අපේ බැචෙක් වුණු බණ්ඩාර පොරට කොම්පැනියෙන් දීලා තිබුණු කාර් එක මේ මාතර ගමන යන්න ඉල්ලාගෙන මටත් ජොයින් වෙන්න කතා කළා.

හැබැයි බණ්ඩාර ප්ලෑන් කරගෙන හිටියේ මගුල් ගෙදර ගිහින් එතනින්ම බණ්ඩාරවෙල පොරගේ මහ ගෙදරත් යන්නයි. ඉතිං මට ගමණේ මුල් බාගෙට නොමිලේ ප්‍රවාහන සේවාවක් ලැබුණා!

බණ්ඩාර ගේ කාර් එකේ ෆුට් බෝඩ් එකේ නැගිලා ඔන්න මං වෙඩිමට ගියා. අපි ගිහින් ටික වෙලාවකින් සෙත්සිරිත් තම කුඩා පවුල සමග එතනට සම්ප්‍රාප්ත වුණා.

ඉතිං, පෝරුවේ සෙරමනියත් දැක බලාගෙන, පොඩ්ඩක් විතර සප්පායම් වෙලා, බත්, වටලප්පං හෙමත් කාලා ඔන්න අපිට ගෙදර යන්න වෙලාවත් ආවාය කියමුකෝ.

සමහර විට මගේ හිතේ කොණක තියෙන්න ඇති සෙත්සිරියා පොරගේ කාරෙකේ කොළඹ යන්න මට කතා කරාවිය කියලා සිතුවිල්ලක්. කෙළඹ ඉඳන් ආපු කාරෙක කොහොමටත් ආපහු යන්න එපායැ. අනික සෙතා යි වයිෆරෙයි විතරයි කාරෙක් ආවේ.

නමුත් ඒ සිතුවිල්ල තිබුණේ ඉතිං මගේ හිතේ නේ.

සෙත්සිරි ගේ හිතේ එහෙම සිතුවිල්ලක් තිබුණු බවක් පෙණුනේ නෑ.

පොරයි වයිෆරෙයි කාර් එකේ නැගිලා යන්න ගියා.

මං හෝටලේ ඉඳලා පයින්ම බස් නැවතුමට ගිහින් කොලඹ බස් එකක නැගලා ගෙදර ආවා.

මේ කතන්දරේ මතක් වෙච්ච වෙලාවේ ඉඳලාම මං කල්පනා කරන්නේ මං සෙත්සිරි නම්, මං මාතර ඉඳලා ආපහු ගමනට එන්න කියලා කතන්දරකාරයාට කතා කරනවා ද, නැති ද කියලායි!

-කතන්දරකාරයා

(image: insert URL here)

Sunday 20 October 2013

හා, මෙන්න තවත් එකක් - Yet another one of those!


"ගෑණු විදියට හිතන්න පිරිමන්ට බැරිද?" කියන නමින් සිකුරාදා මං පලකරපු කයි-කතන්දරේට තරමක හොඳ ප්‍රතිචාර ලැබුණා. එහෙම හිතලා, "මම, මගේ, මට" භාෂාවෙන් කවි, කෙටිකතා, නවකතා ලියපු පිරිමි මං හිතුවට වැඩියේ ගොඩක් ඉන්න බවයි කතා බහෙන් පෙණුනේ.

මෙන්න තවත් කාන්තාවකගේ අත්දැකීමක් ගැන, කාන්තාවක් ගේ වචනවලින්ම ලියවුණු කවියක්. මේ කවියේ වස්තු බීජයෙන්ම මං මීට අමතරව වෙනත් නිර්මාණයකුත් කරලා තියෙනවා.

නොපිපි මල

තුන් මසක සිහිනයක් බොඳ වුනා
රතු ලෙයින් සිහිවටන
සිත පුරා ඉතිරි කර
නොපිපි මල් පොහොට්ටුව පරවුනා
ජීවිතය නැවතුනා
තෙවන වරටත් ලොවේ
කුරිරු බව පසක් කර
ජීවිතය නැවතුනා!

රුධිර බිදු එකින් එක එකතු කර
කුස පුරා කළලයක් සැදූයේ
මේ ලෙසින් දුක් සුසුම් හෙලන්නද?
සිහිනයක දුටු බිළිඳු රුව කෙදින
අනේ මා සැබෑ ලොව දකින්නද?
තව කොතෙක් කල් මෙලෙස තැවෙන්නද?
මගේ ඉරණම සදා කඳුළු බිඳු අතර දිවි ගෙවන්නද?

හෙට දිනේ යලිත් හිරු නැගේදෝ?
අඳුරු මා ලොව මිලින මල් අතර
සුදෝ සුදු රෝස මල පිපේ දෝ?
කඳුළු බිඳු මැකේ දෝ?
සුසුම් රුළි නැසේ දෝ?
උපදිනා ආත්මෙන් ආත්මෙට
මෙවැනි දුක් යලිත් ඇති නොවේ දෝ?


(මෙය 2006 දී පමණ ලියූවකි).


ඒ වගත් මෙසේම,

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න අර මේ හා සමාන අදහසක් තියෙන අනිත් නිර්මාණයට පාර.
http://kathandara.blogspot.com/2012/06/blog-post.html

(image: http://fineartamerica.com/featured/abstract-art-original-circle-painting-flaming-desire-by-madart-megan-duncanson.html)

Friday 18 October 2013

ගෑණියෙක් විදියට හිතන්න පිරිමින්ට බැරිද? - Cross thinking!


සාමාන්‍යයෙන් පිරිමි ලියන කවිවල, කෙටිකතා, නවකතාවල ප්‍රධාන චරිතය වෙන්නේ පිරිමි චරිතයක්මයි. විශේෂයෙන්ම ඒ නිර්මාණවල "මම, මා, මගේ" කියලා කියවෙනවා නම් ඒ පිරිමියෙක් කියන කතාවක්ම තමයි.

ඒ වගේම කාන්තාවන් විසින් ලියන ලද කවිවල, කෙටිකතා, නවකතාවල ප්‍රධාන චරිත බොහෝ විට කාන්තා චරිතමයි. ඒවායේ "මම, මා, මගේ" කියලා ලියවෙනවා නම් ඒ කාන්තාවක් ගැනම තමයි.

මේකට හේතුව තමයි බොහෝ දෙනා ලියන්නේ තමන් ගේ අත්දැකීම් වීම.

මේ කතාවට ප්‍රතිවිරුද්ධ උදාහරණ නැතුවාම නොවෙයි.

මා කියවා නැති "පොදු පුරුෂයා" නවකතාව කාන්තාවක් පිරිමි ඇසින් ලියූ එකක් ය කියා මිතුරෙක් කිව්වා. මීට අමතරව ටෝල්ස්ටෝයිි ගේ මුල් කෘතියකුත් තියෙනවාලු ගැහැණු චරිතයක ප්‍රධාන කොට "මම, මා, මගේ" භාෂාවෙන් ලියවුණු.

ඔය සේරම කිව්වේ මෙන්න මේ කවියට හැඳින්වීමක් විදියටයි.

මේක පිරිමියෙක් විසින් ගැහැණියක ගේ අත්දැකීමක් ඒ ගැහැණු ඇසින් බලා "මම, මා, මගේ" භාෂාවෙන් ලියූ එකක්.

සමු ගැනුම

හිමි සඳුනි කිමද ඔබ
වෙනස් වී මේ ලෙසින?
තුන් වසක් පිරූ පෙම අමතකද?
විවාපත් වී පැමිණ
ඔබ සමග ගෙවාලූ
තුන් වසක යුග දිවිය අමතකද?
කිමද ඔබ මේ ලෙසින
මා පෙලන කාරණා?

