Monday 30 December 2013

හාල්පාරුවෝ සහ හාල් කෑලි - Best among the rest


ඒ මට මතක විදියට මා උසස් පෙළ නිමවා ගන්ධබ්බ ජීවියක් ගතකරන කාලයේ විය යුතුය. එක් දිනක් මම අපේ අංකල් ගේ බයිසිකලයේ නැගී රත්මලාන ප්‍රදේශයේ මංමාවත්වල කරක් ගැසුවෙමි.

මට යා යුතු නිශ්විත තැනක්, කළ යුතු වෙනත් කාර්යයක් නොමැති වූ නිසා අංකල් ගේ නිවසේ සිට බෙලෙක් කඩේ දෙසට විත්, එතැනින් ගාළු පාරෙන් අනෙත් පසට ගොස් දුම්රිය පොළ පැත්තේ ඔහේ පැදගෙන ගියෙමි.

සමහර විට මා එකම පාරේ දෙතුන් වරක් මේ ලෙස යන්නට ද ඇත.

එක්වරම මා දුටු කොලුවෙක් "මෙන්න හාල්පාරුවෙක්!" යැයි කෑ ගැසීය.

ඌ ඒ ආකාරයට ඒ නමෙන් හැඳින්වූයේ ගමේ ගොඩේ දී විටක දකින, කිසි වැඩකට නැති සතෙක් සේ සැලකෙන "හාල්පාරුවා" නම් වූ සර්පයෙකු නොව කිසි වැඩකට නැතුව ඔහේ සයිකලයක් පැද යන මා බව මොහොතකින් මට වැටහිණි. (ප/ලි: මා මෙහිදී ඇත්තටම අදහස් කලේ හාල්දණ්ඩා නම් වූ සර්පයා ය. හාල්පාරුවා නම් වූ සර්පයෙක් නැත.)

"හාල්පාරුවා" යන යෙදුමේ නියම තේරුම මට වැටහුණේ එදින ය.

මින් වසර කිහිපයකට පසු කාලයක "හාල් කෑලි" යන යෙදුම මට අසන්නට ලැබුණි.

මෙයින් අදහස් වෙන්නේ, කිසි සුවිශේෂීත්වයක් නැති, පොල් පිත්තකින් වුව කපා ගත හැකි, පඳුරකට ගැසූවිට දහයක් පහලොවක් පමණ විසිවෙන ආකාරයේ සාමාන්‍ය අවශේෂී පුද්ගලයින් ය.

අප මිතුරන් කීප දෙනෙකු අතර මේ යෙදුම තවමත් භාවිතාවෙයි. එසේ වුවත් අප කියන්නේ නිකම්ම නිකං "හාල් කැලි" කියා නොවේ, වැදගත් ආකාරයට "සහල්" කියා ය.

ඔය කතා දෙකම මට සිහිවූයේ මේ ලඟදී දිනක අළුත්ම හාල් වර්ගයක් උයා අනුභව කරන්නට ලැබුණු විටයි.

මෙය ඉන්දියානු සහල් වර්ගයකි.

මේ සහල් වර්ගයේ ඇති එක් සුවිශේෂී වෙනසක් නම් ඒ හාල් ඇට ඉතා දිගු ඒවා වීමයි.

මෙන්න හාල් ගැරීමට පෙර.


සෝදා ගත් සහල් රයිස් කුකරයේ ඉදෙන්නට පෙර.


මෙන්න බත් ඉදුණු පසු.


මෙන්න මේ ඉදුණු බත් ඇටවල දිග කෙතරම්ද වටහා ගැනීමට හැකි ආකාරයේ ඡායාරූපයක්.


කොහොමද දිග? ඉන්දියන් කියලා කියන්නවත් බෑ නේද?

මෙයින් මට තේරුම් ගිය එක් කාරණයක් නම් අවශේෂී හාල් කෑලි අතර ද සමහර හාල් කෑලි සුවිශේෂී ඒවා විය හැකි බවයි.

-කතන්දරකාරයා

ප/ලි
මේ කතන්දරයේ කිසිදු සැඟවුණු අරුතක් නොමැති බව කරුණාවෙන් මතක් කරමි.

(image: http://www.shutterstock.com/pic-2243346/stock-photo-a-rice-barge-on-the-chao-phraya-river-in-thailand.html)

Saturday 28 December 2013

විහිළු නොදන්නා විහිළුකාර අංකල්! - Know your limits, people!


මගේ අංකල් ලා කීප දෙනෙක් ගැන මා මීට පෙර කතන්දර ලියා ඇත. ඒ කාලයෙන් පසුව මිය පරලොව ගිය එයින් එක අංකල් කෙනෙක් ගැන මතක සටහනක් තියන්ට ගිය විට එක්තරා බ්ලොග්කාරිනීයක් එය දුටුවේ මුග්ධ ප්‍රතිචාරයක් කියායි.

ඒ කෙසේ වෙතත් අද මා ලියන්න යන්නේ ද අංකල් කෙනෙක් ගැනය.

මේ අංකල් සෑහෙන්න විහිළුකාරයෙකි. දැන් නං ඉතිං පැන්ෂන්කාරයෙක් ද වේ. ඒත් විහිළුවලින් නම් දැන්මම පැන්ෂන් යන පාටක් පේන්නට නැත.

මගේ මේ විහිළුකාර අංකල් පැන්ෂන් යෑම ගැන කියූ අපූරු කතාවක් මම නැවත කතන්දරයක් ලෙස ලියා කලින් දවසක මේ බ්ලොගයේ පළ කළෙමි.

අපේ විහිළුකාර අංකල් මා දන්නා දවසේ සිටම හරි විහිළුකාරයෙකි.

පොර කට ඇරියොත් විහිළු ය.

කෑම ගැන විහිළු ය.
නෑම ගැන විහිළු ය.
බීම ගැන විහිළු ය.
නිදා ගැනීම ගැන විහිළු ය.
වැසිකිලි යෑම ගැන විහිළු ය.

කොටින්ම දවසේ වැඩි හරියක් දේ ගැන විහිළු ය.

මෙන්න අපේ විහිළුකාර අංකල් ගේ විහිළු කතාවලට පොඩි උදාහරණයක්.
විහිළුකාර අංකල් ගේ නැන්දම්මා කළුතර පලාතේ දේවමුල්ල නම් ගම්මානයේ උපත ලැබූ අයෙකි. මේ දේවමුල්ල ගමේ පුරාණ දේවාලයක් තිබේලූ.

දේවමුල්ල ගමේ නම හැදුණු ආකාරය විහිළුකාර අංකල් විස්තර කරන්නේ මෙසේය.

ඔන්න එක දිනක් දේවාලේ කපුවා උදෑසන දේවාලයේ දොර ඇර බලන විට මහා ගඳක් දැනුණි. ඒ කුමක් නිසා දැයි සොයා බලන විට දේවාලයේ එක මුල්ලක කවුදෝ කක්කා කර තිබෙනු පෙනුණි.

කලින්දා යන විට දේවාලය වසා යතුරද ගෙදර රැගෙන ගිය නිසා, දේවාලය ඇතුලේ එක් මුල්ලක ඒ කක්කා කර තිබුණේ දේවාලයේ වැඩ වසන දෙවියා ම බව කපුවාට වැටහිණි.

දෙවියා දේවාලයේ මුල්ලක කක්කා කර තිබූ නිසා ඒ ගමට දේවමුල්ල කියා නම ලැබුණි!
එසේ නම හැදෙන්නට හේතුව දෙවියන්ගේ දේව ආභරණයක් හෝ දේවරුපයක් හෝ මුල්ලක තිබීම හෝ දේවාලය ගමේ මුල්ලක තිබීම හෝ නොවී මේ කක්කා කතාවක් නිසා බව කියන්නේ ඇයි දැයි ඔහුගේ නැන්දම්මා එවිට ඇසූවද, එය විහිළුකාර අංකල්ට නො ඇසේ.

ඒ මක් නිසාද යත් විහිළුව කියා අවසානවන්නටත් පෙර අංකල් නොනවත්වාම හිනාවෙන්නට පටන් ගන්නා හෙයිනි.

මේ විහිළු කතා අසන අපට අංකල් පෙනුණේ මහා විහිළුකාරයෙක් ලෙසයි.

ඒ මෙන්න මේ දිනය දක්වාය.

එදා විහිළුකාර අංකල් ද තවත් අප කීප දෙනෙක් ද ලක ලෑස්ති වී සිටියේ කොළඹ බලා යෑමටයි. කොළඹට බස් තිබුණේ පැය භාගයකට එකකි. එයිනුත් සීග්‍රගාමී ඒවා තිබුණේ එකක් හැර එකකි.

විහිළුකාර අංකල් ද, නඩයේ අනෙක් පිරිමි ද ලෑස්ති වී සිටියත් කාන්තා පක්‍ෂයේ කීප දෙනෙක් තවමත් සාරි වලට කටු ගසමින් සිටියහ.

විහිළුකාර අංකල් නොඉවසිල්ලෙන් ඔවුනට ඉක්මන් කරන ලෙස අණ දෙමින් ද ඔවුන් ගේ පමාව ගැනත්, සාරි ඇඳීම ගැනත් විහිළු කතා කියමින් ද සිටියේය.

අවසානයේ බස් එක නිවස අසලට පැමිණෙන විට කවුරුත් විහිළුකාර අංකල්ව සෙවූ මුත් ඔහු හරියටම ඒ මොහොතේ චූ බරක් හැදී වැසිකිලියට ගොස් සිටි නිසා අපට කොළඹ යන එක්ස්ප්‍රස් එක වැරදුණි.

බස් එක යන හඬ ඇසී ආපසු දුවගෙන ආ විහිළුකාර අංකල් දුටු විගසම අප සැමට සිනා ගියේය.

විහිළුකාර අංකල් ගේ නෝනාවන මගේ ඇන්ටි වහාම කට ඇරියා ය.

"මොකක්ද අනේ ඔයා මෙච්චර වෙලා ඉඳලා මේ විනාඩියටම ගියා ද කක්කා කරන්න? අපාරදේ ඔයා ගේ කක්කා බර නිසා බස් එකත් වැරදුණා!"

ඇය කීවා පමණි, අපේ විහිළුකාර අංකල්ට නැට්ටටම තද වී ඇන්ටී ට බණින්නට විය.

විහිළුකාර අංකල් ගේ විහිළු දන්නා අප සැම මුලින්ම හිතුවේ මේ විහිළුකාර අංකල් ගේ තවත් විහිළුකාර රංගනයක් කියායි.

නමුත් විනාඩියකින් පමණ අපට මේ විහිළුවක් නොව විහිළුකාර අංකල්ට ඇත්තටම පුෂ්ප විකසිත වී ඇති බව වැටහිණි!

අන් සැමට විහිළු කරන විහිළුකාර අංකල්ට ඇත්තටම විහිළු නොතේරෙන බව අප දැනගත්තේ එදා ය.

මේ සිද්ධිය වී දැන් දශක දෙක තුනක් ගෙවි ඇත.

විහිළුකාර අංකල් තවමත් පෙරසේ විහිළු කරයි.

ඒත් අපි විහිළුකාර අංකල් සමග විහිළු නොකරමු.

-කතන්දරකාරයා

ප/ලි:
අද නිවාඩු නං මෙන්න කියවන්න අංකල්ලා ගැන තවත් කතන්දර කීපයක්ම.

1. අංකල් ල ගෙ කතා - Uncle 1
http://kathandara.blogspot.com/2009/08/blog-post_06.html

2. අංකල් ල ගෙ කතා - අංකල් නම්බර් ටූ සහ අංකල් නම්බර් ත්‍රී
http://kathandara.blogspot.com/2009/08/blog-post_10.html

3. අනේ අපොයි අංකල් ගෙ බයිලා
http://kathandara.blogspot.com/2009/11/blog-post_17.html

4. මේක විට්ටර් අංකල් ගේ අන්තිම ලාස්ට් සීඩී එකද? - Victor Ratnayake's Nil Kandu Yaye
http://kathandara.blogspot.com/2012/12/victor-ratnayakes-nil-kandu-yaye.html

5. අංකල් කාල් ගේ තේ හැදීම - Uncle Carl makes Tea
http://kathandara.blogspot.com/2011/12/uncle-carl-makes-tea.html

6. සීයලා පස් දෙනෙක් අංකල් ලා කාලේ ඡායාරූපයක් - Who's who of Sinhala literature
http://kathandara.blogspot.com/2013/02/whos-who-of-sinhala-literature.html

7. අංකල් ගේ පුත්තු දෙන්නා - Uncle and his two sons
http://kathandara.blogspot.com/2011/09/uncle-and-his-two-sons.html

8. ඒ සල්ලිත් දාන්න අංකල් දෑවැද්දට...!!!
http://kathandara.blogspot.com/2010/12/blog-post_19.html

9. ගුවන් විදුලි ප්‍රශ්ණ විචාර තරගය - Take it or leave it!
http://kathandara.blogspot.com/2010/05/radi-quiz-show.html

10. පැන්සොන් මීටිම - When should a man retire?
http://kathandara.blogspot.com/2012/03/when-should-man-retire.html

11. එංගලන්තේ අංකල් ගේ කතන්දර කීපයක් - Once upon a time in England
http://kathandara.blogspot.com/2013/07/once-upon-time-in-england.html


(image: http://www.telegraph.co.uk/news/picturegalleries/howaboutthat/4324639/Barack-Obama-a-plastic-president-ready-for-action.html?image=3)

Thursday 26 December 2013

අපිට කෙලවෙන්නේ ඇයි? - Meet real A/L heroes


ඉගෙන ගෙන විභාග පාස් වෙන්නට ඇති අමාරුව එසේ පාස් වුණු උන් හොඳින් දනිති. ෆේල්වුණු උන් ද එය දනිති. ෆේල් වුණු වුන් නොදන්නේ විභාගයක් පාස් වුණු විට හිතට දැනෙන ජොලියයි.

විභාග පාස් වුණු විටත් එයින් හොඳම ජොලිය එන්නේ පන්තියේ පළමුවෙනියා වී හෝ පාසලේ හෝ දිස්ත්‍රික්කයේ හෝ නැතිනම් සමස්ත ලංකාවේන පළමුවෙනියා වී පාස් වූ විටය.

මං පොඩි කාලේ පන්තියේ පළමුවෙනියා වීමේ ජොලිය විඳ ඇත්තෙමි. කතන්දරහාමිනේ නං ඊට වඩා ගොඩක් ඉහලින් ඇති පළමුවෙනි තැන් ද අරගෙන ඇත.

මා කලින් කතන්දරයක දෙකක කියා ඇති පරිදි මගේ අධ්‍යාපන ජීවිතයේ හොඳම ප්‍රථිපලය ලැබුණේ පහේ පන්තියේ පැවැත්වුණු විභාගයෙනි. ඒ ජයග්‍රහණය මත මට ගමේ පාසලේ සිට නගරයේ මධ්‍යම මහා විද්‍යාලයට යන්නට හැකිවුණත්, එදා ලබාගත් 87% ප්‍රතිශතය ක්‍රමක්‍රමයෙන් වසර හතරක් ඇතුලත 63% ට පල්ලම් බැස්සේය.

