Thursday 31 March 2011

අයිය ගේ යාළුවා සහ මල්ලි ගේ යාළුවා


අයියයි, මල්ලියි දෙන්නෙක් එකම වාසගම තියෙන ආරූඪ නම් දාගෙන මල් කඩන්න ගිය හැටි ගැන කතන්දරයක් මං කාලෙකට ඉස්සෙල්ලා ලිව්වා මතකයි නේද?

හැබැයි මේ අද කතන්දරේ නම්, ඊට හාත්පසින් ම වෙනස් එකක්.

මේ කතන්දරේ එන මල්ලි තමයි අර මහාචාර්ය පියරත්න. තමන් ගේ ප්‍රිය බිරිඳගෙන් අති විශේෂ තෑග්ගක් ලබපු පොර. අයියා තමයි, පොර ගේ ම එක් කුසේ උපන් අයියා.

ඉතිං මේ අයියයි මල්ලියි දෙන්නා අහසට පොළොව වගේ දෙන්නෙක්.

අයිය උසස් පෙලට කෙරුවේ බයෝ. ඒ පින් බලෙන් පේරාදෙනියේ ගිහින් පස්සේ ඇත්ගොව්වෙක් වුණා.
මල්ලී උසස් පෙලට කෙරුවේ මැත්ස්. ඒ පව පටිසන් දීලා මොරටුවේ ගිහින් මේ කියන කාලේ වෙනකොට යකඩ තලන කම්මලකයි කල් මැරුවේ.

අයියා හිටියේ කොළඹට සෑහෙන්න දුරින්.
මල්ලී හිටියේ කොළඹට සෑහෙන්න නුදුරින්.

අයියා මේ වෙන කොට බැඳලා නෑ.
මල්ලී මේ වෙන කොට බැඳලා.

අයියා ගමේ යන්නේ මාසෙකට පාරයි.
මල්ලී හැම සතියේම ගමේ යනවා.

අයියා හොඳ අහිංසක පොර.

ඔන්න දවසක් මල්ලී වැඩ කර කර ඉන්න අතරේ කෝල් එකක් ආවා. ෆැක්ටරියේ ඉස්සරහ සෙකුරිටි ඔෆිස් එකෙන්.

මල්ලිව හම්බ වෙන්න අමුත්තෙක් ඇවිත්.

ඉතිං පොර ගියා කවුද කියල බලන්න. බැලින්නම්, දන්න අඳුණන කෙනෙක් නං නෙමේ.

"මේ පියරත්න නේද?" අමුත්තා කිව්වා. "මං දයාරත්න ගේ හොඳ යාළුවෙක්, නම සුමනේ, අයියා සමහර විට මං ගැන කියලා ඇති නේද?"

පියරත්න ට හරියටම මතක තිබුනේ නෑ. අයිය ට කොච්චර යාළුවෝ ඉන්නවද?

"මල්ලී, මායි දයා යි එකට කැම්පස් එකේ හිටියා. දැන් මං වැඩ කරන්නේත් නුවරඑලියේ මයි. දයා ගිය සුමානේ ගෙදර ආවේත් මගේ කාර් එකේ තමයි."

"ආ ඇත්තද? හොඳයි! හොඳයි!!" පියරත්න කිව්වා.

"මල්ලි බලනව ඇති නේද, ඇයි මං මේ පැත්තේ කියලා. මල්ලී මං හදිසි වැඩකට කොළඹ ආපු ගමන් මේ හෝමාගම යනවා. ඒ අතරේ මාර වැඩේ නේ වුනේ. මගේ කාර් එක මග හිටියා, පොඩි එන්ජින් ට්‍රබල් එකක් කියලයි හිතුවේ. මේ හන්දියේ ගරාජ් එකට දාලා බැලින්නං ක්ලච් ප්ලේට් එක ගිහින්."

"ඒක දාන්න රුපියල් පන්දාහක් යනවා. මගේ බැංකු කාඩ් එකත් ගෙදර දාලා ඇවිල්ලා. මල්ලී ගාව තියෙනව නං ලෝන් එකක් ගන්න පුළුවන් ද? මං දයා අතේ ලබන සුමානේ ගෙදර එවන්නම්!"

අයියා ගේ මෙච්චර හොඳ යාළුවෙක් වෙන මේ සුමනේ අමාරුවේ වැටුණාම උදව්වක් නොකර කොහොමද?

පියරත්න කලේ, එවෙලේ පර්ස් එකේ තිබුණු රුපියල් තුන්දාහම සුමනේ ට දෙන එකයි.

සුමනේ පියරත්න ට අනේක වාරයක් ස්තුති කරලා, මේ සති අන්තයේ දයාරත්න අතේ සල්ලි නුවරඑලියේ ඉඳලා එවන්නම් කියා නැවතත් පොරොන්දු වෙලා යන්න ගියා.

ඒ සති අන්තයේ කොහොමටත් පියරත්න ගෙදර යන්නයි හිටියේ.

සෙනසුරාදා ගෙදර යන කොට, අයියා සුපුරුදු පරිදි සිකුරාදා රාත්‍රියේම ඇවිත්.

"සුමනේ කියලා මල්ලි එක්ක වැඩ කරන යාළුවෙක් මට හම්බ වුනා නුවරඑලියේ දී" අයියා කිව්වා.

"මිනිහට පොඩි කරදරයක් වෙලා, කාර් එක කැඩිලා, හින්දයි මාව හම්බවෙන්න ආවේ. මල්ලී අතේ එවන්නං කියලා, කාර් එක හදන්න මගෙන් රුපියක් තුන්දාහක් ඉල්ල ගෙන ගියා."

ඔන්න ඔහොමයි අයිය ගේ යාළුවා සහ මල්ලි ගේ යාළුවා කතන්දරේ ඉවර වෙන්නේ!

-කතන්දරකාරයා

ප/ලි:
ඉතිං, පියරත්න මල්ලී, දයාරත්න අයියට රුපියල් තුන්දාහක් දුන්නා. දයාරත්න අයියා, පියරත්න මල්ලී ට රුපියල් තුන්දාහක් දුන්නා.

දෙන්න ගේ ණය ගණුදෙනුව එහෙමයි බේරා ගත්තේ. දැන් දෙන්නට දෙන්නා ණය නැහැ.

මාත් ණයකාරයෙක් නෙමේ බව දන්නවානේ?


(image: http://www2.capilanou.ca/services/athletics/campus-recreation/ultimate.html)

Tuesday 29 March 2011

බැඳපු එවුන් ගේ මල් කැඩිලි - පොඩි එවුන් මේ කතන්දරය බැලුවාට ප්‍රශ්ණයක් නෑ!


මේ කතාව බැඳපු එවුන් ගේ මල් කැඩිලි පිළිබඳවයි. පොඩි එවුන් බැලුවාට ප්‍රශ්ණයක් නෑ කියල කිව්වේ, බලන්න එපා කිව්වත් බලනවා, මොකුත් නොකියා හිටියත් බලනවා, කිසි වෙනසක් නැති නිසයි.

මං අර කොල්ලන් ට පමණයි - කෙල්ලන්ට බැලීම තහනම් කියලා දාපු කතන්දරෙත් කෙල්ලෝ බැලුවා.

ඒ වගේම, ගෙදර අවුලක් - කාන්තා පක්‍ෂය මේක බලන්න එපා !කියල දාපු කතන්දරේ කාන්තාවෝ නොබලා හිටියේ නෑ.

අනික කොහොමටත් අද පොඩි එවුන් පවා පස්සෙ දවසක ලොකු බැඳපු එවුන් වෙන්න නියමිතයි නේ. ඒ නැති වුණත්, මේ කතාවේ කිසිම ඇඩල්ට්ස් ඔන්ලි දෙයක් නෑ.

කතන්දරකාරයා බැඳපු කෙනෙක් බව මේ කියවන හැමෝම දන්නවනේ. මං කතන්දර හාමිනේ ගැනත් කතන්දර එකක්, දෙකක් යැ කියල තියෙන්නේ, සීරිස් එකක් ම තියෙනවා නේ. කොටින් ම අපේ වෙඩිමේ ඇනිවසරිය පවා කතන්දර බ්ලොග් එක බලන අය දන්නවා.

දැන් නං ඉතිං අපි දෙන්නා ඉස්කෝලේ යන කෙල්ලෙකුයි, කොල්ලෙකුයි ඉන්න ලොකු වගකීම් සහිත පවුල් සංස්ථාවක ඩිරෙක්ටර්ස් ලා!

අපි බඳින්න කලින් කාලේ මල් කඩනවාය කියලා කිව්වේ පන්සල් යන්න කලින් කරන එක්තරා වැඩකටයි! දන්නවා නේ, අමුතුවෙන් නොකිව්වට?

දැන් නං ඉතිං, කොල්ලෙක් මල් කඩනවාය කියන්නේ කෙල්ලෙක් එක්ක (බොහෝ විට මොබයිල් ෆෝන් එකෙන්) ආදර කතාබහක යෙදෙන එකටයි නේ, එහෙම නේද?

ඒ එක්කම, එස්එම්එස් කෙටි පණිවිඩ යැවීම, ෆේස් බුකියේ, එම්එස්එන් එකේ චැට් කිරීම වගේ දේවලුත් මල් කැඩීම කියන ක්‍රියාවලියට අඩංගුයි මං හිතන විදියට.

දැන් ඉතිං මට තියෙන ප්‍රශ්ණ මෙන්න මේවායි.

කොලු කාලේ ගෙවිලා, බැඳලා, පවුල් සංස්ථා ඩිරෙක්ටර් තනතුරුත් අරගෙන, පොඩි එවුන් ව සතියේ දවස්වල ඉස්කෝල ගානෙයි, සති අන්තයේ ටියුෂන් තිප්පොලවල් ගානෙයි, ක්‍රිකට් වලටයි, නැටුම් පන්ති ගානෙයි ගෙනියන අපි වගේ අයට:

බැරිද මල් කඩන්න?
තහනම් ද මල් කඩන්න?

මට නං හිතෙන්නේ ඒ ආකාරයේ කිසිම තහනමක් නෑ...!!!

අවශ්‍ය තරමට, මල් කඩන්න අපි වගේ බැඳපු අයටත් පුළුවනි.

මෙන්න බැඳපු උන් මල් කඩනවා නම් කඩන්න හොඳ විදිය.
  • උදේ ගෙදරින් පිටත් වෙන කොට හාමිනේට අමතක නොකර උම්ම එකක් දීල පිටත් වෙන්න.

  • පොඩ්ඩක් හරි අමතක වුනොත් ගෙයින් එලියට ගත්තු පය ආපහු අරගෙන ඒ වැඩේ කරන්න ඕනෑ.

  • අවශ්‍ය නං බොරුවට අමතක කරලා ගිහින් විනාඩියකට විතර පස්සේ ආපහු හැරිලා ඇවිත් උම්මා එකක් දීලා යන්න පුළුවන්, ඉඳලා හිටලා දවසක. ඒක නං ක්ලැසික් වැඩක්.

  • උදේ ගිහින් කෝච්චියට නගින්න කලින් පොඩි කෝල් එකක් දෙන්න, හාමිනේ උදේට කෑවද බලන්න.

  • කෝච්චියේ යන කොට පොඩි එස්.එම්.එස් එකක් දාන්න නිකං අයි ලව් යූ ඩාල් -ආකාරයේ.

  • දවල් වරුවේ කෑවද අනේ කියල අහන්න කෝල් එකක් දෙන්න.

  • මීටිමකට පැටලිලා කෝල් ගන්න බැරි නං, අඩු ගානේ එස්එම්එස් එකක්වත් යවන්න. දවසට දෙක තුනක් යැව්වත් පාඩුවක් නෑ.

  • හවසට ගෙදර එන ගමන් කෝල් එකක් දෙන්න.

  • තනියම කඩේ ගියොත්, ගේන්න ඕනෑ බඩු මොනවද කියල චෙක් කරන්නත් කෝල් එකක් දෙන්න.

  • උපන් දිනේ ට, ඇනිවසරි දවසට, වැලා ගේ දවසට නං අනිවා යවන්න ඕනෑ එස්එම්එස්. දෙන්න ඕනෑ කෝල්ස්. හවස ගෙදර එනකොට ගේන්න ඕනෑ චොකලට්.

ඔයිට අමතරව මෙන්න මේවා කරන්නත් පුළුවනි.

ඉඳල, ඉඳලා දවසක, පැරදෙන බව ෂුවර් එකට දන්න ඔට්ටුවක් අල්ලන්න. පැරදුනාට පස්සේ එක්කරන් යන්න දවසක රූට චයිනීස් කන්න.

තවත් අළුත්ම වැඩක් මං පටන් ගත්තා ලඟදී ඉඳලා කරන්න. මේක කරන්න නං ගෙදර කොම්පියුටර් දෙකක් ඕනෑ.

ඒක තමයි හාමිනේ අපේ ස්ටඩි කාමරේ (=කෑම කාමරේ) ඉඳ ගෙන වැඩ කරනවා නං, මං මගේ ලැප නිදන කාමරේට අරන් ගිහින් එතන ඉඳන් ස්කයිපි වලින් වීඩියෝ කෝල් එකක් දෙනවා.

වීඩියෝ කෝල්වල තියෙන ජොලිම වැඩේ තමයි, නිකං කෝල්ස් දෙනවා වගේ නෙමේ "ෆ්ලයින් කිසස්" දෙන්නත් පුළුවන් නේ!