උපන් බිම හැර දමා
දෙමව්පිය සහෝදර නෑසියන් හැර දමා
නුහුරු නුපුරුදු ලොවක
ඔබේ උණුසුම පතා
ආවෙමිය මා එදින!

මේ සීත සිසිරයේ
ඔබේ උණුසුම් සුවේ මට ඇවැසි මේ පැයේ
පාළු කුටියක අඳුර
පමණි මා නොතනියට
කොතැනකද ඔබ මෙදින?

සමභාහනාගාරයක පුරඟනක තුරුලේද?
පවිටු මිතුරන් සමග දාදු කැට කෙලියේද?
බමන දෙනෙතින් යුතුව මධුවිතක පතුලේද?

ඔබ පැමිනෙනා තෙක් නිවස වෙත
රුය පහන් වෙන තුරා නිදි වරමි
ඔබේ නළලත සිඹිමි
එකම වරයක් යදිමි

නොහැක මට තවත් දුක උහුලන්න
ඉතිං අවසර දෙන්න
මේ බැඳුම හැර යන්න



ඒ වගත් මෙසේම

-කතන්දරකාරයා


(image: http://www.newgrounds.com/art/view/zela/sayonara)

Wednesday 16 October 2013

භීෂණයේ මල් පෝච්චි අතර සැඟව ගිය දයාබර මාරේ - No place for Mr Sensitive in this cruel world?


අපේ තාත්තා මං පුංචි කාලේ ඉඳලාම මට මතක සැර පරුෂ පුද්ගලයෙක් විදියටයි. මටයි මල්ලිලා දෙන්නටයි ගෙදරදී වැඩිය කෑ ගහන්න දුන්නේවත් නෑ. නිතරම නොවුණත් ඉඳහිට හෝ අපි ගුටි කාලාත් තියෙනවා.

ඔහොම අවුරුදු ගාණක් ගතවෙලා අපි පොරවල් වුණාට පස්සේ කාලේ එක දවසක් මං දැක්කා අපේ තාත්තා අඬනවා. ඒ ලොකු කේස් එකකට නොවෙයි, මේ ටෙලිවිෂන් එකේ ගිය කතාවක් බලමින් ඉන්න අතරේ. කතාවේ සංවේදී කෑල්ලකට තාත්තාට දුක හිතිලා!

ඒ දවස්වල මං අසාධාරණය දැකලා කේන්තියෙන් පිපිරුණාට, දුක දැනිලා අඬලා නෑ.

පස්සේ ටික ටික තත්වය වෙනස් වුණා. මට මතකයි පිරවී කියන ඉන්දියානු චිත්‍රපටිය, පුරහඳ කළුවර වගේ එකක්, බලන කොට මට කඳුළු ආපු හැටි. ඒ තාත්තා කෙනෙක් පුතෙක් ගැණ දුක් වෙන හැටි දැකලයි!

දැන් නම් තත්වය ඊටත් වඩා දරුණුයි. හිත සංවේදී වුණාම ඇහැට කඳුළු එනවා. ඇඬෙනවා. විශේෂයෙන්ම දෙමව්පියෝ ගැන සඳහන්වෙන කතන්දර අහන කොට, චිත්‍රපටි බලනකොට. ඒ එක්කම දරුවෝ ගැන, යුද්ධවලින් මිය යන අය ගැන විස්තර ආරංචි වෙන කොට තමයි මේ සිදුවීම වැඩියෙන්ම වෙන්නේ.

හිතේ කේන්තිය, වේදනවා හිරකරගෙන ඉන්නවාට වඩා දුක් වී කඳුලක් හෙලා ඒ පීඩනය මුදා හැරීම මානසික සෞඛ්‍යයට වගේම ශාරීරික සෞඛ්‍යටත් හොඳ බව මා අසා තියෙනවා.

ඔය සේරම මතක් වුනේ මෙන්න මේ හින්දායි.

තිලක සිත කියන බ්ලොග් එක කියවලා තියෙනවාද?

මේ බ්ලොග් එක ගැන දැන් සතියකට දෙකකට කලින් කවුදෝ මට කියා තිබුණාට නිදහසේ කියවන්න ලැබුණේ ඊයේයි.

තිලකසිරි ඒකනායක ලියන ඒ බ්ලොග් එකේ පලවෙලා තියෙන "දයාබර මාරේ!" කියන කතාව කියවන විට මගේ දෙනෙත් තෙත් වුණා.

හරිම සංවේදී කතාවක්. සමහර විට ලංකාවේ ලක්‍ෂ ගණනාවක මේ වගේ කතන්දර අතරේ මේක තවත් එක් කතන්දරයක් පමණයි, සරල අත්දැකීමක් පමණයි කියලා කෙනෙකුට පේන්නත් පුළුවන්. ඒත් ඒ කතාව ලියා තිබුණු විලාශය අපූරුයි. හරියට අපේ ම අත්දැකීමක් ඒ මොහොතේම අත්විඳිනවා වගෙයි මට නම් දැණුනේ. සමහර විට ඒ පරිසරය මටත් හුරුපුරුදු එකක් නිසා සංවේදීබව වැඩි වෙන්නත් ඇති.

තිලකසිරි ලියා පලකර තියෙන "භීෂණයේ මල් පෝච්චි" කියන කෙටිකතාවත් ඉතා හොඳ නිර්මාණයක්. හරියටම ලියනගේ අමරකීර්ති ලියූ "අර මිහිරි සීනු නාදය" කියන කෙටිකතාව කියවීමෙන් මා ලැබූ කම්පනයට ඉතා සමීප හැඟීමක් තමයි මට මේ නිර්මාණය කියවීමෙන් ලැබුණේ.

තිලක සිත බ්ලොගයේ තියෙන අනිත් කතා විසි ගණන අතරත් ඉතා සංවේදී මෙන්ම හොඳ වින්දනයක් ගෙන දෙන කතා විශාල ප්‍රමාණයක් තියෙනවා. බාබර් උන්නැහේ ගේ කතාව, ගුරු තරුව, යවුල ගස සත්‍ය අත්දැකීම් මත තිලකසිරි ලියූ මා සිත් ගත් තවත් කතා කීපයක්.

වෘත්තියෙන් මැවිසුරුවෙක් වුණාට තිලකසිරි කාලයක් පත්තරේකත් වැඩ කළාය කියා මා ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු ලෙස ලියා තිබුණා. මං හිතන්නේ විදුසරේ විය යුතුයි.

මේ බ්ලොග්කරුවා ගේ සිතේ තවත් මේ වැනි කතා රාශියක්ම සිරවී තියෙන බව පැහැදිලියි. ඒ සියල්ල අනාගතයේ දී කියවීමටයි මා හිතාගෙන ඉන්නේ.

මෙන්න තිලක සිත බ්ලොගයට පාර නැවතත්.
http://thilakasitha.blogspot.com/

-කතන්දරකාරයා

(image: http://www.wellbeing.com.au/article/features/mind-health/Are-You-a-Sensitive-Person_797)

Monday 14 October 2013

වයිෆ්ගෙන් ඇරියස්, ජොබ් එකේ ඇරියස් සහ බාහු - All in a days work


ඇරියස් කියන්නේ හිඟය කියන එකනේ.

සාමාන්‍යය භාවිතයේ එන ඇරියස් එකක් එන්නේ මොකක් හෝ තමන්ට හිමි දෙයක් කාලයක් තිස්සේ අහිමි වෙලා නොලැබී තිබිලා එක පාරටම සීන් එක වෙනස් වෙලා ඒ දෙය ආපහු හිමි වුණාම අර අහිමි වෙලා තිබුණු කාලේ නොලැබුණු ගොඩ එක පාරට ආපහු ලැබෙන කොටයි.