පසු කලෙක උසස් පෙළ විභාගයේ දී නම් නැවත එය තරමක් හෝ ඉහල 69.25% තැනකට පත්වුණු නිසා ජාම් බේරුණි.

මා උසස් පෙළ කළ අවුරුද්දේ ගණිතය විෂය ධාරාවේ ලංකාවේ දෙවෙනි ස්ථානයට ලකුණු ලබා ගත්තේ මගේ පන්තියේ සිටි සිසුවෙකි. ඔහු එදා විෂයන් හතර සඳහා ලකුණු 360 ක් ලබා ගත්තේය.

ඉන් මාස කීපයකට පසුව මා පේරාදෙනියේ ඉගෙනුම ඇරඹු විට ලංකාවේ පළමු ස්ථානයට ලකුණු (361) ලබාගත් සිසුවිය අප සමග එක්වී සිටියාය.

මේ සියල්ල මට සිහිවූයේ මෙවර උසස් පෙළ ඉහලම ලකුණු ලැබූ සිසුන්ට මුදල් සහ පරිගනක තෑගි පිරිනැමුණු බවට දුටු ප්‍රවෘත්තියක් නිසාය.

එය ඉතා හොඳ වැඩකි. කිසිදු විවාදයක් නැත.

තම අධ්‍යාපන කටයුතු නිසි පරිදි කර සම්මත විභාගයන් ඉහලින්ම සමත් වූ ඒ අයට නිසි ගෞරවය ලැබිය යුතුය.

ඒත් මට මල පැන්නේ එහිදී ලබාගත් ඡායාරූපය දුටු විටයි.

මෙන්න ඒ ඡායාරූපය නැවතත්. මෙවර දිනමිණෙන්.



බලන්න අපේ ඒ සූර වීර සමර්ථයින් කොච්චර ලස්සනට හිනා වීගෙන ආඩම්බරයෙන් ඉන්නවා ද කියා.

මට කේන්ති ගියේ අර කොහෙවත් යන කොල්ලෙක් සහ කෙල්ලන් තුන්දෙනෙක් හතරදෙනෙක් පිකට් බෝඩ් අල්ලන්න මේ පින්තුරයට ගත්තේ ඇයි කියායි.

හතරදෙනා පස්දෙනා නිසා මේ අපේ සූර වීර සමර්ථයින් ගේ අපුරු පින්තූරය කැතම කැත වී ඇත.

අපදාරේ!

-කතන්දරකාරයා

ප/ලි:
මේ පින්තූරය දකින අයෙකුට මා මුලින් මාතෘකාවේ අසා ඇති ප්‍රශ්නයට පිළිතුර ඉබේම ලැබේ!

"අපිට කෙලවෙන්නේ ඇයි?"

ඒ සමගම මේ පරණ කතන්දරයද බලන්න. මෙය හුඟ දෙනෙක් කියවූවද, එක්කෝ බය නිසා නැතිනම් කැත නිසා, වැඩිපුර ප්‍රතිචාර නොලැබුණු කතන්දරයකි.

මහින්ද රාජපක්‍ෂ ට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය - Its my turn to teach Mahinda Rajapaksha a good lesson
http://kathandara.blogspot.com/2011/11/its-my-turn-to-teach-mahinda-rajapaksha.html



(image: http://www.divaina.com/2013/12/24/news04.html
http://www.dinamina.lk/2013/12/24/mainpic_L.jpg)

Tuesday 24 December 2013

තරුණ හස්බන්ඩලා ගේ දැන ගැණීම පිණිස වම්බටු ගැන පාඩමක් (වයිපරේ ලා නොබැලුවාට කමක් නැත) - Lets cook boys!


ලෝකයේ බටු ජාති කීපයක්ම තිබේ.

මෙයින් මා අකමැතිම බටු ජාතිය නම් තලන බටු හෙවත් එළබටු ය. ඒවා "එළ" යන සුපිරි වචනයට නිගා දෙවන බව මගේ අදහසයි. එළබටු මා පොඩි කාලේ සිටම අප්‍රිය කළ කෑමකි. අද ද එසේම ය.

මා දන්නා තරමට එළබටු වනාහී උයන්නට ද අපහසු බටු වර්ගයකි. ඒවායේ මැද ඇති ඇට සහිත මිශ්‍රනය අතේ ගෑවුනොත් කහන ගතියක් ඇති වෙන නිසා දෝ, මේ බටු පත්තර කොලයක් යට දමා පොල් ගෙඩියකින් තලනු මා පොඩි කාලේ දැක ඇත.

ඇත්තටම "එළ" බටු වර්ගය නම් තිබ්බටු ය. තිබ්බටු සහ හාල්මැස්සෝ දැමූ පොල් මැල්ලුම ඉතා රසවත් කෑමකි.

මා තායිලන්තයේ "පස්තාච්චි කුපාඩි" වැඩකරමින් සිටි සමයේදී තිබ්බටු දැමූ තායි ග්‍රීන් චිකන් කරිය ඉඩ ලැබුණු සෑම විටම වාගේ කෑවා මට මතකය.

බටු වර්ග අතර රජ බට්ටා වම්බට්ටා වේ.

ඉංගිරිසියෙන් වම්බටු වලට බ්‍රින්ජෝල් කියා කියති. මේ අතර අප දන්නා දම් පැහැති වම්බටුවලට වඩා තරමක් විශාල ප්‍රමාණයෙන් රවුම් වම්බටු වර්ගයකට එග් ප්ලාන්ට් කියා ද කියති.

වම්බටු ඉහත කී එළබටු සහ තිබ්බයු යන බටු වර්ග දෙකටම වඩා සුවිශේෂී වේ.

එයට එක හේතුවක් නම්, වම්බටු වනාහී මා වැනි පොරවල් පවා කෑමට ප්‍රිය කරන එළවළුවක් වීමයි. මීට අමතරව මම වම්බටු උයන්නට ද දන්නේ වෙමි!

දින දෙකකට ඉහත දී මා කියූ කතන්දරයේ සඳහන් වුණු අපේ නිවසේම හැදී වැඩුණු වම්බටු මා ඉවූ ආකාරය මෙන්න. ()

මෙය ඉතා සරල රෙසිපියකි. අවශ්‍ය දේ සකසා ගැනීමට මෙන්ම ඉවීමට යන්නේ ද විනාඩි කීපයකින් පමණි. එනිසා, විශේෂයෙන්ම තරුණ හස්බන්ඩලා ට ඉගෙන ගැනීමට සුදුසු ය.

1. පළමුව පොඩියට කැපූ රතුළුණු සහ තක්කාලි වලට කහ, මිරිස්, තුනපහ සහ කරපිංචා මිශ්‍ර කරගන්න.



2. බටු ද කැබලිවලට කපා ගන්න. මා මෙහිදී වම්බටු තීරුවලට කපා ගන්නා ලද මුත් මීට වඩා පොඩි කෑලිවලට කපා ගත්තේ නම් වඩාත් හොඳ බව පසුව සිතුණි.



3. දැන් ඒ මිරිස් තුනපහ සහිත මිශ්‍රණය තෙල් ඉතා ස්වල්පයක් යොදා රන්වන් පැහැය එනතුරු බැද ගන්න.





4. මෙයට කෑලිවලට කපා ගන්නා ලද වම්බටු එකතු කරන්න.



මෙන්න ඉදී ගෙන එන අයුරු.



මෙන්න සුළු වේලාවකින් වැඩේ ඉවරයි. දැන් ලිප නිවන්න.



කොහොමද වැඩේ? ඉතා ලේසියි නේද? මා කලින් කිටූ පරිදි මේ රෙසිපිය තරුණ හස්බන්ඩලාට ඉතා ලේසියෙන් ප්‍රගුණ කළ හැකිවෙනු ඇත. ඒ සමගම වයිෆරේ ලා ගෙන් ඉතා ඉහල ප්‍රමාණයක ලකුණු ලබා ගැනීමටද හැකිවෙනු ඇත.

අත්දුටුවයි, සත්තයි!

සාමාන්‍යයෙන් අප එළවළු උයන ක්‍රමයේ සහ මේ ක්‍රමයේ ඇති වෙනස නම් මුලින් ආධාරක ද්‍රව්‍ය තෙම්පරාදු කර ප්‍රධාන මූල ද්‍රව්‍යය වන වම්බටු පසුව එකතු කිරීමයි.

මේ රෙසිපියට තෙල් අවශ්‍යවන්නේ ඉතා ස්වල්පයකි. සාමාන්‍යයෙන් "බටු මොජු" හෝ "බටු තෙල් දාලා" යනුවෙන් හැඳින්වෙන ආකාරයට වම්බටු ඉවීමට නම් තෙල් බවුසරයක් පමණ අවශ්‍ය වේ. එනිසාම, ඒ ආකාරයට උයන ලද බටු කෑම ශරීරයට අහිතකර වේ.

සිංහල වම්බටු පිළිබඳ නොයෙකුත් කතා ඇත.

එයින් ඉතා වැදගත් එකක් නම් "බට්ටේ රස නැට්ටේ!" යන්නය. මින් අදහස් කෙරෙන්නේ වම්බටු ඉවීමේ දී එහි නැට්ටද ඉවිය යුතු බවයි. එය ඇත්තෙන්ම රසය.

-කතන්දරකාරයා

ප/ලි:
අද කතන්දරය සමග උඩින් ම පලකර ඇති ඡායාරූපයෙන් දැක්වෙන්නේ "දෙබිඩි වම්බටු" ගෙඩි දෙකකි.

මේ ආකරයේ වම්බටු කාන්තා පක්‍ෂයට කැමට හොද නැතැයි ගමේ ගොඩේ කතාවක් ඇත. ඒ "දෙබිඩි දරුවන්" ඉපදෙන්නට ඉඩ ඇති නිසාලු!


Sunday 22 December 2013

කෑවායින් කෑවේ නෑ මෙහෙම කෑමක් ("සිය වතු දේ - සුර රස දේ"):: Back to the roots


සාමාන්‍යයෙන් කියන්නේ "සියරට දේ - සුර සැප දේ" කියලා නේ. ඒ කතාවෙන් කියවෙන්නේ දේශීය නිෂ්පාදන තමයි හොඳම දේ කියලායි.

මේ කියන්නේ අර අපි පුංචි කාලේ තිබුණු ඝංඨාර මාක් එකේ සරොං ගැන හෝ දේශීය නිෂ්පාදන වෙන ගල් බමුණා, ගහපං මචං, අලහොදි හෝ කටුකම්බි ගැන විතරක් ය කියා වරදවා වටහාගන්න නම් හොඳ නෑ.

ලංකාවේ මිනිස්සු ලෝකේ කොයි හතර දිබ්බාගේ හිටියත් ලංකාවේ තේ ජාතිම හොයලා බොන්නේත් ඒ හින්දා විය යුතුයි.

"සියරට දේ - සිරි සැප දේ" වෙනුවට "පිටරට දේ - සිරි සැප දේ" වෙච්ච කේස් එකක් ගැන මං කලින් කතන්දරයක් ලියලා තියෙනවා. ඒක කියෝලා නැති අයටත්, මතකය අළුත් කරගන්න ඕනෑ අයටත් මෙන්න ලින්ක් එක.

http://kathandara.blogspot.com/2009/12/blog-post_12.html

"සියරට දේ - සිරි සැප දේ" එකේත් හොඳම එක තමයි, තමන් ගේ ගෙදරම හදාගන්න වවාගන්න දේවල් භවිතයට ගැනීම.

අපි පොඩි කාලේ මට මතකයි අපේ ගෙදර වත්ත පහල අම්මායි, මල්ලිලායි, මායි එකතු වෙලා බතල පාත්ති දානවා. මයියොක්කාත් පැල කීපයක් වැව්වා. ඒත් බතල පාත්ති තමයි නැගලා ගියේ. මොකද ඉක්මනටම වැවෙනවා නේ, මාස තුනෙන් මුල් අල ගලවන්න පුළුවනි.

මගේ තාත්තා ගේ පැත්තෙන් සීයාත් ආච්චීත් ගොවිතැනෙන් ජීවත් වෙච්ච අය වුණාට, ඊලඟ පරම්පරාවෙන් ඒක හැලිලා ගියා. ඒ ගොල්ලෝ සේරම වගේ ගුරුවරු.

මගේ අම්මාගේ පැත්තේන් නං ආච්චියි, සීයයි දෙන්නාමත් ගුරුවරුනේ.

ඒ හින්දා පොඩි කාලේ බතල හිටෙව්වාට, පසු කාලෙක ඒ බතල හිටුවීම කටෙන් විතරයි කෙරුණේ.

කතන්දර හාමිනේලා ගේ ගෙදරත් ඒ විදියට එළවළු වගා කරලා තියෙනවා. ඇත්තටම කියනවා නම් සුළු පරිමානයෙන් නොවෙයි, මහා පරිමානයෙන්. මගේ මාමණ්ඩි ඒ පලාතේ අල ගොවිතැනේ පුරෝගාමිකයෙක්. උසස් පෙළ ලකුණු වැඩිවුනේ නැති නං හාමිනේටත් පේරාදෙනියේ කෘෂි විද්‍යාව ඉගෙන ගන්න යන්න තිබුණා!

ඔය තත්වයේ සිඝ්‍ර වෙනසක් මේ පසුගිය දිනවල සිදුවුණා!

ඒක තමයි අපේ නිවස පිටුපස පොඩි කැල්ලක ආදර්ශ ගොවිපොලක් ඇරඹීම. ඔය උඩින් දාලා තියෙන්නේ ඒ එලවළු කොටුවේ එක් පැත්තක පින්තූරයක් තමයි.

පසුගිය සති අන්තයේ ඒ පාත්තිවල මුල්ම පලදාව කඩාගෙන රස විඳින්න අපිට අවස්ථාව ලැබුණා.

මෙන්න ඒ ජාති.


මේ එළවළු උයලා එදා කාපු මොහොතේ තමයි තේරුණේ කෘමි නාශක, වල් නාශක නැතුව වැවුණු අළුත්ම එළවළු කොච්චර රහයි ද කියලා.

මෙන්න ඒ වෑංජන්වල ඡායාරූප.


මෙතනින් බෝංචි සහ වම්බටු ඉව්වේ මායි. බ්ලොග් කියවන පිරිමි පක්‍ෂයෙන් ඉල්ලීමක් ආවොත් ඒ රෙසිපි දෙකත් ලියන්නට පුළුවනි.

ඒ එළවළු වෑංජන්වල රස නිසා මං අර මුලින් කියපු පරණ කියමන මෙන්න මේ ආකාරයට වෙනස් කළා!

සිය වතු දේ - සුර රස දේ!

මෙන්න මගේ බත් පිඟාන. ගෙදර එළවළුවලට අමතරව, සෝයා, පරිප්පු සහ චිකන් ද තිබේ.


බත නං රතු හාලේ වගේ පෙනුනාට ඕක සුදු සහ රතු හාල් වල 3:1 පමණ මිශ්‍රණයක්. තනිකර රතු හාල් කන්න බැරි තරම් තිත්ත ඇයි?

අවසානයේ ඉතිරි වුයේ මෙපමණයි.


-කතන්දරකාරයා

Friday 20 December 2013

ෂිහ් විතරක්! - අවුරුදු දාසයක කොල්ලෙකු ගේ ප්‍රේමාලාපයක් - Hot sixteen?


