Wednesday 29 June 2011

කාර් එකට බයර් කෙනෙක් - Someone wants to buy my car!


පවුල් පන්සල් වෙලා, දරු මල්ලො ලැබෙන්න යනකොට හිතෙනවා කාර් කට්ටක් ගන්න. ගත්ත වගේ නෙමේ ඊට පස්සේ කරන්න තියෙන වැඩ කන්දරාව සහ ඒ ගමන් බිමන් යන්න පෙට්‍රෝල් ගහන එක. කොරොල්ලා එකට වඩා පොඩි කාර් එකක් අරං පෙට්‍රල් පිච්චීම අඩු කරගන්න මට හිතුනත්, කාර් එක විකුණන්නේ නැතුව කොහොමද වෙන කාර් එකක් ගන්න සල්ලි.

ඔහොම ඉන්න අතරතුරේ දී තමයි මට මිස්ටර් පෙරේරා මුණ ගැහුනේ!

මේ කියන දවසේත්, සෙනසුරාදාවක් ද කොහෙද, මං නුගේගොඩ ගියා එලෝළු, කුළුබඩු ගන්න. මං සාමාන්‍යයෙන් කරන්නේ සුපර් මාකට් එක ඇතුලේ කාර් කට්ට දාලා, පයින් ගිහින් බඩු අරගෙන එනවා පොලෙන්. ඊට පස්සේ නාවල පාරේ තියෙ සතොසෙට ගිහින් ඉතුරු අඩුම කුඩුම ටික ගන්නවා.

එදා මං එලෝළු මළු අතේ කටේ එල්ලගෙන කාරෙක ලඟට එද්දී, කවුදෝ සුදු සරමක් සහ කමිසයක් ඇඳගත්තු පොරක් හිනා වී ගෙන මා ලඟට ආවා.

"සර්, මං මේ බැලුවේ සර් ගේ කාරෙක දිහා. විකුණන්නෙ හෙම අදහසක් නැද්ද සර්?"

"විකුණන්න නං අදහසක් තියෙනවා. ඇයි අහන්නේ?"

"නෑ සර්, විකුණනව නං, මං අඳුණන මහත්තයෙක් ඉන්නවා මේ ජාතියේ ම ටොයොටා එකක් හොයන."

ඒ කියනවාත් එක්කම කළු කලිසමකුයි, අත් කොට ෂර්ට් එකකුයි ඇඳපු මහත්තයෙක් එතනට ආවා.

"හලෝ අයෑම් පෙරේරා. අයි වර්ක් ඇට් සේවින්ග්ස් බෑන්ක්. ආ යූ සෙලින් දිස් කාර්?"

පොර මට අත දික් කරන ගමන් කියපි.

මාත් ඉතිං ෂේක් හෑන්ඩ් කළා.

"හලෝ, අයෑම් කතන්දර. යර්ස්, අයෑම් ප්ලෑනින් ටු සෙල් දිස් කා. බට් නොට් රයිට් නව්."

මං ඩිකියට එලෝළු බෑග් ටික දාන්න පටන් ගත්තා.

"මං කැමතියි මේ මොඩල් එකට. කීයටද විකුණන්නේ?" පොර අහපි සිංහලෙන් ම.

"දැන්ම විකුණන්නේ නෑ. වෙන කාරෙකක් හොයනවා. ඊට පස්සෙයි දෙන්නේ." මං කලින් ටිකම කිව්වා.

ඔන්න අර සුදු සරම් කාරයා ආපහු ආවා සීන් එකට.

"මහත්තයා ගානක් කියන්න එහෙනං."

"මං දන්නේ නෑ මේකෙ මේ දවස්වල මාකට් එක. කීයක් දෙනවාද ඕගොල්ලෝ?" මං ඇහුවා.

පොර කාර් එක වටේම ගිහින් අතපත ගාලා බැලුවා. මට කියලා බොනට් එක ඇරවා ගෙන, ඇන්ජිම ස්ටාර්ට් කරලා බැලුවා.

මේ සේරම වැඩ යන්නේ නුගේගොඩ සුපර්මාකට් එකේ කාර් පාර්ක් එකේ මැද!

"මෙච්චරක් දෙන්නං!"

පොර කියපු ගාන මං මාස හතරකට විතර කලින් කාර් එක ගත්තු ගාණට වඩා 10% ක් ම වැඩියි. නරක නෑ.

ඔන්න ඉතිං අපේ මිස්ටර් පෙරේරා මා එක්ක කතාවට වැටුණා.

"මිස්ට කතන්දර කොහෙද වර්ක් කරන්නේ."

"අහවල් තිප්පොලේ. එතකොට මිස්ට පෙරේරා බැංකුවේ කීවා නේද? කොයි බ්‍රාන්ච් එකේද?"

"මේ දවස්වල හෙඩ් ඔෆිස්. වැඩි කාලයක් හිටියේ දෙහිවල. මගේ නෝනා නං තාමත් දෙහිවලමයි වැඩ."

"ආ ඇත්තද, මගේ ආන්ටි ඉන්නෙත් එතනනේ!"

"මොකක්ද නම?"

පස්සේ බැලින්නං මිනිහා අපේ ඇන්ටිව ඇත්තටම හොඳට අඳුණනවා.

"හොඳයි, හොඳයි, අඳුණාගත්තු එක. එහෙනං මං කාර් එක විකුණන කාලෙට දන්වන්නං කෝ."

මං පොර ගේ ගෙදර ෆෝන් නම්බර් එකත් අරගෙනයි එදා ගෙදර ගියේ.

ඇත්තටම කියනවා නං, මට හිතුණා මේ විදියට කාර් එක විකුණන එක හොඳ ක්‍රමයක් නේද කියලා. ඇඩ්වටයිස් කරන්නේත් නැතුව, තියෙන එක විකුණලා වෙන එකක් ගන්න කං කල් මරන්නේත් නැතුව, මට කරන්න තියෙන්නේ වෙන හොඳ කාර් එකක් හම්බ වුණාම ඉස්සෙල්ලා ඒකට ඇඩ්වාන්ස් එකක් දීලා, මේ පෙරේරා කියන පොරට මගේ ටොයොටා එක විකුණලා, ඒ සල්ලි වලින් අනික ගන්නයි.

-කතන්දරකාරයා

ප/ලි:
හැබැයි ඉතිං, මං ප්ලෑන් කරන විදියට ම එහෙම සරලව වැඩ සිද්ධව වුනා නං මොකටද මේච්චර මහන්සි වෙලා මේ කතන්දරේ ලියන්නේ, නේද?

ඉතුරු හරිය මේ මෙගා එකේ එකලොස්වෙනි කොටසින්.

(image: http://www.elakiri.com/)

Monday 27 June 2011

රතු කොරොල්ලා කාර් එකක් විකිණීමට තිබේ! - A Red Corolla Car 4 Sale


ඉතිං ප්ලෑන් කරලා, ප්ලෑන් කරලා ගත්තු කාර් එකෙන් මං සේවය ගන්න කලින්, මට කාර් එකට සේවය කරන්නයි වුනේ. නමුත් සේරම අවසානයේ රතු පාට කාර් එකේ පස්ස සීට් එකේ තියන් පුංචි රෝස පාට දූ පැටියෙක් හොස්පිටිතාලෙන් ගෙදර ගෙනා හැටි නම් මට කවදාවත් අමතක නොවෙන අත්දැකීමක්. ඉන් පස්සේ නං ස්පීඩ් කරලා අහුවෙලා උසාවි ගිහින් වෙච්ච රස්තියාදුවෙන් පස්සේ බොරු කියන්නත්, දඩ කන්නත්, ලොක්-අප් එකේ වැටෙන්නත් වුණා!

පස්සෙන් පහු, ගෙදර දොරේ සාමාන්‍ය වැඩවලට හෙමත්, ඒ කියන්නේ නුගේගොඩ ගිහින් එළවලු බඩු මුට්ටු ගේන්න, දෙමව්පියන් බලන්න යන්න, මේ රතු කොරොල්ලා කාරෙක අපි පාවිච්චි කළ බව කියන්න ඕනෑ.

වැඩට යන එන එකත් ඉතිං කාර් එකේම කරන්න තිබුණා තමා. හැබැයි ඉතින් එකම ප්‍රශ්ණය වුනේ ප්‍රෙට්‍රල් ගහන එකයි. අර පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සට තිබුනේ අපේ ඇන්ටි ලා ගේ පයිප් ඩ්‍රීම්ස් වල විතරනේ!

ඒ දවස්වල මං සාමාන්‍යයෙන් ගහන්නේ ලීටර් දහයයි. එකෙන් සතියක් විතර දුවනවා. ප්‍රෙට්‍රල් නැට්ටටම හිඳුනට පස්සේ තවත් ලීටර් දහයක් ගහනවා.

කොරොල්ලා එකේ එන්ජිම 1500 සී.සී. එකක්. ඉතිං ලීටරයකින් කිලෝ මීටර් දහයක් විතරවත් වැඩ කරන්නේ නෑ කොළඹ අවට ගමන් වලදී. කොහොමටත් කොරොල්ලා කාර්වල පෙට්‍රල් පිච්චීම ටිකක් වැඩියි කියල නේ කියන්නේ.

වැඩට ගිහින් ආපහු එනවා කියන්නේ ලීටර් තුනක විතර කේස් එකක්. ඒ සල්ලිවලින් දවස් දහයක් විතර වගේ බස් එකේ වැඩට ගිහින් එන්න පුළුවන්. ඉතිං කොහොමද හිත හදා ගන්නේ කාර් එකේ යන්න.

අනික බස් එකේ යනකොට පොතක් පත්තරයක් බලන්නත් ඇහැකියි නේ!

නමුත් මං පස්සේ පුරුදු වුණා මෙන්න මෙහෙම කරන්න. ඔන්න මායි, හාමිනේයි දෙන්නා කාර් කට්ටේ ගෙදරින් පිටත් වෙනවා. මං හාමිනේ ගේ වැඩපොලේ කාර් එක දාලා, එතනින් බස් එකක එල්ලිලා මගේ වැඩපොලට යනවා.

හවස බස් එකේ ඇවිත් හාමිනේ ගේ වැඩපොලෙන් කාර් එක අරං ගෙදර එනවා. ඒ වෙන කොට හාමිනේ නං වැඩ ඇරිලා බස් එකේම ගෙදර ගොහින්.

කොහොම වුනත් ඔය පෙට්‍රල් සීන් එක හින්දා මට ඒ දවස්වල හිතිලා තිබුනේ මේ ටොයොටා එකට වඩා පුංචි කාර් එකක් ගත්ත නං හොඳයි නේද කියලා.

මගේ යාළුවෙකුට තිබුණා ඩයිහට්සු චැරේඩ් එකක්. ඒකේ පෙට්‍රල් ලීටරයට කිලෝ මීටර් පාලහක් තරමට හොඳට වැඩ කරනවා කියලයි පොර කිව්වේ. නිසාන් මාච්, ටොයොටා ස්ටාලට්, හොන්ඩා සිටි වගේ ඒවගේත් ඇන්ජින් පොඩි නිසා, පෙට්‍රල් හොඳට වැඩ කරනවාය කියලයි කාගෙ කාගෙත් අදහස වුනේ.

කරුණු එලෙස නිසා, මං ඉරිද දවස්වලට අල්ලපු ගෙදර අංකල්ගෙන් ඔබ්සර්වර් එක බලන කොට ඔය කියන මොඩල්වල වාහන ගැන ඇහැ ගහගෙන තමයි හිටියේ.

නමුත් එක ප්‍රශ්ණයක් තිබුණා.

ඉස්සෙල්ලා මේ රතු කොරොල්ලා කාරෙක විකුණන්න ඕනෑ. ඒ සල්ලි වලින් තමයි මීට වඩා පෙට්‍රල් වැඩ කරන කාරෙකක් ගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඉතිං ඒකට සති ගාණක් යාවි. කොරොල්ලා එක හොයාගන්නත් මාසයක් විතර ගියා නේ.

ඉතිං, මේක විකුණලා වෙන කාර් එකක් ගන්නවා කියන්නේ මාසයක් විතර නෝ-කාර් කොම්පැණියේ තමයි පදින්න වෙන්නේ! අනික කාර් එකක් නැතුව, තව කාර් එකක් හොයාගන්න එහෙ මෙහෙ දුවන එකත් ලේසි වැඩක් නෙමේ.

මේකත් හරියට "විෂම චක්‍රයක්" වගේ එකක් හිතලා බලන කොට.

ඉතිං ඔය කාරණය හින්දාම මං වැඩේ පොඩ්ඩක් බැක්බර්නර් එකට දාලා, දැහැමෙන් සෙමෙන්, අරපිරිමැස්මෙන් කටයුතු කරගෙන යන්න පටන්ගත්තා.

-කතන්දරකාරයා

ප/ලි:
ඔහොම කාලයක් ගියාට පස්සේ තමයි මට නුගේගොඩ සුපර් මාකට් එක ලඟදී මිස්ටර් පෙරේරා මුණ ගැහුනේ!

(image: http://www.countrycars.com.au/centralvictoria/car-dealer/EPSOM)

Sunday 26 June 2011

කැසට් මුදලාලි ලා මාව රවට්ටලා මගේ කට හඬට නව රිද්ම සංගීතය දැම්මා :: රෝහණ බැද්දගේ සමග කතන්දරකාරයා පිලිසඳරක - Interview with Rohana Beddage


නෙම් ඩ්‍රොපින් ගැන කියා මා දැමූ සරච්චන්ද්‍ර, කාලෝ සහ ජයලත් මනෝරත්න ගැන කතන්දරය මතකද?

අදත් සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක යටතේ පලවෙන්නේ ඒ වගේ නේම් ඩ්‍රොපින් කතන්දරයක්. ඇත්තටම මේක කතන්දරකාරයා මීට වසර කිහිපයකට උඩ 2007 දී රෝහණ බැද්දගේ සමග කල සාකච්ඡාවක්.

කියවලා බලන්න. මේකේ භාෂා විලාසය වෙනස් සඟරාවක පලකරපු එකක් නිසායි.

කතන්දරකාරයා: ඔබේ ගම හොරණ ප්‍රදේශයේ බව අප අසා තියෙනවා

බැද්දගේ: මගේ ගම හොරණ, පාදුක්ක පාරේ උඩුව ප්‍රදේශයයි. මා මුලින්ම ගමේ පාසැලෙන් අධ්‍යාපනය ලැබුවා. ඉන් පසුව හොරණ තක්ෂිලා විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඉන් පස්සෙ හේවුඞ් කලායතනය ට බැදුනා. එහි ඉගෙනීමෙන් පසුව මම ගුරු වෘත්තිය ට අවතීර්ණ වුනා. මම වෘත්තියෙන් නැටුම් ශිල්පියෙක්. උඩරට නැටුම් කලාව තමයි ඉගැන්නුවේ.

කතන්දරකාරයා: අපි නම් ඔබ ගැන මුලින්ම ඇහැව්වෙ "මගෙ රත්තරං හෙලේනා" කියන ගීතයෙන් ගායකයෙක් විදිහට යි.