තේරෙන උදාහරණයකින් කියනවා නම්, යුද්දෙට මං ගියා, පවුල ගෙදර තියා වගේ අවස්තාවකින් පස්සේ භටයා ආපහු ගෙදර ආවාම ඔන්න ඇරියස් හම්බ වෙන්න නියමිතයි.

එහෙම නැතිනම්, පවුල ගෙදර තියලා පිටරට රස්සාවකට ගිහින් අවුරුදු දෙකකට විතර පස්සේ ආපහු ගෙදර ආවාම ඔන්න ඇරියස් හම්බ වෙනවා.

මගේ යාළුවෙක් ඉස්සර වැඩ කළා ගෙදරින් දුර බැහැර පළාතක ලංකාවේම. පොර ඒ දවස්වල ගෙදර යන්නේ මාසෙකට එක පාරයි. ඒ ගියත් දවස් දෙකෙන් ආපහු එනවා වැඩ නිසා.

"ඉතිං උඹ මාසෙකට පාරක් ගෙදර ගියාම ඇරියස් හම්බ වෙනවා ඇති නේද?" මං ඇහැව්වා.

"මොන පිස්සුද බං, සමහර මාසවල මං ගෙදර යනකොට සැප්තැම්බර් ඔක්තෝම්බර වෙලා!" යාළුවා දුකෙන් උත්තර දුන්නා!

අද කතන්දරේ මේකයි.

ඔන්න මං කාලෙකට ඉස්සර වැඩ කරපු තැනක සේවකයෙක් විෂමාචාරයකට දඩුවම විදියට පාළනාධිකරය මගින් වැඩ තහනමකට ලක් කරලා තිබුණා අවුරුදු දෙක තුනකට කලින්.

මේ කළමනාකරුවෙකුට කුණුහරුපෙන් බැනලා තර්ජනය කළාය වගේ කේස් එකක්.

මං එතන සේවයට ගියාට පස්සේ දවසක පොර කම්කරු උසාවි නඩුව දිනලා අවුරුදු තුනකට පස්සේ හිඟ වැටුප් එක්ක සේවයට ආවා.

පොර එදා වීරයා සේ පර්සනල් මැනේජර් ගේ කාමරේට ගිහින් උසාවි නියෝගය දීලා සේවයට වාර්තා කළා.

"මට හිඟ වැටුප් සේරම ලැබෙනවා. ඒ හින්දා පහුගිය අවුරුදු තුන ඇතුලත මට ලැබෙන්නට නියමිතව තිබුණු බෝල්පොයින්ට් පෑන් මාසෙකට එක ගානේ තිස් හයත් මට ඕනෑ!" පොර පර්සනල් මැනේජර්ට කිව්වා.

"පෑන් නං දෙන්න විදියක් නෑ. මොකද ඔහේ ඒ කාලයේ නොලියපු දේවල්, නොගහපු අත්සන් ආයේ ගහන්නේ නෑනේ" ඒ පර්සනල් මැනේජර්. "හැබැයි මට දෙන්න පුළුවන් පහුගිය අවුරුදු තුනේ ඔහේට ලැබෙන්න තිබුණු කැලැන්ඩර් තුන නම් කිසිම ප්‍රශ්ණයක් නැතුව!"

-කතන්දරකාරයා

ප/ලි
ඔය විදියට වැඩ තහනම උසාවියෙන් අහෝසි කළත් සමහර ආයතනවලින් ඒ උසාවි නියෝග නොසලකා හරින අවස්ථාත් තියෙනවා.

මේ සඳහා හොඳම උදාහරණය තමයි ආවාර්ය වික්‍රමබාහු ගේ කේස් එක.

ජේ.ආර් ගේ ඒකාධිපති ව්‍යවස්ථාවට විරුද්ධව කළු කොඩියක් දැම්මාය කියලා බාහුව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සේවයෙන් නෙරපලා තියෙන්නේ 1978 දී යි.

බාහුව ආපහු සේවයට ගන්න කියලා 1982 දී ප්‍රජා අයිතිවාසිකම් කොමිසමෙන් නියෝගයක් ලැබිලා තිබුණත් විශ්ව විද්‍යාලය ඒක නොසලකා හැරියා. ඒ විතරක් නොවෙයි 2001 දී ලැබුණු කැබිනට් නියෝගයත් පිළිපැදලා නෑ.

දැන් බාහු ගේ වයස අවුරුදු 70 ක්. පොරත් වන්දි ඉල්ලලා නඩු දාලායි තියෙන්නේ.

වන්දි සමගම හිඟ වැටුප් කෙසේ වෙතත් බාහු 1965 විතර ඉඳලා 1978 වෙනතුරු කරපු සේවයට හිමි විශ්‍රාම වැටුප් හෝ අර්ඨසාධක දීමනා සියල්ලම ලැබිය යුතුයි!

(image: http://www.123rf.com/photo_14731366_illustration-depicting-a-roadsign-with-an-arrears-concept-blue-sky-background.html)

Saturday 12 October 2013

මෙන්න දවස පුරා පවතින අසරණ කාලකණ්ණිකමක් ඔබේ සිතටත් - How pathetic are we?


ඊයේ පුවත්පතක පළවුණු ප්‍රවෘත්තියක් මූණු පොත හරහා දැක මගේ සිතේ මුලින්ම ඇතිවුණේ මහා අසරණ හැඟීමකි. ඒ සමගම ආවේ මහා කාලකණ්ණි සිතුවිළි ගොඩකි.

ඒ අසරණ කාලකණ්ණිකම මෙය කියවන ඔබේ සිතටත් ගෙන එන්නයි මේ ලියන්නේ.

ප්‍රවෘත්තිය මේකයි.

ගිය අවුරුදදේ මුල් මාස දහය ඇතුළත පමණක් මැද පෙරදිග සිට මිනී පෙට්ටිවල ලංකාවට ආ ගෘහ සේවිකාවන් ගේ ගණන 463 දෙනෙක් ලු!

මෙයින් 75% පමණම වයස අවුරුදු 30 ට අඩු කාන්තාවන්. ඒ කියන්නේ හොඳ තරුණ වයසේ අය.

නමුත් මරණ සහතිකවලට අනුව මේ අයගෙන් අති බහුතරයක් මැරිලා තියෙන්නේ කොහොමද දන්නවාද? හාට් ෆේලියර් එහෙමත් නැත්තං හෘදවස්තුව ක්‍රියා විරහිත වීමෙන්.

ඒ සමගම මේ මල සිරුරුවල අභ්‍යන්තර අවයව ඉවත්කර ඇති බවට මේ ප්‍රවෘත්තිය ගැන ඩිලාන්ගෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්ණ කරපු රන්ජන් කියලා තියෙනවා.

එක්කෝ තරුණ කාන්තාවන්ට මැද පෙරදිගදී හෘද රෝග හැදෙනවා වැඩියි. නැතිනම්, වකුගඩු දෙක හෝ වෙනත් අභ්‍යත්තර අවයවයක් අයින් කළාම මැරෙන්නේ හාට් ෆේලියර් එකකින්.

දුප්පත්කම, අසරණකම නිසා කීයක් හරි හොයාගන්න, ගෙයක් දොරක් හදාගන්න තමයි මේ හැම දෙනාම මැද පෙරදිග යන්න ඇත්තේ.

ඒ වගේම මොන අනතුරු, අතුරු ආන්තරා තිබුණත් ඒවා ගැන නොතකා තමන්ගේ රටේ කාන්තාවෝ මේ ආකාරයට ගෘහ සේවයේ යොදවමින් රටේ එදා වේල පිරිමහගන්න විදේශ විණිමය හොයාගන්න වීමත් ලංකාවේ දුප්පත්කම සහ අසරණකම තමයි.