-කතන්දරකාරයා

ප/ලි:
ඔය ෆෝන් වලින් මල් කැඩීමෙන් හෝ කේක්, චොකලට්, චයිනීස් කැවීමට හැදීමෙන් වැඩක් නැති බව පවසන කතන්දර හාමිනේ පහත සඳහන් ලයිස්තුව මා වෙත එවා ඇත.

සියළු නෝටි හස්බන්ඩ ලා ගේ දැන ගැනීම පිණිස පහත පළ කරමි.
  • සතියකට පාරක්වත් නිවස අතු ගෑම

  • සති අන්තයේ නාන කාමර පිරිසිදු කිරීම

  • සතියකට දෙතුන් වරක් කුස්සිය, කෑම කාමරය ඇතුළු පොලව මොප් කිරීම

  • නිවස අවට වැවෙන තණකොළ කළමනාකරණය කිරීම

  • විටින් විට නිවසට කඩා වදින කැරපොත්තන් සහ මකුළුවන් අල්ලා නිවසින් එලියට විසි කිරීම

  • රාත්‍රියේ නින්දට පෙර සියළු දොර ජනෙල් වසා අගුළු දමා ඇත්දැයි සොයා බැලීම

ප/ප/ලි:
හාමිනේ ගේ ලැයිස්තුව ලකුණු වැඩියෙන් හම්බ වෙන එකකි.
අත් දුටුවයි! සත්තකයි!!

(image: http://a2zfilmnewz.blogspot.com/2010/12/aishwarya-rai-flying-kiss-many-more.html)

Sunday 27 March 2011

කතන්දර මල්ලී ට අක්කි ලා ගෙන් අවවාද - Keeping Kathandara Blog in check


ඉරිද කියන්නේ මෙලෝ සතෙක් බ්ලොග් බලන්නේ නැති දවසක් කියලයි "මගේ ලෝකයේ" අයිතිකාර "රංග" කියන්නේ.

වෙන ඉරිදා දවස් වගේ නෙමේ නේ අද ඉරිදා. ඊයේ රෑ මැච් එක බල බල ඉඳලා තාමත් නිදිමතයි. මේ දවස්වල දවසක් ඇර දවසක් හරියටම උදේ හයට දාන කතන්දරේ අද ඉරිදා සෙට් කරන එකත් ඒ හින්දා මග හැරුණා.

කොහොමටත් අද තියෙන්නේ අළුත් ම කතන්දරයක් නෙමේ, ටිකක් පරණ එකක්. හැබැයි හුඟ දෙනෙකුට මේක මග ඇරිලා ඇති නිසායි ආපහු දාන්නේ.

මේ කතන්දරය ගෙතෙන්නේ, මගේ වැරදි හොයන්න බාර ගත්තු කීප දෙනෙක් (හෝ එක් කෙනෙක්) දාපු ප්‍රශ්ණයක් නිසයි.

මං දවස් කීපයකට කලින් පල කරපු "ගේ ලඟ හන්දියේ රාජා ගේ කඩේ" කතාවට ඊට දවස් තුනකට පස්සේ කමෙන්ටුවක් දාපු "WhoAmI" කියවන්නිය මෙන්න මෙහෙම කියනවා.

==============================================
.......ඒක තමන් නිවැරදියි කියලා පෙන්නන්න පස්සෙ ගොතපු බොරුවක්. කතන්දරගේ ලිවීම, සංස්තිථික භාවය (consistency) ගැන උන්නදුවන කියවන්නියන් තුල ලොකු පිලිකුලක් ඇති කරනවා.
==============================================

"හූ-ඈම්-අයි" ගේ මුළු කමෙන්ට් එක මෙතනින් බලන්න. ඒකේ තවත් වැදගත් කරුණු තියෙනවා.

http://kathandara.blogspot.com/2011/03/blog-post_21.html?showComment=1301049706279#c3828136490183718052

ඒ ලින්ක් එකෙන්ම යටට ගියාම "හූ-ඈම්-අයි" ට මං දුන්නු උත්තරයත් තියෙනවා.

මං කිව්ව එක දෙයක් තමයි මේක.

==============================================
ඔබ වැරදියි. මං බොරු ලියන්නේ නෑ. මේ බලන්න මගේ ප්‍රකාශය.
http://www.blogger.com/profile/16335149222379060633

කමක් නෑ, අක්කේ මොනව කරන්නද අක්කට එහෙම හිතෙනවනං.

හැබැයි, මං නං පිළිකුල දනවන දේවල් නං කරල නෑ.

අක්කා මේ කියන්නේ මගේ චූ කතා හෝ කක්කි කතා හෝ පඩ කතා ගැන නෙමේ නේද?

මගේ කන්සිස්ටන්සි එක එදත් එකයි, අදත් එකයි. හැබැයි ඒ ඉතිං මට හිතෙන විදියට නේ.

==============================================

මගේ සම්පූර්ණ උත්තරය මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2011/03/blog-post_21.html?showComment=1301051207422#c4859352502405669489

කතන්දරකාරයා "හූ-ඈම්-අයි" ට දුන්නු ඔය උත්තරය කියවපු "what in in a name" කියන බ්ලොග් කියවන්නිය මෙහෙම ලියලා එව්වා.

==============================================
අපොයි ඔයාගෙ කන්සිස්ටන්සි එක ගැන නම් මොකට කියනවද? ඔයගෙ ඔය මහලොකු ප්‍රකශය ගැන මීට ඉස්සෙල්ලා වෙනත් කියවන්නියක් කමෙන්ට් කරලා තියෙනවා මම දැකලා තියෙනවා. මෙන්න මෙහෙමයි එයා කියලා තිබුනෙ.

"(2) භින්නෝන්මාදය (schizophrenia, මම දන්න විදිහට නම් මේ වචනෙ හැදිලා තියෙන්න්නෙ භින්න + උන්මාදය කියන වචන වලින්) භින්න කියන්නෙ පැළුනු කියන එක (split). මනස ගොඩක්ම පැළුනු කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් තමයි එක පැත්තකින් තමන්ගෙ බ්ලොග් එකේ තමන්ගෙ නොවන ඡායාරූප යොදා ගැනීමයි අනෙක් පැත්තෙන් තමන් හොර බොරු නැති වංචා නැති ප්‍රතිපත්ති ගරුක කෙනෙක් හැටියට හඳුන්වා දීමයි දෙකම එක පාර කරන්න පුළුවන් වීම. මට හිතෙන හැටියට තමන්ගෙ නොවන ඡායාරූප යොදා ගන්නයි, තමන් හොර බොරු නැති වංචා නැති කෙනෙක් විදියට හඳුන්වාගන්නයි දෙකම කරන ගමන් තමන්ව ප්‍රතිපත්ති ගරුක කෙනෙක විදියට හඳුන්වා ගන්න මනස පුදුම විදියට පැළිලා තියෙන්න ඕනෙ ඇති."

http://kathandara.blogspot.com/2011/02/blog-post_11.html

මේ තවත් කියවන්නියක්.

"කතන්දරකාරයා හොර බොරු වංචා නෑ කිව්වට අන්තර්ජාලයන් පිංතූර අරගෙන තම බ්ලොගයේ අනවසරයෙන් භාවිතා කරන බවක් පෙනෙනවා. ඉතින් මෙහෙම බ්ලොගයක පලවෙන දේවල් ගැන ඒ තරම් බරපතළ විදිහට හිතන්න හොඳ නෑ."

http://kathandara.blogspot.com/2010/11/w3lanka.html

භින්නෝන්මාදී තත්වයක් ඇතිවුනාම එකිනෙකට පරස්පර ලෝක දෙකක ජීවත්වෙන්න පුළුවන් වෙනවා. ඒත් තමන් ඉන්නෙ පරස්පර වල කියලා භිනෝන්මාදි කෙනාට තේරෙන්නෙ නෑ. භිනෝන්මාදී කෙනෙකුගෙ කන්සිටන්සි එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.

මෙන්න මේ වෙබ් සයිට් එකට ගියාම පුළුවනි මොකක් හරි පිංතූරයක් පළවෙලා තියෙන වෙනත් වෙබ් අඩවි මොනවද කියලා බලා ගන්න.

http://www.gazopa.com/

උදාහරණයක් විදියට කතන්දරගෙ මෙන්න මේ පෝස්ට් එකේ
http://kathandara.blogspot.com/2011_01_01_archive.html
තියෙන පිංතූරේ මෙන්න මෙතනත් තියෙනවා.

http://i237.photobucket.com/albums/ff201/pinoyblogero/writersblock.jpg

හැබැයි කව්ද ඉස්සෙල්ලා පිංතූරෙ දැම්මෙ කියලා නම් මම හිතන්නෙ ඔය සයිට් එකෙන් හොයන්න බෑ.

==============================================

මෙන්න "what is in a name" ට මං දුන්නු උත්තරය.

==============================================
හිතවත් [what is in a name] කියවන්නිය වෙත,

මගේ බ්ලොග් එක ගැන ඔබේ උනන්දුව ගැන ස්තුතියි. මා වංචාකාරයෙක් සහ ස්ක්‍රිට්ශ්‍රෝෆීනියා වෙන් පෙලෙන්නෙක් යැයි පවසා ඔබ හදන්නේ,

(1) මට ඒ තත්වයන් ගෙන් ගැලවීමට උදව් කීරිමට
සහ
(2) මේ කතන්දර කියවන පාඨකයින් හට නිවරද තත්වය වටහා දී ඔවුන් මගේ කතන්දර නිසා යම් කිසි මුලාවීමක් වෙනවා නම් එයින් ගලවා ගැනීමට

යැයි සිතමි.

එය එසේ නම්, මගේ අවංක ස්තුතිය ඔබට පුද කරමි.

බ්ලොග් අවකාශයේ අපට ඕනෑම දෙයක් කීමට ඇත්තේ එක්තරා ආකාරයක "වල් බූරු " නිදහසක් නිසා, එහි "චෙක් ඇන්ඩ් බැලන්ස්" තබා ගැනීම පිණිස, ඔබ වැන්නියන්ගේ සේවය අවශ්‍ය වී ඇත.

තව ඉදිරියටත් මෙසේ මගේ බ්ලොග් කතන්දර කියවා ප්‍රතිචාර දක්වන මෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමි.

මෙහිදී කරුණු දෙකක් වැදගත් නිසා සඳහන් කළ යුතුය.

1. මා වලියට බර පොරක් නොවේ.
http://kathandara.blogspot.com/2009/11/blog-post_19.html

2. එසේම, මා සියළු පවින් තොරවූවෙක් ද නොවේ. නමුත් හොඳ පුද්ගලයෙක් වෙන්නට උත්සාහ කරන කෙනෙකි.
http://kathandara.blogspot.com/2010/05/blog-post_27.html

දැන් මෙන්න ඔබේ ප්‍රති-උත්තරයට පිළිතුරු කෙටියෙන්.

1. ඔබ ඔය කියන චෝදනාව, එනම් මා අනුන්ගේ පින්තුර දානවාය කියන චෝදනාව, සත්‍යයකි.

මා දැම්මේ ගූගල් ඉමේජස් සර්ච් එකක් කර සොයා ගන්නා පින්තුර යි. මෙහි ඇති වරද නම්, ඒ පින්තූර උපුටා ගත් තැන සඳහන් නොකිරීම යි.

නමුත්, ඔබ නැවත උපුටා දක්වා ඇති පරිදි, ඒ වරද මට පෙන්වා දුන් පසු, මා මේ කතන්දර බ්ලොග් එකේ පල කළ හැම ඡායාරූපයකම පාහේ මා ඒවා උපුටාගත් තැන් සඳහන් කර ඇති බව මෙය කියවන අයට පෙනෙනු ඇත.

මා වරද නිවරද කර ගත්තේ එලෙසයි.

පහත කතන්දරයේ දී නම් එය උපුටාගත් තැනක් සඳහන් කලේ නෑ.
http://kathandara.blogspot.com/2011/03/heres-another-world-cup-cricket-song.html

ඒ, එහි ඇති ඡායාරූපය මා ගත් එකක් නිසයි.

2. ඔබ දෙතැනක ඇතැයි සඳහන් කර ඇති කාටූනයේ හිමිකම ඒ කාටුනයේම සඳහන් කර ඇත. [blogcomis.com]

නැවතත් ඔබට ඉතාමත් ස්තුතිවන්ත වෙමි.

==============================================

මගේ බ්ලොග් එකේ කතන්දර ඉතා පරිස්සමින් කියවමින්, මේ ලෙස කරුණු සොයා බලා මා හරි මගර යොමු කරන්නට සාර්ථක උත්සාහයක් දරන අතරම, කතන්දර පාඨක පිරිස නොමග යෑමෙන් වලක්වා ගැනීමටත් උත්සාහ කරන මේ , සහ කලින් ප්‍රතිචාර දැමූ ඇනිස්ටා අක්කලා ටත් මගේ ස්තුතිය මෙයින් පිරි නමමි.

ඔවුන් ගේ සහයෝගය අනෙකුත් බ්ලොග්වලට ද ලැබේවා!

-කතන්දරකාරයා

ප/ලි
මෙය සරදමට ලියූ ලිපියක් නොවේ. කොලිටි කොන්ට්‍රෝලර්ස් ලා අපිට අත්‍යවශ්‍යයි!

(image: http://blog.sweetestmemories.com/default.asp?Display=1153)

Friday 25 March 2011

මැෂින් ෂොප් එකේ මැවිසුරුවා ගේ වැඩ කිඩ


පස්ස පැත්තේ ගෙඩිය සහ ටෙටනස් ඉන්ජෙක්ෂන් එක ගැන කතන්දරේ කතා නායකයා, හේරත් මතකයි නේ?