දැලි රැවුල එන, ෂරට් මැදලා අඳින, කොණ්ඩේ පීරණ කාලේ දී සහමර කොල්ලන්ට කවි ලියන්නත් හිතෙන බව මං කලින් දවසක කිව්වා.

මේ කවි අති බහුතරයම ඉතිං ලියවෙන්නේ කෙල්ලෝ ගැන තමයි.

මෙන්න ඒ වගේ කවියක්.

මේක ලියපු කුකවියා ගේ එදා වයස අවුරුදු දාසයයි, මාසයයි ලු.

එපා!

තණපත් අග හිමිදිරියේ
තුෂාරයක් වෙන්න එපා
සුදු මල් ඇති රෝස ගසක
විස කටුවක් වෙන්න එපා

අහසෙ ඈත කොණකට වුණු
තනි තරුවක් වෙන්න එපා
අනුෂාවෙනි කිසි කෙනෙකුගෙ
හිතට දුකක් දෙන්න එපා

අනන්තයට විහිදී ඇති
මහ සයුරක් වෙන්න එපා
මඩින් පිරුණු විලක පිපිණු
නෙළුම් මලක් වෙන්න එපා

බෙල්ලෙකු ගේ කටු අතරේ
මුතු කැටයක් වෙන්න එපා
ආදරයේ වටිනාකම
මුදලින් විමසන්න එපා

යොවුන් සිතක නැවුම් හැඟුම්
නොතකන සේ ඉන්න එපා
ඔබ වෙත යොමුවෙන දෙනෙතට
රත් යවුලක් වෙන්න එපා

ඔබ වෙනුවෙන් ගැයෙනා ගී
වලකන්නට හදනු එපා
අනුෂාවෙනි කිසි කෙනෙකුගෙ
හිතට දුකක් දෙන්න එපා


මේ කුකවියා මේ එපා කවිය ලියන්නට දින දෙක තුනකට කලින් ලියපු ඔහුගේ මුල්ම පෙම් කවිය ගැන කතන්දරය මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2009/11/blog-post_14.html

-කතන්දරකාරයා

ප/ලි:
මේ කයි-කතන්දරය කියවා "පත්තර මල්ලී"ට මතක් වුණු සින්දුව මෙන්න.




(image: http://www.celebuzz.com/2012-09-13/justin-bieber-gets-mobbed-by-screaming-crying-fans-in-london-photos/)

Wednesday 18 December 2013

ඉස්කෝලේ යන කෙල්ල ගේ සිට ඉස්කෝලේ ටීචර් දක්වා සංක්‍රාන්තිය - Big, bigger, biggest


කෙල්ලෝ ලොකු ළමයි වෙනවාට වඩා කොල්ලෝ ලොකු ළමයි වෙන ක්‍රමය වෙනස් බව අපි දන්නවා නේ.

ඒ විදියට ලොකු වුණාය කියලා අනිත් අයට දැන ගන්න ලැබෙන විදියත් වෙනස්.

අද මං කියන්න යන්නේ කොල්ලෙක්, දැලි රුවුල ඇවිල්ලා, කටහඬ වෙනස් වෙලා, කමිස මැදලා අඳින්න, කොණ්ඩේ පීරන්න පටන් අරගෙන යොවුන් වියට එළැඹිලා එතැනිනුත් එහාට පණින පිම්ම කොහොමද අඳුණා ගන්නේ කියලායි.

යොවුන් වියට ආවට පස්සේ පාසල් යන ගමනේ දී හමුවෙන පාසල් යන සම වයසේ කෙල්ලෝ දකින කොට හඳුන් පොත්ත කීං ගානවාද මොකක්ද මන්දා එකක් වෙනවානේ.

ඕක වික්ටර් රත්නායක සින්දුවකින් මෙහෙම කියනවා. පද රචනය සුනිල් ආරියරත්න අංකල්.

හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං
බාල බොළඳ බස් දොඩමින් කැලේ පැන්න මං
බාල වියෙන් පිටමං වී යොවුන් වියට පිය මැන්නේ
ප්‍ර්‍රිය ලඳුනේ ඔබ නිසාය


ඒ ලෙඩේම තවත් රෝග ලක්‍ෂණයක් තමයි කවි ලියන්නට සිතීම. ඒ ගැනත් සින්දුවක් වික්ටර් අංකල් කියනවා මං අහලා තියෙනවා වගේ මතකයි, මෙන්න මෙහෙම.

ගී සියයක් මා ලිව්වේ ඔබේ නෙතින්
තව සියයක් ගී ලියවෙයි ඔබේ වතින්


දයාරත්න රණතුංග අංකල් මෙන්න මෙහෙම කියනවා.

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි


මාත් ඔය යොවුන් කාලේ ඉස්කෝලෙට යන අතරමග දී ඇස ගැටුණු ගෑල්ළමයි ගැන ඔය වගේ කවි සහ ගීත සිය ගණනක් ලියලා තියෙනවා.

ඒ දවස්වල ඒවා ලියන්නේ කොටුරූල් පොත්වල. මොකද, ඒවා යේ තනිරූල් පොත්වලට වඩා ඉරි තියෙන නිසා. වැඩි පේලි ගාණක් ලියන්න පුළුවනි. ඒ තරමට කවි ගලාගෙන එනවා ඒ දවස්වල.

කොහොමහරි, අන්තිමේදී ඒ පරණ ඇක්සයිස් පොත් ටික විතරයි මා ගාව ඉතුරු වුනේ.

ඉස්කෝලේ කාලේ ඉවර කරලා විභාගෙන් පස්සේ ගන්ධබ්බ ජීවිතය ගත කරන කාලෙත්, කොහේ රස්තියාදු ගැහැව්වත් ඉස්කෝල ඇරෙන වෙලාවට, ස්කූල් බස් එක එන වෙලාවට ටවුමේ ගැවසෙන්න හිතෙන බව කියන්නත් දෙයක්ද?

ඒ විතරක් නොවෙයි, කැම්පස් ගියාට පස්සේත් එයන එන ගමන්වලදී ඇහැ යන්නේ අර උසස් පෙල පන්ති යන එන ගෑල්ළමයි දිහාටමයි.

ඔහොම ඔහොම ගිහින් මට මතකයි මං සෙකන්ඩ් ඉයර් එකේ විතර ඉන්න කාලේ දවසක, මායි බැචෙකුයි පැනිදෙනිය පැත්තේ ඇවිදගෙන යන කොට අපට ඉස්සරහින් සාරි ඇඳ ගත්තු දෙන්නෙක් යනවා දැක්කා.

ටිකක් හයියෙන් ගිහින් ඉස්සර කරලා බැලින්නම් මේ කවුද?

සුනිල් සාන්ත ගේ "මිහිකත නලවාලා, වන මල් පුබුදාලා" කියලා ප්‍රශස්ති ගීතයක් ගායනාවෙන් පිදුම් ලැබූ ඉස්කෝල ටීචර් ලා දෙන්නෙක්.

බලාගෙන ගියාම මේ ඇත්තියෝ දෙන්නා පැනිදෙනියේ තියෙන ගුරු පුහුණු ආයතනයේ ඉගෙන ගන්න අය.

අන්න එදා තමයි, ජීවිතේ මුල්වරට එච්චර කල් ම ඉස්කෝලේ යන කෙල්ලන්ට ඇදී ගිය සිත, ඉස්කෝලේ ටීචර් කෙනෙකුට ඇදී ගියේ.

ඒ වෙනකොට වයස දහඅට පහුවෙලා, මං මොකක්ද මන්දා මැතිවරණයකට චන්දේ දිලා තිබුණා වුනත්, මංතුමා යොවුන් වියෙන්, තරුණ වැඩිහිටි වියට පා තබලා තියෙන බව මට තේරුම් ගියේ එදායි.

ඒ කියන්නේ වෙනදා විදියට ගවුම ඇඳපු ගෑල්ළමයින් වෙනුවට සාරියක් ඇඳපු කාන්තාවන්ට හිත යනවා නම් ඔන්න කොල්ලා වැඩිහිටියෙක් වෙලා!

-කතන්දරකාරයා

ප/ලි: (10am 18/12/2013)
ඉස්කෝලේ යන කාලේ පොඩි හෝ ලොකු පන්තිවලදී ඉස්කෝලේ ටීචර්ලා ට හිතෙන් ලව් කරපු කතා මෙතනට අදාල නැති බව කිව යුතුය.


ප/ප/ලි: (5pm 19/12/2013)
සාරි ගැන වෙනත් කතන්දර

1. කහ සාරිය සහ මල් සාරිය -කොල්ලන් ට නොතේරෙන කතන්දරයක්!
http://kathandara.blogspot.com/2010/12/blog-post_29.html

2. සාරි අඳින පුටු
http://kathandara.blogspot.com/2010/02/blog-post_23.html

3. ඔෆීසියේ දී දුටු යුවතිය
http://kathandara.blogspot.com/2012/03/girl-at-office.html

4. සීලවතී සිල් අරගෙන - මාලවතී මල් අරගෙන
http://kathandara.blogspot.com/2009/07/blog-post_21.html

5. අනිච්ඡාවත සංඛාරා - සුදු සාරියේ ශෝකය
http://kathandara.blogspot.com/2010/12/blog-post_31.html


(image: http://www.wired.co.uk/news/archive/2012-02/10/phones-4u-jump)

Monday 16 December 2013

කොල්ලා ලොකු වුණු බව උගේ තාත්තා දැනගත් හැටි - The secret is out


මං සෙනසුරාදා කියන්න පටන් ගත් කතාව අවසන් වෙන්නේ අදයි.

එදා මං කිව්වේ කොල්ලෝ නොව කෙල්ලෝ ලොකු වුණු අවස්ථා සහිත චිත්‍රපටි දෙකක් ගැන හෑලි පමණකි.

ඕන්නං මෙන්න ඒවා කියවන්න මුලින්.
http://kathandara.blogspot.com/2013/12/boy-becomes-big-boy.html

"එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටියේ මාලනී ෆොන්සේකා ද, "අනුපමා" චිත්‍රපටියේ සුවිනීතා වීරසිංහ ද එලෙස විත්‍රපටිය සඳහා ලොකුවෙන විට ඔවුන් අවුරුදු තිස් ගණංවල කෙල්ලෝ වෙන්නට ඇත.

නමුත් අපේ සමවයසේ පාසලේ සිටි කෙල්ලන්ට නං ඔය සතියක් දෙකක් පාසල් නොපැමිණ සිටින්නට වෙන අසනීපය සෑදෙන්ට පටන් ගත්තේ අපි හතේ පන්තියේ අවසානයේ පමණ සිටියදී ය.

මා මිශ්‍ර පාසලට ගිය අවසාන වසරවෙන නමයේ පන්තියේ දී ද මේ ආකාරයෙන් පාසල් නොඑන ලෙඩේ සෑදෙන සිසුවියෝ වූහ. ඒ වසරේ අවසානයේ වුවද, ඒ ලෙඩේ නොසෑදුණ අය ද ඉන්නට ඇත.

ඔය වයසේ දී කොල්ලෙකු සිටින්නේ සම වයසේ කෙල්ලෙකුට වඩා ප්‍රායෝගීකව අවුරුදු දෙකක් පමණ බාල තත්වයකය. එයින් මා අදහස් කරන්නේ කෙල්ලන් එලෙස හතේ පන්තියේ දී ලොකු ළමයි වූවද, කොල්ලෝ තවමත් පොඩි එවුන් බවයි. එනම් කොල්ලෝ ලෙකු වෙන්නේ ඊට පසු කාලයක බවයි.

එයටම ගැලපෙන අනිත් කතාව නම්, මේ කාලයේ දී අපට වඩා ඉහල පන්තිවල සිටි කොල්ලෝ (අය යුගයේ ළමයි දන්නා භාෂාවෙන් කියනවා නම් අයියලා) අපේ පන්ති වටේ කරක් ගහන්නට පටන් ගන්නා බවයි. අපේ පන්තිවල සිටි සති දෙකේ නිවාඩුව ගත් කෙල්ලෝ ඒ "අයියලා" දෙස කෝල සිනාවෙන් බැලුවා මිස අප කෙරෙහි වැඩි තැකීමක් නොකළහ.

අපේ පන්තියේ කෙල්ලන් සහ ඒ අයියා කොල්ලන් අතර සෙම් සබඳතාවයක් දෙකක්ද ඒ දිනවලම ඇති විය.

කොල්ලෙක් ලොකු වුණා යයි දැන ගන්නේ උගුරු ඇටය නම් අස්ථිය පෙනෙන්නට පටන් ගැනීම, කට හඬ වෙනස් වීම, කිහිල්ලේ සහ ලිංගේන්ද්‍රිය අසල රෝම මතුවීම වැනි කාරණා සම්පුූර්ණවන විට බව අප දනිමු. නමුත් ප්‍රශ්නය නම් මේවා කාලයත් සමගම ක්‍රමක්‍රමයෙන් සිදු වෙන දේ මිස කෙල්ලන්ට මෙන් එක්තරා දවසක එක්තරා මොහොතක සිදුවෙන සංසිද්ධියක් නොවීමයි.

එනිසා කොල්ලන්ට කෙල්ලන්ට මෙන් උත්සව නැත. තෑගි බෝග ද නොලැබේ.

මා ළමාවියෙන් වැඩිහිටි වියට පා තබා ඇති බව මා දැන ගත්තේ ද ඉහත කී නිමිති නිසාය. ඒ ගැන වෙනත් අයෙක් ලෙස මුලින්ම දැන ගත්තේ මගේ ඥාති සොහොයුරෙකි. ඒ හදිසියේම මගේ සරම පැටලී කැඩී වැටීම ඔහු දුටු විටය!

ඒ කෙසේ වෙතත්, දැන් වයස අවුරුදු දොළහත් පසුකර දහතුන්වෙනි වසරේ දිවි ගෙවන මගේ පුතණ්ඩියා ලොකු කොල්ලෙකු වී ඇති බව මට පසුගිය දා වැටහිණ.

ඒ උගේ සරම කැඩුණු නිසා නොවේ.

මෙන්න මේ ආකාරයටයි.

අපේ නිවසේ ඇඳුම් මැදීම සිදුවෙන්නේ ඉතා කළාතුරකින් බව මා කාලයකට ඉහත ලියූ "මැදපු කමිස මොකුත් නැත" යන කතන්දරයේ දී කියා සිටියෙමි.

කොටින්ම එක් වරක් අපේ නිවසේ රාත්‍රිය ගත කළ මිත්‍රයෙකු පසුදා උදෑසන අපෙන් ඉල්ලූ විට අපේ විදුලි ස්ත්‍රික්කය ඔහුට සොයා දීමට මට සෑහෙන වේලාවක් ගතවිය.

පසුගිය සතියේ මා අසලට පැමිණි මගේ පුත්‍රයා මගෙන් මෙලෙස ඇසීය.

"තාත්තේ මට ෂර්ට් අයන් කරලා ඉස්කෝලේ ඇඳන් යන්න පුළුවනිද?"

"පුළුවනි. හැබැයි ඔයා ඒක පුරුදු වෙන්න ඕනෑ. ඉස්සෙල්ලාම මං පෙන්නලා දෙන්නං ඔයාට කොහොමද ෂර්ට් මදින්නේ කියලා. ඊට පස්සේ මං බලාගෙන ඉන්න කොට ඔයා මදින්න. සති දෙක තුනකට පස්සේ ඔයාටම පුළුවන් වේවි තනියම ෂර්ට් මැදගන්න". මම කීවෙමි.