බැද්දගේ: ඇත්තටම සංගීතය සහ ගායනය මම මගේ වෘත්තියට අමතරව කළ දෙයක්. ඒ ගීතය මම 1968 දී පමණ ලියා ගායනය කළා එවකට මකුලොළුව මහත්තයා මෙහෙයවපු වැඩසටහනක දී. රත්තරං හෙලේනා ගීතයේ “කව්ද?” කියන කොටස කිව්වේ එම වැඩසටහනට සහභාගී වුනු ටී. එම්. ජයරත්න මහත්මයා යි. ගීතය පටිගත කළේ නම් කලකට පසුව 1974 දී. සංගීත පර්යේෂණ අංශයේ සඳැල්ල වැඩසටහන වෙනුවෙන්.

කතන්දරකාරයා: එතකොට බන්දුල විජේවීර සමග ඔබ ගායනා කළ ඉතාමත් ජනප්රිය වුනු මාමයි බෑනයි ගීත?

බැද්දගේ: ඒ ඊට දශකයක ට පමණ පස්සේ 1982 දී විතර. ගීත ක්‍ෂේත්‍රයට පිවිසුනත්, මා 1986 වන තුරු පාසැල් වල නැටුම් ගුරුවරයෙක් විදියට සේවය කළා. ඉන් පසු සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ජන සංගීතය ඉගැන්වීමට පටන් ගත්තා.

කතන්දරකාරයා: ඔබේ නාට්‍ය රංගන පිලිබඳව කතා කළොත්?

බැද්දගේ: මා මුලින්ම 1974 දී දයානන්ද ගුණවර්ධන ගේ ගජමන් පුවත නාට්‍යයට සම්බන්ධ වුනා. ඉන් පසු ඔහුගේ ම ජසයා සහ ලෙංචිනා, මධුර ජවනිකා, ආනන්ද ජවනිකා යන නාට්‍ය වල සංගීතය සහ නැටුම් අධ්‍යක්‍ෂණය කළා. ජයලත් මනෝරත්න ගේ අන්දරේලා ඇතුළු නාට්‍ය කිහිපයකට ම සංගීතය නිර්මානය කළා. මුලින්ම ටෙලි නාට්‍යක රඟපෑවේ පලිඟු මැණිකේ නාට්‍යයේ 1982 දී.

කතන්දරකාරයා: මේ දිනවල මොනවගේ කලා කටයුතු වලද නිරත වෙලා ඉන්නේ?

බැද්දගේ: මේ දවස්වල (අප්රියෙල්) නම් කිසිම විවේකයක් නැහැ. අවුරුදු ලංවෙන කොට හැම මාධ්‍යයට ම කොහා මතක් වෙනව වගේ රෝහණ බැද්දගේ ව මතක් වෙනවා. රූපවාහිනී වැඩ සටහන් එක දිගටම යෙදී තියෙනවා.

කතන්දරකාරයා: මාමයි බෑනයි ගීත එකතුවට අමතරව වෙනත් කැසට් පට, සංයුක්ත තැටි හෙම නිෂ්පාදනය කරල තියෙනවද?

බැද්දගේ: මේ දිනවල මගේ පැරණි ගීත නැවත පටිගත කරන ව්‍යාපෘතියක් අරඹලයි තියෙන්නේ. මම තැටි දෙකක් පසුගිය කාලයේ කළා ඒ සන්ෆලවර් වගේ සංගීත කණ්ඩායම් එක්ක. නමුත් ඒව මගේ සංගීත ආරයට ගැලපෙන ඒව නෙවේ.

කතන්දරකාරයා: හුඟ දෙනෙක් ඔය නව රිද්ම වැඬේ කළා නේද? ඒව නම් හොඳ නිර්මාණ වුනේ නැහැ කියලයි මට හිතෙන්නේ.

බැද්දගේ: ඇත්තටම වෙළද ව්‍යාපාරිකයෝ යි ඕව කරන්නේ. ඒ අය මා එක්ක බෙර හෙම ගහල ගීත ගායනා කරල අවසාන වුනාට පස්සේ, පසුබිම් සංගීතය වෙනස් කරනවා බටහිර නාද වලට.

කතන්දරකාරයා: ඉතිං ඒක හරි අපරාධයක් නේ. කැමැත්ත නොදී එහෙම කරන්නේ කොහොමද?

බැද්දගේ: මගෙන් කළ ඉල්ලීමට යි මම කැමති වුනේ මගේ ගීත වලට හානියක් නොකරන වාචික පොරොන්දුව මත. නමුත් එහෙම වගන්තියක් ලිඛිත ගිවිසුම් වල නැති නිසා මට ක්‍රියාත්මක වෙන්න බැරි වුනා.

කතන්දරකාරයා: සන්ෆලවර්ස් ල එක්ක ගී ගයපු ගුණදාස කපුගේ නම් ඒ ගැන විමසූ වෙලාවෙ කිව්වෙ මුදල් අවශ්‍ය නිසා එලෙස ගී කිව්වාය කියලයි.

බැද්දගේ: ඔව් මුදලූත් වැදගත් තමයි. නමුත් ආයෙ නම් එහෙම දේවල් කරන්න මගේ අදහසක් නැහැ.

කතන්දරකාරයා: අපි දන්නවා විශාරද දයාරත්න සහ මහාචාර්ය රණතුංග ගායක යුවලත් ඔවුන් ගේ ගීත රැප් කිරීමක් කළා. මේ පිලිබඳ ඔබේ අදහස මොකක්ද?

බැද්දගේ: ඒ අයගේ අදහස තමයි අළුත් වන ලෝකයට ගැලපෙන පරිදි අප වෙනස් විය යුතුයි යන්න. මම විශ්වාස කරන විදියට නම් අපේ ගීත රස විඳින්න රැප් කරන්න අවශ්‍ය නැහැ. මේක වානිජ බලපෑම් නිසා, වෙළෙන්දන් ගේ කැමැත්ත අනුව ඇතිවෙන දෙයක්. ඔවුන් හිතනවා එලෙස කළ විට වැඩියෙන් මුදල් හම්බ කළ හැකිවේවි කියා. අද ලංකාවේ සංගීතය මුලින්ම ත්‍රී රෝද රථ සහ පෞද්ගලික බස් රථ රියදුරන්ගේත්, රසඥතාවය අනුවයි සිදුවෙන්නේ. සමහර විට මේ ඉදිරියේ අප අසරණ වෙනවා.

කතන්දරකාරයා: පසුගිය කාලේ ලංකාවේ මහත් ආන්දෝලනයකට කල් වුනු සිද්ධියක් තමා මේ එෆ්. එම්. නාලිකා වල පාවිච්චි කරන සිංහල භාෂාවේ පරිහානිය. හැබැයි මෙතනදී කෙනෙකුට තර්ක කරන්න පුළුවන් භාෂාව, සංගීතය වැනි දේ කාලයත් සමග ක්‍රමක්‍රමයෙන් වෙනස් වී යා යුතුයි, එසේ නොවුන හොත් ඒවායේ කිසිම දියුණුවක් වෙන්නෙ නෑ කියා. මේ පිලිබඳව ඔබේ අදහස?

බැද්දගේ: ඔව් සංස්කෘතියක් එලෙස වෙනස් වෙමින් යා යුතුයි තමා. ඒ වුනත් අපිට ජාතියක් වශයෙන් අනන්‍යතාවයක් අවශ්‍යයි.එය රැක ගත යුතුයි. අපි මේ ගැන සැලකිලිමත් වුනේ නැතිනම් අප ඉතා ඉක්මනින්ම සංකර ජාතියක් වේවි. බස රැකුනොත් තමා ජාතියක් රැකෙන්නේ. භාෂාව විකෘති කිරීම මහා අපරාදයක්.

කතන්දරකාරයා: දැන් සිංහල භාෂාවට, දෙමල භාෂාවෙන් වචන විශාල සංඛ්‍යාවක් එකතු වෙලා තියෙනවා. අපි සිංහල සංගීතයක් ගැන කතා කළත්, එයට හින්දුස්ථානි රාගධාරී සංගීතයේ බලපෑම ඉතා විශාලයි. එහෙම නම් පෙරදිග සංගීතයෙන්, භාෂා වලින් අපේ සංගීතයට, අපේ භාෂාවට ඇතිවන බලපෑම ට වඩා වැඩියෙන් අපරදිග සංගීතයෙන්, ඉංගිරිසි භාෂාවෙන් වෙන බලපෑම අපිට වැඩියෙන් දැනෙනවා වගේ නේද?

බැද්දගේ: ඔව්, ඉන්දියානු සංගීතය දැන් වසර සීයක් තිස්සේ අපේ රටේ ජන ජීවිතයට හොඳින් මුසු වෙලා. අපිට තවමත් සංගීතය පිලිබඳව ඥාණය ලාබාගන්නට පුළුවන වන්නේ භාරතීය සංගීතය හැදැරීමෙන් තමා. ජන සංගීතය එලෙස ශාස්ත්‍රීයව තවමත් ඉගැන්වෙන එකක් නෙමෙයි. නමුත් පර්යේෂණ මගින් අපේ ස්වර මාධ්‍යය හඳුනා ගෙන අපේ ජන සංගීතය සඳහාත් ශාස්ත්‍රීය පදනමක් ගොඩ නගන්නට හැකි වේවි. දැන් අපේ රටේ තරමක උනන්දුවක් තියෙනවා ජන සංගීතය මානව වංශ සංගීතය (එත්නො මියුසිකොලොජි) යන පුළුල් විෂයය යටතේ අධ්‍යයනය කරන්න. මෙය දැනට ඇමෙරිකාව වැනි රටවල කෙරෙන දෙයක්.

කතන්දරකාරයා: එතකොට ලංකාවේ සෞන්දර්ය විශ්ව විද්‍යාලය වැනි තැන්වල මේ ගැන පර්යේෂණ කෙරෙනවාද?

බැද්දගේ: මම මේ ගැන තරමක වැඩ කොටසක් පටන් අරගෙන තියෙනවා. දැනට පලවී ඇති ග්‍රන්ථ පරිශීලනය කරමින්, සිංහල ජන සංගීතය ගැන නිබන්ධනයක් සම්පාදනය කරන්නට පටන් අරගෙන තියෙනවා. මම මීට පෙර සිංහල සංගීත ශෛලිය නමින් ග්‍රන්ථයක් ප්‍රකාශ කරල තියෙනවා. එය සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් දෙවන වරටත් මුද්‍රණය කළා පසුගිය දිනවල.

කතන්දරකාරයා: ඔබ ගැයූ "රාජා ඕ මංගලියා" ගීතයේ තාලය සහ සංගීතය කොයි ආකාරයෙන් ද වර්ග කරන්න පුළුවන්?

බැද්දගේ: ඒ ගීතයේ වැදි ගී තාල මූලාශ්‍රයක් තියෙනවා. එය මා දියුණු කරලා යි නිර්මාණයක් ලෙස එලි දැක්වූයේ.

කතන්දරකාරයා: එතකොට ඉදිරි කාලෙදි මොන වගේ වැඩ කරන්නද බලාපොරොත්තු වෙන්නේ?

බැද්දගේ: එත්නො මියුසිකොලොජි ගැන පර්යේෂණාත්මක ග්‍රන්ථයක්, අපේ ජන සංගීතයේ මූලාශ්‍ර එකතුවකුත් සමග ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ වයස අවුරුදු 71 ක් වෙනවා. (මේ සාකච්ඡාව 2007 වසරේ දී කරන ලද්දකි.) මම සෞන්දර්ය විශ්ව විද්යාුලයේ බාහිර කතිකාචාර්ය තනතුරෙන් ඉවත්වෙලා සිංහල ජන සංගීතය පදනම් කරගත් සංගීත කණ්ඩායමක් ගොඩ නගන්න අදහස් කරනවා. මම හිතන විදියට අද කාලයේ අවශ්‍යතතාවයක් මේ පිටින් එන රැල්ලට මුහුණ දීම සඳහා අපේම දේවල් ඉදිරියට ගැනීම. මෙය ඇත්තටම අද වාතාවරණය අනුව උඩුගම් බලා යනවා වගේ වැඩක්. අද මාධ්‍ය වලින් මේ ජන සංගීතය වැනි අංශ වලට කිසිම අනුග්‍රහයක් නැහැ. ඔවුන් මුදල් පසුපසම ලුහුබඳින නිසා. කලාව දියුණු කිරීම ඔවුන් ගේ පරමාර්ථයක් නොවෙයි. මේ අතර සංස්කෟතික දෙපාර්තමේන්තුවේ ජන සංගීත අනු මණ්ඩලයේ සභාපති හැටියට මාව පත්කරල තියෙනවා. දෙපාර්තමේන්තුවේ සහයෝගය මගේ වැඩ පිලිවෙල ට ලබා දෙන බවට දැනට පොරොන්දු වී තියෙනවා.

කතන්දරකාරයා: ගුරුවරයෙකු ලෙසත් කතිකාචාර්ය වරයෙකු ලෙසත් වැඩ කල ඔබට ගෝලයින් සිය ගනනක් ඇති. ඒ අතරින් ඔබ ජන සංගීත ක්‍ෂේත්‍රයේ කරන වැඩ කොටස ඉදිරියට කරගෙන යන්න හැකි ගෝලයෙක් හෝ ගෝල පිරිසක් ඉන්නවද?

බැද්දගේ: ඔව්, ඇත්තටම විශ්ව විද්යා ලයේ දැනට ජන සංගීතය උගන්වන පස් දෙනෙක් පමණ ඉන්නවා. ඔවුන් සියළු දෙනාම මගෙන් ඉගෙන ගත් අය. මගේ ගෝලයෝ යැයි සලකන්න පුළුවන්. ඔවුන් ජන සංගීතය පිලිබඳව දරන්නේ මා දරණ මතයමයි. හැබැයි, ප්‍රායෝගිකව මං වාගේ ගායනා කරන කෙනෙක්, තවත් රෝහණ බැද්දගේ කෙනෙක්, හදන එක නම් අමාරු වැඩක්.

කතන්දරකාරයා: අප දන්නවා කලාකරුවන් සමහරු දේශපාලනයට සම්බන්ධ වෙන ප්‍රවනතාවයක් සාමාන්‍යයෙන් තියෙනවා. ඔබ කිසියම් ආකාරයක දේශපානයක නිරත වෙනවාද?

බැද්දගේ: නැහැ. මම කිසිම දේශපානලයක නිරත වෙන්නේ නැහැ. කිසිම පක්ෂයකට සම්බන්ධත් නැහැ. එහෙම නොකළේ මට කලාකරුවෙකු වශයෙන් ස්වාධීනව මගේ මතය ඉදිරිපත් කරන්නට, ඒ වෙනුවෙන් කතා කරන්නට අවශ්‍ය නිසයි. කලාකරුවන් දේශපාලනයෙන් ඈත් වෙන තරමට හොඳයි කියායි මා හිතන්නේ. දේශපාලනයට සම්බන්ධවුනොත් ගැත්තෙක් වෙන්න සිදු වෙනවා. එවිට කලාකරුවාගේ පෞරුෂය නැති වෙනවා.

කතන්දරකාරයා: අහන්නත් සංතෝශයි. ඒක ඉතාමත්ම වැදගත් ප්‍රකාශයක්. ඒ කියන්නේ ඔබ අදීන කලාකරුවෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්?

බැද්දගේ: ඔව්, කිසිම කෙනෙකුට ගැතිවෙන්න මම කැමති නැහැ. මම දෙපයින් නැගී සිටින කෙනෙක්.


මේ සාකච්ඡාව කලේ 2007 දී බව නැවත අවධාරණය කරමි.