හේරත් හොඳ මීටර්කාරයා!

නුවර තිප්පොලේ අවුරුදු හතරක් ලැගලා ඉඳලා, පස්සෙන් පහු පොර සෙට් වුණා ජොබ් කට්ටකට. මේක පොඩි පහේ මැෂින් ෂොප් එකක මැවිසුරු තනතුරක්.

අළුත් ඉංජිනේරු මහත්තයා වැඩට ගන්න කලින් මෙතන ලීඩ් කරං ඉඳලා තියෙන්නේ පරණ ෆෝමන් කෙනෙක්. පොර මේ මැෂින් ගොඩේම අවුරුදු විසිපහකටත් වඩා කට්ට කාපු ගොබිලෙක්.

අළුතෙන් ආපු කොල්ලා, මේ ෆෝමන්කාරයා ට අල්ලලා නෑ. හේරත් මොනවා කිව්වත් ෆෝමන්කාරයා ඌට ඕනැ විදියට තමයි වැඩේ ගෙනියන්නේ. අනිත් වැඩකරන පොරවලු ඉතිං ෆෝමන් ට තමයි වැඩි සෙනේ.

ඒ අතර, මැෂින් ෂොප් එකේ අයිතිකාරයා බර බරේ දානවා, වැඩ කෙරෙන පිළිවෙල, ජොබ් හැන්ඩල් කරන හැටි දියුණු කරන්න කියලා.

හේරත් හොඳ මීටර්කාරයා නේ!

මේ මැෂින් ෂොප් එකේ තිබුණා ලු හොඳ සොෆිස්ටිකේටඩ් මැෂින් එකක්. හේරත් කාරයා දවසක් හොරෙන්ම මේකේ කොන්ට්‍රොල් යුනිට් එකේ පොඩි පාට් එකක් ගලවලා.

පහුවදා ඉඳලා මැෂිම අවුට් ඔෆ් ඕඩර්.

ෆෝමනුයි, අනිත් පොරවල් ටිකයි ෆුල් ට්‍රයි දුන්නා ලු මැෂිම යථා තත්වයට ගන්න.

ම්හු!

අන්තිමට ඔන්න වැඩකරන පොරවල් ටික ඇවිත් ප්‍රශ්ණය කිව්වාලු ඉංජිනේරු මහත්තයා ට.

"ඇයි ෆෝමන් හැදුවා නේද මැෂිම?"

"අනේ නෑ සර්. පොඩ්ඩක් ඇවිත් බලන්න කෝ!"

අපේ පොර එතනට ගියා. මැෂිමේ හෑන්ඩ් බුක්, ඔපරේටින් මැනුවල් බැලුවා. ලෙඩේ අල්ල ගත්තා. හොරෙන්ම අර කොන්ට්‍රොල් ෆැනල් එකේ කෑල්ල හයි කළා.

වැඩේ ෆික්ස්ඩ්!

එදා ඉඳලා වැඩපොලේ රජා තමයි අපේ හේරත්.

"හේරත් හොඳ මීටර්කාරයා!" කියල මං කිව්වෙ නිකං යැ?

-කතන්දරකාරයා

ප/ලි
ඊට පස්සේ තමයි හොඳ වැඩේ වුනේ.

ඔන්න ඔතන තිබුණු කම්ප්‍රෙෂර් එකක් ද මොකක් ද කැඩුණා. හේරත් කාරයා වීරයා වගේ ගිහිල්ලා නියෝග කළා, මැෂිම කෑල්ලෙන් කෑල්ල ගලවන්න.

යූසර් මැනුවල් එකේ කෑලි ආපහු හයි කරන විදිය තිබුණෙ නෑ මගෙ හිතේ.

හේරත් එදායින් පස්සේ එතන වැඩට ගියේ නෑ.

හැබැයි සතියක් විතර යනකොට හේරත් ගෙන් කෝල් එකක් ආවා පොර අළුත් වැඩපොලේ විස්තර කියලා.

හේරත් හොඳ මීටර්කාරයා!

ප/ප/ලි:
නොදන්න අයට.
මීටරේ = මොලේ
මීටර්කාරයා = මොලකාරයා = ණුවනැත්තා

(image: http://www.reshap.com/3786-mechanical-engineering-salary-report.html)

Wednesday 23 March 2011

කොයි ඉස්කෝලෙ ද මල්ලී ස්ටඩි කලේ?


අපි පාසල් යන කාලේ කවුරු හරි සම වයසේ කෙනෙක් "කොයි ඉස්කෝලෙද ඔයා ඉගෙන ගන්නේ?" කියල ඇහැව්වාම, එහෙම නැත්තං, වැඩිහිටියෙක් "කොයි ඉස්කෝලෙද පුතා ඉගෙන ගන්නේ?" කියල ඇහැව්වාම උත්තර දෙන එක ඉතා ලේසියි.

කැම්පස් ගියාම ජ්‍යෙෂ්ඨ උත්තමයෝ නං අහන්නේ "තෝ කොයි ඉස්කෝලේ ද යකෝ අන්ඩර කෑවේ?" කියලයි. ඒකට උත්තර දෙන්නත් ලේසියි.

නමුත් පස්සෙන් පහු "කොයි ඉස්කෝලෙද ඉගෙන ගත්තේ?" කියල ඇහැව්වාම උත්තර දෙන එක මට නම් ටිකක් පැටලිලි සහිතයි.

මං පොඩි කාලේ ගියා ගමේ ඉස්කෝළෙට යි.

පහේ පන්තියේ තිබුණු තරග විභාගෙන් පස්සේ මට යන්න පුළුවන් වුණා, අපේ පලාතේ තිබුණු හොඳම පාසල වුණු මධ්‍ය මහා විද්‍යාලයට. ඒ ලොකු ඉස්කෝලේ හිටියා අවුරුදු හතරක් නමයේ පන්තියේ අවසානය දක්වා.

ඊට පස්සේ කරුමෙට වගේ මට යන්න සිදුවුණා කොළඹ ටවුමේ ඉස්කෝලෙකට.

කරුමේ කියලා කිව්වේ, ඊට කලින් හතේ බස් එකේ ගිය ගමන එදා ඉඳලා පහයි හතලිස් පහේ බස් එකේ යන්න වීම සහ දෙකයි කාලට ගෙදර ආපු එක, තුනයි හතලිහ දක්වා දික්වීම නිසයි. එතන අවුරුදු තුනකුයි මාස පහක් ගිටියට පස්සේ ඒ-ලෙවල්ස් කලාට, අස්වීම් සහතිකය නං ගත්තේ තවත් අවුරුද්දක් ගියාට පස්සේ කැම්පස් යන්න මාසෙකට විතර කලිනුයි.

දැන් මේ සේරම සිද්ධි වෙලා අවුරුදු බර ගාණකට පස්සේත් සමහරු අහනවා, "කොයි ඉස්කෝලෙද ඉගෙන ගත්තේ?" කියලා.

දැන් මං මොකක්ද දෙන්න ඕනෑ උත්තරේ?

අවුරුදු පහක් ඉගෙන ගත්තු කණිෂ්ඨ විද්‍යාලයේ නම කියන්නද?

ඊ ලඟට අවුරුදු හතරක් ඉගෙන ගත්තු මධ්‍ය මහා විද්‍යාලයේ නම කියන්නද?

නැත්තං දහයේ පන්තියේ ඉඳලා උසස් පෙල කරන තුරු අවුරුදු තුන හමාරක් ඉගෙන ගත්තු කොළඹ ඉස්කෝලේ නම කියන්නද?

පොලිටිකලි කරෙක්ට්, ෆැක්චුවලි කරෙක්ට් උත්තරයක් දෙන්නත් එපායැ!

මං කියන්නේ මෙහෙමයි.

මං ඒ-ලෙවල්ස් කලේ XXXXඒ.

-කතන්දරකාරයා

ප/ලි :
ඔය උඩින් තියෙන කතන්දරේ ට මුල්වුණු ඇත්තම කතන්දරේ මෙන්න මෙහෙමයි.

ඔන්න මේ ලඟදී පාසල් අධ්‍යාපනය හමාර කරපු අවුරුදු විස්සක විතර කොල්ලෙක් අපිට හමුවුණා. අපේ එකෙක් උගෙන් ඇහැව්වා ඔය ප්‍රශ්ණේ.

අපේ එකා: මල්ලී ඔයා කොහෙද ස්ටඩි කලේ?
කොල්ලා: ස්ටඩි කළා කියල නං කියන්න බෑ අයියේ. මං ගියේ නං XX කොලේජ් එකටයි.


(image credit: www.santabanta.com)

Monday 21 March 2011

ගේ ලඟ හන්දියේ රාජා ගේ කඩේ


කතන්දර හාමිනේයි, මායි කාලයක් කෝට්ටේ පැත්තේ පදිංචි වෙලා හිටියා. මේ අපි ඇන්ටි ගේ ඇනෙක්සියෙන් අයින් වුණාට පස්සේ.

අපේ ගෙදර ඉදලා එක සමාන දුරින් බස් හෝල්ට් දෙකක් තිබුණා. අපි නුගේගොඩ පැත්තට යනවානම් එකකට යනවා. අනිකට යන්නේ වැලිකඩ හරහා බොරැල්ල ට යන්න තියෙනවා නම් තමයි.

ඔය බස් ගමනක දී තමා මට කාලෝ ෆොන්සේකා හම්බ වුනේ.

හැබැයි බොරැල්ලේ ඉඳලා ආවත්, නුගේගොඩ ඉඳලා ආවත්, අපි බස් එකෙන් බහින්නේ නම් එකම හෝල්ට් එකෙනුයි. ඒ අනිත් එකෙන් බැස්සොත් පොඩි කන්දක් නගින්න තියෙන හින්දයි. ඒ නැතිවුනත්, මේ කියන බස් හෝල්ට් එක අවට තමයි කඩවල් සේරම තිබුනේ.

ඒ එක කඩයක් තමයි රාජා ගේ කඩේ. ඒක සිල්ලර බඩු කඩයක්.

මේ කියන කාලේ මුලින් රාජා ගේ කඩේ ට තිබුනේ පුංචි පහේ කම්පෙටිෂන් එකක් විතරයි. ඒ, හන්දියේම තිබුණු අනිත් සිල්ලර බඩු කඩේ සහ සමූපකාර ප්‍රාදේශිකය හින්දයි.

ඊ-ලඟ අවුරුද්ද විතර වෙනකොට තව පොඩි පොඩි සිල්ලර බඩු විකුණන තේ කඩයකුයි, ඒ කාලේ හැටියට ටිකක් විතර පොෂ් කඩේකුයි ඒ හන්දියේ පටන් ගත්තා.

ඒ පලාතේ පදිංචියට ගිය මුල් දවස්වල අපි ගියේ රාජා ගේ කඩේට නෙමේ, අනිත් එකටයි. ඒ කඩේ කලේ තරුණ සුන්දර කාන්තාවක්. බඩු අරං සල්ලි දෙන ගමන් "තෑන්ක් යූ!" කියලත් කියනවා.

හැබැයි එකම ප්‍රශ්ණේ තිබුනේ, මේක අර එලියේ ඉඳලා පොඩි කොටුවක් අස්සෙන් බඩු ගන්න ජාතියේ කඩයක්. අපිට බඩු පේන්නේ අඳුරු කඩේ අස්සේ රාක්කවල තියෙනවා විතරයි.

බෝඩ් එකක් තිබුනේ නැති නිසා, මං මේ කඩේට නම දැම්මා "ගෑනි ගේ කඩේ" කියලා.

මේ පොඩි කොටුව ඇතුලෙන් ගණුදෙනු සේරම වෙන නිසා ද කොහෙද මෙතන පොඩි පෝලිමක් වගේත් හැදෙනවා. හැබැයි, අයිතිකාරයාට ඕනෑ අනු පිලිවෙලටයි බඩු දෙන්නේ කවුරු මුලින් ආවත්. දවසෙන් දෙකෙන් කවුරු මට ඉස්සරහ හිටියත් මට මුල් තැන ලැබුණා.

ඒ කියන්නේ කවුරු එතන හිටියත්, මං ගියාම "ආ ඔයාට මොනවද ඕනෑ" කියලා මේ මනුස්සයා බඩු විකුණනවා. වැඩේ ලේසි වුනාට හැබැයි ඉතිං ඒකේ මට පොඩි පහේ අප්සෙට් එකක් දැනුණා. නිකං ලැජ්ජයි, ලැජ්ජයි වගේ ගතියක්.

රාජ ගේ කඩේ මීට වෙනස්. හරිම එලියයි. කඩේ ඇතුලටම යන්න පුළුවන්. රාක්ක වල තියෙන බඩු හොඳට පේනවා. සමහර ඒවා අල්ලලා බලන්නත් පුළුවන්.

ඉතිං අපි රාජ ගේ කඩේට යන්න පටන් ගත්තා. බොරුල්ලේ ඉඳලා එන බස් එක නවත්තන්නේත් ඒ පැත්තේ. පාර නොපැනම බඩු ගන්නත් පුළුවන් ගෙදර යන ගමන්.

ඔන්න අපි කඩේට ගොඩ වෙනවා. කඩේ අයිතිකාරයා කැෂියර් එකේ ඉන්නවා. සමහර විට එයාගේ නෝනයි, ළමයෙක් දෙන්නෙක් විතර පිරිසකුයි, කඩේ ඇතුලේ පුටුවල වාඩිවෙලා ඉන්නවා.