"ඉතිං ඇයි ඔයාට වෙනදා නැතුව ෂර්ට් මදින්න ඕනෑ වුනේ?" මම ඒ සමගම ඇසුවෙමි.

"ඒවා පොඩිවෙලා නේ, ඒකයි".

පුතා ගේ ඒ කතාවෙන් මට කාරණය වැටහිණි.

පුතාට උවමනා වී ඇත්තේ මැදපු කමිසයක් ඇඳ එක විදියකට පාසලට යන්නය.

පුතා යන්නේ මිශ්‍ර පාසලකට ය.

කොල්ලා ලොකු වී ඇත!

-කතන්දරකාර තාත්තා

ප/ලි:
මීළඟ ප්‍රශ්නය.

මෙළෙස ලොකුවුණු කොල්ලා, එතැන් පටන් යොවුන් වියේ කල් ගෙවා එතැනින් තරුණ-වැඩිහිටි වියට පිවිසෙන දිනය ගැන දැන ගන්නේ කෙසේද?


(image: http://www.charlesmacpherson.com/default.asp?id=shirt-ironing&l=1)

Saturday 14 December 2013

පිරිමි කොල්ලෙක් ලොකු වුණු බව දැන ගන්නේ කෙසේද? - Boy becomes BIG boy


ඔය පිරිමි කොල්ලා කියන කෑල්ල මං උපුටා ගත්තේ විනෝද සමය අමාරිස් අයියා වැඩ සටහනකිනි.

අමාරිස් අයියා තම පුතාව පාසලට ඇතුලත් කිරීම සඳහා විදුහල්පති මුණ ගැසෙයි.

"මුලින්ම මේ ළමයා ගේ 'ඉන්ටැලිජන්ස්' බලන්න ඕනෑ!" විදුහල්පති පවසයි.

"චී මහත්තයා, ඒවා නං බලන්න දෙන්න බෑ!" ඒ ළමයා ගේ පියා ය.

"එහෙම කියලා බෑනේ. ඉන්ටැලිජන්ස් බලන්නම ඕනෑ ඉස්කෝලෙට ඇතුලත් කරගන්න."

"මොනවා බලන්නද මහත්තයෝ. ඔන්න මූ පිරිමි කොලුවානේ! මං දන්නේ නැද්ද? මං නේ ඕකාට ගම්මිරිස් පිම්බෙත්!"

ගම්බිරිස් පිඹින්නේ ළදරු කාලයේ දී ය. ළදරුවා ඉන් පසු ළමයෙක් වේ.

අද මගේ කතන්දරය මේ ළමාවියෙන් තරුණ වියට පෙළඹීම, එනම් ලොකු වීම ගැනය.

ගැහැණු ළමයෙකු තරුණියක බවට පත්වීම නිශ්චිත දිනයක සිදුවන දෙයකි. මල්වර වීම යනුවෙන් ලිඛිත භාෂාවෙන් හැඳින්වෙන මෙම සංසිද්ධිය වැඩි දෙනෙකු ව්‍යවහාරයේ දී හඳුන්වන්නේ ලොකු වීම කියාය. ජම්බු ගහෙන් වැටීම යන අව්‍යක්ත යෙදුමද භාවිතා වේ.

"එයා දැන් ලොකු ළමයෙක්" යනු අපේ පුංචි අම්මලා ගේ කාලයේ ප්‍රසිද්ධ නවකතාවකි. මගේ මතකයේ හැටියට එය ලියා ඇත්තේ කරුණාරත්න සපුතන්ත්‍රී නම් ලේඛකයාය.

පසු කලෙක මේ පොත අනුසාරයෙන් චිත්‍රපටයක් නිපදවිණි. අධ්‍යක්‍ෂණය ධර්මසේන පතිරාජා ය. එහි මාලනී ෆොන්සේකා නම් ළමයා ලොකුවී තරුණියක වන මල්වර මංගල්‍යය සහිත චිත්‍රපටයේ නමටම ගැලපෙන දර්ශනයක් තිබුණි.

මා ඒ චිත්‍රපටය සම්පූර්ණයෙන් නරඹා නැත.

නමුත් දයා රාජපක්‍ෂගේ "අනුපමා" චිත්‍රකතාව ඇසුරෙන් සුනිල් ආරියරත්න සෑදූ, මා නරඹා ඇති, "අනුපමා" චිත්‍රපටයේ කෙල්ලෙකු පාසල් කාලයේ මේ ලොකු වීඟ නම් සිද්ධියට භාජනය වී නිවසය යැවූ විට ඒ ප්‍රවෘත්තිය කෙල්ලන් කොල්ලන්ට දන්වන්නේ පෙර කී "එයා දැන් ලොකු ළමයෙක්" නවකතාව පෙන්වීමෙනි.

මගේ කතන්දරයට කෙලින්ම අදාල නැති වුණත් තවත් කරුණු දෙකක් පවසන්නම්.

දයා රාජපක්‍ෂ ඔය අනුපමා කතාව ගෙතුවේ, අපේ සිංහල පාඩම් පොතක තිබූ "දෝහියාගේ මව" නම් පරිවර්තිත කෙටි කතාවේ මුල් කෘතිය ඇසුරෙන් විය යුතුය. ඒ මව ගේ ප්‍රභල චරිතය එම කෙටිකතාවේ ප්‍රධාන චරිතයයි.

තමන් අධ්‍යක්‍ෂණය කළ මුල් චිත්‍රපටය තිරගත වීමට පළමු තවත් චිත්‍රපට නමයක් සාදා නිමකර වාර්තාවක් පිහිටවූ සුනිල් ආරියරත්න ගේ මේ "අනුපමා" චිත්‍රපටය හා සම්බන්ධ එක් සුවිශේෂී කරුණක් නම් මෙහි ප්‍රධාන පිරිමි කොලුවා ගේ චරිතය රඟපෑවේ විජය කුමාරතුංග වූවද, එහි මාලනී ෆොන්සේකා රඟපෑවේ කෙල්ල ගේ චරිතය නොව විජය ගේ අම්මා ගේ චරිතර වීමයි.

කෙල්ල ලෙස රඟපෑවේ එක්කෝ සුවීනීතා වීරසිංහය, නැතිනම් සුවිනීතා අබේසේකරය, නැතිනම් සුවීනීතා කොන්ගහගේ ය.

අනුපමා චිත්‍රපටයේ එයා දැන් ලොකු ළමයෙක් වූයේ ඇයයි.

මුල් එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටයේ ලොකු ළමයා වූ මාලනී ෆොන්සේකා සුවීනීතාටත් වඩා ලොකු ළමයෙකි.

නමුත් මාලනී ෆොන්සේකා කිසි දිනක තම නම මාරු කෙරුවේ නැත.

ඇය සේනානායක හො ඩයස් හෝ වෙනත් නමක් හෝ නොගත්තාය. එදත් ෆොන්සේකාය, අදත් ෆොන්සේකාය.

ඒ කෙල්ලෙකු ලොකු වීම ගැන හෑලි කිහිපයකි.

මා අද ලියන්නට ගියේ කොල්ලෙකු ලොකුවීම ගැන මගේම කතන්දරයකි.

පඳුර වටේ තැළීම යන ප්‍රපංචයේ බලපෑම නිසා එය අමතක වී කතන්දරය දික්විය.

ප්‍රස්තූත කතන්දරය හෙටට කල් දමමි.

-කතන්දරකාරයා

ප/ලි (15/12/2013 @ 9:00am)
1. මේ කතන්දරයට මා යොදාගෙන ඇති ඡායාරූපය කිසිවෙකු ගේ අවධානයට තාමත් යොමූ වී නෑ.

2. ඇත්තටම කොල්ලෙක් ලොකු වී ඇති බව දැන ගන්නේ කොහොමද? මගේ අත්දැකීම හෙට පලකරමි.


(image: http://www.heart.co.uk/showbiz/top-10/tom-hanks-films/)

Thursday 12 December 2013

දුක තමයි රංජනී - View from your astral body


මේක පොඩි කතන්දර කෑල්ලක් පමණි.

නමුත් මේ කතන්දර කෑල්ලේ තේරුම නං අවශ්‍ය පරිදි නිකං රබර් කෑල්ලක් වගේ දිග්ගස්සන්ට හැකිය.

මෙන්න කතන්දර කෑල්ල මුලින්ම.

අපේ ගම් පලාතේ පොඩි කලා කවයක් තිබේ. ඒ ගැන කතන්දරයක් මං කලින් ද ලියා ඇත.

මේ කලා කවයෙන් දැන් වසර කිහිපයක කලින් පොඩි අළුත් වැඩක් ඇරඹිණි. එය නම්, වසර අවසානයේ පවත්වන සාමාජික සාදයේ දී, ඒ වසරේ පොත් පත් ලියූ, ගී තැටි බිහි කළ, නාට්‍ය වේදිකාගත කිරීම සහ වෙනත් ටැන්ජිබල් කලාබර කටයුතු කළ අයව තවත් දිරි ගන්වනු පිණිස සහ ඔවුන් ගේ සේවය අගය කරනු පිණිස පොඩි සමරු ඵලකයක් දීමයි.

මේ වැඩ පිළිවෙල අරඹා දෙවන වසරේදී මේ ආකාරයේ ඵලකයක් මංතුමාටද ලැබුණි. ඒ මා එක්තරා පොතක් ලියා පල කිරීම අගැයීමටය. (හොඳ වේලාවට මෙහිදී අගැයීමට ලක් කෙරෙන්නේ පොතක් ලිවීමේ කාර්තව්‍යයයි. පොතේ ඇති වැදගත්කම නොවේ!)

කුමන හෝ හේතුවක් නිසා ඊලඟ වසරේ දී පැවති සාමාජික සාදයේ දී මේ කලාබර අගැයීමේ අංගය දක්නට නොලැබිණ.

තවත් මාස ගණනකට පසුව අපේ කලා කවයේ වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්විණි.

එහි දී වසරේ ප්‍රගතිවාර්තා ඉදිරිපත් කළායින් පසුව එළැඹෙන සාකච්ඡාවාරයේ දී මා මේ පිළිබඳව ප්‍රශ්නයක් ඉවත්ව යන චෙයාමන් ට යොමු කළෙමි.

"අර කලාබර අගැයීම මෙවර අත්හැරියේ ඇයිද?" ඒ මා ඇසු සරල ප්‍රශ්නයයි.

එය අත්හැරියේ නැති බවත්, කෙරුණේ කල් දැමීමත් පමණක් බවත්, නුදුරු දිනයක පැවත්වෙන සුහද සාදයේදී ගිය වසරේ සහ මේ වසරේ කලාබර ඇගයීම් උත්සව දෙකම එකට පවත්වන බවත් මට පිළිතුර ලෙස ලැබුණි.

අවුරුද්දක්ම පරක්කු වුණත් බෙටර් ලේට් දෑන් නෙවර් කියලා කියනවානේ!

ටික දිනකට පසු මට දුරකතන ඇමතුමක් ලැබුණි. ඒ හිටපු චෙයාමන් ගෙනි.

"කතන්දර, දැන් අර කලාබර උත්සවයේ ගිය වසරේ නම් ලයිස්තුව හදන්නේ මායි. මට කියන්නකෝ ඔහේ ලියපු පොත ගැන විස්තර?"

"මොන පොතද? මං පොත ලියලා දැන් අවුරුදු දෙකකටත් වැඩියි නේ! ඒක මීට අවුරුදු දෙකකට කලින් තියපු කලාබර අගැයීමට අයිති වුණා නේ!"

"මං හිතුවේ කතන්දර ගිය අවුරුද්දේ අළුත් පොතක් ලිව්වාය කියලයි."

"ඇයි හි.චෙයාමන් එහෙම හිතුවේ? මං අළුතින් පොතක් ලිව්වා නං ඔහේට නොදී ඉන්නවාද?"

"නෑ ඉතිං, ඔහේ එදා අර ඒ.ජී.එම්. එකේ දී මේ කලාබර අගැයීම ගිය අවුරුද්දේ නොපැවැත්වීම ගැන ඔහේ ප්‍රශ්න කළා නේ, ඒකයි මං හිතුවේ ඔහේත් පොතක් ලියලා ය කියලා!"

මට ඇතිවුණු හැඟීම අමුතුවෙන් විස්තර කරන්න ඕනෑ නෑ නේ?

දුක තමයි රංජනී!

"අනේ හි.චෙයාමන්, මට ලැබෙන්න තිබුණු දෙයක් නොලැබුණු හින්දා නොවෙයි, මට ලැබිලා, අනෙක් අයට නොලැබුණු හින්දයි මං ඒ ප්‍රශ්න කෙරුවේ!"

"ආ, ඇත්තද?"

ඒ දුරකතන කතාබහ එතැනින්ම ඉවර වුණා.

දැන් මේකයි කේස් එක.

අපි බොහො දෙනෙක් හිතන්නේ තමන් වගේම අනිත් අයත් තමන්ගේ වාසියට විතරයි කතාකරන්නේ කියලයි. අනුන්ට වෙන අසාධාරණ වැඩ ගැන කතා කරන අයත් ඉන්නවා කියලා මේ අය දන්නේ නෑ.

එහෙව් එකේ, තමන් ට අවාසියක් වුණත් අනුන් ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන අය ඉන්නා බවත්, ඒ එක්කම, තමන් ගේ මතය ඊට හාත්පසින්ම වෙනස් වුනත් වෙනත් අයට ඔවුන් ගේ මත දැරීමට ඇති අයිතිය වෙනුවෙන් කතා කරන අය ඉන්නා බවත් දැන ගැනීම ඒ අපේ කෂ්ටියට ජබර කලන්තේ හැදෙන සයිස් හේතුවක් බව අමුතුවෙන් කියන්න ඕනෑද?

හැමෝටම ඇහැකියැ වෝල්ටෙයාර්ල වෙන්න?
http://kathandara.blogspot.com/2012/08/2-voltaire-no-more.html

-කතන්දරකාරයා

ප/ලි:
යම් ප්‍රශ්නයක තමනුත් එක කොටස්කාරයෙක් වෙනකොට, ඒකෙන් මිදිලා තුන්වැන්නෙකු ගේ ඇසෙන් බලා ස්වාධීන විශ්ලේෂණයක් කරන්න පුළුවන් කාටද?


(image: http://genealogyreligion.net/tag/out-of-body-experiences)

Tuesday 10 December 2013

මොරටුව සරසවියේ අවනීතිය හෙලා දකිමු : Moratuwa University - Shame! shame!! shame!!!


මා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ සිවිල් ඉංජිනේරු සංගමය විසින් මුද්‍රණය කරන්නට යෙදුණු "වෝටෙක්ස්" නමැති සමරු කලාපයේ ඇතුලත් වූ සරදම් කවි දෙපදයක් මෙසේය.

Ruined police Marxists X and Y say they stand for student rights any-where
But when it comes to the rights of an undergrad girl, they shit every-where!


