Sunday 2 October 2011

සිතුවම් සහිත කතන්දරකාරයා ගේ පරිප්පු වස්තුව - Being a single parent for two weeks


මාරයාගේ හෝරාව ලියන බ්ලොග් සහෘදයාට ගෙදරින් පිටවෙලා යන්න වෙලා තියෙන්නේ සෙනසුරා ලබපු කාලේ දී බව පසු කලෙක පොර කේන්දර බලන්න ඉගෙන ගත්තායින් පස්සේ දැනගත්තාය කියා ගිය සතියේ බස් රෙදෙව්වෙන් අහන්න ලැබුණා.

ඔය සෙනසුරා ලබපුවාම ගණ දෙයියා පවා බටකොළ කෑවා ය කියනවානේ.

ඒ අනුව බැලුවාම නං මට සිද්ධවුනු පරිප්පු කෑම නං මහ ලොකු දෙයක් නෙමේ. කොහොමටත් මං කන්න කැමතිම කෑමක් තමයි පරිප්පු!

මෙන්න එහෙනං, අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා යටතේ මගේ පරිප්පු කෑම ගැන විස්තරයක්.

අවශ්‍ය ද්‍රව්‍ය
1. පරිප්පු
2. ලොකු ලූණු සහ සුදු ලූණු
3. කරපිංච, තක්කාලි
4. කිරිපිටි හැඳි එකහමාරක් පමණ
5. මිරිස්කුඩු, තුනපහකුඩු, කහකුඩු, ලුනුකුඩු යනාදිය
7. තෙල්, අබ ඇට ස්වල්පයක්

සාදන ක්‍රමය
පරිප්පු සෝදා සාස්පානකට දමා එයට මිරිස් තුනපහ කහකුඩු, කපාගත් ලොකු ලූණු සහ සුදු ලූණු, කපාගත් තක්කාලි, කරපිංච, ලුනු සහ වතුර ඇති පමණ දමා ලිපේ තබන්න.



පරිප්පු ඇට යාන්තමට තැම්බී ගෙන එන විට එයට කිරිපිටි කවලම් කර හොඳින් හැඳි ගාන්න.


ඉදුණු පරිප්පු භාජනයකට අයින් කොට, සාස්පානට තෙල් දමා නැවත ලිපේ තියන්න. තෙල් රත්වී ගෙන එනවිට අබ එයට දමා අබ ඇට පිපිරෙන අවස්ථාවේ දී පරිප්පු හොද්ද සාස්පානට දමා තෙම්පරාදු කරගන්න.


විනාඩියකින් පමන ලිපෙන් බා ඇසුරුම් දිසියට දාන්න.

මේ සමගම සාදා ගත හැකි තවත් හොඳි මාළුපිණි වර්ග මේවාය.

1. ටෙම්පර්ඩ් බීන්ස් විත් පීනට්ස් ඇන්ඩ් සොයි සෝස්
2. පොටැටෝ කරි
3. බීෆ් කතන්දර ස්ටයිල්

ඒ සියල්ල සාදා භාජනවලට අසුරාගන්න.


ඉන්පසු මෙන්න මේ පහත පෙනෙන ආකාරයේ දර්ශනයක් දුටුව හොත් එය නොසලකා ඉන්න හෝ කොටු දාන්න හෝ එපා!


අවසානයේ මෙන්න මේ ගීතයට සවන් දෙන්න. එවිට සියල්ල වැටහෙනු ඇත!


-කතන්දරකාරයා

ප/ලි:
අනිකුත් මාළුපිණි [ටෙම්පර්ඩ් බීන්ස් විත් පීනට්ස් ඇන්ඩ් සොයි සෝස්, පොටැටෝ කරි, බීෆ් කතන්දර ස්ටයිල්] සාදාගන්නා ක්‍රමය, කවුරුන් හෝ මහත්තැන් කෙනෙක් ඉල්ලා සිටියොත් නුදුරු දිනයක ලියන්නට අපේක්‍ෂා කරමි. නෝනාමහත්තැන් ලා ද මේ කෑම ජාතිවලට කැමති බව මංතුමා දනිති! ඉල්ලා සිටියොත් සාදන හැටි කියාදෙමි.

අද නම් ඒවා ලියමින් ඉන්නට වෙලාව නැත.

ඉවූ පිහූ කෑ දේ අස්පස් කරන්නට යා යුතුයි!

72 comments:

  1. ටෙම්පර්ඩ් බීන්ස් විත් පීනට්ස් ඇන්ඩ් සොයි සෝස්, බීෆ් කතන්දර ස්ටයිල් සාදාගන්නා ක්‍රමය සාදන හැටි කියා දෙන්න යැය් මෙන්න ඉල්ලීම.