රාජා එක්කෝ හිටගෙන, නැත්තං කඩේ ඉස්සරහා පඩියේ වාඩි වෙලා ඉන්නවා. ඒ මෙතනට වැඩිය සෙනග එන්නේ නැති නිසා.

මෙන්න එතන වැඩ පිළිවෙල.

කැෂියර් මුදළාලි: මොනවද ඕනෑ?
මම: සීනි කිලෝ එකක් දෙන්න.
කැෂියර් මුදළාලි: රාජා, සීනි කිලෝ එකක් දෙන්න.
රාජා සීනි කිලෝ එකක් කිරනවා.

කැෂියර් මුදළාලි ගේ නෝනා: වෙන මොනවද ඕනෑ?
මම: ලක්ස්ප්‍රේ එකක් දෙන්න.
කැෂියර් මුදළාලි ගේ නෝනා: රාජා, ලක්ස්ප්‍රේ පැකට් එකක් දෙන්න.
රාජා ලක්ස්ප්‍රේ පැකට් එකක් දෙනවා.

කැෂියර් මුදළාලි ගේ නෝනා ගේ දුව: තව මොනවද ඕනෑ?
මම: නින්ජා මදුරු දඟර පැකට් එකක් දෙන්න
කැෂියර් මුදළාලි ගේ නෝනා ගේ දුව: රාජා, නින්ජා මදුරු කොයිල් පැකට් එකක් දෙන්න
රාජා නින්ජා මදුරු දඟර පැකට් එකක් දෙනවා.

කැෂියර් මුදළාලි ගේ නෝනා ගේ පුතා: වෙන මොනවද ඕනෑ?
මම: වෙන මොකුත් එපා. එච්චරයි.

කැෂියර් මුදළාලි: රාජා, මේ මහත්තයා මොනවද ගත්තේ?
රාජා: සීනි කිලෝ එකයි, ලක්ස්ප්‍රේ එකයි, නින්ජා එකයි.

රාජා ගේ බඩු ලයිස්තුවට කැෂියර් මුදළාලි ගණං දාලා එකතු කරලා මට ගාණ කියනවා. මං සල්ලි ගෙවලා බඩු ටික අරගෙන ගෙදර යනවා.

මට මේ වැඩ පිළිවෙලත් ඇල්ලුවේ නෑ.

හන්දියේ සිල්ලර කඩ දෙකයි. එකක වැඩවසම් ක්‍රමය වගේ, අනිකේ ක්‍රෝනි කැපිටලිසම් වගේ කියලයි මට හිතුනේ.

නමුත් ඉතිං තේ බොන්නත් ඕනෑ, මදුරුවෝ කන්නෙ නැතුව නිදාගන්නත් ඕනැනේ.

ටික දවසකින් ම මං අර ගෑණි ගේ කඩේ ට විතරක් යන්න පටන් ගත්තා.

-කතන්දරකාරයා

මේ කතන්දරේ ලියන කොට මට මතක් වුනේ සකලබුජංව යි!

(image: http://vidhu.lk/gallery/)

Saturday 19 March 2011

පොඩි කුමාරිහාමි ට ලොකු පිලිතුරක්!


මං ගෑනු බොස් ලා හෙවත් බොසී ලා ගැන කතන්දරේ ලියන කොට ඉංජිනේරුවා කියන සාමාන්‍ය භාවිතයේ යෙදෙන වචනය වෙනුවට "මැවිසුරුවා" කියලයි ලිව්වේ.

ඒ වචනය හැදුවේ ඊලියන් ද සිල්වා කියලත් සඳහන් කළා.

ඔය ඊලියන් ද සිල්වාත් මැවිසුරුවෙක්. ඒ එක්කම සිංහල වචන සෑහෙන ගාණක් හදලා තියෙනවා ඉංගිරිසි ටෙක්නිකල් වචන වලට ගැලපෙන්න. මගේ වෙන්ට කතන්දර සීය ගැනවත් හිතන්නේ නැතුව මං පෙරේදා අළුත්ම පෝස්ට් එකක් දැම්මා ඒ ඊලියන් ද සිල්වා හදපු වචන සැට් එකෙන් මට හොයාගන්න පුළුවන් වුනු ඒවා එක්ක.

ඒ පෝස්ට් එකට ප්‍රතිචාර ගොඩක් ආවා. ඊලියන් ද සිල්වා හදපු වචන වගේම, ඒ වෙනකොට භාවිතයේ තිබුණු වචනත් ටෙක්නිකල් වචන සඳහා යොදාගත්තු බවකුයි පේන්නේ. ආනන්දවර්ධන තමයි මේ කරුණ පෙන්වා දුන්නේ.

සාමාන්‍යයෙන් මැවිසුරුවෝ කියන්නේ ජනප්‍රිය වෙන චරිත නෙමේ නේ. ඊලියන් ද සිල්වා ට වඩා එයාගේ සහෝදරයා ටයිටස් තොටවත්ත හුඟක් ජනප්‍රියයි. මං ඔය සහෝදරකම ගැනත් සඳහන් කළා පේරේදා දාපු පෝස්ට් එකේ.

ඒක දැකලා අපේ පොඩි කුමාරිහාමි ට පොඩි ප්‍රශ්ණයක් ඇවිත්. කොහොමද "ද සිල්වා" ගේ සහෝදරයා "තොටවත්ත" වෙන්නේ කියලා.

ඉතිං මට හිතුණා ඒකට ලොකු උත්තරයක් දෙන්න. මගේ ඔය පොඩි පොඩි වැඩ නෑනේ!

සිංහල නම් ගැන මං දැන් කාලෙකට කලින් කතන්දර කීපයක්ම පල කළා. මෙන්න ඒවා.

1. පබා ල ගෙ, බබා ල ගෙ නම් ගැන කතන්දර කීපයක්
2. බබා ල ගෙ නම් ගැන කතන්දර - II කොටස
3. අම්මා ගේ නම දුවට
4. ආච්චී ලා ගේ, බබා ලා ගේ නම්

හැබැයි ඔය කතන්දර හැම එකේම කියවෙන්නේ අපේ සිංහල මුල් නම් ගැනයි, වාසගම් ගැන හෙම නෙමේ.

වාසගම් ගැන ලියන එක ටිකක් විතර රිස්කි වැඩක්. මොකද ඔය වාසගම් හෙවත් පෙළපත් නම් වලට පරම්පරාව හෙවත් කුලය සම්බන්ධයි නේ. ඒකයි රිස්ක් එක!

ඒ හින්දා ආයෙත් පොඩි පොඩි කතා කීපයක් විතරක් ලියන්නම්.

දැන් ඉස්සෙල්ලාම බලමු මේ පොඩි කුමාරිහාමි ගේ ප්‍රශ්ණේ විසඳන්න. කොහොමද "ටයිටස් තොටවත්ත", "ඊලියන් ද සිල්වා" ගේ සහෝදරයා වුනේ?

ඔය ලංකාවේ පාවිච්චි වෙන ද සිල්වා, සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, ෆොන්සේකා වගේ නම් මං දන්න හැටියට පරම්පරානුගත පෙලපත් නම් එහෙම නැත්තං වාසගම් නෙමේ. ඔය නං අළුතින් දාගත්තු ඒවා නමේ අගට.

ඔය කියන නම්, තමන්ගේ නමේ අගට තියෙන කොයි කාගේත් වගේ නම්වල වාසගම වෙනම ම තියෙනවා. බොහෝ වෙලාවට ඒ වාසගම තමයි නමේ මුල් කොටස.

ටයිටස් සහ ඊලියන් ගේ වාසගම "තොටවත්ත ගේ" වෙන්න ඇති. හැබැයි අගට "ද සිල්වා" කියන නම තිබුණා. ඒක, මේ සහෝදරයින් දෙන්නගේ තාත්තා හරි, සීයා හරි, සීයාගේත් තාත්තා හරි, පරම්පරාවේ කෙනෙක් එකතු කරගත්තු කෑල්ලක්.

ටයිටස් තොටවත්ත ගේ උපන් නම විකිපීඩියා එකේ තියෙන්නේ එම්මැනුවෙල් ටයිටස් ද සිල්වා කියලයි. පස්සේ පොර තොටවත්ත කියන පරම්පරා නම අගට යොදා ගත්තා වෙන්න ඕනෑ.

මෙන්න මං දන්න උදාහරණ කීපයක් මගේ යාළුවන් ගේ.

විජය සිල්වා එක්කෙනෙක්. මුළු නම අහංගම ගේ විජය සිල්වා. නමුත් දැන් අහංගම කෑල්ල පාවිච්චියක් නෑ. ළමයින්ට දාන්නත් නැතුව ඇති.

රුක්ෂාන් සිල්වා තව කෙනෙක්. මුල් නම අගම්පොඩි. දැන් පාවිච්චියක් නෑ. ළමයිනුත් ඒ නම ඉස්සරහට ගෙනියන්නේ නැති වෙයි.

මගේ අංකල් කෙනෙක් පුවක්පිටිය ගේ පියසිරි පෙරේරා. හැමෝම පී.පී. පෙරේරා කියලයි කියන්නේ. පුවක්පිටිය වාසගමේ අවසානය දැන් උදාවෙලා.

තව මගේ මිත්‍රයෙක් අප්පුහාමිලා ගේ සුරංජිත් පෙරේරා. වාසගම පාවිච්චියක් නෑ. ඒ මදිවට ළමයින්ට අළුතින් වාසගමක් හදලා දාලා! (මං එහෙම වැඩක් ඔය ඇහැව්වමයි).

දැන් ඔය කියන අයගේ සහෝදරයෝ ඉන්නවා නං, ඒ අය අතර -සිල්වා, -පෙරේරා කෑලි වෙනුවට සැබෑ වාසගම පාවිච්චි කරන අයත් ඇති.

හරියට, ඊලියන් ද සිල්වා ගේ සහෝදරයා වන ටයිටස් තොටවත්ත වගේ!

දැන් මෙන්න දවසේ ප්‍රශ්ණය.

අනාදිමත් කාලෙකට කලින් ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් ටීම් එකේ ඉඳලා තියෙනවා "සරත් ප්‍රනාන්දු" කියලා කොල්ලෙක්.

පොර ගේ මල්ලී ගිහින් තියෙන්නේ XXXX විද්‍යාලය ට යි. ක්‍රිකට් ගැහැව්වා විතරක් නෙමේ, මල්ලී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ කැප්ටන් වෙලාත් හිටියා.

මේ මල්ලී ගේ නම මොකක්ද?

-කතන්දරකාරයා

ප/ලි
රුක්මනී දේවි ගේ නංගී හෙලන් ඩැනියෙල්ස් වෙන්නේ ඔය ඊලියන් ද සිල්වා සහ ටයිටස් තොටවත්ත වගේ කේස් එකක් නිසා නං නෙමේ.

ඒක නං පොඩි කුමාරිහාමි වගේ කෙනෙක් වුනත් දන්න සාමාන්‍ය දැනුම ප්‍රශ්ණයක්.

(image: http://pothystextiles.blogspot.com/)

Thursday 17 March 2011

මැවිසුරු ඊලියන් ද සිල්වා සැදූ වචන සැට් එකෙන් කොටසක්


මං මීට කලින් දාපු ගෑනු බොස් හෙවත් බොසී කතාවේ මැවිසුරුවා කියන වචනය යොදාගත්තා ඉංජිනේරුවා (engineer) කියන තේරුම දෙන්න.

මේ වචනය හදලා තියෙන්නේ ඊලියන් ද සිල්වා. පොරත් මැවිසුරුවෙක්. අර "පිස්සු පුසා" වගේ ටෙලිවිෂන් ෂෝ සිංහලෙන් හදපු, "හඳයා" විත්‍රපටිය හදපු, ටයිටස් තොටවත්ත ගේ සහෝදරයා.

දැන් මෙන්න ඊලියන් ද සිල්වා හදපු අපි එදිනෙදා පාවිච්චි කරන වචන සැට් එකක් ඒවායේ ඉංගිරිසි වචනත් එක්ක.

ගිලන්රිය (ambulance)
උපකරණය (apparatus)
ඇගැයීම (assesment)
පරමාණුව (atom)
මුඩුබිම (barren land)
සීනුව (bell)
අයපත (bill)
සිදුර (bore)
බුබුළ (bulb)
යල්පිනු (obsolete)
තෙල් පෙරනය (oil filter)
ඇණැවුම (order)
එළිමහන (outdoor)
තොරණ (Pandol)
පුවරුව (Panel)
සාදය (Party)
කණුව (Pole)
බලය (Power)
මුක්කුව (Prop)
වැසිකබාය (Raincoart)
ලදුපත (Receipt)
පිරිපහදුව(Refinery)
පිරිපැහැදුම (Refine)
තෙල් පිරිපහදුව (Oil refinery)
ගැමි (Rural)
කියත (Saw)
සේවාව (Service)
නිහඬ (Silent)
සවිය (Strength)
කුළු ගෙඩිය (Sledge hammer)
වානේ (Steel)
පටිය (Tape)
අකුණ (Thunder)
අවිය (Tool)
දඬුඅඬුව (Vice)
දියාරු (Watery)
රැළි (Wave)
තෙතමනය (Wetness).

මේ යටින් තියෙන වචනත් මැවිසුරු ඊලියන් ම තමයි හදලා තියෙන්නේ. ඒත් මේවා නං වැඩිය නැගල ගිහින් නෑ. සමහර ඒවා අපි පාවිච්චි කරන්නේ තරමක් වෙනස් තේරුම් එක්කයි.