-කතන්දරකාරයා

ප/ලි:
ඔන්න මං කාලෙකට ඉස්සර පස්තාච්චි වැඩකට රට ගිහින් එන වෙලාවේ මං කටුණායක ඩියුටි ෆ්‍රී එකෙන් ගත්තේ ඥාති පුතෙකුට පොඩි යමහා කී බෝඩ් එකක් විතරයි.

කඩේ පොර කතා කළා මගේ පාස්පෝට් එකට ගන්න ටීවී එකක් ද, ඒසී එකක් ද කොහෙද. මට ගාණක් දෙන්නම් කිව්වා.

මං ජොලියට වගේ කීයක්ද කියලා අහලා බැලින්නම් අයියෝ පොර දෙන්න යන්නේ මේ ඩොලර් පණහක්.

මං පොරට කිව්වා ඒ ගානට මෙව්වර අධීන මාව විකුණන්නේ නෑ කියලා.

තමන් ගේ නියමිත මිළ එනතුරු අපි කවුරුත් එහෙම තමයි!

(image: tvlanka.com)

Friday 24 June 2011

උසාවියේ දී බොරු කියූ කතන්දරකාරයා කූඩුවේ වැටේ! Liar Kathandara locked up in courts


කාර් කට්ටක් ගන්න තිබුණු මගේ සුළු ධනේශ්වර සිහිනය ඉවරවෙන්න යන්නේ හිර කූඩුවෙන්. ඒ උද්වේගකර, දුක්බර, ශෝකජනක කතන්දර කෑල්ල අද ඔබ හමුවට.

අරගත්තු අළුත, හැප්පිලා, රෙපයාර් කරන්න වැඩ අරගෙන, බබා ව ගෙදර ගෙනල්ලා, දඩ කොල ගෙවන්න අමතක වෙලා උසාවි එන්න වුණු වෙලාවේ යාන්තං කාක්කන් ගෙන් බේරිලා ඉන්න අල්ල පනල්ලේ, මගේ කේස් එක ඉක්මනට උසාවියට දාලා දුන්නු ට්‍රැෆික් ඕඅයිසී එක්ක කතාකරන කොට, මට තේරුණා මුං වැරදි කාර් නොම්බරයක් තමයි නඩුවට දාලා තියෙන්නේ කියලා.

මගේ අයි නෝ ද ලෝ තියරියට අනුව මේ කේස් එක විසි කරන්න ඕනෑ වැරදියට ෆයිල් කරපු නිසා!

හැබැයි මංතුමා ලෝයර් කෙනෙක් නැතුව ඔය නීති තර්ක ගේන්න ගිහින් වැඩේ දෙල් වෙයිද කියලා හිතට ආපු සැකේ මහා දරුණුයි, නඩුව විසිවෙයි කියලා ලොජිකලි හිතුණු එකට වඩා.

කොහොමටත් ආපහු කාක්කෙක් ගාවට යන්න නං මට හිතුනේ ම නෑ.

උදේට හරියට කාලා හිටියේත් නැති මං, දවල් ට තියා තේකක්වත් නැතුව උසාවි සාවියේ දෙගිඩියාවෙන් ලත වෙවී ඔහොම හිටියා කියමුකෝ හවස තුනත් පහු වෙනකංම.

ඔන්න එතකොට තමයි මගේ නඩුව අඬ ගැහැව්වේ.

මං ඉස්සරහට ගිහින් විත්තිකරු ඉන්න කොටුවේ හිට ගත්තා.

ෂහ්, මං මගේ හොඳම කළු කලිසමයි, නිල් ඉරි ෂර්ට් එකයි, තායිලන්තෙන් ගත්තු රතු සිල්ක් ටයි එකයි දාගෙන විත්තිකාර කූඩුවේ ඉන්න ෆොටෝ එකක් ගන්න විදියක් තිබුනේ නෑ නේ!(*)

"අංක XX ශ්‍රී 4954 දරණ මෝටර් රථය අධික වේගයෙන් පැදවීම ගැන වරදකරුද? නිවරදකරුද?"

ඇත්තටම කියනවා නං කට වැරදිලා මට නිවරදකරු කියලා කියවෙන්නම ගියා.

නමුත් හොර බොරු නොකරන මං එදා උසාවියේ දී බොරුවක් කිව්වා!

"වැරදිකරු!"

නඩුකාරයා මොනවද මිමුණුවා.

"රුපියල් පන්සීයක් දඩ!" තෝල්කයා කෑ ගැහැව්වා. දැම්මා ෆයිල් එක පැත්තකට. අනිත් ෆයිල් එක අතට ගත්තා.

මට තේරුණා නඩුව ඉවරයි කියලා.

මං එතනින් අයින් වෙලා පර්ස් එක අරගෙන පන්සීයක් ඇද්දා ගෙවන්න.

මෙන්න බොලේ එතකොටම එතන හිටිය පොලිස් මහත්තැන් වගේ කෙනෙක් ඇවිත් මාට කියපි:

"කරුණාකරල යන්න අර කූඩුවට" කියල.

මේක තමයි උසාවියේ වරදකාරයින් දාන කූඩුව.

දැන් ඉතිං මං නීතිය ඉදිරියේ වරද පිළිගත්තු, දඬුවම් ලබපු වරදකාරයෙක් නේ. මට හිමි තැන කූඩුවයි!

"නෑ, මට දඩයක් නේ ගැහැව්වවේ, මං ඒක ගෙවන්නම්!" මං කිව්වා.

"ඔව්, ගෙවන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා නඩු තීන්දුව පොතේ ලියලා, ඒකට නඩුකාරයා අත්සන් කරන්න ඕනෑ. ඊට පස්සේ තමයි දඩේ ගෙවන්න පුළුවන්".

අනේ ඉතිං ජීවිතේ පළමු වතාවට කතන්දරකාරයා උසාවියේ ලොක් අප් එකට වැටුණා.

අපරාදේ! කළු කලිසමයි, නිල් ඉරි ෂර්ට් එකයි, රතු ටයි එකයි දාගෙන හිර කූඩුවේ ඉන්න ෆොටෝ එකක් ගන්න විදියක් තිබුනේ නෑ නේ! (*)

කොහොම හරි, ඔය විදියට පැය භාගයක් විතර ගියාට පස්සේ යාන්තං පන්සීයේ දඩේ ගෙවලා නැවතත් නිදහස් මිනිහෙක් වෙන්න මට වරම් ලැබුණා.

උසාවියේ බොරු කියපු කතන්දරකාරයා ලොක් අප් එකේ වැටුනේ අන්න එහෙමයි!

-කතන්දරකාරයා

ප/ලි:
දැන් නං මේ කාර් වැඩේ මට ඇති වේගෙන එනවා.

ඇත්තටම කාර් එකක් නැති කාලේ කොච්චර ජොලියේ හිටියද, බස්වල හිර වෙලා ගියත්. අනික, කාර් එක තිබුණා කියලත් හිතුමතේ ගමන් යන්න පුළුවනි යෑ, පෙට්‍රල් ගහන්නත් ඕනැනේ.

"වෙලාවකට විකුණලා දාන්නත් හිතෙනවා මේ වෙඩිම!"

ඒ එදා රාත්‍රියේ මං හාමිනේ ට කිව්වේ එහෙමයි.

ප/ප/ලි:
කළු කලිසමයි, නිල් ඉරි ෂර්ට් එකයි, තායිලන්තෙන් ගත්තු රතු සිල්ක් ටයි එකයි දාගෙන හිර කූඩුවේ ඉන්න වෙලේ ෆොටෝ එකක් ගන්න බැරි වුණාය කියා මං දුක් වෙනවා අහං ඉන්න බැරුව විදෙස් සිත්තරෙක් විසින් ඔය උඩින්ම දාලා තියෙන සිත්තරේ මට එව්වා පැය කිහිපයක් ඇතුලත.

ඒ විදෙස් සිත්තරාට මගේ හිතාදර ස්තුතිය!

(image: විදෙස් සිත්තරා ගේ අඩවිය)

Wednesday 22 June 2011

කතන්දරකාරයා ගේ "අයි නෝ ද ලෝ" - I know the law!!!


කාර් කට්ටක් ගන්න තිබුණු මගේ සුළු ධනේශ්වර සිහිනය සැබෑ කරගත්තත් ඒක අන්තිමේ දී නතර වුනේ හිර කූඩුවෙන්...!!!

මේ කියාගෙන යන්නේ ඒ මෙගා සීරීස් එකයි.

මැටනිටි ලීව් හිටි කතන්දර හාමිනේව පඩි ගන්න එක්කගෙන යන වෙලේ ස්පීඩ් කරල වැදුණු දඩ කොලේ උසාවිය දක්වාම ගියා. උසාවියේ දී හම්බ වුණු ලෝයර් කාක්කන්ගෙන් මුලින් පාර බේරිලා ඇතුලට ගිහින් නඩු අහනව බලන් හිටියත්, දෙවෙනි පාරටත් මෙන්න බොලේ මුං දෙන්නෙක් මාව වටකර ගත්තා.

"සෝ, ආ යූ ගොයින් ටු ඇපියර් විතවුට් අ ලෝයර්?" (උඹ නඩුවට ඉන්නේ ලෝයර් කෙනෙක් නැතුවද)

"යර්ස්, අයෑම් ගොයින් ටු ප්ලීඩ් ගිල්ටි ෆෝ ද චාජස් එනි වේ. අයි තින්ක් අයි කැන් ඩූ ඉට් මයි සෙල්ෆ්!" (මං කොහොමටත් වරද පිළිගන්න නේ යන්නේ, ඕක මටම කරගන්න පුළුවන්)

"යූ නෝ, දිස් ජජ් ඉස් අ වෙරි ටෆ් ජජ්. හී මයිට් ෆයින් යූ ඊවන් තවුසන්ඩ් ෆයිව් හන්ඩ්රඩ්. යූ ආ ඉන් සේෆ් හෑන්ඩ්ස් විත් වන් ඔෆ් අස් ඇපියරින් ෆෝ යූ." (දන්නවද, මේ නඩුකාරයා හරිම තදින් ඉන්න කෙනෙක්. උඹට රුපියල් එක්දාස් පන්සීයක් වුණත් දඩ ගහන්න ඉඩ තියෙනවා. අපි එක්කෙනෙක් පෙනී හිටියොත් කෝකටත් හොඳයි)

මුං දෙන්නා කියන්නේ ඇත්ත. ඔය නීති කියන ඒවා මහා අවුල් වියවුල් සහිතව, ලූප් හෝල් හෙම දාලා, හංගලා හදලා තියෙන්නේ, මේ ලෝයර්ස් ට ජොබ් හදල දෙන්නනේ. සාමාන්‍ය පුද්ගලයින්ට තියෙන හොඳම වැඩේ තමයි, නීතීඥයෙක් මගින් උසාවියේ දී තමන්ව නියෝජනය කරන එක!

සාමාන්‍ය පුද්ගලයින් ට එහෙම තමයි. හික්ස්...!!!

මං කලේ මුං දෙන්නව බ්‍රෂ් ඕෆ් කරල ආයෙත් උසාවිය ඇතුලට යන එකයි.

ඔන්න ඔය වෙලාවේ තමයි මං දැක්කේ අපේ ට්‍රැෆික් බ්‍රාන්ච් ඕ.අයී.සී මහත්තයා ඉන්නවා උසාවියේ ඉස්සරහ. තාම නඩුකාරය ආපහු ඇවිත් නෑ. වෙලාව දොළහටත් ලඟයි. ඉතිං මං ගියා ඕ.අයි.සී. ට පොඩි චැටක් දාන්න.

"කීයටද මගේ කේස් එක?"

"මහත්තයා ගේ එක තියෙන්නේ අපේ ලයිස්තුවේ උඩින්මයි. හැබැයි තව පැයක්වත් යාවි."

පොර මට පෙන්නුවා ලොකු කොළයක් චාජස් ලියල තියෙන.

නම: කතන්දර කාරයා
චෝදනාව: අංක XX ශ්‍රී 4954 දරණ මෝටර් රථය අධික වේගයෙන් පැදවීම

මට ටක්ගාල නෝට් වුණා අප්සෙට් එක.

"මේ මගේ කාරෙකේ නම්බර් එක නෙමේ නේ! මගේ එක 4945 නේ!"

"ආ, ඇත්තද? එහෙනං අපිට වැරදිලා!"

"ඉතිං?"

"දැන් කරන්න දෙයක් නෑ. මේක උසාවියේ ලයිස්තුවට දාලත් ඉවරයි. මං කියන්නං, මහත්තයා සද්ද නැතුව වරද පිළිගන්න. ඕක දැන් මෙතන ඇදලා වැඩක් නෑනේ?"

"හොඳයි, හොඳයි!"

මං ආපහු බංකුවෙන් ගිහින් වාඩි වුණා. නඩු අහන්නත් පටන් ගත්තා. හැබැයි දැන් මගේ කල්පනාව වෙන අතක.

මට ඔන්නං පුළුවන් මේ දාල තියෙන චෝදනාවට නිවරදකරු කියල කියන්න. ඒ එක්කම නිවරදකරු කියල ඔප්පු කරන්න. මොකද ඔය කියන 4954 වාහනේ මං එළවනව තියා ඇස් දෙකටවත් දැකල නැති හින්දා!

නඩුව ෆයිල් කරල තියෙනවා වැරදි හින්දා නඩුව විසි කරල මාව නිදහස් කරන්න වෙනවා!

කොහොමද මගේ ටිකිරි මොළේ?

නමුත් මේ කේස් එක මට තනියම හැන්ඩල් කරන්න පුළුවන් වෙයිද? අර ලෝයර් කොල්ලෙක්ව ගත්තනං හොඳ වගේද?

-කතන්දරකාරයා

ප/ලි:
ටිකිරි මොළේ කෙසේ වෙතත් මං අන්තිමට කූඩුවේ වැටිලයි නතර වුනේ.

ඒ උද්වේගකර, දුක්බර, ශෝකජනක කතන්දර කෑල්ල මේ මෙගා එකේ ඊලඟ එපිසෝඩ් එකෙන් (උසාවියේ දී බොරු කියූ කතන්දරකාරයා කූඩුවේ වැටේ!) බලාපොරොත්තු වෙන්න.

(image: http://www.simpsonstrivia.com.ar/)

Monday 20 June 2011

හපොයි මදෑ කාර් එකක් ගත්තා-උසාවියක ගෙවුණු දවසක් - A day at the traffic courts


මෙතෙක් කතාව ඔහෙලා දන්නවා නොවැ?

පෙරුම් පුරල ගත්තු රතු කොරොල්ල එකේ රෙපයාර් ටික යාන්තමට ඉවර කරගත්තු ගමන් වගේ කතන්දර හාමිනේ රෝස බබෙක් ගෙදර ගෙනල්ල මැටනිටි නිවාඩු පිට හිටිය කාලේ, හාමිනේව පඩි ගන්න වැඩපොළට එක්කගෙන යන වෙලාවක ස්පීඩ් කළාය කියල පොලිසියෙන් මට දුන්නු දඩ කොලේ වෙලාවට ගෙවන්න මට අතපසු වුණු නිසා මට නඩුවක් වැටුණා.

නඩු දවසේ උසාවියට ගිය වෙලේ මා වෙනුවෙන් පෙනී ඉඳල මගේ දඩේ ගාන අඩු කරල දෙන්න පොරකාපු ලෝයර්කාරයින්ගෙන් බේරිලා ඔන්න යාන්තං ඇතුළෙන් ගිහින් වාඩි වුණාය කියමුකෝ!