ඒ සල්ලිවලින් ලැම්බෝගිනී සහ මොන්ටෙරෝ ගෙන්වීම වෙනනම කාරණයක්.

ලංකාව වගේ ජනගහණය වැඩි නමුත් දුප්පත් රටක එක් ප්‍රධාන ලක්‍ෂණයක් තමයි එක් මිනිසෙකුගේ ජීවිතයට ඇති වටිනාකම ඉතාම අඩුවීම.

හාරසීයක් නෙමෙයි කී දෙනෙක් මැරුණත් රටට ගාණක්වත් නෑ. ජීවිත අයිතිකාරයින්ටත් ඒ වගේ වෙන්න ඇති.

ගිලෙන බව දැන දැනත් අබලන් බෝට්ටුවලින් රට පණින්න හදන්නේ, මරණ සහතිකය අත්සන් කරලා හරි මැද පෙරදිග ජොබ් එකකට යන්නේ ඒ නිසාද?

විපක්‍ෂයේ අයියා කොච්චර දුක්වුණත්, ආණ්ඩුවේ අයියාට නං මේක ලොකු කේස් එකක් නොවෙයි වගේ.

හැබැයි ඉතිං මර අර බරක් ඔබාමාට ලියලා ඇරියා වගේ, විපක්‍ෂයේ ඉන්න කොට නං රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කජු කනවා වාගේ.

මේ ප්‍රවෘත්තිය කියවපු මට මතක් වුනේ ආරියරත්න කුරුවිට බණ්ඩාර අංකල් ලියපු මන්දා නාලනී නැන්දා කියපු මෙන්න මේ සින්දුව.



අංකල්ටයි, ඇන්ටිටයි මේ සින්දුව මතකද මන්දා?

-කතන්දරකාරයා

ප/ලි:
මේ සන්ඩේ-ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් පලකරන්නේ සෑහෙන කාලයකට පසුවයි.

(image: http://forum.srilankaequity.com/t25378p25-sri-lankan-maid-rizana-nafeek-beheaded-in-saudi-arabia)

Friday 11 October 2013

චේ ගුවේරා සමග ජීවිතේ මල් - Close to heart


අපේ සීයලා ගේ කාලේ, ඒ කියන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ විතර, අණුවන වැඩිහිටියෝ ඕනෑම රැඩිකල් හෝ නාහෙට අහන්නේ නැති හෝ තරුණ අයෙකුට බැණ වැදිලා තියෙන්නේ මුං සමසමාජකාරයෝ කියලයි.

ඒකට හේතුව ලංකාවේ තිස් ගණංවල යුධ විරෝධී, අධිරාජ්‍ය විරෝධී සූරියමල් ව්‍යාපාරය හරහා ඇරඹුණු සමසමාජ සමාජවාදී දේශපාලනයයි.

පස්සෙන් පහු හැත්තෑ ගණං වෙනකොට ඔය කතාව මුං චේගුවේරාකාරයෝ කියලා වෙනස් වුණා.

ඒකට හේතුව පසුකාලෙක යුධවාදී වෙලා මානෙල් මල් විකුණපු ජේවීපීයේ මුල් කාලේ තිබුණු ජාතිකවාදී ව්‍යාපාරයයි.

ජවිපෙ 1971 දී පොලිසිවලට කරපු පහරදීම් චේ ගුවේරා ඉස්ටැයිල් එකේ ඒවා කියලයි නම් පටබැඳුනේ.

චේ ගුවේරා කියන්නේ ජවිපෙට විතරක් අයිති වෙළද නාමයක් නොවෙයි.

චේ ගුවේරා ඉවාන් පවුලූෂා බ්ලොග්කරුවාටත් අයිතියි. ඒ වගේම මටත් අයිතියි.

ඉවාන් පවුලූෂා බ්ලොග්කරුවා ගේ ලොගෝ එකේ චේ ගුවේරා ඉන්නවා.

මගේ ටී ෂර්ට් එකතුවේ ටී ෂර්ට් තුනකම චේ ගුවේරා ඉන්නවා.

සියල්ලන් ගේ දැන ගැනීම සඳහා මෙන්න ඒ ටී කමිස තුන.




ඔය කමිස පොඩි වෙලා වගේ පේන්නේ නං අර කලින් දවසක කියපු මැදපු කමිස මොකුත් නැති කේස් එක නිසයි!

මොටෝ බයික්කක් තිබුනානම් මටත් තිබුනා ඔය ටී ෂර්ට් එකක් ඇඳන් රවුමක් යන්න. හැබැයි වෙන පාරක.

හැබැයි කවද හරි දවසක මං කොළඹ තියෙනවාය කියන චේ ගුවේරා බත් කඩේට යනව නං ඔයින් ටී ෂර්ට් එකක් ඇඳන් යන්නයි ඉන්නේ.

මට මේ වචන ටික ලියන්නට හිතතුනේ ලූප්-හෝල් බ්ලොග්කරුවා විසින් ලියන ලද මෙන්න මේ කයි-කතන්දර දෙක කියවීමෙන් පසුවයි.

1. චේ - මාර ආතල් ඕයි
2. CHE Mimics

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතන්දරය බලා කේන්තියෙන් පුපුරණ අය වෙතොත් ඒ අයට මෙන්න මගේ සරොං කලෙක්ෂන් එක ගැන කතන්දරයක්.
"වාර්ෂික තොග ගණං බැලීම නොහොත් ගෙජ්ජි සරම් (ඡායාරූප සහිතයි)"
http://kathandara.blogspot.com/2012/05/sunday-special-extra-photos-included.html

ඒ සරොං කතන්දරේ බැලුවායින් පස්සේත් තවමත් කේන්ති නං මෙන්න මේ කතන්දරේත් බලන්න.
http://kathandara.blogspot.com/2012/06/practical-solution-to-burning-issue.html

(image: )

Wednesday 9 October 2013

ගෑණු නොරිස්සූ සිරි කාලකණ්ණි පිංගුත්තරයා සමරිසි "ගේ" පොරක් ද? - Was Pinguththara gay?


පිංගුත්තර කියන්නේ ඒ කාලේ නං හොඳ පින්බර නමක් වෙන්න ඇති! නැත්තං මොන එකකට තමන් ගේ ළමයාට දෙමව්පියන් යුවලක් ඒ නම දායි ද නේද?

ඒත් අද ව්‍යවහාරයෙන් කියවා නම් පිංගුත්තර කියන්නේ මහා පව්කාර, අවාසනාවන්ත, කාලකණ්ණි මනුස්සයෙක්.

ඒ ඇයිද කියලා අහලා නැති අයට මං කෙටියෙන් කියන්නම්.

පිංගුත්තර කියන්නේ අපේ බුදු සාදු ප්‍රාග්-ඓතිහාසික ඉන්දියාවේ පණ්ඩිත් මහෝෂධ රෝල් එක කරන කාලේ හිටිය සල්ලිකාර පවුලක කොල්ලෙක්.

දෙමව්පියෝ පොරව යැව්වා අර අපි කවුරුත් අහලා තියෙන තක්‍ෂිලා නුවර ටියුටරියක් කරපු දිසාපාමොක් ඇදුරා ගාවට.

ඔය වගේම තැනකට තමයි මනමේ කුමාරයාත් ගියේ මං කලින් දවසක කිව්වා වගේ.

අනිත් කාරණය තමයි ඒ දවස්වල හිටපු මේ සෑම දිසාපාමොක් කෙනෙකුටම ඉඳලා තියෙන්නේ දුවලා විතරයි, හරියට අද කාලේ අයිටීකාර තාත්තලාට වගේ!