නවතුව (Stop)
සැහැටිය (Structure)
මිනික්සු (Surveyor)
සිප්යුරු (Technical)
විතේරිය (Theory)
තරාදිසි (Transparent)
තරාදිසිය (Transparency)
පන්නය (Type)
අනුහුරුව (adapt)
පිළිපැහැයුම (amendment)
විසිඳීම (analyse)
අපැහැසිය (application)
පිරිසරිය (area)
නියැදුම (attraction)
පැස (box)
අවි පැස (tool box)
පිසිය (brush),
නිරික්සු (Observer)
පැස (box)
පලඟනය (oven)
ඉස්බත (overhead)
අයිරාලෑම (overlap)
පිරිතෙල් (petrol)
සුපිරිතෙල් (super petrol)
මිහිතෙල් (petroleum)
ස-කලා (six Phase)
තෙකලා (three Phase)
දෙකලා (two Phase)
ඔබුව (plug)
පෙරස (process)
පෙරසනය (processor)
නිපැයුම (produce)
නිපයුම(product)
පැතිරුව (profile)
පෙරකය (program)
පෙරදෙවුව (project)
පිරිරැක්ම (protection)
වැසිවැටුම (rainfall)
පිළිකුර (react),
පිරිසැටැහුම (pecord)
තැටිවයුව (record player)
සැළසුරුවම (peport)
රැස්යුරුව (reservoir)
පිළික්සුම (revision)
වියතුර (risk)
පැදෙන අත (rocker arm)
යටිය (rod)
බමන (rotating)
සලසනුව (scheme)
ඉක්සුව (scope)
සැකිල්ල (shackle)
සද (sound)
පටනය (starter)
දියදුම (stream)

මේ සේරම උපුටා ගත්තේ සිළුමිණ පත්තරේ 2008 ජුනි, ජුලි කලාපවල පුන්කලස අතිරේකයෙන්. ඒකේ තියන ඒමන් කාරියකරවන ගේ "දොස්-නිදොස්" තීරුවෙන්.

-කතන්දරකාරයා

ප/ලි:
ඔය සැට් එකට යටින් එකතු කරගන්න මං තුමා හදපු මෙන්න මේ වචන දෙක.

පෙනපිලුම් පුවරුව (surf board)
මළු අතළුකරුවෝ (baggage handlers)

ප/ප/ලි:
මේක මගේ වෙන්ට කතන්දර සීයෙන් පිට එකකි. දැන් ඒ සීයෙන් කිහිපයක් ම පලකර ඇත. මුළු ලයිස්තුව මෙන්න මෙතනින් බලන්න.

(image: http://www.silumina.lk/punkalasa/20101212/)

Tuesday 15 March 2011

ගෑනු බොස් ලා හෙවත් බොසී ලා - Who wants to work under a lady boss?


සාමාන්‍ය ජීවිතයේ අපිව කවුරුත් බොස් කරනවාට අපි අකමැති වුණත්, වෘත්තීමය වශයෙන් ඒකෙන් ගැලවෙන්න බෑ. තමන් ගේ ම බොස් වෙලා කන්සල්ටින් කළත්, ඉතිං චෙක් එක ලියන එකා තමයි ඇත්ත බොසා.

කාන්තාවන් ට සම තැන ලැබීම ගැන ලංකාව ඉතිං අති ප්‍රසිද්ධයි නේ. ඒ හින්දා අපි වැඩ කරන බොහෝ තැන්වල ගෑනු බොස් ලා හෙවත් බොසී ලා ඉන්නවා.

බොසී ලා ගැන කියන කොට මට මතක්වෙන ප්‍රශ්ණයක් තමයි කාන්තාවකට වඩා හොඳ කාන්තා බොස් කෙනෙක් ද, නැත්තං පිරිමි බොස් කෙනෙක්ද? කියන එක.

ඒ ප්‍රශ්ණයට උත්තර හොයන්න කලින් මෙන්න මේ කතන්දරේ කියවල ඉන්නකෝ.

ඔන්න අර මං අවුරුදු හතරක් කල් මරපු නුවර තිප්පොළෙන් අවුට් වෙලා අවුරුද්දක් විතර ගෙවුණු කාලේ මට සෙට් වුණා වෘත්තීමය වශයෙන් හොඳ පිළිගැනීමක් තිබුණු, රජයට සම්බන්ධ තැනක රස්සාවක්. මේ වෙනකොට මං ජොබ් දෙකක් විතර කරලා, ඒ මදිවාට හොඳට කට්ට කාලා හිටියේ.

මෙතෙනට මේ මැවිසුරුවන් ව සේවයට අරං තිබුනේ අවුරුදු ගණනාවකට පස්සෙයි. කොම්පැනියේ සේරම ලොක්කෝත් මැවිසුරුවෝම තමයි. කොටින්ම, සප්ලයිස්, පර්සනල් ඩිපාට්මන්ට් වල බොස් ලා පවා මැවිසුරුවෝ. (මැවිසුරුවෝ = engineers)

මාත් එක්ක තවත් පොරවල් නම දෙනෙක් වැඩ පටන් ගත්තා, කාන්තාවන් ට සමතැන හින්දා පොරියෙකුත් හිටියා මේ පිරිසේ.

ඔන්න ප්ලෑන් එක තිබුනේ මෙහෙමයි. මුල් සති දෙකේ අපිට කොම්පැනියේ එක එක අංශ ගැන කතා සහ නැරඹීම්. ඊ ලඟට මාසෙ ගානේ එක එක අංශවල වැඩ පුහුණුව. මාස හයක් ගියාම තමයි ප්ලේස්මන්ට් දෙන්න හිටියේ.

මුල් සති දෙක ඉවරවෙලා අපි තැන් තැන්වලට ගියාට කරන්න කියල එහෙමට වැඩක් තිබුනේ නෑ. අපි පැය ගණං කැන්ටිමේ තේ බොන හැටි බලා ඉන්න බැරිම තැන, අන්තිමේදී බොස් ලා තීරණය කෙරුවා අපිට වහාම ස්ථිර ප්ලේස්මන්ට්ස් දෙන්න.

ඔන්න මහා මීටිමක් කෝල් කෙරුවා.

බෝඩ් රූම් එකේ තඩි මේසේ එක පැත්තක අපි දහදෙනා. අනිත් පැත්තේ අංශ ප්‍රධාන බොස් ලා. ඒ.ජී.එම් ල තුන් දෙනත් හිටියා. ජෙනරල් මැනේජර් තමයි මීටිම ගෙනිච්චේ.

රවුන් ද ටේබල් ගිහින් අපෙන් ආගිය තොරතුරු අහලා කිව්වා මෙන්න මේ මේ සෙක්ෂන්ස් වල වේකන්සීස් තියෙනවා කැමැත්ත කියන්න කියලා ඒ වෙලාවේම.

කවුරුත් කතා නෑ. ඇයි මේක ගහෙන් ගෙඩි එන්නැහැ නේ වුනේ. අනික අපි හැමෝම වගේ වයස විසි හතරේ පොඩි කොල්ලෝ නේ! (කෙල්ලෙකුත් හිටියා හොඳේ).

ඒ පාර ඔතන හිටපු එක කට හැකර ඒ.ජී.එම් කාරයෙක් කිව්වා අපි කතා නැතිව ඉන්න කොට "එහෙනං ඉතිං ගෙදර තමයි යන්න වෙන්නේ!" කියලා.

ඒ පාර ජී.එම්. කාරයා මේසේ එක කොනක ඉඳන් මොන සෙක්ෂන් එකට යන්නද කැමති කියලා අහන්න පටන් ගත්තා. මුලින්ම හිටිය පොර කිව්වා ඌ යන්න කැමති සෙක්ෂන් එක. ඔන්න ඌට ඒ ජොබ් එක දුන්නා. ඊ ලඟට හිටිය එකාගෙන් ඇහැව්වා. ඌ කැමති එක ඌට දුන්නා.

මළ සේක කිව්වලු. මං හිටියේ අනිත් කෙලවරේ ම වගේ. මට තේරුණා මට ලැබෙන්න යන්නේ අනිත් උං ටික අඩුවෙන්ම කැමති ජොබ් එක කියලා.

වෘත්තීමය සුදුසුකම් ගන්න හිතාගෙන මේ කෝපරේෂන් එකට ආවට, ඇත්තටම මේ වෙනකොට මං හිතාගෙන හිටියේ කොම්පැනියේ ඩේටා ප්‍රොසෙසින් සෙක්ෂන් එකට යන්නයි. ඒකට හේතුව තමයි ඔය ෆැක්ටරි ෆ්ලෝ-වල දාඩිය කනවට වැඩිය ඩේටා ප්‍රොසෙසින් සෙක්ෂන් එකේ, ඒ.සී. කාමරේ ඉන්න එක හොඳ නේද කියල හිතිල තිබුණ හින්දයි වැඩි වශයෙන් ම.

මේ සෙක්ෂන් එකට හිටියේ බොසියක්!

ජී.එම් කාරය පෝලිමේ ජොබ් දීගෙන එනව. තුන්වෙනියට හිටියේ අපේ කණ්ඩායමේ එකම කාන්තා මැවිසුරු කෙල්ල. මෙන්න බොලේ මේකි කිව්වෙ නැද්ද "අයි වොන්ට් ටු ජොයින් ද ඩේටා ප්‍රොසෙසින් සෙක්ෂන්!" කියල.

"වැඩේ හරි!" මට හීන් දාඩියත් දැම්ම. "මගේ හීනේ ඉවරයි".

හැබැයි, ජී.එම්. කට අරින්න කලින් කතා කළා ඩේටා ප්‍රොසෙසින් සෙක්ෂන් එකේ බොසී.

"ඉෆ් අයි වර් යූ, අයි වුඩ්න්ට් බී ජොයිනින් ද ඩේටා ප්‍රොසෙසින් සෙක්ෂන් බිකෝස් අයි ඩෝන්ට් වොන්ට් ටු බී වර්කින් අන්ඩර් අ ලේඩි බොස් (මම ඔයා නං, මං නං යන්නේ නෑ ඩේටා ප්‍රොසෙසින් සෙක්ෂන් එකට. මොකද මං කැමති නෑ ගෑනු බොස් කෙනෙක් යටතේ වැඩ කරන්න)" බොසී කියපි.

වරේ වා!

ඔය වහෙන් ඔරෝ කිව්වෙ -අනේ උඹ නං මගේ සෙක්ෂන් එකට එන්න එපා- කියලනේ. කාටත් තේරුණා ඒක.

ඉතිං, ඔහොම කතාවක් ඇහුවහම අර කෙල්ල කොහෙත්ම කැමති වෙන්නේ නෑනේ බොසී යටතේ වැඩ කරන්න.

ඒ විතරක් නෙමේ එතන ඉඳන් මං ඉන්න තැනට එනකං එකෙක්වත් කිව්වෙ නෑ තමුන්ට ඩේටා ප්‍රොසෙසින් සෙක්ෂන් එකට ජොයින් වෙන්න ඕනැ කියල.

එයින් පැයකට පස්සේ මං බොසී යටතේ වැඩ ඇරඹුවා.

මං එතන අවුරුද්දක් වැඩ කළා විතරක් නෙමේ, අර පස්තාච්චි කුපාඩි වැඩේ ට ගිහින් ආවට පස්සෙත් තව හරියටම අවුරුද්දකුත් එතන හිටිය.

මං හිතන්නේ ගෑනු බොස් ලා හොඳ පිරිමි සේවකයින් ට තමයි. 'ගෑනු සේවක-ගෑනු බොස්' කම්බිනේෂන් එක ගැලපෙන්නේ නෑ වගේ!

මොකද කියන්නේ?

-කතන්දරකාරයා

ප/ලි:
මේක මගේ වෙන්ට කතන්දර සීයෙන් පිට එකකි. දැන් ඒ සීයෙන් කිහිපයක් ම පලකර ඇත. මුළු ලයිස්තුව මෙන්න මෙතනින් බලන්න.

(image: http://www.theurbangrind.net/?p=2630)

Sunday 13 March 2011

සුදු කොඩි කතාව නොහොත් Hack me if you can...!!!


මගේ කතන්දර බ්ලොග් එක හැක් කරන බව කියා කවුදෝ පින්වතෙක් පණිවිඩයක් එවා තිබේ.

නිකං ආවට ගියාට නෙමේ, බියොන්ඩ් ද ෆ්‍රේම් බ්ලොග් එක හැක් කර ඒ හරහා ය.

මම බියෙන් ඇලලී සිටිමි. හදවත ඩුග්, ඩුග් ගා ගැසේ. තවත් මොකක්ද මන්දා බරක් ද දැනේ.

මේ අය මට වෛර කරන බව පෙනේ. මට පරුෂ වචනයෙන් ද අමතා ඇත. හේතුව පැහැදිලි නැත.

මට කීමට ඇත්තේ පහත දැක්වෙන ධම්මපදයේ ගාථා තුන පමණි.

1.
අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ ච තං උපනය්හන්ති – වේරං තේසං න සම්මති
(ක්‍රෝධයෙන් බැඳුණොත් වෛරයෙන් ගැළවීමක් නෑ!)

2.
අක්කොච්ඡි මං අවධි මං – අජිනි මං අහාසි මේ
යේ ච තං න උපනය්හන්ති – වේරං තේසූපසම්මති
(ක්‍රෝධයෙන් බැඳුනේ නැත්තම්, වෛරයෙන් ගැළවෙන්න පුලුවනි.)