    ReplyDelete
  2. කතන්දර රස සරණිය කියලා අපි මේකට නමක් දාමු

    මේක අහම්බෙන් වෙච්ච දෙයක්ද මන්දා ඔයැයිගේ වයිෆ් නෑගම් ගිහින් අපේ අම්මත් ගමේ ගිහින් ඉතින් මම මේ දවස් කීපයම ආහාර පාන ගත්තේ අසල්වැසි කඩෙන් ,

    යකඩෝ බිරිඳ ගෙදර නැති වුණාම තමා කතන්දර කාරයා රජෙක් වගේ කෑම බීම ගන්නේ ! බලහල්ල්කෝ හදලා තියන කෑම ගොඩ තනි මිනිහෙක්ට ඇහැකිද තනියම ඕවා කාලා දාන්න ?

    ඔබගේ බිරින්ඳෑ නෑගම් ගිහින් නිසා මම එන්නද සැර ජාතියකුත් අරගෙන ඔය පැත්තේ . ?

    ReplyDelete
  3. @ Observer
    ඔබේ ඉල්ලීමට ස්තුතියි. එය නුදුරු දිනකටම බලාපොරොත්තුවන්න.

    හාමිනේ අද හවස එන්න හිටියේ හෙට උදේට කල් ගියා.

    සති දෙකක විනෝද සමය අවසානයි!

    ReplyDelete
  4. @ සඳරූ
    තනියම යෑ, ඇයි මගේ දරුවෝ දෙන්නා?
    දුව: http://kathandara.blogspot.com/2011/06/pink-baby-girl-comes-home-in-red.html
    පුතා: http://kathandara.blogspot.com/2011/05/blog-post.html
    හැබැයි සතියම කෑවා ශීතකරණයේ දාලා තියාගෙන.

    සැර බීම නං ගෙදර එමටයි. දවසක හමුවෙමු.

    ReplyDelete
  5. කෝ අර අන්තිමට තියන වීදුරුව යටින් ලියලා නෑනේ "මේ මොනවා පෙන්නුවත් මත් පැන් බීම බ්ලා බ්ලා බ්ලා වලට හේතුවේ" කියලා

    ReplyDelete
  6. පරිප්පු ඉදෙන්න කලින් ලුනු දාන්නෙ නෑනේ.ඉදුනට පස්සෙ නේද දාන්නෙ ලුණු?කෝ කහ දාලා නෑ වගේ පරිප්පුවට.ඇයි පරිප්පු වලට පිටිකිරි දාන්නෙ?

    ReplyDelete
  7. කපීකේකි2 October 2011 at 07:22

    නෝනා ගෙදර නැති උනාට ඔය හදලා තියෙන්නෙ යසට කෑම ටික.පංකාදුයිනේ.

    ReplyDelete
  8. @ පූසා
    වීදුරුවේ තියෙන්නේ අයිස් ටී!

    ඔයා හිතුවේ මොනවා කියලද?

    ReplyDelete
  9. @ නදී
    මේකනේ නදී වැඩේ!

    එක එක්කෙනා කෑම හදන විදිය වෙනස්. විවිධ රස දැනේනේ ඒ විවිධ ක්‍රම නිසයි.

    පබිලිස් එක විදියකට, ජෙෆ් ජෑන්ස් තව විදියකට, ජේමි ඔලිවර් එක විදියකට. මංතුමා තව විදියකට.

    අපේ හාමිනේ උයන කොට මිරිස්කුඩු දාන්නේ නෑ. ඒ තව විදියක්.

    මං ලුනු දාන්නේ මුලින්ම. මං කවදාකවත් හොද්දේ ලුනු බලන්නේ නෑ. ඒකෙන් තමන්ගේ විශ්වාසය බිඳ වැටෙනවා.

    කහකුඩු නං දාලායි තියෙන්නේ. පොඩ්ඩක් විතර. හොඳට බලන්න උයන්න කලින් ෆොටෝ එකේ.

    අනික මං දෙහි දාන්නේත් නෑ.

    තෙම්පරාදුවට කලින් මං කෑලි මිරිස් දානවා. ඊයේ ගෙදර තිබුනේ නෑ. අමු මිරිසුත් තිබුණා නං දාන්න තිබුණා.

    කිරිපිටි දාන්නේ පොල් කිරිවලට අකමැති නිසයි. මේවා මේදය රහිත හොඳ එක. හොඳ රහයි මට නං.

    හොඳ ප්‍රශ්ණ ටිකක්, ස්තුතියි මට විස්තර ලියන්න ඉඩ ලැබුණා මේ නිසා.

    ReplyDelete
  10. @ කපීකේකී
    තැන්කියු, තැන්කියු.
    මං කප්-කේක් හදන්නත් දන්නවා! කන්නත් දන්නවා!!

    ReplyDelete
  11. අපේ අම්ම කිව්වෙ පරිප්පු වලට ඉදෙන්න කලින් ලුනු දැම්මම හරියට පරිප්පු ඉදෙන්නෙ නෑ කියල.අනික එකවර කිරිදාල ලිපේ තියනවට වඩා වතුරෙන් තම්බලා පස්සෙ කිරි දැම්මම හොදයිලු කිව්ව.මාමත් මේ උයන්න ඉගන ගන්නව තාම.