මගෙ නඩුව අහනවය කියල තිබුනේ උදේ නමේටයි. බුදු අම්මෝ එතන හිටිය සෙනග.

මං ලඟින් හිටපු එක පොරක් එක්ක කතාකරල බැලින්නං, පොරගේ නඩුවත් තියෙන්නේ උදේ නමයටලු. පොරට අනිත් පැත්තෙ හිටිය පොරටත් උදේ නමයටයි නඩුව. එතකොට තමයි මට තේරුණේ වැඩේ.

මේ දෙතුන් සිය දෙනාටම එන්න කියල තියෙන්නේ උදේ නමයට. කොහොමද අපේ වෙලාවට වැඩ කිරීමේ ක්‍රමයේ හොඳකම? නඩු ද අවනඩු ද?

මට පේනවා අර කළු කෝට් දාගත්තු පොරවල් ටික තාමත් ගේට්ටුව ලඟ කැරකෙනව නිකං නිලමැස්සො ටිකක් වගේ නඩු හොයන්න.

වහලේ උළු ගණං කර කර ඔහොම ටික වෙලාවක් ගෙවා ගත්තට පස්සේ ඔන්න එක පාරටම අර ලෝයර් ලා ටික උසාවිය ඇතුළට කඩා ගෙන වැටුණා.

බැලින්නං නඩුකාරය එනව නඩු අහන්න.

ටිකක් වෙලා යන කොට මට තේරුණා වැඩේ.

මෙන්න මෙහෙමයි වෙන්නේ.

ඔය ස්පීඩ් කළා වගේ පොඩි පොඩි කේස් වලදී, තෝල්කයා නම කෑ ගහල නම කියල නඩුව පටන්ගන්නවා.

එතකොටම කවුරු හරි ලෝයර් කෙනෙක් නැගිටලා කියනවා: "අ විල් ඇපියර් ෆෝ හිම් යුවර් ඔනර්!" කියලා.

නඩුකාරයා කියන දේවල් නං මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ. හොඳ වෙලාවට ලවුඩිස්පීකරේ වගේ තෝල්කයෙක් දාලා තියෙන්නේ.

නඩුකාරයා: මොනවද කියනවා.
තෝල්කය කැගහනවා: "අහවල් දවසේ, අහවල් වාහනයෙන් අහවල් එක කරපු එකට වරදකරුද? නිවරදකරුද?"
ලෝයර්: "වී ප්ලීඩ් ගිල්ටි යුවර් ඔනර්."
නඩුකාරයා: මොකක්ද මන්දා හිමින් කියනවා.
තෝල්කයා: "රුපියක් දාහක් දඩ!"
ලෝයර්: "තෑන්ක් යු, යුවර් ඔනර්."

ලෝයර්කාරයා තමන්ගාව තියෙන කොලේ ටික් එකක් දාගන්නව. පස්සේ ලෝයර් ගාස්තුව එකතු කරන්න වෙන්න ඇති. ඇයි ඉතින් උසාවියේ විත්තිකාරයා වෙනුවෙන් පෙනී ඉඳල මහා බරපතල රාජකාරියක් කළා නොවැ!

ඔයිට වඩා වෙනස් නඩුවක් තිබුණොත්, ඒ කියන්නේ තුවාලයක්, මරණයක් වගේ වෙච්ච කේස් එකක්, ඒ හැම නඩුවක්ම වෙන දවසකට කල් දානව.

ඒ කියන්නේ එදාටත් උදේ නමේට ඇවිල්ල වාත වෙවී හිටපල්ලා කියන එකයි!

දැන් ඔන්න උදේ එකොළහ විතරත් වුනා. නඩුවෙන් නඩුවට, නම් කතා කරනවා, ලෝයර් ලා නැගිටිනවා, එක්කෝ වැරදිකරු කියලා කියලා දඩ ඉල්ලං කනවා නැත්තං නඩුව කල්දානවා.

හැබැයි මට හොඳට පෙණුනු දෙයක් තමයි හැම නඩුවකටම ලෝයර් ලා පෙනී ඉන්න බව. ගේට්ටුව ලඟ කාක්කෝ වගේ කැරකී, කැරකී හිටපු කොලු ගැට ලෝයර් ලා නං විත්තිකාරයින් වෙනුවෙන් එච්චර ඉදිරිපත් වෙන බවක් පෙනුනේ නෑ. නඩු වලින් අති බහුතරයකට පෙනී හිටියේ එකම නාකි ලෝයර් පප්පෙක්.

කොලු ගැට ලෝයර් ලා ගොන්නම, මේ පප්ප ගේ සහායට ඩැනී ලා වගෙයි මට පෙනුනේ.

ඔන්න ඔය වෙලාවේ තමයි අපේ නඩුකාරයා ට තේ බරක් හැදුනේ. උන්නැහේ කුටියට සැපත් වුණු අතරේ මං අතපය හිරි ඇරගන්න කියල පොඩ්ඩක් නැගිට්ටා.

තරමක බඩගින්නක් ආවත් මේ කියන කාලේ නං මෙතන කන්න බොන්න විදියක් තිබුනේ නෑ.

පොඩ්ඩක් දොරෙන් එළියට හොට දාලා ආපහු හැරෙන කොටම මාව ආයෙ වටකර ගත්තෙ නැතෑ කපුටු රැල!

මේ පාර ඒ ගොල්ලන් ගේ බයිලා එක පොඩ්ඩක් බිය ගෙන දෙන එකක්. ඒ මදිවට මං පොඩි ලෝ පොයින්ට් එකකුත් අල්ලා ගත්තා!

කාර් කතන්දර මෙගා සීරීස් එකේ ඊළඟ "ජන-අප්‍රිය" කොටසින් ඒ දේවල් කියවමු.

කතන්දරකාරයා ගේ "අයි නෝ ද ලෝ"

-කතන්දරකාරයා

ප/ලි:
මේ කොටස කියවලා මගේ ලෝයර් බෑයා සහ ලෝයර් නෑනා අද හවස් වෙන කොට අපහාස නඩුවකට එන්තරවාසියක් එවයිද මන්දා.

එහෙම වුණොත් මගේ ලෝයර් මාමා ව තමයි අල්ලන්න වෙන්නේ!

ප/ප/ලි:
කාර් මෙගා කතන්දරේ කලින් කොටසේ ප/ලි යේ මං කියපු මිණිවන් පී තිලකරත්න ලියූ තවත් නවකතාවක් තමයි "තෘෂ්ණාභරණ".
ඒ ගැන මෙතනින් කියවන්න.
http://www.silumina.lk/img/print.asp?fn=ar10100311

(image: http://www.eatstudent.co.uk/terms.aspx)

Sunday 19 June 2011

අරුණි ෂපීරෝ ට හොඳ පාඩමක් උගන්වමි - බිත්තරේ නොකඩා ඔම්ලට් හැදීම :: I'll teach Aruni Shapiro a good lesson - making an omelette without breaking eggs


අද මේ ඉරිදා සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකෙන් මං මේ සැරසෙන්නේ අරුණී ෂැපීරෝ ට හොඳවැයින් පාඩමක් උගන්වන්නයි.

මහදැනමුත්තා ගේ වැඩිය ප්‍රසිද්ධ නැති ගෝලිච්චි ගේ නම දන්නවාද කියලා මං ලියපු කතන්දරේ මතක ඇතිනේ?

එතනදී මං කිව්වේ බ්ලොග් ලියන අරුණි ෂැපීරෝ නං මහදැණමුත්තා ගේ ගෝලියෙක් නෙමේ මහදැනමුත්තියක් ම ය කියලායි.

මං එහෙම කිව්වේ, අරුණී ඇමරිකාවේ ඉඳන් ලියන එයා ගේ බ්ලොග් එකෙන් අපිට දෙන දැනුම ගැන සලකලා යි. මං හිතන්නේ අරුණී ලියන බොහොමයක් කතන්දර, එයා ගේ සබ්මිට් නොකරපු පී.එච්.ඩී. තීසීස් එකේ තිබුණු ඒවා වෙන්න ඕනෑ.

මංතුමාත් ඔය තීසීස් සම්බන්ධයෙන් නම් ඉන්නේ අරුණී ගේ බෝට්ටුවේ ම තමයි. ඒත් මගේ තීසීස් එකේ බාගෙට ලියපු ඒවා මෙතන ලියන්න නං අදහසක් නෑ. මොකද මේක කතන්දර බ්ලොග් එකක් මිස බයිල බ්ලොග් එකක් නෙමේ නේ!

මේ දවස්වල අරුණී ලියාගෙන යනවා ධනවාදය ගැන ලිපි සීරීස් එකක්.

මේ ලිපි නිසා ඇති වෙලා තියෙන්නේ අර දෙබරෙට ගල් ගැහැව්වා වගේ සීන් කෝන් එකක්.

අරුණී එක පැත්තක. දශ මහා යෝධයෝ වගේ කෂ්ටියක් අනිත් පැත්තේ.

කතන්තර බලන අය දන්න සුජීව කොකාවල යි, ආවෝ-ගියෝ ආකාරයේ බ්ලොග් රචකයෙක් වූ චානුක වත්තේගම යි ඔය බැට්ල් ෆීල්ඩ් එකේ ඉදිරියෙන්ම ඉන්න දෙන්නෙක්.

අපරාදේ කියන්න බැහැ, අරුණී ත් අරින්නේ නෑ, ගේම ම යි ඉල්ලන්නේ. දශමහා යෝධයෝත් හිටු ගාලා බැටින් නිකං ටුවෙන්ටි ටුවෙන්ටියක් වගේ!

මං කලින් දවසක කියපු "හබරල ගාලේ විවාදය" වගේ අරුණී ගේ බ්ලොග් එකේ නැගලා යන ඔය වචන හරඹය දැකපු කවියෙක් මෙන්න මෙහෙමත් ලියලා තිබුණා.

ලූලන් හිඟයි ඇත නියඟය දරුණු වෙලා
පාළුයි නිවස නැත වළඳක් ඉතුරු වෙලා
අළුක්කාල් මැද රුපියල් කුමට හෙලා
කැකුණ නොරිසි සැවුලිඳු ලෙස හිඳිමි බලා


කාට හරි තේරෙනවද මොකක්ද ඒ කවිකාරයා මේ හරුපෙන් මොකක්ද අදහස් කර තියෙන්නේ කියලා?

මංතුමා නං ඔය දේශපාලන කතන්දර ගැන වැඩි උනන්දුවක් නෑනේ. නමුත් ඉතිං, ඉඳලා හිටලා දවසක අරුණි ෂැපිරෝ ගේ බ්ලොග් එක පැත්තේ ගිහින් පොඩි පහේ වන් ලයිනර් එකක් දාලා එනවා!

"අරුණි ගේ හැඳිමිට ෆ්රොරිඩා ඉඳලා ඇලස්කාවට විතර දිගයි" කියලා මං මේ ලඟදී ලියලා ආවා.

ඒ මොනවා වුණත්, කලින්ම කිව්වා වගේ, අද නං මං මේ සැරසෙන්නේ අරුණීට හොඳවැයින් පාඩමක් උගන්වන්නයි.

මේක එසේ මෙසේ පාඩමක් නෙමේ. කුකින් පාඩමක්. මගේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා සීරීස් එකට යසට ගැලපෙනවා.

අරුණී ගේ ලිපියේ තියෙනවා බිත්තර නොකඩා ඔම්ලට් හදන්න බැරිය කියලා තර්කයක්.

මේ ලියලා තිබුනේ කුකිං රෙසිපි ගැන නං නෙමේ. ඒ උදාහරණය අරුණී උපයෝගී කරගෙන තිබුනේ තමන් ගේ ධනවාදය ගැන ලියවුණු ලිපි සීරිස් එකේ තර්කයක් විදියටයි.

ඕක දැකලා මං මුලින්ම එතන ලිව්වේ, අබූ ග්‍රේ හරි, ගන්තනමෝ බේ හරි දැම්ම නං, බිත්තර කට්ට නොකඩා සාරු එලියට ගන්න පුළුවන් කියලයි. ඒ අරුණී ඉන්න ඇමරිකාවට අදාලවයි.

ලංකාවේ ඉතිහාසයට සාපේක්‍ෂකව කියනවා නං, බටලන්දේ හරි, හැව්ලොක් හරි දැම්ම වගේ කියන්න පුළුවන්. වර්තමානයේ ලංකා "ගන්තනමෝ බේ එක" තියෙන්නේ කොහේද කියන එක ගැන නං මං හරියට දන්නේ නෑ. පස්සේ ආරංචි වෙයි නේ!

ඒ දේශපාලන තර්ක කෙසේ කෙසේ වෙතත් මං දැන් මේ බලන්නේ ඇත්තටම බිත්තර නොකඩා ඔම්ලට් හදන්න බැරිද කියල හොයලා බලන්නයි.

දන්න, නොදන්න, කීප දෙනෙක්ගෙන්ම අහලා, අන්තර්ජාලයේත් සැරිසරලා මං හොයා ගත්තා අරුණී ට දෙන්න ඕනෑ කුකින් ලෙසන් පාඩම.

මැතිව් පීට් ගේ බ්ලොග් එකේ (http://mathewpeet.org/howto/omelette/) තිබුණු ක්‍රම කිහිපයක් මෙන්න.
  • වෙනින් කෙනෙකුට කියලා බිඳවන්න
  • බිඳුණු බිත්තර පාවිච්චි කරන්න
  • බිත්තර පිටි පාවිච්චි කරන්න
  • ඔම්ලට් එකට අළුතින් අර්ථ කතනයක් දෙන්න
  • ලොකු බිත්තරයක් අරගෙන පොඩි සිදුරක් සාදා සිරින්ජයකින් සාරය ගන්න
මැතිව් ගේ එක ක්‍රමයක් මං අපිට ගැලපෙන විදියට මෙහෙම හදා ගත්තා.
  • බිත්තරය සමග වෙනත් බිත්තර හොයන්න යන්න. එතනදී සිදුවෙන බිත්තර ෆයිට් එකක දී බිත්තරය ඉබේම කැඩී යනවා අනිවාර්යෙන් ම. ඉන්පසු ඒ නිරවුල් සාරුවෙන් ඔම්ලට් එක හදන්න.
ඊලඟට මට හමුවුණා -බිත්තර කට්ට ඇතුලේම ඔම්ලට් එක හදන ක්‍රමයක්, ඊවල් මෑඩ් සයන්ස්ටිස්ට් ලා ගේ වෙබ් අඩවියේ තිබිලා.
ඒ විස්තරය මෙතනින් බලන්න.
http://www.evilmadscientist.com/article.php/omelette

සැමට සුභ ඉරිදාවක් වේවා. කාර් කතන්දර මෙගා සීරීස් එකේ තවත් ජන-අප්‍රිය එපිසෝඩ් එකකින් හෙට සඳුදා හමුවෙමු.

-කතන්දරකාරයා

ප/ලි:
මං නං බිත්තර කෑම නවත්තලා දැන් ටිකක් කල්. අපේ දෝණි නං වෙජිටේරියන් හින්දා ප්‍රාණ ඝාත නොවෙනවාය කියා අහපු දා ඉඳලා බිත්තර කනවා.