ඒ කවියේ පසුබිම් කතතන්දර සහ සඟරාව මුද්‍රණයෙන් අනතුරුව ඇතිවූ සිදුවීම් ගැන අතුරු කතන්දර පිළිබඳ පසුව දවසක බැරිවීමකින් හෝ හිතුණොත් ලියමි.

කෙසේ නමුත්, මට අද ඒ කවි සරදම සිහිවූයේ එහි එන උපාධි අපේක්‍ෂක කෙල්ලෙකු ගේ අයිතීන් ගැන ඇති සඳහන හේතුවෙනි.

ඒ මේ පහත කියවෙන කාරණය නිසාය.

ඊයේ මට අන්තර්ජාල සඟරාවකින් පසුගිය දා මොරටුව විශ්ව විද්‍යාලයේ බලධාරීන් විසින් පනවා ඇති අපූරු තහනමක් ගැන කියවන්නට ලැබුණි.

මේ තහනම පැනවී ඇත්තේ ඇතැම් මුස්ලිම් කාන්තාවන් පළදින "නිකාබ්" නම්වූ ඇඳුම් කොටස සම්බන්ධයෙනි. ආකිටෙක්චර් ෆැකල්ටියේ පළමු වසර ශිෂ්‍යාවක් වන පාතිමා සහාර් විසින් ග්‍රවුන්ඩ්වීව්ස් නම් අන්තර්ජාල සඟරාවට ලියා ඇති ලිපියකට අනුව මොරටුව විශ්ව විද්‍යාල බලධාරීන් විසින් එහි සිසුවියන්ට විශ්ව විද්‍යාලය තුල මේ නිකාබ් ඇඳුම් කොටස පැළඳීම තහනම් කොට තිබේ.

පාතිමා ගේ ලිපියට පාර නැවතත් මෙන්න.
http://groundviews.org/2013/12/09/the-niqab-and-the-university-of-moratuwa/

දැන් මගේ සිත මා පෙර සඳහන් කළ සරදම් කවි දෙපදය ලියවුණු කාලයටත් වසර එකහමාරක පමණ පෙර කාලයකට ඇදී යයි.

එවර පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වූ නවක සිසුන් අතර එක්තරා කෙලිලොල්, පියකරු සිසුවියක් වූවාය. ඒ කාලයේ තරුණියන් අතර ජනප්‍රිය විලාසිතාවේ සාමාන්‍ය මල් ගවුමෙන් සැරසී ඉංග්‍රීසි පාඨමාලාව පැවැත්වෙන කාලයේ විශ්ව විද්‍යාලයට පැමිණි ඇය සමග මුලින්ම කතා බහ කරන තෙක් මේ නම් මුස්ලිම් තරුණියක යැයි අපට කිසි ලෙසකින් නොසිතුණි.

ඔවුන් ගේ විශ්ව විද්‍යාල ජීවිතයේ ඒ මුල් සති කිහිපය ගෙවී ගොස් විශ්ව විද්‍යාලය නවක සහ ජ්‍යෙෂ්ඨ සියළුම සිසුන්ට විවෘත වූවායින් පසු මේ තරුණිය එක්වරම වාගේ අතුරුදහන් වූවාය.

පසුව මට වැටහුණේ, මුලින් ඇය ඇඳි මල් ගවුම් හැරදා ඇය ජ්‍යෙෂ්ඨ වසරවල සිටි අනෙකුත් මුස්ලිම් තරුණියන් ගේ ඇඳුම වූ ෂල්වාරය සහ පර්දාව තුල සැඟවී ඇති බවයි.

මල් ගවුමින් සැරසුණු ඒ කෙලිලොල් තරුණිය මට නැවත දැක ගන්නට නොලැබුණි.

එදා මට වැටහුණු පරිදි, විවිධ ආගමික, පවුල්, සමාජමය හේතු මත මුස්ලිම් තරුණියන්ට ලංකා සමාජයේ සමවයස්වල සිටින අනෙකුත් තරුණියන් අඳින පළදින ඇඳුම් තෝරා ගත නොහැකි තත්වයක් පවතින බව පෙනේ.

අපට එසේ සිතුනද, බොහෝ විට ඒ සඳහා ඔවුන්ට අවශ්‍යතාවයක් නැතුවා වෙන්නටද ඉඩ ඇත.

ඒ කොයි හේතු මත වුවද, යම් අයෙක් අඳින්නේ තමාට අවශ්‍ය ඇඳුමකි. ඒ සඳහා ඔහුට හෝ ඇයට ඇති අයිතිය කිසිදු ප්‍රායෝගික සහ රාජකාරීමය හේතුවක් නොමැතිව තහනම් කිරීමට විශ්ව විද්‍යාලයක් වැනි ආයතනයකට ඇත්තේ කවර නම් නීතිමය පදනමක් දැයි මට නම් නොතේරේ.

මේ මොරටුවේ සිද්ධිය ගැන සිතීමේදී මට මුලින්ම ඇතිවුනේ ලංකාවේ අද ඇත්තේ සාධාරණ, අපක්‍ෂපාතී රාජ්‍යයක් ද යන ප්‍රශ්නයයි.

ඒ සමගම, මේ ආකාරයේ පුද්ගල නිදහස අසුරණ, මානව හිමිකම් කඩකරන, නීති විරෝධී බයි-ලෝස් ගෙන ආ මේ මොරටුවේ ආයතනය තවදුරටත් විශ්ව විද්‍යාලයක් ලෙස සැලකිය හැකිද යන පැණයත් නැගේ.

දැන් අප සැමගේ දැස් යොමු විය යුත්තේ මෙවැනි අවනීති පිළිබඳව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමය, මොරටුවේ ශිෂ්‍ය සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය කොයි ආකාරයෙන් ක්‍රියා කරයිද යන්න පිලිබඳවයි.

ඔවුන් මේ සිද්ධියට විරුද්ධව උද්ඝෝෂණය නොකර නිහඬව සිටියහොත්, එය අනිවාර්යෙන්ම මා මුලින් සඳහන් කළ ආකාරයේ කවිවලට අළුතෙන් නිමිති ලබාදීමක් වෙනු ඇත.

-කතන්දරකාරයා

ප/ලි (11 December-3:39pm):
මේ කතන්දරය හා සම්බන්ධ පහත කතන්දර ද කියවන්න.

1. පන්සල් යන්න සරම අදින්න ඕනෑද?
http://kathandara.blogspot.com/2009/07/blog-post_30.html

2. සරම අස්සේ ජොකා බලකාය - කාලෝ ෆොන්සේකා ගේ නායකත්වයෙන්
http://kathandara.blogspot.com/2011/02/blog-post_23.html

3. මනමේ කුමරිය ගේ කන්‍යාභාවය
http://kathandara.blogspot.com/2010/09/blog-post_27.html

4. හැමෝටම ඇහැකියැ වෝල්ටෙයාර්ල වෙන්න?
http://kathandara.blogspot.com/2012/08/2-voltaire-no-more.html


(image: http://theagenda.tvo.org/blog/agenda-blogs/why-wear-niqab)

Sunday 8 December 2013

සමාන්තර විශ්වයේ (පැරලල් යුනිවර්ස්) සිටි මැන්ඩෙලා ලා ට මොකද වුනේ? - Mandela in parallel universe


මැන්ඩෙලා මිය ගියේය. ඔහු අප දන්නා කාලයේ සිටම ජීවත් වුනේ වීරයෙකු ලෙසිනි.

මා ඔහු ගැන මුලින්ම ඇසූවේ හිරේ ඉන්නා අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නායකයා ලෙසය. ඒ දිනවල ඔහු වීරයෙකි.

දකුණු අප්‍රිකාවේ එකවක පැවති වර්ණභේදවාදී රජයට විරුද්ධවත්, මැන්ඩෙලා නිදහස් කරගැනීමේ ලෝක ව්‍යාපාරයටත් ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික අනුග්‍රහය ලැබුණි. දකුණු අප්‍රිකාවේ පෞද්ගලික සංචාරක නිරත වී ක්‍රීඩා කළ බන්දුල වරණපුර ඇතුලු ක්‍රිකට්කාරයින්ට පැනවූ විසි එක් අවුරුදු තහනමෙන් ද, ඉන් පසු කළෙක මා අහම්බෙන් මෙන් සහභාගී වූ නෙල්සන් මැන්ඩෙලා නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ කොළඹ මහජන පුස්තකාලයේ පැවති රැස්වීමක ප්‍රධාන අමුත්තා වූයේ එවකට ලංකාවේ සිටි විදේශ ඇමති වීමෙන් ද ඒ බව ඔප්පු වේ.

මැන්ඩෙලා හිරෙන් නිදහස් වූයේ ද වීරයෙකු ලෙසය.

ඔහු දකුණු අප්‍රිකාවේ ජනාධිපති වූයේ ද, එයින් පැන්ෂොන් ලබා ජීවත් වූයේ ද, රෝගාතුරව සිටියේ ද, මියගියේ ද වීරයෙකු සේය.

මරණෙන් පසුව ද ඔහු සදාකාලීක අමරණීය වීරයෙකු වෙනු ඇත.

නමුත් හිරගෙට යන්නට පෙර මැන්ඩෙලා එවකට පැවති දකුණු අප්‍රිකානු නීතියට අනුව ත්‍රස්තවාදියෙකි. ආයුධ සන්නද්ධ අංශයකින් ද සමන්විත වූ දකුුණ අප්‍රිකානු කොන්ග්‍රසයේ නායකයෙකි. ඔහු ත්‍රස්තවාදීන් ලබන ආයුධ පුහුණුවක්ද ලැබූ අයෙකි. ඔහුට විරුද්ධව නැගුණු චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගෙන, නඩු අසා වැරදිකරු වීමෙන් පසුව, මා අසා ඇති පරිදි ජීවිතාන්තය දක්වා, සිරගෙට නියම විය.

ඒ අනුව මැන්ඩෙකලාව වීරයෙක් කරන්නට එවකට පැවති වර්ණභේදවාදී සුලුතර සුදු ආණ්ඩුව විශාල වැඩ කොටසක් කර ඇති බව පෙනේ.

අප අසා ඇති පැරලල් යුනිවර්ස්වල නම් ඔය කටයුතු කෙරෙන්නේ ඔය ආකාරයට නොවේ.

සමාන්තර විශ්වය අංක 1
මැන්ඩෙලා නාදුණන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරට ලක්ව මිය යයි.

සමාන්තර විශ්වය අංක 2
අංක තහඩු නැති රථයකින් සුදු පැහැති වෑන් රථයකින් මැන්ඩෙලා පැහැර ගනු ලබයි. ඔහු පිළිබඳ ඉන් පසු කිසිදු ආරංචියක් නොලැබේ.

සමාන්තර විශ්වය අංක 3
පොලිස් අත් අඩංගුවට පත් මැන්ඩෙලා ගෙල වැල ලාගෙන මිය ගොස් තිබෙනු පසුවදා හිර කුටියට ගිය නිලධාරීන්ට හමුවේ.

සමාන්තර විශ්වය අංක 4
මැන්ඩෙලා තම අප්‍රිකානු කොන්ග්‍රසයේ තවත් රහසිගත නායයෙකු වෙන හේරස් නමැත්තා සැඟවී සිටින ස්ථානය පෙන්වීමට පොලීසිය සමග යයි. එහිදී මේ හේරස් නම් නායකයා සඟවා තිබූ පිස්තෝලයක් ගෙන මැන්ඩෙලාට වෙඩි තබා මරා දමයි. මැන්ඩෙලා බේරා ගැනීමට තැබූ පොලිස් වෙඩි පහරින් හේරස් ද මරු දකී.

සමාන්තර විශ්වය අංක 5
මැන්ඩෙලා තම අප්‍රිකානු කොන්ග්‍රසයේ සමවා ඇති ආයුධ පෙන්වීමට පොලීසිය සමග යයි. ලේක් බ්ලොම්ෆෙන්ටේන් අසලදී පොලීසියෙන් මිදෙන මැන්ඩෙලා වැවට පැන පීනා පැනයාමට තැත් කරද්දී දියේ ගිලී මිය යයි.

සමාන්තර විශ්වය අංක 6
මැන්ඩෙලා තම අප්‍රිකානු කොන්ග්‍රසයේ සමවා ඇති ආයුධ පෙන්වීමට පොලීසිය සමග යයි. මෙහිදී සඟවා තිබෙන පිස්තෝලයක් ගන්නා මැන්ඩෙලා පොලීසියට වෙඩි තබයි. එහිදී ඇතිවෙන වෙඩි හුවමාරුවේ දී මැන්ඩෙලා මියයයි.

සමාන්තර විශ්වය අංක 7
මැන්ඩෙලා ඇතුළු දකුණු අප්‍රිකානු කොන්ග්‍රස් හිරකරුවන් පිරිසක් වෑල්කාඩ් නම් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටියදී, එහිම සිරගත වී සිටින සුදු ජාතික සිරකරුවන් පිරිසකගේ ප්‍රහාරයට ලක්ව මිය යති.

සමාන්තර විශ්වය අංක 8
මැන්ඩෙලා ඇතුළු දකුණු අප්‍රිකානු කොන්ග්‍රස් හිරකරුවන් පිරිසක් වෑල්කාඩ් නම් බන්ධනාගාරයේ සිර දඬුවම් විඳිමින් සිටියදී එහි සිරකරුවන් සහ බන්ධනාගාර නියාමකයින් අතර ගැටුමක් ඇතිවේ. සිර ගෙදර මහා ගින්නක් හටගනී. ඒ ගැටුම මැඩ පැවැත්වීමට පැමිණෙන හමුදාවට සිරකරුවෝ වෙඩි තබති. මෙහිදී ඇතිවෙන වෙඩි හුවමාරුවේ දී මැන්ඩෙලා මිය යයි.

දැන් අපට ඇතිවෙන ප්‍රශ්නය නම් ඔච්චර පැරලල් යුනිවර්සස් කොහෙන්ද හලෝ? යන්නයි.

මගේ අදහස නම් සමාන්තර විශ්ව කීයයක් තිබේද යන්න අපේ පරිකල්පන ශක්තිය මත පමණක් රදා පවතින්නක් බවයි.

හොඳ වෙලාවට දකුණු අප්‍රිකාව පාලනය කළ වර්ණභේදවාදී සුදු ජාතික ජුන්ටාව මේ පැරලල් යුනිවර්ස් ගැන කිසි දෙයක් දැන නොසිට ඇත.

මැන්ඩෙලාට වීරයෙකු ලෙස සිරගත වී සිට, වීරයෙකු ලෙස නිදහස් වී, වීරයෙකු ලෙස ජනාධිපතිකම් කර, වීරයෙකු ලෙස පැන්ෂොන් ලබා, වීරයෙකු ලෙස මිය යන්නට ලැබුණේ ඒ සුද්දන් ගේ නොදන්නා කම නිසාය.

මැන්ඩෙලා ඔබට ආයුබෝවන්.

සොරි, සොරි!

අතිගරු නෙල්සන් මැන්ඩෙලා උතුමාණන්ට නිවන් සුව ලැබේවා!

-කතන්දරකාරයා

ප/ලි:
මැන්ඩෙලා වීරයෙක් වීමට තවත් හේතුවක් ඇත.