    පිරිමි අයට රහට උයන්න පුලුවන්,අපේ අප්පච්චිට අම්මට වඩා රහට උයන්න පුලුවන්,විශේශයෙන් මස් මාලු වගේ දේවල්.:)

    ReplyDelete
  12. බට කොළ කාල තියෙන්නෙ විශ්ණු දෙයියො !! දැං ඔය අයිස් ටී බොන්නෙ කෑමට පෙරද? පසුද?
    ක.සූ. සරණිය !!!

    ReplyDelete
  13. @ නදී
    අපොයි ඔව්, අම්මලා හරි. ඒක තමයි හරි ක්‍රමය.

    නමුත් මං කැමති පරිප්පු ඇට හොඳටම නොඉදී නිකං හැපෙන්න තියෙනවනං තමයි.

    කිරි දාන්නේ තැම්බුනායින් පස්සේ.

    පරිප්පු හොඳටම ඉදුනොත් නිකං පාප්ප වගේ වෙනවා. ලාවට ඉදුනාම තමයි ෂෝක්!

    අපේ ගෙදරත් මස් හදන්නේ මංතමයි. හැබැයි හාමිනේගේ චිකන් ඉවීමට තමයි මං කැමති.

    ReplyDelete
  14. @ හරි-පිණිපලස
    අයිස් ටී හොඳ කෑමට පෙර. කෑමට පසු කියලත් ගානක් නෑ.
    ඕකට කළුදිය දහර සහ හිමවරුසා කියලත් කියන්න පුළුවනි!

    සරණිය කියන්නේ series කියන එකනේ. අසම්පූර්ණයි නේද? මොන සරණිය ද?

    ReplyDelete
  15. නරකද මාරය වගේ දුප්පත් මගේ කෑම වේල කියල එකක් පටන්ගත්‍තොත්.

    ReplyDelete
  16. අනේ මංදා ගෑනි ගෙදර නැති එකේ ආතල් එක අපිට ඉතින් තේරෙනවයෙ මෙ අපිට.
    කතන්දර මාමගෙ පරිප්පුවෙ පෙනුම නම් කැතයි,
    රස කොහොමද මන්දා..
    කොහොම වුනත් පිරිමි ජාතියෙම හැටියක් මට පේන්නෙ මෙහෙම තනියෙන් ඉන්නකොට විවිධාකාර කෑම හදාගෙන කෑම.
    මම නම් ළඟදි හැදුවෙ නෑ.

    ReplyDelete
  17. @ Praසන්ன
    බුදු අම්මෝ, බැරියෝ!

    1. මාරයා තනිකඩයෙකි.

    2. මං හදන්න දන්න කෑම ජාති හතඅටකට වඩා නැත. මෙතන එයින් අඩක් ම සාදා තිබේ!

    ReplyDelete
  18. @ Gordonia ceylanica

    පුත දීඝායු, පොතක කවරයෙන් එය ගැණ තක්සේරු නොකරව. අන්තර්ගතය බලව!

    ReplyDelete
  19. කසූ ගේ පරිප්පු සරණිය !!!, ඉස්සෙල්ල කන්නෙ ඇහෙන් !! ඒක අමතක කරන්න එපා.

    ReplyDelete
  20. @ හරි-පිණිපලස
    ඔහේ "ඇහෙන්" කන්න. අපි "ඇහැක්" විදියට කනවා!

    ඔන්න බලන්න ඉතිං නෝනලා අපිට විහිළු කරනවානේ.
    මං හිතුවේ අපි ගැන පොඩ්ඩක් විතර අනුකම්පා ඇතිවෙයි කියලයි.

    (ඇත්තටම ඔයා හරි හරී නගෝ, ප්‍රසන්ටේෂන් වැදගත්. මෙතනදී නං වැදගත් වෙන්නේ හොඳට ෆ්ලෑෂ් එකක් දාලා ෆොටෝ ගන්න එකයි. මං ෆෝන් එකේ ෆ්ලැෂ් එක ඕෆ් කරලායි ෆොටෝ ගත්තේ)

    ReplyDelete
  21. හප්‍පොච්චි‍යේ , පරිප්පු‍වේ පාට .මිරිස් පෙන්නලවත් නැහැ වගේ.

    අනික මේ උයන පිහන වැඩ වගේම, ඒ ගැන ලියන වැඩෙත් කතන්දරට ගැලපෙන්නෙ නැහැ වගේ.

    ReplyDelete
  22. කතන්දරගේ වසන්තයේ නිමාවද . . .
    වසන්තයේ යලි ඇරඹුමද . . .
    හික්ස්

    ReplyDelete
  23. කකා ඉවුම් පිහුම් වලටත් දක්ෂයෙක් වගේ :)

    අර කතන්දර ස්ටයිල් බීෆ් කරිය හදන හැටි දැනගන්න ආසයි...

    ReplyDelete
  24. @ සොසී
    මිරිස් අවමයි. පුතාත් කන්න ඕනෑනේ.
    හාමිනේ නං මිරිස් දාන්නේම නෑ පරිප්පුවට.
    හැමදේටම මිරිස් මොටෝ? ඇයි කිරි හොදි නරකෙයි?