කොහොම හරි ඉතා කෙටියෙන් කේස් එක මෙන්න මේකයි.

පිංගුත්තර බැච් ටොප් වුණා.

දිසාපාමොක් තමන්ගේ දූව පිංගුත්තරට කසාද බන්දලා දුන්නා.

පිංගුත්තරයා බෑ කියන්න බැරි ගුරු ගෞරවය හින්දා කසාද බැන්දා මිසක් මගුල් දා රාත්‍රියේවත් කිසිම ඇඩල්ට්ස් ඔන්ලි වැඩකට සෙට් වුණේ නෑ.

අන්තිමේදී ගෙදර එක්කගෙන යනවා කියලා තක්‍ෂිලා නුවරින් මනමාලි එක්ක ඇවිල්ලා මේ පිංගුත්තරයා කෙරුවේ ගැණිව ගහකට දිඹුල් නග්ගලා, ආපහු බිමට බහින්න බැරි විදියට යටින් කටු ගහලා පොර මාරු වෙලා ගිය එකයි.

අන්තිමේදී මේ කුමාරිකාව රජ්ජුරුවන්ට අයිති වුණා! එයාට තමයි උදුම්බරා දේවී කියලා කියන්නේ.

කතන්දරේ වැඩි විස්තර එක්ක කියවන්න ඕනෑ අයට මෙන්න පන්සිය පනස් ජාතක කතා වෙබ් සයිට් එකට ලින්ක් එකක්.
http://www.jathakakatha.org/newhome/index.php?option=com_content&view=article&id=512:294---&catid=55:251-300-&Itemid=98

මේ පිංගුත්තර කේස් එක විසදපු අපේ පණ්ඩිත් මහෝෂධ එක්කෝ පොර ගේ නොදන්නා කමට නැතිනම් ඕනෑ කමෙන්ම කොලේ වහලා රජ්ජුරුවන් ෂේප් කෙරුවේ උදුම්බරා දේවිය ශ්‍රියා කාන්තාව වගේ ය, පිංගුත්තරයා කාලකණ්ණියෙක් ය කියලයි.

පණ්ඩිත් මහෝෂධ නොතේරුණු, නොදැන හිටපු, කොලේ වහපු කේස් එක තමයි මේ පිංගුත්තරකාරයා සමරිසි ගේ පොරක් වෙන්න ඇති කියන කාරණේ.

මේ බලන්න ජාතක පොතේ පිංගුත්තර ගේ මංගල රාත්‍රිය විස්තර කෙරෙන ආකාරය.
සිරිත් ලෙස ආචාර්යවරයා තමාගේ දෙවඟනක් බඳු දියණියද කැඳවා ගෙන යවයි ඔහුට පාවා දුන්නාහ. ඔහු නමින් පිංගුත්තර වුවද පින් නැත්තෙක. කාලකණ්ණිය. කුමාරිකාව මහ පිණැත්තීය. ඈ කෙරෙහි සිත නොඇළුන මානවකයා ඈ නුරුස්නේ ආචාරීන්ගේ බස් අකමැත්තෙන් ඉවසා රාත්රීකයෙහි සකස් කර දුන් මංගල යහනෙහි සැතපීහ. කුමාරිකාව අවුත් ඇඳට නැගෙන්නාහාම මානවකයා ඇඳින් බැස බිම වැදහොත්තේය. කුමාරිකාවද ඇඳින් බැස ඔහු සමීපයට ගිය විට ඔහු එතනින් නැගිට ඇඳට යන්නේය. මෙසේ ඇඳට බිමට යාමෙන් වෙහෙසට පත් කුමාරිය ඇඳෙහිම සැතපුනීය. ඒ කාලකණ්ණියා බිම වැදහොත්තේය.
මට නං මේ සීන් එක කියවන කොටම තේරුණේ පිංගුත්තර විරුද්ධ ලිංහිකයින් නොරුස්සන, සම-ලිංගික පොරක් වෙන්න ඇති කියන එකයි.

එහෙම නැත්තං පොර ඔය උඩින් තියෙන විදියට මංගල රාත්‍රිය ගත කරන්නේ වෙන අහවල් දෙයක් හින්දද?

අහන අහන සියළුම දේ දැනගෙන හිටියයි කියපු, ඕනෑම කේස් එකක් පටාස් ගාල විසඳපු, පණ්ඩිත් මහෝෂධ මේ සෝ ඔබ්වියස් සීන් එක අනාගත්තේ ඇයි කියලයි මට හිතා ගන්න බැරි!

හැබැයි ඉතිං පණ්ඩිත් මහෝෂධ ම නේද තමන්ගේ බිරිඳට ඇඟේ කැඳ ගාගෙන අව්වේ ඉන්න කියලා හිංසා කෙරුවේ?

-කතන්දරකාරයා

ප/ලි:
කරුණාකර මෙය බුද්ධාගමට අපහාස කරන කතන්දරයක් ලෙස සලකා අර එදා මට තර්ජනය කර නෝ අන්සර්ටන් ටර්ම්ස් වලින් කියූ පරිදි මගේ සෙක්ස් වීඩියෝ එක රිලීස් කරන මෙන් අදරැති තලිබාන් ඇනෝගෙන් ඉල්ලා සිටිමි.

මෙන්න ඒ තර්ජනය සහිත කමෙන්ටුව: http://kathandara.blogspot.com/2013/08/lessons-that-help-you-grow-up.html?showComment=1376703964345#c1313600029960079900

මට ඒ විඩියෝව දකින කල් ඉවසිල්ලක් නැත!

(image: http://www.lanka.info/)

Monday 7 October 2013

පොර ටෝක් දෙන කූප්‍රකට බ්ලොග්කාරයෙක් ගේ නින්දිත රහස් හෙළිවේ - Skeletons in the closet revealed, what a shame!


මෙය කිසි දිනක මා නොලියන්නට සිටි ආකාරයේ කතන්දරයකි.

ඕපාදූපවලට මගේ ඇති අකමැත්ත නිසා මෙන්ම මා වලියට බර පුද්ගලයෙක් නොවන නිසාත් ය.

ඊටත් බ්ලොග්කාරයෙක් බ්ලොග් ලෝකයෙන් පිට මොනවා කළත් මට පාන් ද?

නමුත් දැන් නම් මේ විස්තරය නොලියාම බැරිය.

කාගෙ කාගේ කිල්ලෝටවලත් හුණු ඇතිය කියා සිංහල කියමණක් ඇත. ඉංගිරිසියේ ඇති මේ හා සමාන කියමන නම් ස්කෙලෙටන්ස් ඉන් ද ක්ලොසට් හෙවත් අල්මාරියේ සඟවා ඇති ඇටසැකිලි යන්නයි.

මේ කොයි යෙදුමෙනුත් අදහස් වෙන්නේ සඟවා ගෙන ඇති නින්දාසහගත රහස් යන්නයි.

මා මේ කියන බ්ලොග්කාරයා සිංහල බ්ලොග් ලෝකයේ කූප්‍රකට පොර ටෝක් කාරයෙකි. මොහු තමන්ම පුම්බා පෙන්නන්නට හදන්නේ නම් ඉතා උසස් රසිකත්වයක් ඇති, ප්‍රබුද්ධ පොරක් ලෙසයි.

ලද අවසරයකින් මූ ගේ අල්මාරියක් අවුස්සා බැලු මට නම් පෙණුනේ මූ ගේ කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන බවයි.

මෙය නිකම්ම නිකං අල්මාරියක් නොව පොත් අල්මාරියකි.