ප/ප/ලි:
අරුණී ගේ කලින් පෝස්ට් එකක තිබුණු කමෙන්ට් එකක් නිසා මට මතක් වුණු තවත් කතන්දරයක් - නොදන්න දෙමලේ - මෙතනින්න බලන්න.
http://kathandara.blogspot.com/2010/01/blog-post_25.html

(image: http://www.evilmadscientist.com/article.php/omelette)

Friday 17 June 2011

කතන්දරකාරයා උසාවි සාවියේ - Kathandarakaraya goes to the Courts


රතු කොරොල්ලා කාරෙකෙන් ගෙදර ගෙනාපු රෝස බබා බලාගන්න මැටනිටි ලීව් දාල හිටපු කතන්දර හාමිනේව මාසේ පඩිය ගන්න වැඩපොළට එක්ක යන්න ගිහින් කතන්දරකාරයා ට වැදුණනේ දඩ කොළයක්.

ගාන පොඩි උණාට ගෙවන්න අමතක වුණු නිසා වැඩේ කේස් වෙලා උසාවියෙන් පිට බේරගන්න බැහැයි කියලයි ට්‍රැෆික් ඕඅයිසී කිව්වේ. උදව්වක් හැටියට හැකි ඉක්මනින්ම උසාවියට දාල දෙන්නං කියල කිව්වවහම බෑ ය කියන්න හේතුවක් නෑනේ.

ඔන්න ඉතිං සිතාසි හෙම ඇවිල්ලා මට සැට් වුණා උසාවියකට යන්න ජීවිතේ මුල් වතාවට. නඩුව තිබුනේ මරදාන හරියේ ට්‍රැෆික් කෝට් එකේයි. උදේ නමේට වගේ වෙලාවකට.

කළු කලිසමයි, සුදු නිල් ඉරි කමිසෙකුයි ඇඳල කෝකටත් කියල රතු ටයි පොල්ලකුත් එල්ලගෙන මං ගිහින් කාර් එක අලුත්කඩේ හරියේ ගාල් කරලා, හරියට උදේ නමේට කලින් ට්‍රැෆික් කෝට් එකට කිට්ටු වුණා.

සූ ගාලා සෙනග!

මං දොරෙන් ඇතුළට යන කොටම මෙන්න බොලේ මා ළඟට ආවා කළු කෝට් දා ගත්තු පොරවල් දෙන්නෙක් විතර.

"ආ යූ අ විත්නස් ඕ අ ඩිෆෙන්ඩන්ට්?" (උඹ සාක්කිකාරයෙක්ද නැත්තං වග උත්තරකාරයෙක් ද) එකෙක් අහපි මගෙන්?

මං හිතුවෙ මුං දෙන්නා උසාවියේ ඔෆිසර්ලයි කියලයි, ඒත් එහෙනං ඇයි මේ කඩ්ඩ?

"ඩිෆෙන්ඩන්ට්!" මං කිව්ව.

"වටීස් දි ඔෆෙන්ස්?" (මොකක්ද කරපු වරද)

"ඕ, ජස්ට්, අයි වෝස් කෝට් ස්පීඩින් ඇන්ඩ් වෝස් ගිවන් එ ටිකට්. අයි ෆොගොට් ටු පේ ද ෆයින් ඔන් ටයිම් ඇන්ඩ් ද පොලිස් සෙඩ් දැට් ඉට් හැස් ටු බී සෙට්ල්ඩ් ඇට් ද කෝට්ස්."

"සෝ, ආ යූ ගොයිං ටු ප්ලීඩ් ගිල්ටි?" (ඉතිං උඹ වරද පිළිගන්නද යන්නේ)

"යර්ස්, අයෑම්!"

"ලෙට් මී ඇපියර් ෆෝ යූ දෙන්. අයි ඈම් අ ලෝයර්. අයි විල් රිප්‍රසන්ට් යූ ඇන්ඩ් ප්ලීඩ් ගිල්ටි. මයි ෆී ඉස් ඔන්ලි ෆයිව් හන්ඩ්රඩ් රුපීස්. දිස් ජජ් ඉස් ගුඩ්. හී විල් ෆයින් යූ මේ බී ෆයිව් හන්ඩ්රඩ් රුපීස්!" (එහෙනං මං උඹ වෙනුවෙන් පෙනී ඉන්නං. මං ලෝයර් කෙනෙක්. මගේ ගාස්තුව රුපියල් පන්සීයයි. මේ නඩුකාරය හොඳ පොරක්. උඹට ඔන්නං රුපියල් පන්සීයක් දඩ ගහයි)!

"ඉෆ් අයෑම් ගොයින් ටු ප්ලීඩ් ගිල්ටි වයි ෂුඩ් අයි නීඩ් අ ලෝයර් ?"(මං වරද පිළිගන්න යන එකේ මොකටද මට ලෝයර් කෙනෙක්)

"ඊෆ් යූ ගෝ දෙයා විතවුට් අ ලෝයර්, ද ජජ් විල් ෆයින් යූ මේ බී වන් තවුසන්ඩ් ෆයිව් හන්ඩ්‍රඩ් රුපීස්!" (උඹ ලෝයර් කෙනෙක් නැතුව නිකංම නඩුවට ගියොත් නඩුකාරයා උඹට රුපියල් එක්දාස් පන්සීයක් වුණත් දඩ ගහන්න ඉඩ තියෙනවා).

මට ඒ කතාව ඇල්ලුවේ නෑ! ඒ මොන විකාරයක් ද?

"දැට්ස් වෙරි ස්ට්‍රේන්ජ්!" කියාගෙන මං උසාවියේ ඇතුළට ගිහින් වාඩි වුණා.

-කතන්දරකාරයා

ප/ලි:
එහෙම කියල ඒ ලෝයර් කාක්කෝ නෙමේ වැඩේ අත හැරියේ.

ඒ විස්තර මේ කාර් කතන්දර මෙගා සීරීස් එකේ ඊලඟ ජන-අප්‍රිය කොටසින් (හපොයි මදෑ කාර් එකක් ගත්තා - උසාවියක ගෙවුණු දවසක්) බලාපොරොත්තුවන්න!

ප/ප/ලි:
මේ කතන්දර මෙගා එකේ අද කොටසේ මාතෘකාව ගැන වචනයක් කියන්න ඕනෑ.

උසාවි සාවිය කියන්නේ උසාවිය පරිශ්‍රය (කෝට් ප්‍රෙමිසස්) කියන අදහස දෙන ගරු ගාම්භීර වචනයක්. මං මේ වචනය ඉගෙන ගත්තේ මිණිවන් පී තිලකරත්න ලියු "උසාවි සාවිය" කියන නවකතාවෙන්.

අන්න බලනව නං හොයාගෙන බලන්න වටින පොතක්. ලංකාවේ උසාවි වල නඩු තියෙන කාලකණ්ණි ප්‍රමාදය ගැන මේ පොතේ අපූරුවට විස්තර කරල තියෙනවා.

මිණිවන් පී තිලකරත්න කියන්නේ සිංහල මහාචාර්යවරයා කැලණිය විශ්ව විද්‍යාලයේ 90 ගණං දක්වා. දැන් නම් මිය පරලොව ගිහින්.

මිණිවන් පී තිලකරත්න උපහාස කතා කලාවට උපන් හපනෙක්. පොර ගේ "මගෙ ගම සරිගම" කියන කෙටිකතා පොත උපහාසයේ උපත කියලා කියන්න පුළුවන්. පොර ලියපු අනිත් පොත් තමයි, පුංචි එක්නැලිගොඩ, කන්දෙන් ලන්දට වගේ ඒවා.

කන්දෙන් ලන්දට මරු නවල් එක. මට හිනා කාලා පණ යන්න ගියා කන්දෙන් ලන්දට කියවන වෙලේ!

නාථ දෙයියෝ එක්ක පරීක්‍ෂණ කිරීම වගේ වැඩ වලිනුත් අනුන්ව හිනස්සන පුළුවන්. නමුත් දන්නෙම නැතුව තමනුත්රටටම විහිළුවක් වෙනවා ඒසමගම.

කැලණිය විශ්ච විද්‍යාලයේ හිටපු මහාචාර්ය මිණිවන් පී තිලකරත්න උපහාසාත්මක කතා ලිව්ව විතරයි.

(image: http://psmc.wordpress.com/2007/08/)

Wednesday 15 June 2011

කතන්දරකාරයා ස්පීඩ් කර අහුවෙයි - Kathandarakaraya caught speeding


මේ සිද්ධිය වුනේ කතන්දරකාරයා වීරයා සේ රතු කොරොල්ලා කාරෙකෙන් රෝස බබෙක් ගෙදර ගෙනල්ලා සති තුනකට විතර පස්සේයි.

බබා හම්බවෙන්න ඉතිං කතන්තර හාමිනේ මැටනිටි නිවාඩු ගත්තනේ මාස තුනක් විතර. මැටනිටි නිවාඩු කියන්නේ දන්නවානේ මුළු පඩියම ලැබෙනවා.

මේ කියන කාලේ කතන්දර හාමිනේ ගේ වැඩපොලේ පඩි බැංකුවට ගෙවන ක්‍රමයක් තිබුනේ නෑ, මගේ වැඩපොලේ කළා වාගේ. අර ඉස්සර මං බොසී යටතේ වැඩ කරන කාලේ වගේ ලියුම් කවරෙක දාලා දෙන මාසේ පඩි පැකට්ටුව වැඩපොලේ දී ම අත්සන් කරලා ගන්න ඕනෑ.

ඉතිං නිවාඩු පිට බබා ගේ වැඩ කටයුතු කරගෙන ඉන්න කතන්දර හාමිනේව පලමුවෙනි මාසේ පඩි පැකට් එක ගන්න වැඩපොලට එක්කගෙන යන්න මං බාර ගත්තා.

එදා මට හවස පොඩි වැඩක් තිබුණු හින්දා මං ප්ලෑන් කලේ හාමිනේව රතු කොරොල්ලා කාර් එකේ එක්කගෙන ගිහින්, ඒ වැඩෙන් පස්සේ ආපහු ගෙනත් ගෙදර දාලා, මං වහාම බස් එකේ මගේ වැඩ පොලට යන්නයි.

ඔන්න අපි දෙන්නා පිටකෝට්ටේ පැත්තේ ඉඳලා ඇවිල්ලා වමට හරෝලා දැම්මා පාර්ලිමේන්තු පාරට බොරුල්ල පැත්තට යන්න.

වෙන වෙලාවට මේ පාර නිකං කාර් පාක් එකක් වගේ නේ. මේ වෙනකොට වෙලාව නමය විතර වෙලා නිසා මෙලෝ සතෙක් නැති ගානට පාර හිස්.

මංතුමා ඉතිං සීඝ්‍රයෙන් බොරුල්ල බලා යන්න පටන් ගත්තා.

ඔය හරියේ තියෙන පොඩි පාලම පහුවෙච්ච ගමන් වගේ මෙන්න බොලේ එක පාරටම පොලිස්කාරයෙක් පැන්නෙ නැතෑ කාර් එක ඉස්සරහට. මං වහාම කාර් එක නැවැත්තුවා.

පොර ඇවිල්ලා මා දිහා කාර් එකේ වීදුරුවෙන් බලලා ඇහැව්වා මෙහෙම.

"මහත්තයා දන්නවාද මේ පාරේ ස්පීඩ් ලිමිට් එක?"

මං කොහොමද ඕවා දන්නේ පාරේ ඒවා දන්වන බෝඩ් ගහල තිබුනේ නෑනේ.

"පැයට කිලෝ මීටර් හැටයි?" මං කිව්වා.

"වැරදියි, පැයට කිලෝ මීටර් හතලිහයි. මෙන්න මහත්තයා ගිය ස්පීඩ් එක."

පොර මට පෙන්නුවා ලේසර් ගන් එක. ඒකේ කොල පාට ඉලක්කමින් තිබුණා 64 කියලා.

ඉතිං මොනවා කරන්නද? පොර මගේ ලයිසොම අරගෙන, ඒකට තුණ්ඩුවක් දීලා, ස්පීඩ් කළ එකට දඩ කොලයක් ලියලා දුන්නා.

දඩ කොලේ ලැබුණාම මට නිකං පොඩි වීරකමක් වගෙයි දැනුනේ. මොකද ස්පීඩ් කරලත් අහුවුණු සීරීයස් ඩ්‍රයිවර් කෙනෙක් නේ.

නමුත් සත්‍යය තමයි පැයට කිලෝ මීටර් 64 කියන එක ඒ පාරේ හැටියට අන්තරාදායක ස්පීඩ් එකක් නොවෙන බව. මං මේ කියන්නේ කොළඹ තියෙන හොඳම පාරක් ගැනනේ.

නමුත් ඉතිං ඔය කතා වැඩක් නෑනේ අපිට තියෙන්නේ දඩ කොලේ ගෙවලා දාලා, ඒක පෙන්නලා පොලීසියෙන් ලයිසොම ආපහු ගන්න එකයි.

ගෙවන්න නං තිබුනේ රුපියල් දෙතුන් සීයක් විතරයි! මං හාමිනේව අරගෙන ආපහු ගෙදර එන ගමන්ම ගියා බොරැල්ලේ තැපැල් කන්තෝරුවට මේක ගෙවල දාන්න. බුදු අම්මෝ එතන තිබුණු පෝලිම. ආපහු වැඩට යන්නත් තිබුණ හින්ද මං ඒ වැඩේ පහුවදාට කල් දැම්මා.

හැබැයි ඉතිං ඒ දවස්වල ගෙදරයි, වැඩපොළෙයි, තිබුණු කළබළකාරී තත්වය හින්ද ද කොහෙද මට ඔය දඩ කොලේ ගෙවල දාන එක සති කීපයක්ම අමතක වුණා. ඔන්න එක දවසක් මතක් වෙච්ච වහාම මං ගියා අර ටවුන් හෝල් එක ලඟ තියෙන තැපැල් කන්තෝරුවට ඒක ගෙවන්න.

එතන කවුන්ටරේ හිටිය පොර කියපි, මේක ගෙවන්න බෑ දැන් කල් ගෙවිලය කියලා.

"බුදු අම්මෝ, දැන් මොකද කරන්නේ?" මං කෙලින්ම ගියා වැලිකඩ පොලීසියට.

විස්තරේ කිව්වහම, එතන ට්‍රැෆික් ඕඅයිසී කියපි, "දැන් ඉතිං කරන්න දෙයක් නෑ. අපිට මේක උසාවියට දාන්න වෙනවා. උදව්වක් හැටියට හැකි ඉක්මනින්ම දාල දෙන්නං!" කියලා.

දැන් ඉතිං පලයංකෝ උසාවි, මේ පොඩි කේස් එකට!

-කතන්දරකාරයා

ප/ලි:
අපේ පරම්පරාවේ එකෙක් මීට කලින් කාර් අරං නොතිබුණාට උසාවි ගිහින් නං තිබුණා.

හොඳ වෙලාවට!

ඒ කතාව ඊලඟට.
කතන්දරකාරයා උසාවි සාවියේ

(image: http://ocbizblog.com/)

Monday 13 June 2011

කතන්දරකාරයා ගේ රතු කොරොල්ලා කාර් එකේ ගෙදර ආ රෝස බබා - A pink baby girl comes home in a red corolla


මගේ කාර් කතන්දර මෙගා සීරීස් එකේ හතරවන කොටසයි මේ ලියන්නේ. මං ලියපු චූ කතන්දර සීරිස් එක වගේම මේ කාර් කතන්දර ටිකත් බ්ලොග් අවකාශයේ කාලාන්තරයක් ම දනන් තුඩ තුඩ රැව් දෙයි කියා හිතෙනවා.