    ReplyDelete
  25. @ දුකා
    දුකා නං මේ දුක විඳලා තියෙනවානේ හොඳහැටි.
    වසන්තය නෙමේ මට නම් හේමන්තය තමයි!

    ReplyDelete
  26. @ ගීතක
    දක්‍ෂකම නෙමේ, මේවා නිකං ඉම්ප්‍රොවසින් වැඩ!
    මස් උයන විදිය දාන්නං පසුදවසක.

    ReplyDelete
  27. අපි මොකටෙයි ඔහෙලට හිනා වෙන්නෙ, ඔය කතාව මාරයත් කියනවා. අහල බලන්න බොරු නං.

    ReplyDelete
  28. ගැහැණු අපි උයනව වගේ නෙවෙයි.පිරිමි අයට උයන්න වැඩි වෙලාවක් යන්නෙ නැහැ වගේම උයන දේ රසයි.මම දන්න එක මහත්මයෙක් හිටිය , උයන්න ඕනි එකම එක වළදයි. ඉවුවා බෙද්දා , ඉවුව බෙද්දා, ඒ ඇවි කියල ඇහුවම කීවේ , “ ඕනි තරම් උයන්නම් , හැබැයි වළං හෝදන්න නම් බැහැ “ කියලයි....

    ReplyDelete
  29. කාලා තියෙන්නෙත් මමනම් .. පරිප්පු..
    හැමදාමත් කන්නෙත් මම ...පරිප්පු..
    ඒ මදිවට රෙසිපියෙනුත්... පරිප්පු
    කකා අය්යේ මොකදෝ මේ...පරිප්පු

    ReplyDelete
  30. මම හිතුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිඵලයක් වත්ද කියල ... බැලින්නම් නෑගම් ගොහින්නේ...

    ReplyDelete
  31. මම හිතුවෙත් අයිස් ටී කියලා තමයි. ඇයි අයියණ්ඩි හිතුවේ මම මොකක් හිතුවයි කියලද? :D

    ReplyDelete
  32. @ Gimhani

    කනවා පරිප්පුව පොඩි කාලේ ඉඳලා
    තවමත් නැතිය කිසි ලෙසකින් එපාවෙලා
    ගත්තම පාන් ගෙඩියක් දෙකකට කපලා
    කන්නට හැකිය ලෝකේම අමතක කරලා

    හැමවේලටම හොඳ හොඳ හොදි හැදීයන්
    සුමිහිරි පරිප්පුව ඒ මැද දිලීයන්
    බඩ කට පුරා කන්නට ඉඩ ලැබීයන්
    සිහිනෙන් පරිප්පුව ඉඳහිට පෙනීයන්

    ReplyDelete
  33. @ තනිකඩ
    තනිකඩ ලා කෙහෙද ඉතින් මේ දුක් දන්නේ? කඩෙන් වෙන්නැති කෑම?

    ReplyDelete
  34. වයිෆ්උත් නෑ කිව්වම, ඔච්චර කෑම හදලා තියෙන නිසා මම හිතුවේ කකාගේ ඔෆිස් බඩීස් ලා එහෙමත් ගෙනල්ලා අර ඇමෙරිකන් පයි එකේ වගේ පාටියක් දැම්මද කියලා...

    දුවයි පුතයි ගැන දැක්කේ කමෙන්ට් වලදි... :D

    ReplyDelete
  35. පරිප්පු වලට කළු කුඩු දැම්ම තමයි නියම රස හා සුවඳ එන්නෙ. පොඩ්ඩක් උඩින් ඉස්සනං හරි. හදන හැටි ඕනිනම් හාමිනේගෙ අහල කියන්නම්.

    ReplyDelete
  36. මමත් ආසයි ඔය විදියට "අයිස් ටී" බොන්න . . . .

    ReplyDelete
  37. අය්යෝ කකා දුක නැද්දෝ ඔයාට..
    හීනෙන් පවා කළුවාටයි මනාප..
    පරිප්පුවා නොදකින් අනේ මෙමාට..
    ඔහොම පැතුම් නොකරන් අනෙ නගාට..

    ReplyDelete
  38. @ ගිම්හානි,
    හප්පට සිරි කිව්ව, කවියෙන් මය් දැන් කොමෙන්ට් එහෙනං ඈ.....

    ReplyDelete
  39. [[ඔය සෙනසුරා ලබපුවාම ගණ දෙයියා පවා බටකොළ කෑවා ය කියනවානේ]]

    ගණ නොවේ විෂ්ණු. ගණ දෙයියෝ කොහොමත් අලි රාල කෙනෙක් නේ.