එහි උඩින්ම අහුරා ඇත්තේ නිකං සාහිත්‍ය සම්මාන දිනපු ආකාරයේ පොත් ය. බැලු බැල්මට පේනනේ මේ බ්ලොග්කාරයා ප්‍රබුද්ධ පොත් කියවන පොරක් කියායි.



එය රුවටිල්ලක් පමණක් බව මට වැටහුනේ, මේ පොත් අල්මාරිය හොඳින් පරීක්‍ෂාකර බැලූ විටය.

මෙන්න මූ ගේ කිල්ලෝටේ තිබුණු හුණු!

මුලින්ම බොළඳ මල් කතා යැයි පෙම් කතාවලට පහර ගැසූ මොහු ගේ පොත් අතරේ තිබූ පොත් කීපයක් දෙස බලන්න. මූ ගේ රසිකත්වය ගැන කුමන කතා ද?



ඊළඟට මා දුටුවේ මෙයයි. අහෝ ඛේදයකි.



ඒ විතරක් නම් කමක් නැත. මෙන්න මා ඉන් පසු දුටු දර්ශනය. මූ බ්ලොග් එකේ කතන්දර ලියන්නට පටන් ගත්තේ මේ පොත කියවීමෙන් පසු විය යුතු යැයි මට සිතිණි.



අවසානයට මා සොයගෙන ඔබට පෙන්නවන්නට යන පොත් දෙක මූ ගේ පොත් අතර තිබුණාය යන තරම් අපහාසයක් මේ බ්ලොග්කරුවාට කිසි දිනෙක ලැබෙනු දැයි සැක සහිතයි.

මෙන්න ඒ පොත් දෙක.



ඕක්, ඕක්, ඕක්!

-කතන්දරකාරයා

ප/ලි:
ඔක්කාරය සුව වූ පසු වෙනත් කතන්දරයක් සමගින් හමුවෙමු.

(image: http://graphicriver.net/item/skeletons-in-the-closet/4427862)

Saturday 5 October 2013

ඔබේ බොස් ඔබට වඩා වයසෙන් අඩුවීම ප්‍රශ්නයක්ද? - Being bossed around all day (and loving it)...!


සාමාන්‍යයෙන් අපි වැඩකරන ඔෆීස් එකේ, වැඩපොලේ ඉන්න අපේ බොස් කියන්නේ අපිට වඩා පලපුරුද්දෙන් වැඩි කෙනෙක් නේ.

ජොබ් කරන්න පටන් ගන්නකොට නං ඉතිං ඉන්න හැම බොස් ම අපිට වැඩිය වැඩිමහලු අය වීම අනිවාර්යයි.

පස්සෙන් පහු පහු වෙන කොට නං ඉතිං, තමන්ගේ බොසා තමන්ට වඩා වයසින් අඩු කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා.

මං මුලින් ම ජොබ් එකකට ගියේ රෙදි මහන තැනක. ඒ දවස්වල මගේ වයස අවුරුදු විසිතුනයි. එතන මගේ බොස් ජර්මානුකාර නිෂ්පාදන මැවිසුරුවෙක්. පොර මං වගේ දෙගුණයක් විතර වයසයි.

දෙවෙනි ජොබ්එක 'කොඹළ' පලාතේ ලොකු කොම්පැණියක. ඒකේ මගේ බොස් තමයි කොම්පැණියේ 'ආර්ඇන්ඩී' මැනේජර්. එංගලන්තේ ගිහින් රසායන ඉංජිනේරු මැවිසුරු උපාධිය කරලා ලංකාවට ආපු පොරක්. මං වගේ එකහමාරක් විතර වයසයි.

ඊලඟට මං ගියේ ආණ්ඩුවේ වැඩපොළකට. එතැනදී තමයි මට ලැබුණේ බොසෙක් වෙනුවට බොසියක්. බොසී මට වඩා අවුරුදු අටක් විතර වැඩිමල් පේරාදෙනියේ ඉගෙන ගත්තු වදුලි ඉංජිනේරු මැවිසුරියක්.

එන්න එන්නම බොස් ගේ සහ මගේ වයස් පරතරය අඩුවෙනවා වාගෙයි පෙනුනේ.

ඒත්, එතැන ඉඳලා මේ මෑතක් වෙනතුරුම මට හිටිය බොස්ලා මට වැඩිය වයසින් සහ ඒ නිසාම පළපුරුද්දෙන් වැඩි අය.

මීට අවුරුදු හයකට කලින් මං තීරණය කළා මගේ රැකියාවේ දිශානතිය වෙනස් කරන්න. ඒ පිම්ම පැන්න ගමන් මට සෙට් වුණු බොස්කාරයා මට වැඩිය බාල පොරක්. (ඔතන "මට සෙට් වුණු බොස්" කියන කතාව ඇත්තටම වැරදියි. ඒ බොස් තමයි මාව ඉන්ටර්වීව්කරලා සේවයට බඳවා ගත්තේ).

නමුත් මෙතන තිබුණු වැදගත්ම වෙනස තමයි බොස් සහ මම ක්‍ෂේත්‍ර දෙකක වීම. මම ඇනලිස්ට්. බොසා තමයි මැනේජර්. බොසා ගේ උපාධි තාක්‍ෂණික පැත්තේ ඒවා නොවුණු නිසා, බොසා මට වඩා වයසින් සහ පලපුරුද්දෙන් අඩුවීම මට නම් කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ.

කොහොම වුණත් ඒ ජොබ් එකෙන් මං දැන් කරන ජොබ් එකට මාරුවෙලා දැන් අවුරුදු තුනකටත් වැඩියි. දැන් මගේ බොස් මට වඩා අවුරුදු දහයක් විතර වැඩිමහලු පොරක්. සිවිල් මැවිසුරුවෙක්.

මේ පරණ විස්තර මට මතක් වුනේ එක්තරා හේතුවක් නිසයි.

පහුගිය දවසක මං දන්න කියන පොරක් අඩු වයසෙන් සේවයෙන් විශ්‍රාම ගියා. පොර වැඩ කලේ ජාතික ආරක්‍ෂාව හා සම්බන්ධ සේවාවක.

එහෙම විශ්‍රාම යන්න හේතුව තමයි, පොරට වඩා සේවා කාලයෙන් අඩු කෙනෙක් පොරට වඩා ඉහල නිලයකට පත්වීමයි.

නමුත් ඕකේ තියෙන විහිළුව මේකයි.

මෙච්චර වෙලා අපි කතා කෙරුවේ දවසේ පැය අටක විතර කාලයක දී අපිව බොස්කරන අපේ බොස් ලා ගැන නේ?

ගෙදර ඉන්න අනිත් හැම පැයේ ම මට ඉන්න මගේ සදාදරණීය බොසී නම් මට වැඩිය අවුරුදු දෙකක් විතරම බාලයි.

මං හිතන්නේ අති මහත් බහුතරයක් බැඳපු මිනිස්සුන් ගේ තත්වය ඕකයි.

ඒ වයස් සීමාව නම් කවදාක්වත් වෙනස් වෙන එකක් නොවෙයි!

-කතන්දරකාරයා

(image: http://gulfnews.com/life-style/general/how-to-handle-a-female-boss-1.836352)

Thursday 3 October 2013

රේඩියෝ මූණු සහ ටැලිවිෂොන් මූණු - I am made for TV, what do you mean I am not?


ටික කාලෙකට කලින් ජැක්සන් ඇන්තනි කියලා තිබුණා ලංකාවේ එෆ්එම් නාලිකාවල ඉන්නේ චාවලයෝ ය වගේ කතාවක්.