ඉතිං ප්ලෑන් කරලා, ප්ලෑන් කරලා, ගත්තු කාර් එකෙන් මුල දවස්වල මට හරිම ප්‍රයෝජන ගොඩක් තිබුණා. ඒ දිග ලැයිස්තුව මෙන්න මේ පෝස්ට් එකේ දාලා තියෙනවා.

මේ කාර් එක ගන්න මූලිකම හේතුව වුනේ අපි දෙන්නා තුන්දෙනා වෙන්න යන එකට අදාල වැඩ කටයුතු සහ ඉන් පස්සේ පුංචි පවුලේ ප්‍රවාහන පහසුකම් සඳහානේ.

කොහොම හරි මං ලයිසොම අරං මාසයකින් විතර වගේ තමා මේ ටොයෝටා කොරොල්ලා කාර් කට්ටෙන් ගත්තු මුල්ම ලොකු ප්‍රයෝජනේ ගත්තේ. ඒ තමා දරු ප්‍රසූතිය සඳහා හාමිනේ ව හොස්පිටිතාලෙට අරං යෑම.

ඔන්න එදා උදේම හාමිනේ කියපි, "කතී අපි පුළුවන් තරම් ඉක්මනට යමු හොස්පිටල් එකට" කියලා. (කතී කියන්නේ කතන්දර කියන නමේ ෂෝට්න් ෆෝම් එකයි. එහෙම තමයි හාමිනේ මට ආදරේට කතා කරන්නේ)

මළ කෙලියයි කිව්වලු!

අපි බලාපොරොත්තු වෙමින් සිටි ඒ දවස ඇවිල්ලා. මාව වෙව්ලලා ගියා. හාමිනේ ඇඳුම් කැඩුම් ආම්පන්න හෙම බෑග් එකකට සෙට් කරලා නේ තිබුනේ. මාත් දනිපනි ගාලා ඇඳ ගත්තා.

හැබැයි පපුව ඩිග්, ඩිග් ගානවා. ඉතිං මට හිතුනා මේ සසල වූ මානසික තත්වයෙන් ඩ්‍රයිව් කරනවාට වඩා හොඳම දේ තමයි අල්ලපු ගෙදර අංකල්ට කතා කරන එක කියලා.

අංකලුයි ඇන්ටියි දෙන්නත් එදා හොස්පිටල් යන්නයි හිටියේ කොහොමටත්. කොහොම හරි ඔන්න අංකල් ගේ පිහිටෙන් හාමිනේව හොස්පිටිතාලෙට ගෙනිච්චා.

දරුවා පිළිසිඳ ගත්තු දිනේ ඉඳලා සාමාන්‍යයෙන් කරන්න තියෙන ඔය ක්ලින්ක් ආදී කිසිම කටයුත්තකට මං ගිහින් තිබුනේ නෑ. ඔය මහ ඉස්පිරිතාලෙ තියෙන ඇස් වාට්ටුව හරියේමයි හාමිනේ ගේ වැඩපොල තිබුනෙත්, ඒ හින්දා එයාම තමයි ඔය කියන හොස්පිටිතාල කිලිනික් වැඩ කටයුතු සේරම තනියම කර ගත්තේ.

ඒ වුනාට වැඩේ කියන්නේ, හොස්පිටිතාලෙට ගිහින් බැලින්නම් මට මේ තැන හොඳට හුරුයි පුරුදුයි වගේ.

මොකද දන්නවද? මේ "ද සොයිසා වාට්ටුවේ" දී ම තමයි මංතුමාත් මෙලොව එලිය දැකලා තියෙන්නේ!

ඉතිං හාමිනේව ඇඩ්මිට් කරලා, ප්‍රී-නේටල් වාට්ටුවකට දාලා මං වීරයා වගේ කාර් එකේම වැඩට ගියා.

ඔන්න එදා රාත්‍රියේ මං ගෙදර ඉඳලා මරදානට ඇවිත් කාර් එක කිංසි රෝඩ් එකේම පාක් කරලා, හොරෙන්ම රිංගුවා හොස්පිටිතාලේ ඇතුලට. දන්න කියන මෙඩ්ඩෝ කීප දෙනෙක් ඔතන වැඩ කරපු හින්දා අවුලක් වුනේ නෑ.

හරියටම ඒ වෙලාවේ තමයි කතන්දරහාමිනේ තියටර් එකෙන් එලියට එන්නේ. හාමිනේ මා දිහා බැලුවේ අඩ නින්දෙන්. මෙන්න ඒ එක්කම ගෙනාවා අපේ චූටි කෙලි පැටික්කී.

බබා ඇස් දෙක තදින්ම වහගෙනයි හිටියේ. රෝස පාට කම්මුල්. සුදුමැලි පාට චූටි අත්. ඇඟිලි අකුලාගෙන අත් මිට මොලවාගෙන.

මං බලා ඉඳිද්දීම ඇඟේ ඉඳලා අර චූටි අත් දිගේ චූටි ඇඟිලි තුඩු දක්වාම ඇඟ ඇතුලෙන් ලේ ගලාගෙන ඇවිත් සුදුමැලිව තිබුණු අත් සේරම රෝස පාට වුණා.

මං එදා මහ රෑ ගෙදර යනකොට ඒ චිත්‍රය නොමැකෙන ලෙස මගේ හිතේ ඇඳිලා.

පහුවදා උදේම මං ආපහු හොස්පිටිතාලෙට ආවා. උඩ තට්ටුවේ ප්‍රොෆෙසෝරියල් වාට්ටුවේ හාමිනේ ගේ ඇඳ ලඟට ගියා. හාමිනේ නෑ. ටොයිලට් එකට ගිහින්.

මෙන්න බොලේ චූටිම චූටි, රෝස පාට කෙලි පැටියෙක් පැත්තකින් නිදාගෙන ඉඳලා ඇහැරිලා "ඔහෑ! ඔහෑ!!" කියලා අඩනවා.

එදා ඉඳලා, මාසෙකට දෙකකට පස්සේ උප්පැන්නෙට නම දානකං මං කෙලි පොඩ්ඩට කිව්වේ "රෝසි" කියලයි.

දවසකට පස්සේ හාමිනේවයි, රෝසි පැටියාවයි අරගෙන මංතුමා මරදානේ සිට ගෙදර බලා වීරයා සේ ඩ්‍රයිව් කරං ආවා.

හාමිනේව හොස්පිටිතාලේ ගෙනියන දවසේ තිබුණු බය මෙදා නං මගේ සිතේ පැත්ත පලාතකවත් තිබුනේ නෑ.

කතන්දරකාරයා ගේ රතු කොරොල්ලා කාර් එකේ රෝස පාට බබෙක් ගිය කතාව ඔන්න ඕකයි.

-කතන්දරකාරයා

ප/ලි:
මගෙයි දුවගෙයි දෙන්නගේම උපන් ගම මරදාන-කොළඹ 10. අපි ඉපදුන "ද සොයිසා වාට්ටුව" තියෙන්නේ කිංසි රෝඩ් එකේ මරදානේ පැත්තෙයි.

මේ වාට්ටුව පාරෙන් අනිත් පැත්තේ හොස්පිටිතාලේ ප්‍රධාන කොටස තියෙන පැත්තේ තිබුණා නම්, අනේ දුවයි මායි දෙන්නම කොළඹ 7-කුරුඳුවත්තේ උපන් දෙන්නෙක් වෙන්න තිබුණා නේද?


මීලඟට - කතන්දරකාරයා ස්පීඩ් කර පොලීසියට අහුවෙයි!

Sunday 12 June 2011

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගේ අනන්‍යතාවය හෙළිවේ - Dr Vickramabahu Karunaratne's identity revealed


මේ කතන්දරේ මට ලියා එව්වේ සචින් ජයනෙත්ති.

මෙන්න සචින් ගේ වචන වලින් ම. (වරහන් ඇතුලේ තියෙන්නේ මගේ කමෙන්ට්ස්.)

මේකත් චූ කතාවක්. (මතකනේ මගේ චු කතන්දර සීරීස් එක. මේකත් ඒ ගොඩටම දාගන්න.)

කතන්දර දන්නවා නොවැ ඩොක්ටර් වික්‍රමබාහු කරුණාරත්න. සමහර විට කම්මලේ ඉන්න කාලේ උගන්නලත් ඇති මයේ හිතේ. (කම්මල කියන්නේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයටයි.) මේ කතාව උන්නැහේ ගැන.

අවුරුදු විසිපහකට විතර කලින් වෙච්චි මේ සිද්ධිය මට කිව්වේ නව සමසමාජ පක්ෂයේ හිටපු ෆුල් ටයිමර් කෙනෙක්.

ඩොක්ටර් වික්‍රමබාහු දවසක් ගියාලු රැස්වීමකට පිට්ටනියක තිබුණු. හොඳ පහේ ස්ටේජ් එකක් ගහල තිබුනලු. සූ ගාලා සෙනග දෙතුන් සීයක් විතරත් හිටියලු.

ඔය අතරේ බාහුට ආවලු චූ බරක්. ඊළඟ කතාව තියෙන්නේ තමන්ට නිසා ඉවසගෙන හිටියලු ඉවර වුනු ගමන් ගිහින් කරන්න හිතාගෙන. ඒත් ස්ටේජ් එකේ කතාව දෙන පොර දෙනවලු පැය ගානක් ඇට්ටි හැලෙන්න.

බැරිම තැන මුලාසනයේ හිටපු සහෝදරයට කනට කරලා කිව්වලු තමන්ගේ අවශ්‍යතාවය.

මුලාසනයේ ලොක්ක ස්ටේජ් එක අයිනේ හිටපු අයෙකුට කතා කරලා "සහෝදරයා, මේ සහෝදරයාව එයාගේ අවශ්‍යතාවයට සුදුසු තැනකට එක්ක යනවද?" කිව්වලු.

ඔන්න ඉතින් මෑන්ස් බාහුව එක්ක ගියාලු ස්ටේජ් එක පිටිපස්සට.

"සහෝදරයා මෙතන වැසිකිලි හොයන්න බැහැ. වැඩේ කරගෙන යන්න මම කවර් එකක් දෙන්නම්."

ඔන්න දැන් බාහු චූ කරනවා. වට පිට බල බලා . දන්නා විදිහට මිනිහා ටිකක් ලජ්ජාකාරයා.

මෙන්න අර කවර් එක දෙන එකා අහනවලු මෙහෙම බාහුගෙන්.

"මේ සහෝදරයා හොඳට දැකලා පුරුදු මූණක්. සහෝදරයාගේ නම මොකක්ද?"

ඒ කාලේ පක්ෂයේ නායකයා බාහු වුනාට හැමෝම දන්නේ වාසුව විතරයි.

"මම වික්‍රමබාහු"

"ඒ කියන්නේ අපේ නායක බාහු සහෝදරයා!"

"ඔව්" බාහු උත්තර දුන්නාලු.

අර කවර් එක දුන්නු පොරට ඉස්පාසුවක් නැති වුනාලු.

බාහු කර කර ඉන්න කාරියත් අමතක කරලා "අපේ බාහු සහෝදරයාට ජයවේවා! අපේ නායක සහෝදරයාට ජයවේවා!!" කියලා කෑගහන්න පටන් ගත්තලු.

මගේ මිත්රයාට මේ කතාව කියපු බාහු කිව්වලු:

"මගේ චූ බර නිකම්ම හිඳිලා ගියා. ආයෙත් චූ දැම්මේ කොළඹ ඇවිල්ලා" කියලා.

මං මේ කතාව බාහු ට ඊ-මේල් එකකින් යැව්වා මොකද කියන්නේ බලන්න. සත්‍යතාවය ගැන අවුලක් නෑ වගේ. මොකද බාහු උත්තර එව්වේ නෑ!

-කතන්දරකාරයා

ප/ලි
වික්‍රමබාහු කරුණාරත්න ඉංජිනේරු ශිෂ්‍යයෙක් කාලේ විස්තරයක් ඔහුගේම වචන වලින් (in English) මෙතනින් බලන්න.
http://efacmemories.blogspot.com/2011/01/introduction-to-engineering-and.html

ප/ප/ලි
මෙන්න කැනඩාවේ සිට සචින් ජයනෙත්ති "යාත්‍රා" සිංහල සඟරාවට ලියන "දේශදෝහියාගේ කොලම" කොටස් කීපයකට සබැඳි.
1. හාමුදුරුවනේ තරහ අවසර
2. බටහිර ලෝකයේ අපේ සංගම්කාරයෝ
3. නිරුවත් සංස්කෘතිය
4. මුල්ලකට කොටු කර පහර දීම

(image: http://wn.com/Sri_Lanka_Sama_Samaja_Party)

Friday 10 June 2011

හොඳ වෙලාවට මං කාර් එකක් ගත්තේ - How lucky I am to have a car!


බබා ලැබෙන්න කලින් කාර් එකක් ඕනැ නිසා අපි වෙර වීරියෙන් හොයලා ලස්සන රතු කොරොල්ලා එකක් ගත්තා. හාමිනේයි මායි එකට ගියේ එක ගමණයි. ඒකත් ඉන්ෂුවරන්ස් එක ගන්න.

පහුවදා මං වීරයා වගේ තට්ට තනියම ඉලෙක්ට්‍රික් බාස් ට කාරෙක පෙන්නන්න යන වෙලේ තමයි තඩි පැජරොයියෙක් කාරෙකේ පැත්තක්ම ඉරලා දැම්මේ.

මං ඒ ගැන මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කරන වෙලේ මට කෝල් කරපු ඒ.එස්.පී කාරයෙක් පැජරොයියාගේ අයිතිකාර මහත්තයා සිංගප්පූරු ඉඳලා ආපු ගමන්ම වැඩේ ගොඩින් බේර ගමු කිව්වා!

මට ඇල්ලුවේ නෑ ඒ කතාව.

ඔන්න එතකොට මට මතක් වුණා මේ ඒ.එස්.පී. කාරයාව අඳුණනවා ය කියලා අපේ අල්ලපු ගෙදර අංකල් කියලා තිබුණු බව.

පැමිණිල්ල දාලා ගෙදර ගිය මං අංකල් ට විස්තරේ කියලා, එදාම හවස අංකල්වත් එක්කහු කරගෙන කාර් එකෙන්ම ගියා ඒ.එස්.පී. කාරයා ගේ ගෙදරට.

ඒ ගිය ගමන නිසා ඔන්න සැක හැර දැන ගත්තා ඒ.එස්.පී. පොර මේ කෝල් එක දීලා තියෙන්නේ අනිසි බලපෑමකට නොවන බව.

ඉතිං ඊලඟ දවසේ කලේ උදේ පාන්දරින්ම හුණුපිටියේ රක්‍ෂණ සංස්ථාවට ගිහින් කාර් එකේ ඩැමේජ් එක පෙන්නපු එකයි. එතනින් ෆොටෝ හෙම ගත්තට පස්සේ ගියා කාර් බොඩි රෙපයාර් කරන බාස් කෙනෙක් ගේ ගරාජ් එකට තලවතුගොඩ පැත්තේ.

ඉරිච්ච දොර රෙපයාර් කරන්න බැරි තරමට ඩැමේජ්. ඉතිං, මිනිහවත් දාගෙන ගියා නුගේගොඩ, මහරගම පැත්තේ ටුවර් එකක් කාර් එකට ගැලපෙන දොරක් හොයන්න.