    [[ඉවුම් පිහුම්]]

    නිකම් කට බලියාගෙන ඉඳලා [බාගයක්] මහජන මුදලින් බඩට වැටෙන කැන්ටිමේ කෑම ටික ගැන විරෝධාකල්ප කවි සින්දු ලියමින් මොර දෙන කහන්දරලා වගේ නොවෙයි ඔන්න අපි නම්. කැම්පස් උන්නු අවුරුදු හතරේම ඉව්වා. මුලින්ම උයන්න තියා තේකක් වත් හදන්න දැන උන්නේ නැහැ. එව්වා බොහොම රස කතා ඉතින්.

    ළඟදී ට්‍රේනින් එකකට රට ගිය කාලේ සප්ලිමන්ටරියක් හැටියට [ඔෆිස් එකේ කෑමට] තඩි මුන් ඇට හට්ටියක් හදලා සති ගානක් කෑවා.

    මගේ කෑම නම් මෙලෝ රහක් නැහැ. ගෙදර නම් උයන්න උදව් වෙනවා තියා කොටින්ම මට කුස්සිය පැත්තේ එන්න තහනම්. මට උයන එක තරම්ම ගේමක් මං උයපු ඒවා කන එක.

    ReplyDelete
  40. කකා මාමෙ මොනව කොරත් අන්තර්ගතේ වගෙම කවරෙත් බලපානවා පොතේ රහට අම්මපා.
    මම අලුතින් ගත්ත අරණකට පෙම්බැඳ පොත මට දැක්කත් ගන්ට හිතුන් නෑ,
    අන්තිමට ඉතින් රහ ගැන හිතල ගත්තා.

    ReplyDelete
  41. @ Beetle
    ඇමරිකන් පයි මං බලපු එකේ නං ඉන්නේ තරුණ ළමයි නේද?
    මේ කියන්නේ පස්සේ කොටස් වෙන්න ඕනෑ.

    ReplyDelete
  42. @ ඉන්දික
    කළුකුඩු මං දන්න විදියට වට්ටක්කා වලට දානවා. අබ දාලා තෙම්බරාදු කළාමත් ක්‍රවට මතුවෙනවා පරිප්පු උඩින්.

    කළුකුඩු තව පොඩ්ඩකින් දැනගන්න පුළුවන්. මගේ හාමිනේ දැන් මග!

    ReplyDelete
  43. @ ඕනයා
    දී කිරට බළල්ලුත් සාක්කි!

    ReplyDelete
  44. @ Sujeewa Kokawala
    මං අහලා තියෙන්නේ ගනේෂ් ගැන විතරයි. සුජීව ලා තමයි ඉතිං විෂ්ණු, කුම්භකරණ කෂ්ටිය!

    පේරාදෙනියේ කෑම සබ්සිඩයිස් ය කියලා හිතන්න එපා. මුදළාලිලාට දෙන්නේ ටෙන්ඩර් එකක්. සල්ලි ගන්නවා.

    ReplyDelete
  45. එක වේලක්නම් බැරිය . ඕව තියාගෙන කෑවේ කොහොමද. ඔහොම හරි උයාගෙන කාපු එක මදැයි. දැන් හාමිනේ ආවයි. නැතත් ගිය වැඩ ඔක්කොම දාල දුවගෙන එයි මේක දැකල .කඩ වල තෙල් මිරිස් වැඩි කෑම වලට වඩා පෙනුම ගැන නොහිතා ඔහොම කන එක හොඳයි . ඉස්සර මගේ යාලුවෙකුත් පිටිකිරි දාල උයන් එනවා . වරදක් නැහැ . යෝගට් දාලත් උයන එකේ .

    ReplyDelete
  46. බින්දි,
    මගේ යාළුවෙක් ඉන්නව අවුරුදු හැට හතරයි, පෙනුමට කියන්නම බෑ ( 45ක් විතර වගේ - මෙහෙන් යනවට අපේ කම්පැණි එක කැමති නෑ, විශේෂ රක්ෂනයක් දාල තියන් ඉන්නව ) එයා මෙහෙ තනියම ඉන්නෙ, ෆැමිලි එක ලංකාවෙ, නිවාඩුවලට විතරයි එන්නෙ යන්නෙ. මනුස්සය පහුගිය අවුරුදු හත අටක් තිස්සෙ තමන් උයන කෑම වලට තෙල් නෑ, පොල් කිරි නෑ, වතුරෙන් තමයි ගොඩක් ඒව. සමහර කෑම වලට විතරක් සෝය මිල්ක් දානව. අපිත් ලන්ච් ඩිනර් වලට නිතර යන එන නිසා දන්නව, කෑම හරිම රහයි, වතුරෙන් ඉව්වද සෝයි මිල්ක් දැම්මද නෑ!

    ReplyDelete
  47. @ Bindi
    හාමිනේ තව පැය බාගෙකින් ගෙදර!

    අපි 2006 මාර්තු මාසේ සිට කන්නේ කිරිපිටි දාලයි. නිකං නෙමේ යොදය රහිත -නොන් ෆැට් - කිරිපිටි. කිසි අවුලක් නෑ.