3.
නහි වේරේන වේරානි – සම්මන්තීධ කුදාචනං
අ වේරේන ච සම්මන්ති – ඒස ධම්මෝ සනත්තනෝ
(වෛර කිරීමෙන් වෛරය නැති නොවේ. වෛර නොකිරීමෙන් වෛරය සන්සිදේ. මෙය ලොව සනාතන දහමකි.)

-කතන්දරකාරයා

ප/ලි:
සුදු කොඩියක් දමා ඇති බව පේනවා නේද?

කොහොමද මගේ ටිකිරි මොලේ?

දැන් ඉතිං මගේ බ්ලොග් එක හැක් කීරිමට ලේසියෙන් බැරි බව සිතමි.

ප/ප/ලි:
ඔන්න "හරී-පිණි පලස" ගේ ඉල්ලීම අනුව ගාථාවල තේරුම දැම්මා.

මේවත් බලන්න.

1. කතන්දර හාමිනේ මගේ බ්ලොග් එක හැක් කරයිද?

2. මොහොමඩ්, පිස්සා, ටැබූ, බී. එෆ්. ගේ ඒවාට කලින් මගේ එෆ්.බී එක හැක් වුණු හැටි!

image: http://www.clipartguide.com/_pages/0511-0702-0211-2545.html

Friday 11 March 2011

දුටුගැමුණු ලා ගේ වැඩ-කිඩ අවසාන වෙයි!


සෑහෙන්න කාලයක් තිස්සේ මගේ හිතේ තිබ්බ දුටුගැමුණු ලා ගැන කතන්දරයක් මං දැන් අවුරුද්දකටත් ඉස්සර ලියන්න පටන් ගත්තා.

මේකෙ මුල් කොටස අයි ඩෝන්ට් නෝ වයි.

ඒ කතන්දර කෑල්ලෙදි මං දුටුගැමුණු ට පොර කිව්වයි කියල ඒක කියවපු කීප දෙනෙක් ආව රෙදි උස්සගෙන මා එක්ක ෆයිට් එකට.

මං හිතන් හිටිය විදියට දුටුගැමුණු පොරක් නෙමේ ලු! ඉතිං මං කතන්දර කෑල්ල පොඩ්ඩක් එඩිට් කළා.

දුටුගැමුණු කතාවේ දෙවන කොටස වීසා ඔන් ඇරයිවල් කියන නමෙනුයි පල කලේ.

ඒ අතරේ කැම්පස් කාලේ ලියපු හද්ද පරණ කවියකුත් මතක් වෙලා ඒක දැම්ම තුන්වෙනි කොටසේ.

අද හතරවෙනි අවසාන කොටසින් මං කියන්න යන්නෙ දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ ගැන වැදගත්ම දෙයක්. ඇත්තටම කියනව නං, මේ අදහස තමයි මං මුලින්ම ලියන්න ගියේ වෙනිං අතුරු කතාවලට පැටලිලා කතාව කුට්ටි කරන්න කලිං.

මේ හතරවෙනි කොටස බාගයකටත් වඩා ලිව්වට පස්සේ ලැප් එක මාරු කල නිසා බැක්-අප් එකකට කොටුවෙලා තිබිල මේ ලඟදී තමයි ආපහු හම්බ වුනේ.

දැන් ඔන්න අපි අහල තියෙන කතන්දරවල විදියට දුටුගැමුණු ගෙ පුතා තමයි සාලිය. පොර දවසක් තමන්ගෙ වැයික්කියෙ ටුවර් එකක් යද්දි අශෝක මල් නෙලමින් සිටි අශෝකමාලා කියන සැඩොල් පරම්පරාවේ අංශය දැක්ක.

ඒ දැක්ක විතරයි කෙලින් ම - හෙඩ් ඕවර් හීල්ස් - පොර අර කෙල්ලට දැපනෙ වැටුන. ලව් ඔන් ෆර්ස්ට් සයිට් කියන මහා බලසම්පන්න රසායන විද්‍යා සංසිද්ධිය දන්නවනෙ? ඒකයි එතනත් වුනේ අනිවාර්යයෙන් ම.

දෙන්න සොමියෙ ලව් කරන්න ඇති අශෝක මල් වනය මැද්දේ. මොකද ඒ දවස්වල පොලිසියෙන් එනවයැ කපල්ස් අල්ලන්න. ආවත් ඉතිං, රජා ගේ පුතා දැක්කම සැලියුට් එකක් ගහල යන්න යයි.

සාලිය ගේ තාත්ත ට මේ ලව් අෆෙයාර් එක ආරංචි වුනා ට පස්සෙ තමයි වැඩේ චා වුනේ.

ඒකට හේතුව දන්නවනෙ. කුල භේදය. රජ පවුලේ කොල්ලෙක් සැඩොල් කුලේ කෙල්ලෙක් ව බැන්දොත් රජවීම තහනම්.

ඉතිං ඇයි මේ කුලය ගැන ඔච්චර වොරි වෙන්නේ?

අවුරුදු දෙදාස් හයසියකට විතර කලින් අපේ බෝධිසත්ව දේවතාවා තව්තිසාවෙ ඉඳල සිද්ධාර්ථ කුමාරය විදියට මිනිස් ලෝකෙ ඉපදෙන්න ප්ලෑන් කරපු හැටි ගැන කතන්දරේ අහල තියෙනව නේද?

එදා ඒ විදියට තමන් කොතනද ඉපදෙන්නේ කියලා තීරණය කරන්න දෙයියෝ පාවිච්චි කළා ය කියන සිලෙක්‍ෂන් ක්‍රයිටේරියා එකට කියන්නෙ පස් මහ බැලුම් කියලයි. කාලය, දීපය, දේශය, කුලය සහ මව - මතකයි නෙ?

ඔය සේරම සාධක හොඳට ටිප් ටොප් එකට සෙට් වුන නිසා තමයි එතුමා තව්තිසාවෙන් චුත වෙලා හරියටම අර මහාමායා දේවිය නිදාගෙන ඉන්න අල්ල-පනල්ලේ නිකං හීනෙන් හීනෙන් වගේ ආපු සුදු ඇත්පැටියගෙ හොඬවැල රතු නෙළුම් මලක් එක්ක දේවියගෙ කුස තුලට ඇතුල් කරන වෙලාවෙම කුසේ පිළිසිඳ ගත්තෙ. (මේ මෙච්චර වැදගත් වෙලාවේ අපේ සුද්දෝදන තාත්ති කොහේ හිටියද මන්ද?)

ඔය පස් මහ බැලුම් වලදි ටිප් ටොප් එකට කාලය, දේශය, දීපය සහ මව තේරුවේ ඇයි කියන එක පැහැදිලියි නෙ. ඔතනදි කුලය කියල කියන්නෙ තාත්තගෙ පරම්පරාවටයි කියලයි අපිට ඔය කතන්දරේ කියපු හැමෝම වගේ කිව්වෙ.

ආදි කාලෙ පරම්පරාව එහෙම නැත්තං කුලය කිව්වෙ තමන් ගෙ පවුල ජීවත්වෙන්න කරපු කර්මාන්තෙටයි. තාත්ත ගේ රස්සාවමයි පුතා කළෙත්.

තාත්ත ගොයිතැන නං කරන්නේ පුතාත් ගොයිතැන ම කළා. තාත්තා වඩු වැඩ නං, පුතාත් වඩු වැඩ. තාත්තා මැටි වැඩ නං පුතාත් මැටි වැඩ!

දුවරු දීග දුන්නේත්, ඒ වගේම පවුල් වලටයි.

අද වෙන කොට මේ තත්වය වෙනස් වෙලා මුළුමනින් ම වගේ. එකම එක්සෙප්ෂන් එක තමයි, එදා වගේම අදත් තාත්ත ගේ ජොබ් එක දේශපාලනේ කිරීම නං, පුතාත් ඒකම තමයි ජොබ් එකට තෝරා ගත්නේ.

රජ කරන පරම්පරාවෙ සාලියටත් තාත්ත වගේ කවද හරි රජකම කරන්නයි නියමිතව තිබුනෙ අර වෙනස් පරම්පරාවක කෙල්ලෙකුට සෙට් වෙලා ඒකි මත්තෙම මැරෙන්න ගියේ නැත්තං.

තමන් ගෙ පරම්පරාවෙන් ම බැන්දෙ නැත්තං කොහොමද පවුලේ බිස්නස් එක ගෙනියන්නේ.

ඕක තේරුං ගත්තේ නැති අපේ සාලිය කොළුවා -ජොබ් එකට පයින් ගහලා කෙල්ල පස්සේ ගියා.

පවුලේ බිස්නස් එක සද්ධාතිස්සට ගියේ ඒ හින්දයි.

ඔන්න දුටුගැමුණුලා ගේ වැඩ-කිඩ අවසාන වූ හැටි!

-කතන්දරකාරයා

ප/ලි
මං අර අයි ඩෝන්ට් නෝ වයි කොටසේ කිව්ව වගේ මං සාලිය නං කරන්නේ තාත්තලා කියන විදියට රජ පවුලකින් බැඳලා, පස්සේ අර අශෝකා කෙල්ලව සෙට් කර ගන්නව අන්තහ්පුරේට.

එහෙම කළා නං දුටුගැමුණු පරම්පරාව අදත් රජ කරනවානේ!

ප/ප/ලි
මේ ප/ලි කෑල්ල දැකල කතන්දරහාමිනේ මගේ බ්ලොග් එකට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරල, අන්තිමේදී හැක් කරල දායි ද දන්නේ නෑ! අද ඉඳල දවස ගානේ පාස්වර්ඩ් එක වෙනස් කරන්න ඕනෑ.

photo: http://www.bangaloremonkey.com/2007/10/sigiriya-signs.html

Wednesday 9 March 2011

මොහොමඩ් ගේ, පිස්සා ගේ, ටැබූ ගේ ඒවාට කලින් මගේ එකවුන්ට් එක හැක් කරපු හැටි - How they hacked my account well before Mohomed, Pissa and Taboo got hacked


මේ දවස්වල සිංහල බ්ලොග් අවකාශයේ හරි හරි වැඩ තමයි වෙන්නේ. වෙලාවකට සසර කලකිරෙන තරමට ම දරුණුයි.

ඉස්සෙල්ලාම, මොහොමඩ් කියලා ලියවී ගෙන ගිය බ්ලොග් එකේ අන්තර්ගතය වෙනස් වුණා -දැඩි තර්ජනයක් කෙරෙන වාක්‍ය කීපයකට. මොහොමඩ් ගේ ලිපි වලට විරුද්ධ අය විසින් ඒ බ්ලොග් එක හැක් කරලා, විකෘති කරපු විදියකුයි පේන්න තිබුනේ. සමහරු හරිම සතුටු වුනා ඒක දැකලා.

පිස්සා ගේ පලාමල්ලේ මේ ගැන ලිපියක් පලවුණා -ෆස්ට් දේ කේම් කවියේ අදහස වගේ අදහසක් තමයි ඒකේ තිබුනේ. ඊ ලඟට වුනේ පිස්සා ගේ පලාමල්ලටත් පෙර කී සන්තෑසියම ලැබීමයි.

පිස්සා ආපසු ආවත් -දවස් දෙකක් යනකොට ආයේ බ්ලොග් එක හැක් වුණා. ඊ ලඟට වුනේ, ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් එකත් හැක් වීමයි.

මේ අතර නොයෙක් කන්ස්පිරසි තියරි බ්ලොග් අවකාශයේ පැතිරුණා. ඒ බොහොමයක් මේ පිස්සා, ටැබූ, මොහොමඩ්, බ්ලොග් වගේ ම, පද්දා, පෙරමුනේ රාළ, වගේ බ්ලොග් ලියන්නේ කවුද කියන එක ගැනයි.

ඒත් මේ බ්ලොග් පෙරලි ගැන හිත හිත ඉන්න වෙලේ, මට මතක් වුනේ මගේ ෆේස් බුක් එකවුන්ට් එක කවුදෝ හොරෙක් හැක් කරපු හැටියි.

කතන්දරකාරයා ගේ ෆේස් බුක් එකවුන්ට් එක ගැන හෝ කතන්දරකාරයා පේජ් එක ගැන හෝ නෙමෙයි මේ කියන්නේ. මේ මංතුමා ගේ සැබෑ ජීවිතයේ නමින් තියෙන ෆේස්බුක් එකවුන්ට් එක ගැනයි.

මෙන්න ඒ කතන්දරේ. මේක මගේ වෙන්ට කතන්දර සීයෙන් එකක්.

ඔන්න දවසක් මං රාත්‍රියේ නිදා ඉන්න වෙලාවේ මට කෝල් එකක් ආවා. කතා කලේ ඇමරිකාවේ ඉන්න මගේ යාළුවෙක්. පොර මං කරපු තැනම පස්තාච්චි කුපාඩි වැඩ කරපු කෙනෙක්.

අමිල: මචං, උඹ ගෙදර නේද ඉන්නේ?
මං: ඔව් මචං ඇයි මොකද මේ මහ රෑ?
අමිල: මචං මේ දැන් මං ෆේස් බුක් එකේ ඉන්න කොට උඹෙන් චැට් එකක් ආවා. උඹ ලන්ඩන් වල එයාපෝට් එකේ අතරමං වෙලා, පර්ස් එක හොරු අරං, අළුතින් ටිකට් එකක් ගන්න පවුං පන්සීයක් ඉල්ලුවා නේ.
මං: මං කොහෙද බං ලන්ඩන් යන්නේ, මේ ගෙදර නිදි නේ. ඉතිං ඉතිං උඹ අහුවුණාද?
අමිල: මං මචං පොඩි ගානක් යැව්වා!