පොර එක් බිරිදක් නොව බිරියන් තිදෙනෙකු සමග පෙම් සුව විඳි අයෙකි. (පැරලල්ව නොවේ, වෙනස් කාලවල දී ය)


(images:
http://gulfbusiness.com/2013/12/nelson-mandela-a-timeline-of-his-life/
http://tribune.com.ng/news2013/images/mandela3new.jpg
http://www.theguardian.com/world/2013/apr/01/amina-cachalia-mandela-marriage-proposal)

Friday 6 December 2013

අටේ පන්තියේ පොඩි කේස් එකක්! - Friend in law?


මේ සිද්ධිය වුනේ මට මතක හැටියට අටේ පන්තියේ දී.

හරියට මතක නැති වෙන්න හේතුව තමයි මං හයේ පන්තියේ ඉඳලා නමේ පන්තියට පාස් වෙන දවස වෙනතුරුම පන්තිය බාර ගුරුවරයා වෙනස් නොවුණු නිසයි.

ඒ විතරක් නොවෙයි අළුතින් ආපු සහ අස්වෙලා ගිය කීප දෙනා ඇරුණාම අපේ පන්තියේ හිටියේ එකම කොල්ලෝ කෙල්ලෝ සෙට් එකමයි.

මගේ හොඳම යාළුවෙක් හිටියා සාමකුමාර කියලා. මොකක් හරි හේතුවකට එක දවසක් අපි දෙන්නා අතර වලියක් ගියා. ගුටි කෙලියක් නොවෙයි පොඩි වාග් සංග්‍රාමයක් වගේ එකක් මුලින්.

මං කියපු කතාවකට තරහා ගිය සාමකුමාරයා කෙරුවේ කඩදාසි ගුලියකින් මට දමලා ගහපු එකයි. කඩදාසි ගුලි කරන්න ඉස්සෙල්ලා ගල් කැටයක් ඇතුලට දාපුවාම, කඩදාසි ගුලියකින් වුනත් හොඳට රිදෙන්න ෂොට් එකක් දෙන්න පුළුවන්.

මට පොඩ්ඩක් රිදුනා වගේ මතකයි.

මං ඒ කඩදාසි ගුලි මිසයිල් එක අහුලාගෙන ආපහු සාමකුමාරයාට ඒකෙන් ම ගහන්න හදන කොටම එතනට ආවා අපේ පන්තිය භාර ගුණරත්න ගුරුවරයා.

ඔන්න අපි දෙන්නාව පන්තිය ඉස්සරහට ගෙනැල්ලා නඩුව ඇහැව්වා.

අන්තිමේදී දුන්නු තීන්දුව මේකයි.

"දැන් දෙන්නා අතට අත දීලා ආපහු යාළු වෙනවලා".

සාමකුමාර අත දික්කළා!

මං නෝ හෙල්ලුම්.

මගේ හිත ඇතුලේ තර්කය වුනේ -මු මට ගැහැව්වා. මං මූට ගැහැව්වේ නෑ (තාමත්). ඉතිං දැන් අපි දෙන්නා ඒක අමතක කරලා යාළු වුනොත් අසාධාරණයි නේද?- කියන එකයි.

ඒ විස්තර කතා නැතුව මං පන්තිය භාර ගුරුවරයාට කිව්වේ මෙච්චරයි.

"අතට අත දෙන්න බෑ!"

පොර තේරුණා මගේ ස්ථාවරය.

"තමුසේ නං එක විදියක එකෙක්!" පොර කිව්වා "හා! එහෙනං ගිහින් ඉඳගන්නවලා. ආපහු ගහගෙන තිබුණොත් බලාගෙනයි!"

කේස් එක එච්චරයි.

මට මේ අතීත සිද්ධිය මතක් වුනේ මේ ලඟදී උසාවියකින් දිපු තීන්දුවක් ගැන ප්‍රවෘත්ති වාර්තාවක් කියෝපු වෙලාවේයි.

මං හිතන්නේ සාමකුමාරටයි මටයි යාළු වෙන්න කියලා නියෝගයක් දෙන්න අපේ ගුරුවරයාට බෑ. අප කළ වරද විනය විරෝධීව හැසිරීම නම්, ඒ වරදට අතට අත දීම දඬුවමක් නොවෙයි කීයටවත්.

ඒ කෙසේ වෙතත් ගුරුවරයා ගේ නඩු තීන්දුවකින් දෙන්නෙක්ව යාළු කරවන්න පුළුවනිද, හරියට පොලීසියෙන් බන්දනවා වගේ?

මේ මං දැකපු උසාවි නඩු තීන්දුව තවත් දුර යනවා. ඒකෙන් අණ දීලා තියෙන්නේ සමාව ගන්න කියලයි. නිකං නොවෙයි වැඳලා!

ඒ වඳින දඬුවම තියෙන්නේ කොයි නීති පොතේද මන්දා?

-කතන්දරකාරයා


(image: http://storytellermn.com/2013/10/how-do-you-increase-your-fan-base-in-social-media/black-and-white-shake-hands/)

Wednesday 4 December 2013

මගේ ම (නයෙක්) නොවන මගේ ම නයෙක් - Twins, triplets and quadruplets


මං නයි ඇරීම ගැන කතන්දර ලියනවා දැන් සතියක් තිස්සේ නමුත් හරි හමන් නයෙක් අරින්න තාමත් බැරි වුණා.

අද නං ලියන්න යන්නේ අනගිරත්නගේ, මගේ තාත්තා ගේ, කූප්‍රකට බ්ලොග්කාරයා ගේ වයිෆරේ ගේ අනාදී අනුන් ගේ නයි ගැන නොවෙයි.

මේක මගේම නයෙක්. අළුත් භාෂා ව්‍යවහාරය අනුව "මගේ ම (නයෙක්) නොවන මගේ ම නයෙක්" කියලා කියන්න පුළුවනි.

කතන්දරකාරයා ගේ ය කියන ෆොටෝ කෑලි සමහරවිට මේ බ්ලොග් එකේ පලවෙනවා. මේ බොහෝ තැන්වල පොර ඇඳගෙන ඉන්නේ නිල්පාට ටී ෂර්ට් එකක්.

මේ ටී ෂරට් එක නිකම්ම නිකං නිල්පාට ටී ෂර්ට් එකක් නොවෙයි, සිංහල බ්ලොගර්ස් යුනියන් එකේ ලෝගෝ එක සහ යූආර්එල් එක තියෙන ඔෆීෂියල් ටී ෂර්ට් එකයි.

මේ බලන්න ඒ ෆොටෝ කීපයක් නැවත.

ජර්මනියේ ප්‍රෑන්ක්ෆර්ට්වල දී.


ඉතාලියේ රෝම්වල දී ජුලියස් සීසර් ලා එක්ක.


අබුඩබි එයාපෝට් එකේ දී.


නිකං ගෙදර ඉන්න ගමන්.


ඊයේ පෙරේදා දවසක අපේ මිතුරු (හිටපු බ්ලොග්කාර) පාඨකයෙක් වෙන තිසර පොඩි කිණ්ඩියක් දාලා තිබුණා කතන්දරකාරයා හැමදාම නිල්පාට ටී ෂර්ට් එකක් නේද ඇඳගෙන ඉන්නේ කියලා.

තිසර මේ දක්වා මේ ටී ෂර්ට් එක ගැන නොදන්නා රහස මෙන්න.


මේ ටී ෂර්ට් එකක් නෙමේ ටී ෂර්ට් තුන් කට්ටුවක්. අන්න ඒක තමයි මගේ නයා!

වෙන කාටද මේ වගේ එකම ජාතියේ SBU ටී-ෂර්ට් තුනක් තියෙන්නේ මේ ලෝකේ, මට හැර?

මේක විතරක් නොවෙයි, මෙන්න තවත් නයෙක්. මේ පේරාදෙනිය ඉංජිනේරු පීඨ විද්‍යාර්ථීන් ගේ සංගමයේ (PEFAA) නිල ටී ෂර්ට් එක පාට හතරින්ම.


ඇලුමිනායි එකේ දැන් ඉන්න සභාපතිට තියා හිටපු සභාපතිටවත් නෑ මේ ටී-ෂර්ට් හතරේ එකතුවක් මට වගේ!

මේ තවත් ඒ වගේ එකම ලෝගෝ එකේ කේස් එකක්.
http://kathandara.blogspot.com/2013/10/close-to-heart.html

ඒ මොනවා වුනත් මා ගාව මැදපු කමිස මොකුත්ම නෑ! මෙන්න ඒ ගැන කතන්දරේ සහ විස්තර කිරීම.
http://kathandara.blogspot.com/2010/10/blog-post_29.html

-කතන්දරකාරයා

ප/ලි:
ඔච්චර ඇඳුං ගැන කියවපු එකේ මෙන්න මේකත් බලා කියාගෙනම යන්න.
http://kathandara.blogspot.com/2012/05/sunday-special-extra-photos-included.html

ඒක සරම් පිළිබඳ පින්තූර සහිත කතන්දරයක්.

Monday 2 December 2013

කූප්‍රකට බ්ලොග්කාරයෙක් ගේ වයිෆරේ නයි ඇරිය හැටි - නිකං නෙමෙයි දෙපත් නයෙක්! : A Blogger's wife boasts


මේ ඊයේ පෙරේදා පත්තරේක තිබුණා කවුදෝ ටියුෂන් මුදළාලි කෙනෙක් තමන්ගෙන් ටියුෂන් අරගෙන ඉහලින් විභාගේ ගොඩ දාපු දැරිවියකට රුපියල් ලක්‍ෂ හතලිහක කාරෙකක් අරගෙන දුන්නු සීන් එකක් ගැන කතන්දරයක්.

මේ ගැන ලිපියක් ලියන W3Lankaකාරයා කියලා තිබුණා සිසුන් 5,000 කට උගන්වන ටියුෂන් මුදළාලි කෙනෙකු ගේ මාසේ ආදායම ලක්‍ෂ හතලිහකටත් වඩා වෙනවාය කියලා.

ඒ කියන්නේ, එක ළමයෙක් එක විෂයකට මාසෙකට රුපියක් අටසීයක් ගෙවනවා කියන එකයි!

මට ඒ කතාව එකපාරටම විශ්වාස කරන්න බැරිවුනේ මේ කියන්නේ සූට්ටං රුපියක් 2,500 කින් මාසයක් ජීවත්වෙන්න පුළුවන් රට ගැන නේද කියලා මතක් වුණු නිසයි. මං හිතන්නේ ඒ සූට්ටං රුපියක් 2,500 කින් මාසයක් ජීවත්වෙනවා කියන්නේ උසස් පෙළ සබ්ජෙක්ට්ස් තුනකට ටියුෂන් ගාස්තු ගෙවන එකට වෙන්න ඕනෑ!

මාත් උසස් පෙළ කරන කාලේ ඔය ටියුෂන් ව්‍යාපාරවලට අමතක නොකර උදව් පදව් කළ හොඳ ආදර්ශමත් ශිෂයෙක්. නුගේගොඩ රේල්වේ ඇවනියු, බම්බලපිටියේ ටෙම්පල් ලේන් සහ වැල්ලවත්තේ තව මොකක්ද ලේන් එකකට (චැපල් ලේන්?) වගේම, ගම්පහ මෙට්‍රොපොලිටන් එකටත් මං ඒ දවස්වල සෑහෙන්න බඩ ගෑවා.

මුල සිට අගටම ටියුෂන් අරගෙන එයින් නොනැවතී රිවිෂන් කෝස් එකකුත් ඉවර කළා රසායන විද්‍යාවට. ඒ රෙජිනෝල්ඩ් සෙනෙවිරත්න ගේ. ෆිසික්ස්, පියෝ සහ ඇප්ලයිඩ් මැත්ස්වලට නම් මට අවශ්‍ය වුණු විෂයය කොටස් කවර් කරගන්න විතරයි ටියුෂන් ගියේ.

මගේ ඒ අතීත ටියුෂන් කතන්දරේ අහගෙන ඉඳපු කූප්‍රකට බ්ලොග්කාරයෙක් ගේ වයිෆරේ මට නැවත මතක් කරලා දුන්නා එයාගේ එක නයි ඇරීමක්.

"දන්නවද? මං ජීවිතේටම කවදාවත් කිසිම ටියුෂන් පන්තියකට ගිහිල්ලා නෑ!"

කොහොමද නයා? මං හිතන්නේ ඔය නයා පරද්දන්න ලේසි පුතයෙකුට බෑ අද තියා ඒ දවස්වලත්.

හැබැයි ඉතිං මේ නයා ගේ වර්ධනයට බලපාපු පොඩි හේතුවක් තියෙනවා. ඔය කියන කාලේ අපේ ගම් පළාත්වල ටියුෂන් කඩ විතරක් නොවෙයි ටියුෂන් සුපර් මාකට්ටු පවා තිබුණත් කූප්‍රකට බ්ලොග්කාරයා ගේ වයිෆරේ උසස් පෙළ කරපු බණ්ඩාරවෙල පැත්තේ නම් උසස් පෙළ ටියුෂන් කඩ වැඩිපුර තිබිලා නෑ වගේ.

කූප්‍රකට බ්ලොග්කාරයා ගේ වයිෆරේ ඒ දවස්වල කරලා තියෙන්නේ පාසලේ උගන්නපු දේවල් පාඩම් කරපු එකයි, පාසලේ පුස්තකාලේ තිබුණු පොත් පරිශීලනය කරපු එකයි විතරයි ලු. ගෙදරින් සැතපුම් ගානක් දුර වෙනත් නගරයක බෝඩිං වෙලා ඉන්න නිසා වෙන වැඩකුත් තියෙන්න නැතුව ඇතිනේ. අනික කොහෙමාටත් කූප්‍රකට බ්ලොග්කාර හස්බන්ඩා මැත්ස් කරපු වැඩකාරයෙක් වුනාට වයිෆරේ උසස් පෙළට බයොලොජි තමයි කරලා තියෙන්නේ.

මගේ උසස් පෙළ ප්‍රතිපල ආපුවාම තමයි මට තේරුනේ මං වැඩිපුර ටියුෂන් ගිය කෙමිස්ට්‍රිවලට මට අඩුම ලකුණුත්, අඩුවෙන් ටියුෂන් ගිය අනිත් විෂයන් තුනට වැඩිය ලකුණුත් තියෙන බව.

ඊට පස්සේ මං පේරාදෙනියේ ද කටුබැද්දේ ද යන්නේ කියලා තීරණය කරපු හැටි ගැන කතාව මං කලින් දවසක කියලා තියෙනවා.

පේරාදෙනි යෑම නිසා වුනේ මා වෙනුවෙන් තාත්තාට වැඩිපුර මුදල් වියදම් කරන්න සිදුවීමයි. මේ කාලේ මහපොළ ශිෂ්‍යත්වය දීම ඇරඹිලා තිබුණත් මට මහපොළ තියා ශිෂ්‍ය ණයක්වත් ලැබුණේ නෑ.

මහපොළ ශිෂ්‍යත්වයේ ඒ දවස්වල කැටගරි දෙකක් තිබුණා. ශිෂ්‍යත්ව කීපයක් මෙරිට් එකට, ඒ කියන්නේ මුළු ලංකාවෙන්ම සහ ඒ ඒ දිස්ත්‍රික්කවල වැඩිම ලකුණු ගත්තු ළමයින්ට දෙනවා. ශිෂ්‍යත්ව සංඛ්‍යාවේ බහුතරය වෙන අනිත කොටස දෙන්නේ පවුලේ ආදායම සලකලායි. ඉල්ලුම වැඩි සහ සැපයුම අඩු නිසා මෙතනදීත් විභාග ප්‍රතිඵල බලාපානවා.