අපිට හම්බ වුණා සුදු පාට දොරක්. ඉතිං, ඒකත් අරං ඊට පස්සේ ගියා දොර පේන්ට් කරන්න මැච් වෙන තීන්ත හොයන්න ආයෙත් මහරගමට.

මේ සේරටම ගියේ මගේ කාරෙකෙයි. මොකද, කොච්චර කාර් රෙපයාර් කලත් බාස් උන්නැහැට තියෙනවයැ කාර් එකක්.

අන්තිමේදී පොර මාව ගෙදර ලඟින් දාගෙන කාර් එක අරං ගියා ගරාජ් එකට.

සතියකට විතර පස්සේ ඔන්න කාර් එක හදලා අහවර වුණා. ඒ අතරේ පෙජරොයියා ගේ අයිතිකාර මහත්තයා රට ඉඳලා ඇවිත් රෙපයාර් බාස් ගේ බිල ගෙවන්න බාර ගත්තා.

කොහොම හරි අන්තිමේ දී දුව ඉපදෙන්න සතියකට විතර වගේ කලින් ඒ සේරම ඔපරේෂන්ස් ටික ඉවර වුනා කියමුකෝ.

අන්න එතකොට තමයි මගේ ඇඟේ වතුර ටික ලේ වුනේ! දැන් ඉතිං, අපිත් රෙඩි, කාර් එකත් රෙඩි, දෝණිය ගේ මෙලොව සම්ප්‍රාප්තියට.

ඉතිං එදා රාත්‍රියේ නිදා ගන්න ගිහින් ඉන්න කොට තමයි මට කල්පනා වුනේ මේ රතු කොරොල්ලා කාරෙක ගත්තු එකේ තිබ්බ වටිනාකම.

1. ඉන්ෂුවරන්ස් එකට යන්න,
2. වයරින් බාස් හම්බ වෙන්න යන්න,
3. මිරිහානේ පොලිසියට යන්න,
4. ඒ.එස්.පී.කාරයා ගේ ගෙදර යන්න,
5. ආපහු ඉන්ෂුවරන්ස් එකට යන්න,
6. බාස් හම්බ වෙන්න යන්න,
7. බාස් එක්ක පාර්ට්ස් හොයන්න යන්න,
8. බාස් එක්ක පේන්ට්ස් හොයන්න යන්න,
9. පෙජරොයියා ගේ අයිතිකාර මහත්තයා රට ඉඳලා ආවට පස්සේ උන්නැහෙ ව හම්බ වෙන්න යන්න,
10. බාස් උන්නැහේ කාරෙක හඳලා ගෙදරටම ගෙනත් දුන්නට පස්සේ ආපහු ගිහින් පොරව ගරාජ් එකට දාලා එන්න.

මේ සේරම වැඩ ටික කරගන්න, හොඳ වෙලාවට කාර් එක තිබුනේ.

-කතන්දරකාරයා

ප/ලි:
හොඳ වෙලාවට කාර් එක තිබුනේ. නැත්තං මේ සේරම වැඩ කරගන්න එක්කෝ ත්‍රී වීලර්වල යන්න වෙනවා. නැත්තං බස්වල කට්ට කන්න වෙනවා!

(මෙගා සීරීස් එකේ සිව්වන කොටස - රෝස බබෙක් රතු කාර් එකේ.)

(image: http://www.pollsb.com/polls/p2031456-wood_man)

Wednesday 8 June 2011

කාර් එකේ පැජරොයියෙක් හැප්පෙයි! - Pajero Vs Corolla


අද මං කියන්න යන්නේ කතන්දර පවුලේ කාර් එක ගැන මෙගා සීරිස් එකේ දෙවෙනි කොටස හෙවත් පැජරොයියෙක් කතන්දරකාරයා ගේ කාර් එකට කෙලවපු හැටි ගැනයි.

ඔන්න ඉතිං සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව, කෙල්ල හම්බවෙන්න කලින් ගත්තු කාර් කට්ට ගෙදර සති දෙකක් ම වේලුණාට පස්සේ මංතුමාට ඩ්‍රයිවින් ලයිසොන් එක ලැබුණාය කියමුකෝ.

හා, හා, පුරා කියල අපි යන්න පිටත්වුනේ හුණුපිටියේ රක්‍ෂණ සංස්ථා කාර්යාලයටයි. ඒ කාර් එක ඉන්ෂුවර් කරන්න. එතන ගිහිල්ලා, ෆෝම් පුරෝලා, කාර් එක පෙන්නලා, සල්ලි ගෙවලා, ඒ වැඩේ කර ගත්තා.

බඩ දරු අම්මාත් කාර් එකේ අරගෙන ගිය නිසා, ටිකක් විතර බයක් ආවත්, ගට්ස් හොඳ හින්දා ඒ ගමන ගිහින් ආවා කරදරයක් නැතුව.

මේ කොරොල්ලා කාර් එකට අමුතුවෙන් හයි කරලා තිබුණා පවර් ෂටර්ස් ඉස්සරහ දෙපැත්තේ ජනෙල් වීදුරු වලට. කාර් එක ගන්න මට හෙල්ප් කරපු මිත්‍රයා කිව්වා මචං මේකේ වයරින් හරි නෑ වගේ අපි මේක පෙන්නමු මගේ කාර් එකේ වැඩ කරව ගන්න ඉලෙක්ට්‍රිකල් බාස් ට කියලා.

ඔන්න අපි කතාවුණා, ඒ සති අන්තයේ ඉරිදා කිරුලපනේ දී හම්බ වෙන්න.

මං ඉතිං උදේම ඇඳ පැළඳ ගෙන කාර් එකේ නැගිලා රජෙක් සේ ආවා නුගේගොඩ හන්දිය පැත්තට කෝට්ටේ ඉඳලා. හන්දියට ඔන්න මෙන්න තියෙද්දී මෙන්න බොලේ එකපාරටම දැම්මෙ නැතෑ, පෙජරෝ එකක් ඔය සුපර් මාකට් එකට කලින් තියෙන හරස් පාරේ ඉඳලා මහ පාරට.

දඩාස්!
ක්රීරීරීරීස්!

බැහැලා බැලින්නං පෙජරොයියා ගේ බුල් බාර් එක මගේ කොරොල්ලා එකේ ඉස්සරහ පැසෙන්ජර් පැත්තේ දොර ඉරලා නිකං යකෙක් ගැහැව්වා වගේ!

මට මාර දුකයි. ඇඬෙන කෙසේ වෙතත් හිනා යන සයිස් එකෙන්.

පැජරොයියා එලවං ආවේ ඩ්‍රැයිවර් කොලුවෙක්. තවත් හාදයෙකුත් හිටියා. ජීප් එක අයිතිකාර මහත්තයා සිංගප්පූරු ගිහින් ලු.

දැන් ඉතිං අපි ඩැමේජ් එක බල බල ඉන්නවා. පැජරොයියා නං යහතිං. ඩ්‍රැයිවර් කොල්ලා බයෙන්. මොකද මහත්තයාත් රට ගිය වෙලේ නේ. ඒ මදිවට, මූ කියන විදියට පැජරොයියා ට ෆුල් ඉන්ෂුවරන්ස් කවර් එකකුත් නැතිලු!

ඔය වෙලේ කොහේද මන්දා ඉඳලා එතනට ආපු පොලිස්කාරයෙක් අපිට කිව්වා වහාම ගිහින් පොලිසියට ඇන්ට්‍රියක් දාන්න කියලා.

හොඳ වෙලාවට මගේ රතු කොරොල්ලා එකේ එන්ජිම තැලිලා තිබුනේ නෑ. ඉතිං අර වයරිං බාස් හම්බවෙන්න යන ගමන පැත්තක තියලා ආපහු හරවං ගියා මිරිහාන පොලිසියට.

පැජරොයියාත් ආවා මං පස්සෙන්.

ඔන්න ඉතිං මං පැමිණිල්ල කට වචනෙන් කියවනවා, පොලිස්කාරයා ලියාගන්නවා. ඔය අතරේ ආවා කෝල් එකක් එතනට.

ඒකට උත්තර දෙන පොලිස්කාරයා ඔව් සර්, ඔව් සර්, කිය කිය ෆුල් ඇටෙන්ෂන් එකේ කියලා මෙන්න බොලේ මට දුන්නා රිසීවර් එක.

බැලින්නං මේ කතා කරන්නේ වෙන පොලිස් වසමක ඒ.එස්.පී. කාරයෙක්. ඒ දවස්වලත් මිනිහ ගේ නම කිව්වොත් හැමෝම දන්නවා. පොර දැන් ඩී.අයි.ජී. කෙනෙක් ද කොහෙද මගෙ හිතේ. මිනිහ ගේ සින්දු නං දැන් අහපු කාලයක් මතක නෑ.

මේ ඒ.එස්.පී කාරයා මගේ කොරොල්ලාවට කෙලෝපු පෙජරොයියා ගේ අයිතිකාර මහත්තයා ගේ හිතවතෙක්. මහත්තයා සිංගප්පුර් ගිහින් බවත්, දවස් දෙක තුනකින් එන බවත්, ආපු ගමන් කටයුතු නිරවුල් කරන බවත් කියන්න ලු මිනිහා මේ මට කෝල් කරන්නේ.

-කතන්දරකාරයා

ප/ලි:
ඒ මොනව වුනත්, මට ඇල්ලුවේ නෑ ඒ පොලිස් ලොක්කා ගේ කතාව.

මං මේ පොලීසියේ පැමිණිල්ලක් දාන වෙලාවේ මේ ඒ.එස්.පී. කාරයෙක් මට කෝල් කරන්නේ ඇයි?

කාර් කතන්දර මෙගා සීරීස් එකේ තුන්වෙනි කොටසත් සමග සිකුරාදා හමුවෙමු.

(image: http://www.caraccidentslawyers.com.au/)

Monday 6 June 2011

කතන්දරකාරයා කාර් කට්ටක් මිළ දී ගනී - Kathandara karaya buys a Car!

ඊයේ සන්ඩේ ස්පැෂල් එක්ස්ට්‍රා ලෙස නැවත කියවූ පොලිසිය එනු දැක දුවපු කොල්ලා කතාව මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2010/06/blog-post_21.html
එය නැවත කීයවීමක් නිසා බ්ලොග් රීඩර්ස් වල අප්ඩේට් වී නොමැති බව සැලයි.

මෙන්න අද සිට ඇරඹෙන කතන්දරකාරයා ගේ කාර් එක ගැන මෙගා සීරිස් එක.

මට මතකයි, අපි පොඩි කාලේ දවසක් තාත්තා අපේ ගමේ තිබුණු කාර් එක කුලියට කතා කරගෙන, කැලණිය පන්සලට ගියා. ඊට අමතරව ඉතිං, නැන්දලා ගේ, පුංචි අම්මලා ගේ මගුල් ගෙවල් වලට තමයි අපි කාර්වල ගියේ.

පාසල් ගුරුවරයෙකු වුණු මගේ තාත්තාටවත්, ඒ පවුලේ වෙන කාට හරි වත් කාර් තිබුනේ නෑ අපි පොඩි කාලේ. අම්මලා ගේ පවුලේත් එහෙමයි.

ඒකටත් එක්ක, මගෙයි කතන්දර හාමිනේ ගෙයි කොළු පැටියා නං උදේ අවදි වෙන්නෙත්, රෑට නිදාගන්නෙත් අත ලඟින් කාර් පෝලිමක් තියාගෙන. ලොකු වෙලා ලැම්බගීනි ජෙලාටෝ එකක් හරි, මසරාටි එකක් හරි, ෆෙරාරි එකක් හරි ගන්නයි කොල්ලා දැම්මම ප්ලෑන් කරන්නේ.

හැබැයි, අපේ ගෙදර කාර් එකක් නොතිබුණු හින්ද ද කොහෙද, මට නං පොඩි කාලේ තියා ලොකු වෙලාවත් කාර් පිස්සුවක් තිබුනේ නෑ කවදාකවත්.

හිරවෙලා බස්වල යද්දී වත්, බඩදරු අම්මලා ට, ළමයි වඩා ගත් අම්මලාට, සීට් පූජා කරද්දී වත්, අනේ මට කාර් එකක් තිබුණ නං කොච්චර හොඳ ඳෝ කියල මට හිතුනේ නෑ, අවංකවම.

අනික ඒ දවස්වල කාලෝ ෆොන්සේකා ලා පවා ගියේ බස් එකේ නේ.

නමුත් ඉතිං අවසානයේ කාර් එකක් ගන්න වුණා!

මේ කාලේ වෙනකොට මං, කතන්දර හාමිනේ ව බැඳලා, ඇනෙක්සි හොයලා, ඇන්ටි ගේ ගෙදර කාමරේ කුලියට ඉඳලා, අන්තිමේ දී අපේම කියලා ගෙදරක් දොරක් අරගෙන හෙම ටිකක් සැටල් ඩවුං වෙච්ච කාලේ.

ඔය අව් අස්සේ, අපි දෙන්න තුන්දෙනා වෙන්නත් කරුණු කාරණා යෙදුණා ය කියමුකෝ.

කතන්දර හාමිනේ කියපි දුව ඉපදෙන්න කලින් කාර් එකක් ගනිමු නේද කතී කියලා. (කතී කියන්නේ ආදරේට කියන කතන්දරකාරයා ගේ කෙටි නමයි!) මාත් ඉතිං ඒකට එකඟ වුණා.

ඒ වෙන මොකක්වත් ම හින්ද නෙමේ, අනාගතයේ බබාලා වඩාගෙන හාමිනේව බස් එකේ යවලා, ඒ බස්වල හොඳට ඉඳගෙන ඉන්න උන් ගේ සීට් ගන්නේ ඇයි කියලා හිතුන නිසා.

ඔය සීට් වැඩේට එයත් කැමති නැති නිසා, මේ වෙනකොට බඩ දරු අම්මා කෙනෙක් වුණු හාමිනේ උදේට කෝට්ටේ ඉඳලා ඇස්වාට්ටුව හරියේ තිබුණු එයා ගේ වැඩපොලට උදේ ට ගියේ ත්‍රී-වීලර් එකකයි. දවල් වැඩ ඇරිලා එන කොට නං ඉතිං, මිනිස්සුන් ව නැගිට්ටවන්නේ නැතුව සීට් එකක් ලැබෙනවා බස් එකට නගින තැනින්.

මං කාර් ගන්න හිතුවට කාර් එලවන්න ලයිසොන් තියෙනවයැ?

ඉතිං, ඉස්සෙල්ලාම කලේ පුංචි බොරැල්ලේ චාරිකා ලර්නර්ස් එකට ගිහින් ඒ සඳහා පුරුදු පුහුණු වෙන එකයි.

එතන උපදේශකයො කියන විදියට සපත්තු ගලවලා කාර් එලවන්න පුරුදු වෙලා, ආපහු සපත්තු දාගෙන එලවන්න පුරුදු වෙන්න තව අවුරුදු තුනක් විතර ගියා.

ගන්නවත් එකේ හොඳ කාර් එකක් ගන්න ඕනෑ කියලයි හාමිනේත් මාත් දෙන්නාම හිතුවේ.

එහෙම නැත්තං ඉතිං අද ලියන්න වෙන්නේ මේ කතන්දරේ නෙමෙයි, කට කහන කතා ලියන දුමී ලියපු එක වගේ කතාවක්.