    ReplyDelete
  48. @ බින්දි
    @ ඉන්දික
    මෙන්න අපි පොල්කිරි තියා නොන් ෆැට් කිරිපිටිවත් නොදා වතුරෙන්, තෙලෙන් උයන දේවල්.
    1. බෝන්චි
    2. චිකන්
    3. මස්
    4. මාළු
    5. ගෝවා
    6. කන්කුන්, බක්චොයි වගේ ජාති
    7. බ්‍රොකොලි නොහොත් කොලපාට මල්ගෝවා
    8. සෝයි මීට්
    9. කරෝල

    ReplyDelete
  49. කකා,
    අපිනම් චිකන් උයන්නෙ වතුරවත් තෙල් වත් නොදා. චිකන් වලම වෑස්සෙන වතුරෙන් බොරට උයල බලන්න.

    ReplyDelete
  50. ඊ කරවල හොදි, කිරි නැතුව !!!! බැදුම නම් හරි. වතුරෙන් කරවල උයලා කන්න පුළුවන්ද අප්පේ,, කරවල සුප්???

    ReplyDelete
  51. @ උපශාන්ත,
    මෙහෙ තියෙනව කඩයක් චිකන් ප්‍රයිඩ් රයිස් හදන චිකනුත් නොදා, බොරු නම් ඇවිත් බලන්න

    ReplyDelete
  52. අර අන්තිම අයිස් තේ එක හදන හැටි කියලා නෑනේ.....

    ReplyDelete
  53. කතන්දරගේ කෑමනම් පන්කාදුය , ඇත්තටම පිරිමි පාර්ශවය උයන කෑම බොහෝවිට හරිම රස බව අත්දැකීමෙන් දනිමි.කතන්දර හොඳ ස්වාමි පුරුෂයෙක් මෙන්ම හොඳ තත්තකෙනෙකු බව කිව යුතුමය.කාකාගේ කෑම උයන ක්‍රම විශේෂයෙන් , අර මස් උයන ක්‍රමේ පල කරනමෙන් ඉල්ලා සිටිමි.
    *වසිලිස්සා*

    ReplyDelete
  54. This comment has been removed by the author.

    ReplyDelete
  55. [[මං අහලා තියෙන්නේ ගනේෂ් ගැන විතරයි. සුජීව ලා තමයි ඉතිං විෂ්ණු, කුම්භකරණ කෂ්ටිය!]]

    ඔබ බෙදාගෙන ඉන්න විදිහට අනුව හිතුවොත් විශ්නුත් ඉන්නේ ගනේෂ් ගේ පැත්තේ. හැබැයි ඉතින් ඔය බෙදීම් මිනිස්සු හිතෙන් හදා ගත්තුවා. සාමකාමිව ඉන්නවා නම්, අල්ලා, ගෝඩ්, තූර් ඔඩින් උනත් අපිට අවුලක් නැහැ. අමතක කරන්න එපා මං අනාගමිකයෙක් :)

    [[පිටිකිරි]]

    පිටි කල පොල් කිරි, පිටිකිරි, එළකිරි [පියුරා] ඔක්කොගෙන් ම උයපු මා උයා නැත්තේ කෙලින්ම පොල් මිරිකා ගන්නා පොල් කිරෙන් පමණි.

    චිකන් වලට නම් මොන කිරක් වත් නොදා හදන එක තමයි රසම. ඉන්දික කිව්වා වගේ කුකුළා ගෙන්ම වතුර ලැබෙනවා. මදි නම් තක්කාලි ටිකක් දමන්න [අපේ වනචාරි ඉවුම් පිහුම් ක්‍රම]

    [[නොන්ෆැට්]]

    සීලිමට කක්ෂගත වීමෙන් පස්සේ නේද? මටත් ලොකුම ලොකු සෞඛ්‍ය ප්‍රශ්නයක් තියේ. උයන්නේ කිහිප වරක් මිරිකා සාරය හරින ලද වතුර වගේ පොල් කිරෙනි. මැගී අක්කාගේ පොල් කිරි වල යොදය යවන්න බැරි නිසා මේක හොඳ විසඳුමක්.

    ReplyDelete
  56. මෙන්න පොඩි රහසක් මමත් ඔය කරවල ඇර අනික් කිව්ව ජාති නම් පොල් කිරි නොදා උයනවා. පොල් අපේ ගෙදරත් පොල් නැතුවම උයන දවස් තියනවා . වැඩියම කම්මැලි කමට .පොල් තියෙන්න සමහර මාකට් වල විතරයි,. හැබැයි සම්බෝල මැල්ලුම් වලට නම් පොල් ඕනෑමයි. මෙහෙ කට්ටිය ඕනෑම එළවළුවක් කොළ ජාතියක් යන්තම් තෙල් දාල එහාට මෙහාට හරවල තමයි ගන්නේ . නැත්නම් සුප්. පිටිකිරි වෙනුවට දියර කිරි හොඳද .