කොළඹ දිස්ත්‍රික්කෙන් මං හිටියේ මැත්ස්වල 108 වෙනියාට ද කොහෙද නිසා නිසා මට කීයටවත් මෙරිට් ශිෂ්‍යත්වයක් ලැබෙන්න චාන්ස් එකක් තිබුණේ නෑ. කොරේ පිටට මරේ කිව්වා වගේ, මේ වෙනකොට මගේ තාත්තා පැන්ෂන් අරගෙන තිබුණා වුනත් මට ආදායම අනුව දෙන මහපොළ ශිෂ්‍යත්වයක් ලැබුණේත් නෑ.

"ඔය කියන ළමයාට ලක්‍ෂ හතලිහක කාර් එකක්යැ දෙන්න තිබුණේ. විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න කාලේ වියදම් කරන්න ඒ සල්ලි ශිෂ්‍යත්වයක් විදියට දුන්නා නම් තමයි හොඳ ආදර්ශයක් ලැබෙන්නේ" මං මේ කියන කූප්‍රකට බ්ලොග්කාරයා ගේ බිරිඳ එක්ක කිව්වා. "දැන් මේ ළමයා කාර් එක ඉන්ෂුවර් කරන්නත්, පැට්‍රල් ගහන්නත් සල්ලි හොයා ගන්න ඕනෑ නේ!"

"මහපොළවත් ශිෂ්‍ය ණයවත් නැතුව ගෙදරිනුයි, පුංචි අම්මලාගෙනුයි ලැබෙන සල්ලිවලින් මං අවුරුදු හතර ගැටහග ගත්තු හැටි මට මතක් වෙනවා!" මං තවදුරටත් කිව්වා.

"මට නං මහපොළ ශිෂ්‍යත්වයක් ලැබුණා" කූප්‍රකට බ්ලොග්කාරයා ගේ වයිෆරේ ඒකට උත්තර දුන්නා, "ඒත් අපේ තාත්තා ඒක ගන්න එපා ය කියපු හින්දා මං ඒ ශිෂ්‍යත්වය බාරගත්තේ නෑ!" ඇය තමන් ගේ දෙවෙනි නයා පොඩ්ඩක් විතර ඇද්දා.

"ඔහේට කොහොමද මහපොළ ලැබුනේ? අපේ තාත්තා පැන්ෂන් පඩියෙන් හිටියත් මට නොලැබුණු එකේ? ඔහේ ගේ තාත්තා ට හොඳ ආදායමක් තියෙන්න ඇතිනේ ඒ දවස්වල?" මං වහාම කිව්වා.

"හහ්, හහ්, මට ලැබුණේ මෙරිට් එකට දෙන ශිෂ්‍යත්වයක්. මං තමයි දිස්ත්‍රික්කේ වැඩියෙන්ම ලකුණු අරං පාස් වුණේ!"

කූප්‍රකට බ්ලොග්කාරයා ගේ බිරිද ගේ දෙවෙනි නයා මගේ මුණටම පෙනේ පිප්පුවා!

-කතන්දරකාරයා

ප/ලි:
ඉස්සරහට විභාග හොඳට පාස් වෙන ළමයින්ට කාර් තෑගි දෙන්න බලාගෙන ඉන්න ටියුෂන් ගුරුවරුන් ගේ ඒ සඳහා වැයවෙන බරපැන අඩුකරගන්න පුළුවන් හොඳ යෝජනාවක් මට කරන්න පුළුවන්.

මේ ආකාරයට දෙන්නට බලාපොරොත්තු වෙන කාර්, කොළඹ නයිට් රේසින් කරන කාර්වල කැටගරියටම දා ගන්න ඕනෑ. ඒ ජාතියේ කාර්වලට ඉම්පෝට් ඩියුටි සහ ටැක්ස් හෙම අඩුයි කියලයි ආරංචිය. ලක්‍ෂ හතලිහේ කාර් එක ලක්‍ෂ විස්ස වෙන්නත් බැරි නෑ.

(image: http://www.myxer.com/wallpaper/id/1056757/Jimmy-A/notuition/)

Saturday 30 November 2013

තාත්තා ගැන නයි පැට්ටෙක් - Is it wrong to boast about one's father?


තාත්තලා කියන්නේ දරුවන් ගේ වීරයෝ ය කියන කතාව අවිවාදාත්මක එකක්.

ඒ හින්දා තමන් ගේ තාත්තා ගැන පුතෙක් හෝ දුවෙක් පම්පෝරියක් ගැසීමේ කිසිම පුදුමයක් නෑ. මේ විදියට කියන කතාවක් නයෙක් ද නැද්ද කියන එක නම් මං අර කලින් කතන්දරයේ කිව්වා වගේ අසන්නාට සාපේක්‍ෂ කාරණයක්.

දැන් මෙන්න, වහෙන් ඔරෝ නැතුව කෙලින්ම පොල්ලෙන් ඔළුවට ගැහැව්වා වගේ මගේ තාත්තා ගැන පොඩි නයි පැට්ටෙක්.

මගේ තාත්තා උපාධිධරයෙකි.

තවත් විස්තර කියනවා නම්, ඔහු වසර 1962 දී විද්‍යොදය (දැන් නම ජයවර්දෙනපුර) විශ්ව විද්‍යාලයෙන් තම උපාධිය ලබා ගත්තෙකි.

දැන් මේ කතාව නයෙක් වෙන්නේ කොහොමද?

මේක නයෙක් වෙන්නේ මෙලෙස ප්‍රකාශයක් කරන්නට හැකි අය අඩු හින්දයි. විශේෂයෙන්ම මේ කතාව කියන්නට පුළුවන් මගේ සමවයසේ අය ඉතාමත් අඩුයි, මා දන්නා තරමට.

නමුත් මේ උපාධි කතාවේ පසුබිම සලකා බැලුවොත් නයා ගේ පෙනේ තරමක් හැකිලී යන්නට ද ඉඩ තියෙනවා.

මගේ තාත්තා උපන්න කාලයේ ගමක හැදෙන වැඩෙන, සාමාන්‍ය ගොවිතැනෙන් දිවි රැකගන්නා පවුලක ළමයෙකුට සිංහලෙන් උගන්වන ගම්බද පාසල් ක්‍රමය යටතේ ලබා ගත හැකි වුනේ සීමිත අධ්‍යාපනයක් පමණි. මේ කියන ගමට කොළඹ කොඩිගහ යට සිට ඇත්තේ සැතපුම් පාළහකටත් වඩා අඩුවීම මෙයට අදාල නෑ.

මේ කාලයේ අටේ පන්තියෙන් උඩට හෝ ඉගෙන ගත්තේද ඉතා අඩු පිරිසක්. ඊට වඩා ඉහලට ඉගෙන ගෙන වුවද ලබාගත හැකි එකම රැකියාව වූයේ ගුරුවරයෙක් වීම පමණයි. ආයුර්වේද වෛද්‍යවරයෙක් වීම හෝ නොතාරිස් කෙනෙක් වීම වැනි පොඩි ඔප්ෂන් දෙක තුනකුත් තිබුණා ලු.

මගේ තාත්තාත් ඒ ආකාරයට ග්‍රාමීය අධ්‍යාපනය ලබා ප්‍රාරම්භය, අවසානය ආදී විභාග තරණය කරලා රජයේ උප ගුරු තනතුරක් ලබා ගත්තා. ඔහුගේ ආරම්භක මාසික වැටුප රුපියක් තිස්පහක් පමණ මුදලක් ලු. නමුත් මේ ආප්පයක් තුට්ටුවට විකිණෙන කාලය නිසා ඒක සැලකිය යුතු මුදලක්.

තාත්තා ඉංගිරිසි ඉගෙන ගෙන තියෙන්නේ පාසලෙන් නොවේ. ටික කලක් තිස්සේ සතියකට වරක් උදේ පාන්දර හතරට නිවසට ආ ගුරුවරයෙකු ගෙන්. ඒ අතරතුර දිනපතා දිණමිණ සහ ඩේලි නිවුස් පුවත්පත මිළට ගෙන එහි කතුවැකි සංසන්දනාත්මකව කියවීමත් කර තියෙනවා.

නමුත් තාත්තා එතැණින් නතර වුනේ නෑ!

ඔහු මුලින්ම මරදානේ කාර්මික විද්‍යාලයේ ඉගෙන ගත්තා.

ඉන්පසු මීරිගම ගුරු විදුහලෙන් අධ්‍යාපනය ලැබුවා.

ඊටත් පසු තනිවම ඉගෙන ගෙන ලන්ඩන් ඒ-ලෙවල් විභාගය සමත් වුණා.

එතැනිනුත් නොනැවතී ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය ලංකාවේ සිට හදාරන්නට ලියා පදිංචි වුණා. පසුව තාත්තා ජී.ඒ.කිව් නමින් හැදින්වෙන ලන්ඩන් උපාධියේ පළමු වසර විභාගයත් සමත් වුණා.

මේ අතරතුර ලංකාවේ සිදුවුණු දේශපාලන පෙරළි නිසා රටේ සාමාන්‍ය ජනතාවට ද බටහිර මොඩලයේ උසස් අධ්‍යාපනය ලබන්නට ඉඩ සලසමින් විද්‍යෝදය සහ විද්‍යාලංකාර කියන රජයේ විශ්ව විද්‍යාල දෙක ඇරඹුණා. ගුරු සේවයේ සිටි තාත්තාට අධ්‍යාපන නිවාඩු ලබා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරට ඇතුලත්ව උපාධිය ලබා ගන්නට එනිසා ඉඩ ලැබුණා.

තාත්තා උපාධිය ලබා ඇත්තේ භූගෝලය, ඉතිහාසය සහ සිංහල යන විෂයන්ගෙනුයි. සිරිල් වික්‍රමගේ නළුවා තාත්තා ගේ විශ්ව විද්‍යාල සමකාලීනයෙක් බව තාත්තා මා සමග කිය තියෙනවා.

ඉතිං, කොහොමද, තාත්තා ගැන ලියවුණු මගේ නයි පැට්ටා හොඳඳ?

-කතන්දරකාරයා

ප/ලි:
ඇත්තම කියනවා නම් මේ කතන්දරේ මං ලිව්වේ නයි ඇරීම ගැන උදාහරණයක් සපයන්නටම නොවේ.

මගේ තාත්තා මිය ගොස් දෙසැම්බර් මස දෙවෙනි දිනට වසර තුනක් සම්පුර්ණ වෙනවා. එය සමරන්නටයි මේ කතන්දරය අද පළකෙරෙන්නේ.

තාත්තා ගැන සඳහන් මා ලියූ වෙනත් කතන්දර කීපයක් මෙන්න.

1. මේව්ව උඹට හොඳ පාඩම් නොහොත් බෝංචි ග්‍රීන් කරිය - How not to cook Beans

2. පරම්පරා හතරක් පැරණි ඓතිහාසික කැවුතුකාගාර කොලිටියේ උදැල්ලක් - A page from the Guinness Book of Records

3. ලියුං කැඩීම - තාත්තා ට පාඩමක්

4. බ්ලොග් අවකාශයේ "පඩ ෂෝ" එක!

5. කිරි ඉබ්බෝ සහ ගල් ඉබ්බෝ

6. ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි

7. තාත්තා ගැන මතකයෙන් බිඳක්

8. අද ඉරු දිනයේ තාත්තා සිහිවී - Father's Day

9. තාත්තේ මට සමාවෙන්න - Thaththe, please forgive me!

Thursday 28 November 2013

මෙන්න මගෙන් නයෙක් - Catch it if you can!


නයෙක් දාන්න යැයි කවුදෝ නිර්නාමික බ්ලොග් පාඨකයෙක් මගෙන් ඉල්ලා තිබේ.

ඒ දුටු විට මගේ සිහියට ආවේ මේ "නයා ඇරීම" යන කතාව මා මුලින්ම දැනගත් ආකාරයයි.

මා හතරේ පන්තියේ පමණ ඉගෙන ගන්නා කාලයේ එක් දවසක මට එවකට කොළඹ නතර වී විභාගයකට සූදානම් වෙමින් සිටි මගේ පුංචි අම්මා කෙනෙක් සමග අම්මලා ගේ ගමේ යාමට අවස්ථාවක් ලැබුණි.

ගමේ යාම යනු එකල අපට ඉතා සතුටක් ගෙන දෙන අවස්ථාවකි. ගමන නම් අපුලය. බස් රථවල ඩීසල් ගඳට සහ වංගු ගන්නා විට ඇතිවන හෙල්ලුම් පෙරලුම් නිසා මට නිතිපතා වමනේ යයි. නමුත්, ඒ සියල්ල අවසානයේ මා එළැඹෙන්නේ තිත්තයෝ ද, බුලත් හපයෝ ද, තවත් නම් නොදන්නා විවිධ මාළු ද පිරි ගලා යන වතුර පාරවලින්ද, කුඩැල්ලෝ සැරිසරන හරිත කඳුවැටි, රබර්වතු වලින් ද වටවූ සුන්දර ගම් පෙදෙසකටයි.

මා පුංචි අම්මා සමග පිටකොටුවේ බස් නැවතුමට යන විට එතැන එක්තරා අමුත්තෙක් අප එනතුරු බලා සිටියේය.

මා පසුව දැනගත් පරිදි ඒ අපේ වෙන්ඩ බාප්පා ය.

රත්නපුර බසයට අපි ගොඩ වුනෙමු. මට එක් අසුනකත් මා පිටුපස අසුනේ වෙන්ඩ බාප්පා සහ පුංචි අම්මාත් අසුන් ගත්හ.

මොහොතකට පසු බස් රථයට ගොඩ වැදුනේ පොත් වෙළෙන්දෙකි. ඔහු අත තිබූ එක් පොතක් මිළට ගත් බාප්පා එය මා අත තැබූවේ, පොත් ගුල්ලෙක් වන මා එතැන් සිට ඔවුන් දෙදෙනාට කිසිදු ප්‍රශ්නයක් නැතුව රත්නපුරය දක්වා ගමන් ගන්නා බව දන්නා සේ ය.

චන්ද්‍ර අනගිරත්න විසින් එවකට තිබූ රිවිරැස නම් සති අන්ත පුවත් පතට ලියන ලද "සුරලොව ඇල්මන් ගේ නරලොව හොල්මන්" නමැති තීරු ලිපිවල එකතුවක් වූ ඒ නරලොව හොල්මන් නම් වූ පොත එදා මට රස සාගරයක් විය.

මේ පොතෙන් මා කියවූ, අද දශක කිහිපයකට පසුවද මගේ මතකයේ රැඳී ඇති කවියක් මෙසේය.

පුංචි කෝච්චිය යයි හරි වේගෙන්
පැය හතරට එක සැතපුමෙ වේගෙන්
කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන්
දරුවෙක් බිහිවෙයි ඕපනායකින්


මෙන්න වෙනත් කවි පන්තියකින් කවි කිහිපයක්.