පස්සේ විස්තර කතාකරන කොට දැනගත්ත විදියට වැඩේ මෙහෙමයි වෙලා තියෙන්නේ.

ඇමරිකාවේ ඉන්න අමිල නිතර ජොබ් එකේ වැඩවලට රට රටවල කරක් ගහන එකා. පොරටත් විටින් විට හිතෙනවාලු නොදන්න තැනක ඉන්න කොට සල්ලියි, බෑන්ක් කාඩ් ටිකයි නැතිවුනොත් මොනවා කරන්නද කියලා.

ඉතිං පොර වැඩි පුර හිතන්නේ නැතුව, මගේ ෆේස් බුක් එකවුන්ට් එක හැක් කරලා මං වගේ අමිල එක්ක චැට් කරපු එකා එවපු එකවුන්ට් නම්බර් එකට පවුං සීයක් දාලා.

නිකං නෙමේ, ලඟම තියෙන ෂොපින් සෙන්ටර් එකට ගිහින්, වෙස්ටර්න් යූනියන් එකෙනුයි දාලා තියෙන්නේ. පස්සේ සැක හිතිලා තමයි ඇමරිකාවේ ඉඳලා මට කතා කලේ. එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි.

මේ හැකර්කාරයා ඒ අතරේම තවත් මගේ ෆේස් බුක් එකේ ඉන්න යාළුවෙක් වෙන රුහුණු කැම්පස් පොරකටත් ඔය කතාවම කියලා, පවුං පන්සීයක් ඉල්ලලා.

පොර මුලින් ටිකක් විතර රැවටිලා, නමුත් සැකය නිසා කරලා තියෙන්නේ ලන්ඩන්වල ඉන්න යාළුවෙකුට කෝල් කරලා මේ ගැන කියන එකයි. ලන්ඩන් යාළුවා කියලා තියෙනවා, කෙලින් ම පොලිසියකට යන්න කියන්න, එතනින් ඕනෑ දේකට උදව් කරයි කියලා.

හැකර්කාරයා තවත් තුන්වෙනියෙකුටත් චැට් කරලා තියෙනවා. ඒ, මං බූන්දියෙන් අඳුණා ගත්තු තරුණ කවියෙකුටයි.

පොර නං ටිකක්වත් රැවටිලා නෑ. මොකද ඕනෑම බබෙකුට තේරෙනවානේ මං රුපියල් ලක්‍ෂ අටක විතර මුදලක් මේ පොඩි කොල්ලෙකු ගෙන් ඉල්ලන්නේ නෑ කියලා.

මං වහාම නැගිටලා ෆේස් බුක් එකට ලොග් වෙන්න හැදුවාට, ඒ වෙනකොටත් එකවුන්ට් එක ඩිසේබල් කරලා ඇඩ්මින් ලා. සතියක් විතර ගියා ආපහු ඇක්සස් ගන්න.

මං මුලින් හිතුවේ කවුරු හරි ස්නිෆ් කරලා හරි, පිෂින් වලින් හරි පාස්වර්ඩ් එක හොයාගෙනයි කියලා.

නමුත් පස්සෙ මට ම තේරුණා මං කොච්චර ගොන්පාට් පාස්වර්ඩ් එකක් ද දාලා තියෙන්නේ කියලා. ඇත්තටම කියනව නං, ඒක දෙතුන් පාරකින් ගෙස් කරන්න පුළුවනි.

ගූගල් වල වගේ පාස්වර්ඩ් එකේ ශක්තිය මැනල ක්‍රින ක්‍රමයක් නෑනේ ෆේස් බුක් එකේ.

අපේ ටැබූත් නිකං "Desmond Morris" හරි, "Human Zoo" හරි, ඒ වගේ එකක් හරි, පාස්වර්ඩ් එක විදියට දාගෙන හිටියද කව්ද දන්නේ?

-කතන්දරකාරයා

ප/ලි
ඩෙස්මන් මොරිස් ලියපු තවත් පොතක් තමයි, "Naked Ape". බන්දුසීල ඒක පරිවර්තනය කලේ "නිරුවත් වානරයා" කියලයි. ඇත්තටම ඒ "Naked Ape" කියන පාස් වර්ඩ් එක හොඳට ගැලපෙන අයත් ඉන්නවා නේද?

අපි සේරම එකතු වෙලා පොදු බ්ලොග් එකක් කරනවා නම්, අන්න ඒකට හොඳයි "Human Zoo" කියන පාස්වර්ඩ් එක. නැත්තං ඔන්න ඔහේ ඒ පාස්වරර්ඩ් දෙක ම එකතු කරලා "Ape Zoo" කියලා දාමු!

image: http://www.xmere.com/forums/lofiversion/index.php?t1584.html

Monday 7 March 2011

කැම්පස් එකේ කොම්පියුටර් සැන්ටරේ


ඔන්න එකමත් එක කාලෙක, එකමත් එක රටක, කැම්පස් එකක් තිබුනේය. ඒ කැම්පස් එකේ කොම්පියුර් සැන්ටරයක් තිබුනේය. ඒ කොම්පියුර් සැන්ටර් එකේ කොම්පියුටර් තිබුනේය.

සාමාන්‍යයෙන් විද්‍යා පීඨවල අනාදිමත් කාලෙක ඉඳලා ඔය කොම්පියුටින් කියන විෂයය උගන්නනවා. ඒ මැත සබ්ජෙක්ට්ස් එකක කෑල්ලක් හැටියටයි.

මේ කියන්නේ අලි තඩි "මිනි" කොම්පියුටර්, ෆෝට්‍රාන්, පන්ච් කාඩ් කාලේ. මේ කාලේ කම්පියුටර් කියන්නේ වැඩ වැඩි කරන දෙයක් මිස, වැඩ ලේසි කරන දෙයක් නෙමේ. ඒ දවස්වල කැම්පස්වල කොම්පියුටර් සෙන්ටර් තිබුනේ මැත්ස් ඩිපාර්ට්මන්ට් එකේ බූදලයක් විදියටයි. අයුතු පාවිච්චියක් ගැන නෙමේ මේ කියන්නේ - මැත්ස්කාරයින් ගේ බූලියන් ලොජික් අනුව තමයි ඒ සැන්ටර් රන් කලේ.

අපේ කාලේ වෙනකොට ඔන්න ටික ටික පී.සී. එන්න පටන් ගත්තා. මට මතකයි, මං අර නුවර තිප්පොලේ කල් මරණ කාලේ, ලෙක්චර්ස් කට් කරලා ගිහින් "බේසික් ප්‍රෝග්‍රෑමින්" පොත් අරගෙන, තනියම ඉගෙන ගෙන, පොඩි පොඩි ප්‍රෝග්‍රෑම් ලියනවා.

ලෙක්චර්ස් කට් කරන්න වුනේ, නැත්තං පීසී එකක් අල්ලා ගන්න බැරි හින්දයි. ඩිමාන්ඩ් එක අඩු වුනාට සැපයුමත් අඩුයි.

පස්සෙ කාලෙක මං ජොබකට සෙට් වුනා, වෙනිං තිප්පොලක. මෙතන තිබුණු කොම්පිටුටර් සැන්ටරේ ගැනයි අද කතන්දරේ.

මේ සැන්ටරේ, මුළු කැම්පස් එකටම පොදු එකක්. ඒකේ අධිපති බව දැරුවේ මැත්ස් ඩිපාර්ට්මන්ට් එකේ පරණ මහැදුරු පොරක්.

මේකට සැන්ටර් එකක් කියන්නද, දේවාලයක් කියන්නද මන්දා. ඇතුලට යන්න සපත්තු ගලවන්න ඕනෑ. ඇතුලේ නිල්පාට තිර රෙදි දාලා, ලයිට් දාලා, ඒසී දාලායි තියෙන්නේ.

උදේ අටට විතර කට්ටිය වැඩට ඇවිල්ලා, සෙට් වෙලා හෙම තමයි සැන්ටරේ පාවිච්චි කරන අයට දොරවල් අරින්නේ. හරියට හතරයි කාල වෙන කොට ඉබ්බෝ දාලා වහනවා. සති අන්තයත් දේවාලේ ක්ලෝස්, දෙයියෝ නිවාඩු නේ.

ඔහොම යනකොට ඉතිං මං අඳුණන පොරක් මේකේ ලොක්කා වුණා. පොර හොඳ අදහස් තියෙන පොරක්. මිනිහට ඕනෑ වුණා සැන්ටර් එක රන් කරන විදිය වෙනස් කරන්න.

සතියේ දවස්වල උදේ හතේ ඉඳලා හවස හය වෙනකන් සැන්ටරේ ඇරලා තියන්න. සති අන්තයේත් පැය අට ගානේවත් සැන්ටරේ අරින්න. ඒ එක්කම වාර අවසානයේ ළමයින් ට ප්‍රොජෙක්ට්ස් වල වැඩ හිරවෙන කාලේ වෙනකොට සැන්ටර් එක තවත් රෑ වෙනකං ඇරලා තියන්න වගේ ප්ලෑන්ස් ගොඩයි.

මේ සේරටම සල්ලි ඕනෑ නේ. විශේෂයෙන් ම ඕවර් ටයිම් වලට ගෙවන්න. පවර් යූස් එකත් වැඩි වෙනවා. ඒකටත් බජට් කරන්න ඕනෑ.

ඉතිං අළුත් බොස් මේක දැම්මා ෆැකල්ටි බෝඩ් එකේ ඩිස්කෂන් එකට.

"දැන් අපි අපේ සැන්ටර් එකෙන් නිසි ප්‍රයෝජනය ගන්නේ නෑ. දවසේ වැඩි හරියක් මේ කොම්පියුටර් ඕෆ් කරලයි තියෙන්නේ."

"සැන්ටරේ ඕපන් කරලා තියෙන වෙලාව වැඩි කිරීම තුලින් අපිට සැන්ටර් එකෙන් මීට වඩා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්."

වැඩි හොඳට පොර මෙහෙමත් කිව්වා.

"දැන් අපි කරන්නේ හොඳ කාර් එකක් අරගෙන ඒක ගෙදර ගරාජ් කාමරයේ දාලා වහලා තියෙනවා වාගේ වැඩක්."

මේ කතාව අහපු අර පරණ මහැදුරු තැන ට ටිකක් අප්සෙට්.

"ඉතිං, අපි අපේ කාර් හොඳට යූස් කරන්නේ ඒ වගේ පරිස්සම් කරලා තමයි. ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?"

පස්සෙ බැලින්නම්, පොර අළුත්ම කිරි කිරි කාර් එකක් තියෙනවා. අපි කවුරුවත් වැඩිය දැකලා නෑ. හේතුව, ඒක හඳුන්කූරු සුවඳ මැද ගෙදර ගරාජ් එකේ!

-කතන්දරකාරයා

ප/ලි:
මං කාර් කට්ටක් ගත්තු කතන්දරේ ඊලඟට දාන්නං.

ප/ප/ලි:
මේක මගේ වෙන්ට කතන්දර සීයෙන් එකකි. ඉතුරු අනූ නමයේ ලයිස්තුව මෙන්න මෙතනින් බලන්න.

(photo: http://www.postersguide.com/posters/computer-covered-in-cobwebs-3549628.html)

Saturday 5 March 2011

කතන්දරකාරයා නාඩි වාක්‍යම් සාස්තරේ අහපු හැටි


දැන් අවුරුදු කීපයකට කලින් මට පොඩි චාන්ස් එකක් ලැබුණා, නාඩි වාක්‍යම් කියන සාස්තරය අහන්න යන්න.

වැඩේ සෙට් වුනේ මෙහෙමයි.

මගේ වැඩ පොලේ හිටියා චන්ද්‍රගුප්ත කියලා පොරක් ටිකක්. මිනිහට චන්ද්‍රගුප්ත කියලා මං ඒ නම දැම්මේ මිනිහා, ටිකක් නෙමේ හොඳටෝම, ඔය ගුප්ත විජ්ජා වැඩවලට කැමති හින්දයි.

කොටින් ම පස්සේ කාලෙක චන්ද්‍රගුප්ත කාරයා බබෙක් ගැනත් පිස්සු වැටිලා හිටියා. බබා ගේ නම හායි ද කොහෙද? ඒ දවස්වල කටේ නිතරම තිබුනේ ඔය "හායි බබා" ගැනයි.

ඉතිං "හායි බබා" හම්බ වෙන්න ඉස්සර කාලේ පොර අපට නිතරම වගේ රස කර කර කියනවා ඔය නාඩි වාක්‍යම් අනාවැකි ගැන කතන්දර.

මේ නාඩි වාක්‍යම් සාස්තර කොච්චර ඇත්තද කියනව නම්, තමන්ගේ නම, අම්මා, තාත්තා ගේ නම පවා හරියට කියනවයි කියලයි කියන්නේ. හැබැයි ඉතිං, ඔය කතාව චන්ද්‍රගුප්ත කියනවා අහලා මට නං හිතුනේ, ඒ අපි හොඳටම දන්න නම්, ගම් වගේ දේවල් වෙන කෙනෙකුගෙන් සල්ලිත් ගෙවලා අහගන්න ඕනැද කියලයි!

ඔහොම ටික දවසක් යන කොට අපේ වැඩපොලේ තවත් පොරකට හිතුනා මේ කියන සාත්තරකාරයා ගෙන් නාඩි වාක්‍යම් අහගන්න. පොර දවසක් මට කතා කළා කොළඹ යන ගමන් සෙට් වෙමු කියලා ඔය වැඩේට.