ඕක හින්දම මං කලේ කාර් ගැන දන්න කියන යාළුවෙකුත් සෙට් කරගෙන ඉරිදා දවස් දෙකක් විතර ඔබ්සර්වර් පත්තරේ ඇඩ්ස් වල තියෙන කාර් බල බල වාත වෙච්ච එකයි.

අන්තිමේ දී ගත්තා ලස්සන රතු පාට කොරොල්ලා කාර් එකක්.

හැබැයි ඉතිං ඒ වෙනකොටත් මට ලයිසොන් එකක් ගන්න ට්‍රයල්ස් යන්න ඇවිත් තිබුනේ නැති හින්දා, ලයිසොම ලැබෙන කං, කාර් එක තවත් සති දෙකක් විතර වගේ ගෙදර වේලුණා.

ඒ රතු කොරොල්ලා කාර් එක හින්දා එදා දක්වා කරදර පිරිලා තිබුණු අපේ ජීවිත කොච්චර ලේසි පාසු වුණාද කියලා මං ඊලඟ දවසේ ලියන්නම්.

-කතන්දරකාරයා

ප/ලි:
කාර් එකක් ගන්නවා කියන්නේ අපි කාගෙ කාගේත් ලැයිස්තුවල ඉහලින් ම තියෙන 'සුළු ධනේෂ්වර සිහිනයක්' බව අමුතුවෙන් කියන්න ඕනැ නැහැ නේ.

අපේ පරම්පරාවෙන් ම ඉස් ඉස්සෙල්ලා කාර් එකක් අරගෙන ඒ 'සුළු ධනේෂ්වර සිහිනය' සැබෑ කරගත්තේ මංතුමා ය කියලා කියන්න පුළුවන් ආඩම්බරයෙන්.

හැබැයි, අපි හැමෝම මේ සිහිනය සැබෑ කරගන්නා දවස වෙන කොට, කොලඹ දිස්ත්‍රික්කයේ පාරවල් සේරම, පාරවල් නෙමේ කාර් පාක් වෙනවා සිකුරුයි. මොකද කියන්නේ?

image: http://www.imcdb.org/vehicle_13825-Toyota-Corolla-E80-1984.html

Sunday 5 June 2011

පොලිසිය එනු දැක දුවපු කොල්ලා - නැවත කියවීම

මේ කතන්දරය මුලින් පල කලේ 2010 ජූනි මස 21 දිනය. එහි ඇති කාලීන බව සිතා නැවත කියවන්නට සිත් විය.

වසර විස්සකට පසුවත් ඇතැම් දේ වෙනස් වී නැති හැටි!


කතන්දර බ්ලොග් එකේ ලියන්නට සිතා නොසිටි කතන්දරයකි.

ඊයේ ආච්චි ගේ පෙට්ටගම පෝස්ට් එක දැමු පසු දැන් නොලියා බැරි කතන්දරයකි.

ඉතා කෙටියෙන් කියමි.

ආච්චී කියූ පරණ කතන්දරයේ වගේම 1990 දී ද එක්තරා කොල්ලෙක් පොලිසිය එනු දැක දිව්වේය.

මේ මාතර අසල ගමක දී ය. මෙදා ආවේ එදා අපේ ආච්චිලා ගේ කාලයේ මෙන් නිකංම නිකං බැටන් පොල්ලක් හෝ නෝට් පොතක් රැගත් රැලේ බයිසිකලයක නැගි බාච්චු කොට කලිසමක් ඇඳි රාලහාමි කෙනෙක් නොවේ.

පොලීසියේ එලීට් යුනිට් එකක කෂ්ටිය ය. ඒ.කේ.ෆෝටි.සෙවන් දරා ගෙනය. පැජරෝ යනාදී රථවල ය.

මෙදා දිව්වේ එදා මෙන් පොඩි කාලේ සිට බත් නොකන විට, දඟ කරන විට පොලිසියට බාර දෙනවාය කියා බිය ගන්වන ලද කොළු ගැටයෙක් අම්මාගේ රෙද්ද බේරා ගන්නට නොවේ.

උසස් පෙල හදාරමින් සිටි කොල්ලෙකි. පාඩම් කරමින් සිටි කොල්ලෙකි. පැවති වාතාවරණය නිසා බිය වූ මුව පැටියෙකි.

මුව පැටියෙකු ගේ කකුලක් වේගයෙන් ඇදී යන ජීප් එකක මදක් විවර වූ දොරකින් පෙණුනු බවට ඇසින් දුටුවෝ සිටියහ.

මුව පැටියෙකු ගේ පිළිස්සුණු සිරුරක් පාරක් අසල තිබුණු බව ඇසින් දුටුවෝ සිටියහ.

එපමණකි.

"මචං එදා මුං මඩකලපුවේ ඉඳිද්දී අපි උන්ගේ වැඩ කිඩ ගැන කතන්දර අසා හුරේ දැම්මා. අපිට කෙලවුණු අදයි හිතෙන්නේ, මෙදා අපිටම මෙහේදී මෙහෙම නං එදා එහෙදී මුං අරුන්ට කොහොම කෙළවන්න ඇද්ද කියලා."

මින් වසර දෙකකට පසුව දුකින් තැවෙන සොහොයුරෙකුගේ මුවින් පිටවුණු වදන් කිහිපයකි ඒ.

අද කතාව මෙයින් නිමි.

සමහර විට නොනිමි දැයි ද සිතේ.

-කතන්දරකාරයා

ප/ලි:
උදේම jolly කතන්දරයක් කියවා දවසේ වැඩ අරඹන්නට සිතා සිටි මා මෙතෙක් දුටු නොදුටු ප්‍රිය සගයෙනි, මට සමාවෙන්න.

මා වසර දෙකකට පෙර ලියා 2011 මැයි මස 18 දා මේ බ්ලොගයේ පල කළ "නූතන ජන කවි" මතකද?
http://kathandara.blogspot.com/2011/05/modern-folk-poems-to-read-even-if-you.html

ඒ කවිත් නැවත කියවන්න.

Friday 3 June 2011

පුරාතන, මධ්‍යතන සහ නූතන - Ancient, Medieval and Modern (Hey, wait-a-minute!)



PamelaJuliaCalista
මේ දේශපාලන කරුණක් ගැන කෙරෙන තර්කයක් හෙම නං නෙමෙයි. ඒක හින්දා, සාමාන්‍යයෙන් විහිළු කතන්දර ලියන මංතුමා, ඉඳලා හිටලා එක්කෝ පොලිටික්ස් කතා කරන කෙනෙක් ලියපු පොතක් ගැන පෝස්ට් එකක් ලිව්වොත් හරි, නැත්තං මගේ කතාවක ලාවට වගේ මේ කියන කෂ්ටියට බූදලයෙන් අයිති වෙලා තියෙන පොලිටිකල් ග්ලොසරියෙන් වචනයක් හෝ වැරදිලා ලියවිලා තිබුණොත් හරි, මේ අහිංසක මට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන පොලිටිකල් ඇනිමල්ස් ලා මේකට කලබල වෙන්න හේතුවක් නෑ.

දැන් ටික කාලෙකට කලින් අපේ රත්නායක මහත්තයා එක්ක කයියක් දිදී ඉන්න වෙලාවක ඉගෙන ගත්තු මේ කරුණු බ්ලොග් එකේ ලියන්නද නොලියන්නද කියලා මාස ගානක් තිස්සේ හිත හිත ඉඳලා, ඔන්න අද හිතුණා, ඕ.පූ. වේවා, ඔන්න ඔහේ ලියලා දානවා කියලා.

පුක කියන්නේ කුණුහරුපයක් නොවේය කියා තර්ක කරලා, පx යනු පදාර්ථයක්ද, පරමාණුවක් ද? කියන කතන්දරෙත් ලියපු මට මේක ලියන එක මහ කජ්ජක් ද නේද?

මේ කතන්දරේ සිහියට එන්න මූලික හේතුව වුනේ පසුගිය දවසක පත්තරේක ගිය ලිපියකද කොහෙද කියවපු කතාවක්.

"අතීතයේ ඉඳල වර්තමානය දක්වා ඉතිහාසය සලකා බලන කොට, ලංකාව එන්න එන්නම පිරිහිලා!" කියලයි මේ ලිපියේ කියන්නේ.

ලංකාව විතරක් නෙමේ මුළු ලෝකෙම එහෙමයි කියන එකයි මගේ මතය.

"මේ නූතන යුගයේ මිනිසත් බව කියන එක ටිකෙන් ටික නැතිවෙලා යමින් තියෙනවා."

ඒක ඇත්ත! තවත් මිනිහෙක් මැරුණාය කියල අහල සතුටු වෙන්න නම්, තමන් ගේ මිනිසත්කම ටිකක් හරි කොම්ප්‍රොමයිස් නොකර බෑ කියලයි මට නම් හිතෙන්නේ.

ඔතන ඔය නූතන යුගය ගැන කියවෙද්දී මතක තියාගන්න ඕනෑ, ඉතිහාසය ගැන කතා කරද්දී, සාමාන්‍යයෙන් යුග තුනක් ගැන කතා වෙන බව.

පුරාතන, මධ්‍යතන සහ නූතන යුගය.

දැන් රත්නායක මහත්තාය කියන විදියට, ඔය තුන අර්ථ දැක්වෙන්නේ මෙහෙමයි.

පුරාතන කියන්නේ අපි කවුරුත් සැමදා ආදරයෙන් සිහි කරන කිරියෙන් ඉතිරී ගිය, සම්පතින් ආධ්‍ය වූ සශ්‍රීක එකක්. මතක් වුනත් සිත ඔකද වෙනවා! හදවත කින්කින් වෙනවා.

මධ්‍යතනත් නරකම නෑ. අපි බොහෝ දෙනෙකු කැමති දෙයක් තමයි. පුරාතනය තරම් නැති වුනත්, මධ්‍යතනත් කිරියෙන්, සම්පතින් පිරී ගිය එකක්.

ඒකටත් එක්ක නූතනය. කියලා වැඩක් නෑ, අන්තිමයි. කවද හරි වැඩි දියුණු කරල ගත්තෙ නැත්තං කාටවත් වැඩක් වෙයි ද මන්දා.

-කතන්දරකාරයා

ප/ලි:
සිංහල භාෂාව මරු භාෂාවක්. ඒත් ගොන්නු තාමත් කන්නේ තණ නේද? ඒ හින්දා ද මන්දා මට මේ කතන්දරේ ලියන්න සෑහෙන වෙලාවක් ගියා.

ඔය උඩින් දාලා තියෙන ෆොටෝ හොයා ගන්න නම් වැඩි වෙලාවක් ගියේ නෑ.

ප/ප/ලි
ස්ටාටරේ ගහල ගිහින් තියෙන ටියුබ් ලයිට් කෂ්ටිය මට ඊ-මේල් එකක් එවන්න. කතන්දරඇට්ජීමේල්ඩොට්කොම්

(Photos from: http://au.askmen.com/)

Wednesday 1 June 2011

සතිෂ් පෙරේරා බඳින්න කෙල්ලෙක් සෙවීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය - Satish Perera's bride finding methodology!


සතිෂ් පෙරේරා කියන්නේ අපි එක්ක කැම්පස් හිටිය පොරක්. තද බ්‍රයිටා. රැල්ලට විරුද්ධව උඩුගං බලා පීනලා කොළඹ ඉස්කෝලෙකින් පේරාදෙනියට එන්න තරම් ගට තිබුණු පොරක්!

නමුත් ඉතිං ඔය මොන බ්‍රයිටෙක් ආවත් අනිව ඩෙෆා ඔළුව හප්පගන්න ගහේ ඔළුව හප්පගෙන පොඩ්ඩක් විතර වාත වුණා තුනේ කැලෑසියෙදි විතර මට මතක හැටියට.

සතිෂ් ගේ සැබෑ බ්‍රයිටත්වය මට නම් පෙනුනේ, මැත ටියුට් එකේදී හරි, ට්‍රොනික්ස් ලැබ් එකේ දී හරි නං නෙමේ. අපි කොල්ලෝ කොයි කාටත් බලපාන එක්තර කාරණයක් ගැන සතිෂ් ගේ අදහස් මා එක්ක කියපු වෙලාවෙදියි.

සතිෂ්: කතන්දර, මචං උඹ දන්නවද, කවද හරි දවසක බඳින්න යන කෙල්ලගේ උඹ මොකක්ද බලන්න ඕනෑ අවශ්‍යම දෙය කියලා?

මම: මොකක්ද බං ඒ කතාව?

සතිෂ්: නෑ, මං මේ කියන්නේ හිතපං උඹේ ඔය සිහින මාළිගා බිඳ වැටුණු දවසක උඹ කවද හරි මනමාලියෙක් බලන්න යනව කියල. කෙල්ලගේ මොනවද උඹ බලන්න ඕනෑ අනිවාර්යෙන්ම?

මම: බලන්න ඕනෑ දේවල් නං මං දන්නවා බං. එත් බඳින්න කලින් ඒවා අපිට බලන්න දේවිද?

සතිෂ්: උඹ කියන කුණුහරුප නෙමේ බං, මං කියන්නේ නිකම්ම පේන්න තියෙන ඒවා.

මම: ඒ කියන්නේ කෙල්ලගේ නිකටේ උපන් ලපයක් තියෙනවද වගේ ඒවද?

සතිෂ්: නෑ, බං, උඹ බලන්න ඕනෑ කෙල්ල දිහා නෙමෙයි කෙල්ලගේ අම්මා දිහායි.

මම: ඒ මොකටද බං ඒ?

සතිෂ්: මේකයි, කෙල්ලෝ සාමාන්‍යයෙන් ලොකු වුණාම අම්මා ගේ ෂේප් එක තමයි ගන්නේ. උඹ බලන්න ඕනෑ, අම්මා ගේ සයිස් එක කොහොමද කියලා. අම්මා කෙට්ටු නං හොඳයි, හැබැයි පුතෝ කෙල්ලගේ අම්මා මහත නං, අනිවා ඩෙෆා කෙල්ලත් නාකි වෙන කොට මහත් වෙනවා!

අපි කැම්පස් එකෙන් අවුට් වෙලා අවුරුදු පහකින් විතර සතිෂ් කාරයා බැන්දා. මාත් ගියා වෙඩිමට හෝටලේක තිබුණු. කෙට්ටුම කෙට්ටු මනමාලියෙක් සහ කෙට්ටු නැන්දම්මා කෙනෙක් වගෙයි මට මතක.

මේ ලඟදී දැක්ක ෆේස් බුක් ෆොටෝ එකෙත් පේන්න තිබුනේ තාමත් වයිෆරේ ඒ ගානටම කෙට්ටුයි කියල.

සතිෂ් පෙරේරා ගේ බ්‍රයිට් මොලේට ආපු මනමාලිය හෙවීමේ ක්‍රයිටීරියාව නරකම නැහැ වගේ!

-කතන්දරකාරයා

ප/ලි:
ඉස්සර කාලේ විතරක් නෙමේ දැන් දැන් පවා, කොල්ලෝ කෙල්ලන්ගෙන් අනවශ්‍ය ප්‍රශ්ණ අහන කොට ගෙදර ඇවිත් අම්මගෙන් අහන්න කියලා සමහර කෙල්ලෝ කියන්නේ මේ හේතුව නිසා වෙන්න ඇති.

ප/ප/ලි
මෙන්න තවත් මොළකාරයෙක් මැෂිමක් හදපු හැටි ගැන පරණ කතාවක්.
http://kathandara.blogspot.com/2011/03/blog-post_25.html

(image: http://www.moviewallpaper.net/)