කෙල්ලෙක් පසුපස මම ලුහු බඳිමී
ඇය එනතුරු මහ මග පැල් රකිමී
ඇයට ඇහෙන්නට බොරුවට කහිමී
තව එක සිගරැට් උගුරක් අදිමී

ඔබ මගෙ රන්කඳ පින් කඳ පොල් කඳ
මාසේ පෝයට පායන පුන් සඳ
ආ බව ඇත්තයි පොල් කඩමින් ඉඳ
නාලයි ආවේ දැන් නෑ ගස් ගඳ

කට්ලට්, ඔම්ලට්, ෂර්බට්, මස්කට්
දෙන්නද ඩාලින් කැඩ්බරි චොකලට්
මම වෙමි රෝමියො ඔබ මගෙ ජුලියට්
වයි නොට් යූ ට්‍රයි වන් මෝ බිස්කට්


මේ කවි පන්තියෙන් තවත් කවි කීපයක්ම මගේ මතකයේ ඇත.

මේ පොතේ තිබූ කතන්දර අතරින් එකක් වූයේ ඇල්මන් ගේ නිවසට අල්ලපු නිවසට නයෙක් ආ කතාවයි. අප කවුරුත් දන්නා පරිදි මේ නයා ඒ නිවසේ එවකට තිබූණූ සුඛෝපභෝගී ගෘහභාණ්ඩ අතරින් රිංගා යයි.

මේ තීරු ලිපි ලියවී ඇත්තේ හැටේ දශකයේ අග හෝ හැත්තෑවේ දශකයේ මුල විය යුතුයි. ඒවා පසුව පොතක් ලෙස මුද්‍රණය වී බොහෝ විට අළෙවි නොවුනු නිසාවෙන් කලකට පසු මෙලෙස බස් නැවතුමේ පොත් විකුණන වෙළෙන්දන් අතට පත්වෙන්නට ඇත.

නයා ඇරීම යන්න ව්‍යවහාරයට ආවේ ඒ අනගිරත්න ගේ කතාවෙන් දැයි මම නොදනිමි. සමහර විට මේ කියමන අනගිරත්න ගේ කාලයට කලිනුත් තියෙන්නට ඇත.

දැන් ඉතිං, නයා ඇරීම ගැන සිතමු.

අපේ සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරන්නන් අතර විවිධ වයස්වල, විවිධ වෘත්තීන්වල, විවිධ සමාජ මට්ටම්වල අය සිටිති.

අතත්‍ය බ්ලොග් ලෝකයේ දී අප සැම සමානයන් වනමුත්, සැබෑ ලෝකයේ දී එසේ නොවේ. අප අතර විවිධ වෙනස් කම් ඇත.

එකෙකු ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් තවෙකෙකු ගේ මිම්මෙන් නයෙක් වෙන්නට ඉඩ ඇත්තේ ඒ නිසාය.

පාර දිගේ ටයරයක් කරකවමින් යන කොලුවෙකුට බයිසිකලයක යන එකෙක් ඒ ගැන කරන කතාවක් නයා ඇරීමක් ලෙස පෙනෙන්නට ඉඩ ඇත.

බයිසිකලයක යන එකෙකුට, මොටර් සයිකලයක යන එකෙක් ඒ ගැන කරන කතාවක් නයා ඇරීමක් වෙයි.

මෝටර් සයිකලයක යන එකෙකුට, මරුටියක යන එකෙක් ඒ ගැන කරන කතාවක් නයා ඇරීමක් ලෙස පෙනෙන්නට ඉඩ ඇත.

මරුටියක යන එකෙකුට, බෙන්සයක යන එකෙක් ඒ ගැන කරන කතාවක් නයා ඇරීමක් ලෙස පෙනෙන්නට ඉඩ ඇත.

ගුවනින් ගොස් නැති අයෙකුට, මදුරාසියට හෝ ගුවන් ගමනක් ගිය එකෙක් ඒ ගැන කරන කතාවක් නයා ඇරීමක් ලෙස පෙනෙන්නට ඉඩ ඇත.

සාමාන්‍ය කැට්ල් ක්ලාස් එකේ ගුවන් ගමනක් ගිය අයෙකුට බිස්නස් ක්ලාස් එකේ යන එකෙක් ඒ ගැන කියන කතාවක් නයා ඇරීමක් ලෙස පෙනෙන්නට ඉඩ ඇත.

ඒ මනුස්ස ස්වභාවයයි.

මෙතෙක් කල් මේ ආකාරයේ නයි ඇරීම් යැයි නම් කරන්නට හැකි කිසිවක් කතන්දර බ්ලොගයේ නොලියන්නට මම වග බලාගත්තෙමි.

නමුත් දැන් පාඨකයෙකුගෙන් ඉල්ලීමක් ලැබී ඇත. එනිසා මගේ මීළඟ කතන්දරයේ සිට නයි ඇරීම් කිහිපයක් කරන්නට මම අදහස් කරමි.

-කතන්දරකාරයා

Tuesday 26 November 2013

මිදුලේ බුදුන් සහ ගේ ඇතුලේ බුදුන් - A few sketches on personal shrines


මෙන්න මුලින් ම තුන් තේරවිල්ලක්.

"බුදු කුස්සිය"

මං දන්නා පිළිතුර පසුව දාන්නම්.

අද මං ලියන්න යන්නේ කතන්දරයක්ම නොවෙයි. පසුව කතන්දර කීපයකටම පාදක කරගන්න පුළුවන් පොඩි සටහන් කීපයක්.


1.
අපි පොඩි කාලේ පාසල් නිවාඩුවට අම්මගේ දෙමව්පියන් ගේ නිවසට යනවා. සාමාන්‍යයෙන් අවුරුද්දට දෙපාරක් විතර.

ආච්චිලා ගේ ගෙදර මිදුලේ ඉස්සරහින් පැත්කට වෙන්න තියෙනවා කණු හතරක් උඩ හිටවපු පොඩි ගෙදරක් වගේ එකක්. ඒකට දැල්වලින් හදපු දොරක් තියෙනවා.

මේ පොඩි ගෙදර තමයි "බුදු පැල", එහෙමත් නැත්තං "බුදු කුටිය". හැමදාම හවසට ආච්චී මේ අට්ටාලය ඇතුලේ තියෙන බුදු පිළිමය ඉස්සරහා පොල් තෙල් පානක් පත්තු කරලා, මල් පුජා කරලා, පන්සිල් අරගෙන අනෙකුත් ගාථා යනාදිය කියලා වඳිනවා.


2.
මේ දවස්වල අපි පදිංචි වෙලා හිටියේ තාත්තා ගේ මහ ගෙදරයි. ඒ නිවසේත් මිදුල ඉස්සරහා පැත්තකට වෙන්න තනි ගල් කණුවක් තිබුණා. ඒ කණුව උඩ කලකට පෙර "බුදු කුටියක්" තියෙන්න ඇති. නමුත් මට මතක ඇති කාලය වෙන කොට ඒක හිස් කණුවක් විතරයි.

මං කොළඹ පාසල් යන කාලයේ කාලයේ අපේ ආච්චී වත්තේ පොල් කඩවා මිදුලේ ගොඩක් ගසා තිබුණා පසුවදා ලෙළි ගස්සවා පොල් මුදළාලි කෙනෙකුට විකිණීමට. ආච්චී ගේ ආදායම වුනේ මේ පොල් විකුණා ලැබෙන සුළු මුදළයි.

නමුත් එදා රෑම මේ පොල් ගොඩෙන් වැඩි හරියක් හොරෙන් ගෙන ගොස් තිබුණා.

මේ සොරකම නිසා ආච්චී කොයි තරම් දුක් වුණාද කිවහොත් ඇය පසුවදා රාත්‍රියේ අර කණුව උඩ පානක් පත්තු කර හතරවරම් දෙවිවරුන්ට කණ්ණලවු කරමින් පොල් හොරකම් කළ අයට පළි ගසන්නට පටන් ගත්තා. ඇය මේ වැඩේ සතියක් පමණම කළා. ඊට පසුත් අර පහන ඒ කණුව උඩ දැල්වුණා මට මතකයි.


3.

කතන්දර හාමිනේ ලා ගේ මහ ගෙදර තත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් එකක්.

ඒ ගෙදර සුද්ද ගේ කාලේ හැදු එකක්. එහි කෑම කාමරය වටා යන කොරිඩෝරයේ එක් කොනක ඉතා කුඩා කාමරයක් පිහිටා තිබුණා. මෙය තමයි ඔවුන් "බුදු මැදුර" ලෙස පාවිච්චි කලේ. හැමදාම හවසට නැන්දම්මා මේ කුටිය තුල තිබුුණු බුදු පිළිමයට මල් තබා වැඳ පාන් පත්තු කර පන්සිල් ගැනීම යනාදිය කරනවා.

මං හිතන විදියට මේ කාමරය සුද්දා ගේ කාලේ භාවිතා කෙරුණේ කොහු ආදී නිවස පිරිසිදු කරන උපකරණ තැබීමට (broom closet) විය යුතුයි.


4.

දිගු කාලයක් මහ ගෙදර පදිංචිව සිටි අපේ තාත්තා පසුව අළුතින් නිවසක් තනා එහි පදිංචියට ගියා. මේ නිවසේ මිදුලේ "බුදු කුටියක්" හෝ නිවස තුල "බුදු මැදුරක්" හෝ සැකසුනේ නෑ.

ඒ වෙනුවට සාලයෙන් නිවස තුලට පිවිසෙන ආරුක්කුවට උඩින් බුදු පිළිමයක් සවි කෙරුණා. නමුත් එහි කිසිදා පොත් තෙල් පහන් දැලවුණේ නෑ.

ඒ වෙනුවට බුදු පිළිමයට යටින් සෑදුණු වක්‍රාකාර හෝල්ඩරයක දිගැටි විදුලි බුබුලක් සවි කෙරුණා. මේ දිගැටි බුබුල දැල්වූ විට එයින් නිරූපනය වුනේ සැලෙමින් දැල්වෙන පහන් සිළුවක්.

මේ පහන නිවෙන්නේ ලංවීම කෂ්ටිය අප හා අමනාප වූ දිනට විතරයි. මහ දවාලේත් එය දැල්වුණා.

පසුව කාලයක සමහර නිවෙස්වල මේ නිවෙස් තුල කෙරෙන පහන් දැල්වීම් සඳහා PLC වලින් දුවන LED බුබුලු සහිත පුවරු ද භාවිතා කෙරෙනු මා දැක තියෙනවා.


මේ කෙටි සටහන් කිහිපයක් පමණයි. තව ටික කාලයකින් මේ ඇසුරෙන් කතන්දර කීපයක්ම ලියන්නට හැකිවේවි!

-කතන්දරකාරයා

ප/ලි:
"බුදු කුස්සිය" - තුන් තේරවිල්ලට පිළිතුර දන්නවාද? මං දන්නා පිළිතුර පසුව දාන්නම්.


(images: copyright reserved, KK)

Sunday 24 November 2013

ඉස්කෝලේ නම නිසා ලැබෙන අනියම් ප්‍රයෝජන - Nepotistic tribalism and OBAs


පසුගිය දවසක මට එක්තරා ඉස්කෝලෙකට සම්බන්ධ ආදී ශිෂ්‍ය සංගමයක පොඩි සැඳෑ සාදයකට සහභාගීවීමට සිදුවිය.

පොඩිය කීවාට පොඩිමත් නැත.

සූ ගාලා සීයක් පමණ පිරිසක් එහි පැමිණ සිටියහ. මුලින්ම රටකජු බිකක් හැපීමටත්, දෙවනුව සින්දු වතුර කෝප්පයක් බීමටත්, ඉන්පසු සින්දු දෙකාමාරකට අත්වැල් ඇල්ලීමටත් අපට ඉඩ ලැබුනි.

බුෆේ ක්‍රමය බෙදාගත් බත් පිඟානක් අල්ලේ තියාගෙන වළඳා රෑ බෝවී ගෙදර ආවෙමු. සාදයේ හොඳම හරිය, එනම් බයිලා නැටීම අපට මිස් වීම නම් දුකකි.

මෙහිදී මා සිත් ගත් හොඳම අංගය වූයේ පාටියේ ඇම්.සී. කෙරුවාව කළ සංජීව ගේ කතා කෑලි කීපයයි.

එයිනුත් වඩාත්ම ජොලියක් ලැබුනේ මෙන්න මේ කෑලි දෙකෙනි.

"අපේ ඉස්කොලේ ආදි ශිෂ්‍යයෝ ලෝකේ නැති තැනක් නැති තරම්. ඔන්න දැන් අවුරුදු කීපෙකට කලින් අපි එකට වැඩකරන කට්ටියක්ම රට ඉඳලා ලංකාවට එන්න එයා ලංකා ප්ලේන් එකකට නැග්ගා. ටික වෙලාවකින් ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කොල්ලෙක් ඇවිත් මගෙන් අහනවා - අයියා අහවල් ඉස්කොලේ නේද? මට මතකයි අයියා ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා හිටියා වගේ අපි හයේ පන්තියේ ඉන්න කාලේ - කියලා. ඉතිං ඒ වෙලාවේ ඉඳලා අපි කටුනායකින් බහිනකල්ම විස්කි වලින් නෑවා!"

"තව දවසක් මං ඔය වගේ ඇවිත් ආපහු යන්න ගිහින් බැලින්නම් මගේ බෑග් කිලෝ පාළහක්ම බර වැඩියි. හොඳ වෙලාවට එතකොටම මං දැක්කා අපේ ඉස්කෝලේ වගේ කොල්ලෙක් චෙකින් කවුන්ට‍රේක ඉන්නවා. මං ගිහින් ඌට කිව්වා, මල්ලී අහවල් ඉස්කෝලේ නේද? මගේ බෑග් පොඩ්ඩක් විතර බර වැඩියි, බැරිද මොනවා හරි කරන්න? කියලා. ඒ එක වචනෙන් වැඩේ ෂේප්!

අන්න එහෙමයි අපේ සහෝදරත්ව‍ය!"

"සහෝදරත්වය වුනාට වැඩේ අසාධාරණයි නේද?" මම පොඩ්ඩක් හයියෙන් කිව්වෙමි.

අනේ ඒත් මේ පාටියේ හිටිය කෂ්ටිය ඒ වෙනකොට ඉස්කෝලේ නම නිසා තමන්ට ලැබෙන්නට ඉඩ තියෙන අනියම් වාසි ගැන හිතමින් හිනා වෙමින් හිටිය නිසාදෝ මං කියපු කතාව වැඩිය කාටවත් ඇහුනේ නැත.

මා ළඟම වාඩිවෙලා හිටිය හාමිනේට නම් මගේ ප්‍රකාශය ඇහුනා වගේ බවක් පෙණුනි. ඇය මා දෙස රවා බැලුවේ ඒ නිසා විය යුතුය!

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතන්දරය ලියන ලද්දේ සති දෙකක නිවාඩුවක අවසානයේ නිවෙස බලා එමින් සිටින අතරතුර ගුවනේ දී ය.

මේ මා මුළුමනින්ම ජංගම දුරකතනයකින් ටෙක්ස්ට් එඩිටරයක් සහ හෙළකුරු යතුරු පුවරුවේ ආධාරයෙන් ටයිප් කරන ලද පළමු කතන්දරයයි.

(image: http://en.wikipedia.org/wiki/Nepotism)