පොර කියන්නේ රේඩියෝ ෂෝ එකක් කරන්න නම් හොඳ මුඛරිකමක්, ඒ කියන්නේ තැනට සුදුසු පරිදි කතාකරන් පුළුවන් හොඳ කටක්, තියෙන්න අවශ්‍යයි. නමුත් රේඩියෝ කරන අය හිතාගෙන ඉන්නේ චාවාලකම, ඒ කියන්නේ තැන නොතැන නොබලා ඔහේ කතා කිරීම තමයි ඒකට සුදුසුකම කියලයි.

මුඛරිකම සහ වාචාලකම කෙසේ වෙතත් රේඩියෝ සහ ටෙලිවිෂන් ෂෝ ඉදිරිපත්කරන දෙගොල්ලෝ අතරේ තියෙන වෙනස ගැන සම්බන්ධකරලා සාමාන්‍යයෙන් කියවෙන කතාවක් තමයි අපි සමහරුන්ට තියෙන්නේ රේඩියෝ මූණු ය කියන එක.

රේඩියෝ මූණූ කියන්නේ අර ශත-පහක් වගේ මූණක් තියෙනවා කියන එක නම් නොවෙයි!

රේඩියෝ මූණු තියෙන අයව වැරදිලාවත් ටෙලිවිෂොන් එකට ගන්නේ නෑ. මොකද, රේඩියෝ එකේ වගේ නොවෙයි ටෙලිවිෂන් එකේ මූණ පේනවානේ ඒක බලන දෙනෝදාහක් දෙනාට!

ලංකාවේ මුලින් තිබුණේ රේඩියෝ සිලෝන් එක විතරයි නේ. ඉතිං, රේඩියෝ ෂෝ කරන අයගේ මූණත් තහඩු ගැන ලොකු කේස් එකක් තිබුණේ නෑ මයෙ හිතේ. වේශ නිරූපකයෝ හෙවත් අංගරචකයෝ රේඩියෝ සිලෝන් එකේ පැත්ත පලාතේ යන්න නැතුව ඇති. අබේසේකර ලා, මෛත්‍රීපාල ලා, ද අල්විස් ලා, නෙල්ලම්පිටිය ලා, පීරිස් ලා තමයි රේඩියෝ සිලෝන් එක රන් කරලා තියෙන්නේ.

රූපවාහිනී සංස්ථාව දැම්මේ රේඩියෝ සිලෝන් එකට අල්ලපු වැටේ හින්දා මුලින්ම රූපවාහිනියේ ෂෝ කරන්න ගියෙත් ඒ රේඩියෝ මූණු තිබුණු අයම තමයි.

පස්සේ තමයි රූපවාහිනියේ අයිතිකාරයින්ට වැඩේ තේරුණේ!

දැන් නං රේඩියෝ මූණූ රේඩියෝවල, ටෙලිවිෂන් මූණු ටෙලිවිෂන්වල මං හිතන විදියට.

ඔය සේරම කතා මතක් වුණේ මෙන්න මේ කේස් එක හින්දයි.

මටත් තියෙන්නේ රේඩියෝ මූණක් ද මන්දා?

මොකද ගිය සුමානේ ඇතුලත රේඩියෝ ෂෝ දෙකකටම එන්න කියලා කතාකරලා ඊ-මේල් එකකුයි, කෝල් එකකුයි ආවා.

එකක් මේ බ්ලොග්කාරයෝ කරන බස් රේඩියෝවේ වැඩ සටහනකට එන්න පුළුවනිද කියාල අහලා.

අනික නං මේ ගම් සභා කේස් එකක්.

මුල් එකට යන්න නම් මගේ වැඩි කැමත්තක් නෑ, මොකද ඒක අර අවුරුදු දෙකකට විතර කලින් වැප් නිශාන්ත සහ බීටල් ඇතුලු කෂ්ටිය කරපු බ්ලොග් පිළිබඳ වැඩසටහන වගේ නොවේය මේක බ්ලොග් ලියන අයගේ දිවාකාලේ කරන රැකියාවේ තොරතුරු ගන කතාබහ කරන එකක්ය කියලා ආරංචි වුණු හින්දයි.

කතන්දරකාරයා කියන්නේ එක්තරා විදියකට නිර්මාණාත්මක චරිතයක්. ඒ චරිදය තුල කතන්දර ලියන එකා ගේ අත්දැකීම් තිබුණාට, කතන්දරකාරයායි කතන්දර ලියන එකායි ටපලවා ගන්න හොඳ නෑ!

අනිත් ගම්සභා කේස් එකට නං මං දැන් අවුරුදු පහක් තිස්සේම මාස දෙක තුනකට විතර පාරක් ගිහිල්ලා ඔය පොතක් ගැන කතන්දරයක් කියලා විනාඩි දහයක් විතර නාස්ති කරලා එනවා.

යන්නයි, එන්නයි, එතන වාත වෙන්නයි යන කාලේ එක්ක බැලුවාම, විනාඩි දහයකට එච්චර වාතවෙන්න වෙන එකත් ටිකක් අවුල් වගේ.

ඒත් ඉතිං පොතක් ගැන කතා කරන එක නං හරිම සුන්දර දෙයක්.

මෙන්න ඒ වැඩ සටහනේ මං විස්තර කතාකරපු පොත්වලින් මතකට එන කීපයක්.
අරවින්ද් අඩිගා ගේ වයිට් ටයිගර්
කාලිඩ් හොසේනි ගේ කයිට් රනර්
කාලිඩ් හොසේනි ගේ තවුසන්ඩ් ස්පෙන්ඩිඩ් සන්ස්
තිස්ස අබේසේකර ගේ මංමුලා වු සිතක සිතුවිලි
සෝමවීර සේනානායක ගේ ස්වයංචරිත කතාව
ලියනගේ අමරකීර්ති ගේ අර මිහිරි සීනු නාදය
මංජුල වෙඩිවර්ධන ගේ බත්තලංගුණ්ඩුව
ඒවා ගැන ලියපු කටුසටහන් මා ලඟ තවම ඇති. ආයේ සාහිත්‍ය මාසයක් ආවාම හරි, නැත්තං ඉඩෝරයක් ආවාම හරි ඒවා ලියලා දාන්න ඕනෑ පොත්-කතන්දර විදියට.

-කතන්දරකාරයා


(image: http://laughingsquid.com/illustrated-portrait-series-of-human-heads-as-vintage-radios/)

Tuesday 1 October 2013

දවස් තිහක අමාරුව සුවකරමින් මාසේ මාරු වුණා! - Oh, what a feeling!


අබේවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එම් එඩ්වඩ් ගයන ගීතයක එන නෑනා සහ මස්සිනා දෙබසක දී මස්සිනා මෙසේ කියයි.
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝය දා වාගෙයි ගම්මානේ
මේ ගීතයේ කොල්ලන් අතර ගැයෙන නව නිර්මානයේ ඔය පද දෙක කියවෙන්නේ මේ ආකාරයටය.
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ මාරුවීමත් නවතිනවා නේ
වැඩි දුර විස්තර සඳහා මෙන්න මේ කතන්දරයේ මුල් කොටස බලන්න.
http://kathandara.blogspot.com/2011/05/blog-post_30.html

ඔය සේරම කතා මට මතක් වුනේ ඊයේ ඉඳලා අද වෙනකොට මාසේ මාරු වීමක් සිදුවුණු හින්දයි.

ඒක තමයි කැලැන්ඩරේ 2013 සැප්තැම්බර් මාසයේ ඉඳලා ඔක්තෝබර් මාසයට මාරුවීම.

සැප්තැම්බර් මාසය ලංකාවේ සාහිත්‍ය මාසයයි. සාහිත්‍ය මාසය සමරන්න කතන්දර බ්ලොග් එක මුලින්ම 2011 සැප්තැම්බරයේ දී කයි-කතන්දරවලින් සැරසුණා. ඊළඟට 2012 සැප්තැම්බරයේත් සෑහෙන්න දුරට ඒ කර්තව්‍යය සිදුකෙරුණා.