    අපි ඉස්සර මිනිස්සු වගේ වැඩිය වැඩ නොකෙරෙන නිසා පොල් අඩුවෙන් කන එක හොඳයි. අපිත් ඔය වැඩේ කරන්න ඕන . මන් කිව්වේ ළමයි දෙන්න බලාගන්න කියල කොහෙහරි ගිහින් එන එක . ළමයි තාත්තව බලාගනියි. ඒක ෂුවර් .

    ReplyDelete
  57. නෝන කොහෙ හරි ගිහිල්ල තමයි වගේ. අද ඔක්කොම කොමන්ට්ස් වලට හිටු කියල උත්තර බඳින්නෙ ඒකයි.

    ReplyDelete
  58. ශා මේ තියෙන්නෙ කියම සන්ඩේ එක්ස්ට්‍රා ස්පෙෂල් එකක්. හැබැයි මේක කියවන්ඩ එද්දි පොඩ්ඩක් පරක්කු වෙලා.

    ඊලග සතියෙ ඉරිදා මමත් හදලා බලන්නයි ඉන්නෙ. පුලුවන් උනොත් රූපරාමුත් දාන්නං කතන්දරට සන්තෝෂ හිතෙන්ඩ.

    හැබැයි කතන්දර, හාමිනේ නැති වෙලාවේ කෑම හදනවට වඩා හාමිනේ ඉන්න වෙලාවේ කෑම හදලා ඒයාට පිළිගන්වන එක වඩා ගති නැද්ද, මොකද කතන්දර කියන්නෙ.

    ReplyDelete
  59. හුටා දැන්නේ දැක්කේ... මාත් මේ පරිප්පු ගැන ලියන්න කියලා හිතං ඉන්නවා ඉන්නවා කොහේද තාම ලිය උනේ නැහැ.. වෙලාවක මතක් කොරලා ලියලා දාන්න ඕන...

    කාකා කිව්වා හරි කිරි පිටි දාලා උයන්න විතරක් නෙවෙයි..මිරිස් නොදාම ඉවුවමත් පරිප්පු මාරම රසයි... පරිප්පු උයන්න ක්‍රම කොයි තරං තියෙනවද... මං මේ පරිප්පු පෝස්ට් එක පරක්කු කර කර හිටියේ තව එක විදියක් තියේ මං කාලා තියෙන..ඒත් තාම හදලා නැති.. ඒකත් හදලාම ක්‍රම හැට හුට හමාරම දාන්නයි කල්පනා කරං ඉන්නේ...

    හුඟාක් අය කෑම ජාති අත්හදා බලන්න බයයි..ඒත් ඒ හැටි බය වෙන්න දෙයක් නැහැ ඒන දේකට ල්‍රණු ඇඹුල් ආවම කන්න පුළුවන්.. ඊට අමතරව පහේ කුඩ්..මිරිස් වගේ දෙවල් එක්ක තව තව ජාති එකතු කිරීම හරහා රසය වැඩි කර ගන්නත්..සමහර විට අරක මේක වැඩි වෙලා කෑමේ මොනම රසයක් නැති කර ගන්නත් ඇහැකි... සමහර අය උයන දේවල් කන්න බැරි වෙන්න හේතුවත් ඒකමයි... ඒ කියන්නේ කලමනා වැඩි වීම...

    අර ලුණු බැලීමේ කතාවටත් මං එකඟයි. ලුණු අමුතුවෙන් බලන්න දෙයක් නැහැ..ඒක විශ්වාසය ගැන අවුලක් තමා.. මමත් මතක ඇති කාලෙකින් ලුනු බලලා නැහැ කෑමක...ඇහෙන් බලලා කියන්න පුළුවන් වෙන්න ඕන කොච්චර දානවද කියලා...

    අනිත් දේ තමා පරිප්පු වලට ලුනු දැම්ම විට තැම්බෙන්නේ නැතිය කියන කාරණාව..ඕක ඔයිට කලිනුත් වතාවක් කවුද මංදා මාත් එක්ක කියලා තිබුන හින්දා මාත් එහෙම නොදා උයලා බැළුවා.. මොන ඒකේ ඇති දෙයක් නැහැ.. ලුනු දාලම ඉව්වත් ඒ ගානටම තැම්බෙනවා... ඒක පරිප්පු සම්බන්ධවනම් වැරදි මතයක්...

    අර කිව්වට අරක අයිස් තේම නෙවේද මංදා...:D

    ReplyDelete
  60. බින්දී;

    [[හැබැයි සම්බෝල මැල්ලුම් වලට නම් පොල් ඕනෑමයි.]]

    සුපර් මාකට් එකෙන් ගන්න පුළුවන් ඩේසිකේටඩ් කොකනට් වලට අතිශයින් ඝනව හදා ගත් පිටිකළ පොල් කිරි මිශ්‍ර කිරීමෙන් සම්බල්-මැල්ලුම් හදන්නට පුලුවන් පොල් සකසා ගත හැක. කිරි රසෙන් වැඩි නිසා මිරිස් වැඩි කරන්න සිදු වේ. දිය ගතිය වැඩිනම් පොඩ්ඩක් තෙම්පරාදු කර ගන්න.