උගේ කාර්, උගේ ප්‍රැටෝල් හින්දා මාත් කැමති වුණා ඒ ගමනට.

ඔන්න මලිතු යි මායි එදා කොළඹ ගිහින්, කොළඹ අර ලොකු හන්දයෙන් හැරිලා, කොහෙද මන්දා ජනාකීර්ණ පැත්තක අතුරු පාරක් දිගේ ගිහින් කෙලවරේ තිබුණු ලොකු බිල්ඩිමක් ලඟ නැවැත්තුවා.

මේක කාමර කුලියට හෝටලයක්. නාඩි වාක්‍යම් කියන්න ඇවිත් ඉන්න ඉන්දියන් පොරවල් මේ හෝටලේ ඉඳන් තමයි ඔපරේට් වෙන්නේ.

කාරෙක නවත්තලා අපි එතනට ගියා. හාෆ් ෂීට් බාග දෙකකට දෙන්නගේ ඇඟිලි සලකුණු අරගෙන නම් දෙකත් ලියා ගත්තා. මං නං දුන්නේ තාත්ත ගේ නමයි වැඩි පරිස්සමට.

මලිත් ට ඇපොයින්ට්මන්ට් එක දුන්නා මාස දෙකකට විතර පස්සේ එන දවසක. ඊ ලඟට පෝලිමේ හිටිය මට දුන්නේ, මලිත් ගේ දවසට සති දෙකකට පස්සේ එන දවසක්.

ඔන්න නියමිත දවසේ මලිත් කාරයා ගිහින් සාස්තරේ අහගෙන ආවා. පොර සැටිස්ෆයිඩ් නෑ. නම පවා වැරදියටයි කියලා තියෙන්නේ.

ඒක හින්දා පොර අනාගතේ මහාචාර්ය කෙනෙක් වෙනවාය කියලා වගේ කියපු අනාවැකි කොහොම විශ්වාස කරන්නද, නේද?

සති දෙකකට පස්සේ ඔන්න මගේ සාත්තර ඇපොයින්ට්මන්ට් එකේ දවස එනවා -හෙට.

මං ඒ වෙනකොටත් හොඳටම එක්සයිටඩ්!

මගේ කරුමෙද මන්දා, එදා හවස ලංකාවේ පොඩි ග්‍රහයෙක් මාරු වුණා. පොඩි යි කියලා කියන්නේ -පොඩි පහේ බෝම්බයක් තමයි කොළඹ පිපිරුනේ. ඉතිං, පහුවදාට නියමිතව තිබුණු මගේ කොළඹ ගමන යන්න මට කතන්දර හාමිනේගෙන් අවසර ලැබුනේ නෑ.

නමුත් සති දෙක තුනකට පස්සේ කොළඹ ගිය දවසක මං අමාරුවෙන් හොයාගෙන ඔය කියපු තැනට ගියා. එදා මට ලැබුණු ඇපොයින්ට්මන්ට් එක තව මාස තුනකට පස්සේ එකක්.

ඒත් ඒ දවසේත් වැඩේ වැරදුණා. ඒ මට වැඩපොලේ නොවැලැක්විය හැකි වැඩක් යෙදුණු හින්දයි.

එහෙම වුනත්, මං නං නෙමේ නාඩි වාක්‍යම් බලන අදහස අතහැරියේ. ආයෙ ගිහින් ගත්තා ඇපොයින්ට්මන්ට් එකක්. ඒකත් හැබැයි තිබුනේ තවත් මාස දෙක තුනකින්. මං හිතන්නේ ඒ තරමට ඉල්ලුමක් තිබුණා ඒ දවස්වල මේ නාඩි වාක්‍යම් වැඩේට.

මගේ වෙලාව කියන්නේ, හරියටම ඒ තුන්වෙනි දවසට සතියකට කලින් වැඩපොලේ වැඩකට පිටරටකට ගිහින් එන්න සෙට්වුණා. නාඩි වාක්‍යම් බලනවා වගේයැ රාජකාරිය. මං වැඩේ අල්ලා දාලා රට ගියා.

ආයෙත් ඒ ගැන හිතුවේ මේ කතන්දර බ්ලොග් එකට ඒ කතාව ලියන්න තමයි. ඒ විදියට මේ නාඩි වාක්‍යම් සාස්තරේ අහන අදහස අතහැර ගන්න මට තවත් හේතුවක් තිබුණා.

මං ඔය තුන්පාරක් ම ඇපොයින්ට්මන්ට් අරගෙනත් නාඩි වාක්‍යම් සාස්තරේ අහගන්න බැරිවුණු බව අපේ චන්ද්‍රගුප්ත ට කිව්වහම, මිනිහ මොකක්ද දන්නවද කිව්ව කතාව?

අපි එක එක්කෙනා ගැන ඒ නාඩි වාක්‍යම් ලියන කොටම, ලියලා තියෙනවාලු, ඒ ඒ පුද්ගලයා සාත්තරේ අහන්නේ හරියටම කවදාද කියන එකත්.

ඊට කලින් කොච්චර සැරයක් හරි ඒ සාස්තරේ අහගන්න ගියාට වැඩේ කරගන්න බැරි අන්න ඒකයි!

අන්න ඒ නිසයි, මං අවුරුදු ගාණක් ම ගිහිනුත් තාම ඒ ගැන නැවත හිතුවේ නැත්තේ.

මගේ දවස තාම ඇවිල්ලා නෑ!

-කතන්දරකාරයා

ප/ලි:
වැඩේ කියන්නේ මගේ කේන්දරේ අපේ මාරයා ට කියලා බලා ගන්න ගිහිනුත් මට ඔය සිද්ධියම නේ වුනේ. තරගෙකින් දිනලත්, ඒ වැඩේ වැරදුණා දෙපාරක් ම.

මං හිතන්නේ මං මාරයාගෙන් මගේ කේන්දරේ බලෝගන්න දවස මගේ කේන්දරේ ලියවිලා ඇති.

සමහරවිට ඒ දවස ලියවිලා තියෙන්නේ මාරයා ගේ කේන්දරයේ වෙන්නත් පුළුවන්!

ප/ප/ලි:
මේක මගේ වෙන්ට කතන්දර සීයෙන් එකකි. ඉතුරු අනූ නමයේ ලයිස්තුව මෙන්න මෙතනින් බලන්න.

(photo: http://www.thesundayleader.lk/archive/20060528/review.htm)

Thursday 3 March 2011

නුඹ නාඩන් - හොඳ පාඩම් : Kathandara Kaaraya Learns a Lesson (again!)


මං පෙරේදා ක්‍රිකට් වර්ල්ඩ් කප් එක ගැන ලියවුණු සින්දුවක එම්පීත්‍රී එකක් එක්ක පෝස්ට් එකක් දැම්මා. ඒ සින්දුව මට ඊ-මේල් වලින් ආපු එකක් -ප්‍රචාරය කරන්න කියලා ඉල්ලීමකුත් එක්ක.

මගේ පෝස්ට් එක දාලා, ඒකට හිට්ස් 250 විතර ආවට පස්සේ ආපු කෝල් එකක් නිසා මං පෝස්ට් එකේ අන්තර්ගතය මෙන්න මේ විදියට වෙනස් කළා.

එහෙම කරන්න හේතුව මෙන්න මෙතන විස්තරාත්මකව තියෙනවා.

මේ සිද්ධියෙන් පස්සේ මට මතක් වුනේ මගේ පරණ අත්දැකීමක්.

ඔන්න දැනට අවුරුදු දෙකකට විතර කලින් මං හරියට අදුණන්නේ වත් නැති සඟරා කතෘ කෙනෙකුගෙන් මට ඊ-මේල් එකක් ආවා මගෙන් කවි ඉල්ලලා එයාගේ සඟරාවේ පල කරන්න. මේ 2009 ජනවාරි මාසේ.

දුක් සැප කුමන්දා කිව්වලු!

බරක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති වුණු සිද්ධිය මතකනේ. මං ඔය ගැන ලියල තිබුණු මෙන්න මේ කවි පන්තිය ඊ-මේල් මගින් එයා ට යැව්වා, ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස.

ඔබාමා චූන් එකෙන් ඔබ්බට

ඔබමා බරක් එක්සත් ජනපද යේ
ජනපති විලස දිවුරුම් දුන් අද දින යේ
නෙත නැගි තුටු කඳුළු පිස දා ලහි ලහි යේ
මේ කවි ලියමි හිරු නැග එන හිමිදිරි යේ

වසවර්තියෙකු වුව ජනපති වෙනු පිණිස
ඡන්දය ඉල්ලනා විට බෝසත්ය යස
බෝසත් කෙනෙකු වුව ජනපති වූ විගස
වසවර්තියා වැඩි හොඳ බව නැත කුකුස

ඡන්දෙට කලින් මැති දුටු සඳ කුමක් වැනී
කලකින් නුදුටු හිත මිතුරෙක් දැක්ක වැනී
ඡන්දෙන් පසුව මැති දුටු සඳ කුමක් වැනී
අළුගෝසුවා රෑ මැද හමුවුනා වැනී

බලයට එන්න පෙර නිදහස භාෂණ යේ
පරමාදර්ශයයි මැතිඳුගෙ චින්තන යේ
තම පණ වුවද දෙන්නයි සැරසී සිටි යේ
අමතක වේ ද බලයට පත් වූ හැටි යේ

ෆොක්ස් ටෙලිවිෂනයට ගින්දර තැබේවි ද
වොෂින්ටන් පෝස්ට් කතුවර මැරේවි ද
අල්-කයිඩා ව ගැන ලිපියක් ලියන ලද
උප කතුවරුන් හෙට සිරගෙට වැටේවි ද

වදකාගාර ගන්තනමෝ බටලන්ද
වැලලු මිනී අබු-ග්‍රේ සූරියකන්ද
දැම්මත් බලය ගන්නට පෙර මහ සද්ද
කොමිසන් වාර්තාවට සීමා වෙද්ද

සේරු අටක් ඇට හැම ගෙට එවන්නට
නැති බැරි පිරිස ඇති හැකි අය කරන්නට
සමුර්දියක් ජන-සවියක් දෙවන්නට
දුන් සැම පොරොන්දුව අමතක වේද හෙට

බුෂ් ගේ ප්‍රජා අයිතිය හෙට නිමවේ ද
රට හැම තැනම පෑ තැටි ඉඳි කරවේ ද
චෞර රජා ලෙස හොඳ නම හිමිවේ ද
පෙන්ටගනයෙ ජොබ් එක මල්ලිට යා ද

විපක්‍ෂයේ ඉඳ සිල් අරගෙන වාගේ
රටේ ප්‍රශ්ණ විසදිය හැක කජු වාගේ
එරට මෙරට කොයි දේසෙත් එක වාගේ
බලමු හෙට කෙරුම් ජනපති ඔබමා ගේ

ජනවාරි 2009


එදාම මට ස්තුති කරලා සඟරා කතෘගෙන් ඊ-මේල් එකක් ආවා පෙබරවාරි මැගසින් එකට මගේ කවිය දානවා කියලා.

හැබැයි දවස් හතරකට පස්සේ මෙන්න තව ඊ-මේල් එකක් එනවා. එඩිටෝරියල් බෝඩ් එකෙන් අකමැති වෙලා මගේ කවි පන්තියේ අන්තිම කවියට ඉස්සෙල්ලා කවිය පල කරන්න.

මොනවද හිතෙන්නේ...?

වැඩේ කියන්නේ මගේ මතකය ටිකක් හොර නිසා, මං ආයෙත් ඒ වගේම තත්වයක් ඇතිකර ගත්තානේ පෙරේදා...!!!

නුඹ නාඩන් නුඹ නාඩන් - නුඹට ඕව හොඳ පාඩම්!

-කතන්දරකාරයා

ප/ලි
වෙන්ට කතන්දර සීයේ ලිස්ට් එක දැම්ම වුණාට, අදත් දාන්නේ ඒකෙන් පිට කතන්දරයක්!

(image: http://www.facebook.com/indranama)

Tuesday 1 March 2011

කතන්දර බ්ලොග් එකේ මුල්වරට පෝස්ට් එකක් ගැලවෙයි!


කතන්දර බ්ලොග් එකේ මේවන විට පෝස්ට් තුන්සියතිස් ගානක් පල වී ඇත.

ඕනැම දෙයක් පළමු වරට වෙන්න නියමිත දිනයක් තියෙනවානේ.

අද මේ බ්ලොග් එකේ මුල්වරට පෝස්ට් එකක් ගැලවෙන දිනයයි.

මට බුද්ධිමය දේපල හිමිකමක් නැති දෙයක් සහිතව අද උදේ පෝස්ට් එකක් දැම්මේ -මට විවෘත ඉල්ලීමක් ලැබුණු නිසයි.

නමුත් මේ වන විට තත්වය වෙනස් වී ඇත. බුද්ධිමය අයිතිය ගැන නම් නොවේ, මගේ පෝස්ට් එකේ තිබුණු තහනම් වචනයක් නිසා ය.

පෝස්ට් එක ගැලවූයෙමි.

හේතුව සඳහා මා දමා ඇති කමෙන්ට් එක බලන්න

-කතන්දරකාරයා

ප/ලි
ඊයේ වෙන්ට කතන්දර 100 ලයිස්තුව දැම්මට මං හිතුව විදියටම ඒ කියපු 104+ වලින් පිට එකක් නේ මුලින්ම පල කරන්න වුනේ!