නමුත් 2013 සැප්තැම්බරයේ කියවන්නන් ගේ ඉල්ලීම් නිසාම පොඩ්ඩක් වෙනස් අතරකට හරෝලා කයි-කතන්දර වෙනුවට පොත්-කතන්දර පලකරන්න මං තීරණය කළා.

ඉතිං සැප්පතැම්බර් මාසයේ දවසක් ඇර දවසක් වගේ පොත්-කතන්දරත්, අනෙකුත් දවස්වල සාමාන්‍ය කතන්දරත් මං කතන්දර බ්ලොගයේ පල කෙරුවා.

දවස ගානේ බ්ලොග් එක අප්ඩේට් කරනවාය කියන එක ලේසි පාසු වැඩක් නොවෙයි. සෑහෙන්න කාලයක්, ශ්‍රමයක් මේ සඳහා වැය වෙනවා.

අන්න ඒ නිසයි මේ මාසේ මාරුවීම හිතට ටිකක් සැනසිල්ලක් ගෙන දෙන්නේ.

දැන් බලමු පසුගිය දවස් තිහේ සංඛ්‍යාලේඛන දිහා.
දින තිහයි
පෝස්ට් තිහයි
අර තම්බලා ලුනු ඉහලා කන්න පුළුවන් හිට්ස් කියන ජාතිය 75,104
කතන්දර බ්ලොග් එක පටන් ගත්තු 2009 ජූලි මාසයේ ඉඳලා මේවනතුරු එක කැලැන්ඩර් මාසයකට ලැබුණු ඉහලම හිට්ස් ප්‍රමාණය තමයි ඒ.

මෙන්න මං සැප්තැම්බරයේ පලකරපු පොත්-කතන්දර ලයිස්තුව
1.    කරල් ඇහිඳින්නෝ - The first shade of September
2.    හරක් මස් නොකති හෙවත් සුද්දී ගැන මගේ අදහස් - The second shade of Spring
3.    දූරුතු සිහිනයක් කියන්නේ හීතලට පේන හීනයක් ද? - A January Dream?
4.    පාර්ලිමේන්තු මන්තිරියෙක් ගාල්ලේ ටවුමේ පයින් ඇවිදියි (පුදුමයි, ඒත් ඇත්තයි) - Fourth shade of September
5.    ගෙම්බෙකුට අයිති පොඩි කුමාරිහාමි ගෙම්බෙක් ගේ අයිතිකාරයෙක් වෙන ගාමිණී සමරකෝන් ගේ පොතක් ගැන විචාරයක් ලියයි! - Its all frog business
6.    ආනන්දෙට ඇතුලත් වීමේ විභාගයට "ඩ්රැ කියුලා ගේ මනාලියෝ" පොත ගැන රචනයක් ලියූ කොල්ලා! - Dont judge a book by its cover!
7.    ජේ.වී.පී. කාලේ ඕස්ට්රේ!ලියාවට පැන්න ජෙප්පෙක්, පොලිස්කාරයෙක්, පිම්පියෙක්, කෙල්ලෙක් (සහ කොල්ලෙක්) ගේ කතාවක් - Asura Advaiya by Jagath J Edirisinghe
8.    ටින් ටින් ටොයියා සහ සමරිසි ටින් ටින් - Is Tin Tin Gay?
9.    දන් දුන්නොත් පින් ලැබේද? (බුද්ධාගමට අපහාස කරන ලිපියක් නොවේ) - The power of giving, oh yeah!
10.   ඔහේලා පොත් කන්නේ උයලා ද? මලවලා ද? සම්බෝල හදලා ද? නැත්තං අච්චාරු දාලා ද? - In defence of the September Book fair
11.   ආහ්චර්යලන්තයේ සුදු වෑන්වලින් යන පොලිස්කාරයින්, බිළිඳුන් ජාවාරමේ යෙදෙන දුෂිත දේශපාලුවන් සහ මරා දැමෙන පුවත්පත් කලාවේදීන් ගැන - A story from "Marvel-land"
12.   සමන් දිසානායක ගේ සුරඟන කුමරිය - September book review series continues
13.   නිකං දුන්නත් මේ පොත නං නොදකින් - රෝහණ විජේවීර ප්‍රෝඩාව : Dont buy this book
14.   ජනප්‍රිය නළු අනුරාධ තම අනියම් පෙම්වතිය නිශාදි සමග සමග වාහනයේ යද්දී රිය අනතුරකට! So, what happened next?
15.   සංස්කෘතික උප ඇමති ගේ නවකතා පොතෙන් අමු අමුවේ කොපි කර කෙටිකතාවක් ලියවේ! Short story plagiarised from deputy minister's novel
16.   තාත්තලා කියවන කුණුහරුප නොහොත් sex පොත් - Books with photos of semi-naked women

සැප්තැම්බර් මාසය ඇතුලත වැඩියෙන්ම හිට් වුණු කතන්දර දහය අවරෝහණ පිළිවෙලට මෙන්න මේවායි.


ඒ ටොප් ටෙන් අතරේ පොත්-කතන්දර තුනකුත් තිබුණත් ඒවා හිට් වෙන්න හේතුව නම් සාහිත්‍යයට අදාලයි කියලා කියන්න බෑ කීයටවත්.

හැබැයි සැප්තැම්බරයේ වැඩිපුරම හිට්ස් ලැබුණු දවස් දහයේ මං පළකරපු කතන්දර දහය සලකලා බලනකොට නම් එයින් දවස් හතරකම (සැප්තැම්බර් 5, 12, 23 සහ 18) පොත්-කතන්දර තමයි පලවෙලා තියෙන්නේ.


මාසය තුල බ්ලොග් කියවන අය ගේ පැමිණීම ගැන සලකලා බලන කොට හොඳින් පේන දෙයක් තමයි සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඇති වෙනස. අපේ කෂ්ටිය ඔෆීසිවලදී බ්ලොග් කියවන්නේම නෑ වගේ නේද?

මාසයක් තුල කරපු මේ අභ්‍යාසයෙන් මං ඉගෙන ගත්තු පාඩම් කීපයක් බෙදා හදා ගන්නවා නම් මෙන්න මෙහෙමයි.

1. කවුරු මොනවා කිව්වත් පොතක් ගැන විනිශ්චය වෙන්නේ ඒකේ පිටකවරෙන්. හිට්වුණු පෝස්ට් ගැන බැලුවාම ඒක පේනවා.

2. අධිෂ්ඨාන ශක්තිය ඇති නම් සාමාන්‍යයෙන් අවශ්‍ය දෙයක් කරන්න පුළුවනි. තමන්ගේ කාලය බෙදා ගැනීම සහ ප්‍රමුඛතාවයන් තීරණය කළාම ඉතුරු ටික හිතනවාට වැඩිය ලේසියි. මං සැප්තැම්බරය තරණය කෙරුවේ එහෙමයි.

3. හිතේ සතුට තමයි ජීවිතයේ ඉතාම වැදගත් දේ. (ඒක දැනගන්න නම් බ්ලොග් එකක් කරන්න ඕනෑ නෑ!)

සාහීත්‍ය මාසයේ කතන්දර කියවූ, කමෙන්ට් කළ සැමට මගේ ස්තුතිය.

ඔක්තෝබරේ මොන මාසේ ද මන්දා? මොකක් උනත් වෑංජන් කතන්දර ටිකක් ලියන්න හිතයි!

-කතන්දරකාරයා

ප/ලි:
යලි හෙට හමුවෙමු.