    පේටන්ට් මගේ. හැබැයි ලේසි නැහැ හරි පදම හොයා ගන්න.

    කෑම රහ නැතුවට මං ඒ කාලේ නොහදපු දෙයක් නැහැ. පොල් සම්බල් ඔය විදිහට හැදුවා. රොටි, ආප්ප, රෝල්ස්, කට්ලට්ස්, උළුඳු වඩේ, කිරිබත් - ඒ කාලේ තමයි කාලේ. :)

    ReplyDelete
  61. එළ එළ මරු .........

    ReplyDelete
  62. හදලා තියෙන්නේ ගමටම? හාමිනේට ටිකක් ඉතිරි කරේ නැද්ද, ලකුණු ටිකක් දාගන්ටවත්!

    ReplyDelete
  63. @ Dinesh
    අයිස් ටී එක හදන හැටි

    වීදුරුවකට අයිස් කැට තුනක් පමණ දාන්න.

    එයට උඩින් කඩෙන් ගෙනැවිත් කබඩ් එක අස්සේ තබා ඇරි තේවතුර බෝතලයෙන් මිලි ලීටර් 50 පමණ වත්කරන්න.

    විනාඩියකින් පමණ බීමට ගත හැක.

    මෙයට ඔන් ද රොක්ස් අයිස් ටී යයි ද කියති.

    මදින් මද තොල ගාන්නේ නම් යහපති.

    මේ සමග හැපීමට බීෆ් කතන්තර ස්ටයිල් සුදුසූයි. රටකජු ද වරදක් නැත.

    ReplyDelete
  64. @ Sujeewa Kokawala
    පොල් සේදූ දිය කිරිවල රසක් නෑ!

    නොන්ෆැට් පිටිකිරි නැත්තං ෆ්‍රෙෂ් මිල්ක් දියර ද හොඳයි. රහයි. දියර යෙදීමේ ප්‍රශ්ණය නම් හොඳි වැඩි වීමයි. එහෙම නං මුලින් වතුර අඩුවෙන් උයන්න ඕනෑ.

    ReplyDelete
  65. @ Outsider
    නෝනා ඊයේ රාත්‍රීයේ ගෙදර පැමිණියාය. කමෙන්ට් සමය අවසානයි!

    ReplyDelete
  66. @ බුද්ධි
    හාමිනේ ඉන්න වෙලාවේත් මං හදනවා, නමුත් මෙදා තමයි හිතුනේ ඒ ගැන ලියන්න.

    බලමුකෝ බුද්ධිගේ කුකින්.

    ෂර්වුඩ් වනයේ මුව මස් කෑවා කියලයි මං කියවලා තියෙන්නේ.

    ReplyDelete
  67. @ මාරයා
    පරිප්පු උයන විවිධ ක්‍රම ගැන කියන කොට මට මතක්වුනේ පරිප්පු සහ හාල්මැස්සෝ එකට දාලා හිදෙන්න හදලා තෙම්පරාදු කරන ක්‍රමයයි. පුළුවන් නම් ලියන්න ඒ ගැන.

    මාරයා ගේ වට්ටක්කා පෝස්ට් එක බලා අකමැති මටත් වට්ටක්කා කන්න හිතුණා.

    ඉවීමේ හොඳම හපන්කම තමයි තියෙන ජාතිවලින් ඉවීම. තක්කලි, අමුමිරිස්, කරපිං, සේර, ඉඟුරු, සුදුලූණු, කහ සහ මිරිස් පවා තියේ නං දානවා, නැත්තං තියෙන විදියට හදනවා.

    කරපිංචාවලට නං මට තියෙන්නේ ගේ පිටිපස්සේ වත්තට යන එක විතරයි. නමුත් අනිත් දේවල් වලට හදිසියේ කඩේ යන එක නං මෝඩ වැඩක්.

    බහුවිධ පරිප්පු පෝස්ට් එක එනතුරු බලා සිටිමි.

    ReplyDelete
  68. @ The Lion
    @ Kandyan
    ප්‍රතිචාරවලට ස්තුතියි.

    හාමිනේ මගේ කුකින් දන්නවා. අද සිට නැවතත් ඉවීම හවුලේ.

    ReplyDelete
  69. සිදුවෙන් කියන්නේ පරිප්පුවේ රස ගැන ද?

    ReplyDelete
  70. @ Editor
    මේ පරිප්පුව එඩිටර් පවා කාලා ඇති නේද?

    ReplyDelete
  71. @ All
    සියළු දෙනාටම ස්තුතියි. නොසිතූ විරූ ප්‍රතිචාරයක් ලැබුනේ.
    දැන් ඉතිං බීෆ් සහ බෝංචි හදන හැටි ලියන්නත් වෙනවා!

    ReplyDelete
  72. අනිවාර්යයෙන් බීෆ් සහ බෝංචි හදන හැටි ලියන්න... අපට හුඟාක් ඈතින් තියෙන දේවල් වලට වඩා ලගින් තියෙන දේවල් ගැන ලිවීම හරි වැදගත්...

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.