Friday 2 July 2010

සමරු පොතක මතකය ගැන ජොලි කතා


අද කතන්දර ගොඩකට මුල පුරන්න පුළුවන් කතන්දරයක් කියන්නයි යන්නේ. හැබැයි, මං මුල් හරිය කියන්නං, හැකි විදියට සම්මාදම ඕනෑ.

අපේ අම්මලා ගේ පාසල් කාලේ හරිම ජනප්‍රිය දෙයක් වෙලා තියෙනවා සමරු පොත්, එහෙමත් නැත්තං ඔටෝග්‍රාෆ් පොත්.

මේව ප්‍රමාණයෙන් පොඩි දිගටි හුරුබුහුටි හැඩයක් තියෙන, පාට පාට කොලයි ඝණකම් කවරයකුයි තියෙන සටහන් පොත් විශේෂයක්.

ඒ දවස්වල කොල්ලො කෙල්ලො මේවයෙ තමන්ගෙ යාළුවන්ට, ගුරුවරුන්ට කියල සමරු සටහන් ලියව ගත්ත.

දැන් නං මේව නෑ මගෙ හිතේ.

සමරු පොත් ගැන දන්නෙ නැති අය වුනත් මේ සින්දු අහල ඇතිනේ?

1. සිහිවටනය සේ කුමක් ලියන්නද ඔබේ සුවද රැඳි සමරු පොතේ.... [අබේවර්ධන බාලසූරිය]
2. [නුඹෙ සුවඳ පිරුණු].......මගෙ සමරු පොතේ රෝස පිටු පුරා .... [සනත් නන්දසිරි]

මාත් අටේ පන්තියෙ විතර ඉඳිද්දී ඔය ක්‍රේස් එක ආව අපේ ඉස්කෝලෙටත්. මං මුළින්ම කලේ පරණ ඇක්සයිස් පොත් පිටු එකතු කරල, කපල, බයින්ඩ් කරල පොතක් හදා ගත්තු එකයි. පස්සෙ නමේ පන්තියෙදි, කඩෙන් එකක් ගත්ත පාට, පාට පිටු තියෙන.

දැන් මේ පොත් දෙක බලන කොට සිත අතීතයට යනව. පරණ කතා මතක් වෙනව. මේවට සමරු පොත් කියන්නේ ඒකනේ.

ඔය පොඩි පන්තිවලදි අපි ඕවයෙ ලියන්නේ වෙන කොහේ හරි තිබුණු ඒවා. අළුතින් නිර්මාණ නෙමේ.

මෙන්න මගේ සමරු පොත් වල ලියල තියෙන සටහන් කිහිපයක්. මේ හැම එකක් පිටු පස්සෙම කතන්දරයක්, දෙකක් තියෙනව. ඒව පස්සෙ කියන්නං කෝ.

නුවර එලියෙ කානේෂන්
ගනේමුල්ලෙ ඉස්ටේෂන්
මගුල් ගෙදර ඩෙකරේෂන්
ඔයා හරිම ඉමිටේෂන්

බිව්වත් අයියෙ යම ලෝකේ ගිනිවතුර
බොන්නට එපා නැන්දම්මගෙ තේ වතුර

පැන යන විටදි කිරි බැබැලෙන හඳපානේ
ඉටිපන්දමයි පොල් කට්ටයි මා ගානේ

සුරතල් කරන්නට මුහුණට දෙතොල තබා
සුරතල් පුතෙක් වේවා ඔබෙ පලමු බබා

ඔන්න සමරුව දුන්න හින්දා
මෙන්න ආසිරි වදන ලිව්වා
නයන නන්දන රසික අදහස්
ඔබේ සිත තුල පහල වේවා!

මේ සමහර ඒවා අපේ අම්මලාගේ කාලේ ඉඳල පැවතගෙන එන කවි පද.

මේ වගේ සමරු පොත් දැකල තියෙනව නං, ඒ වගේ තියෙන කවි පද සහ ජොලි කෑලි දන්නවනං ලියල දාන්නකො, ප්ලීස්.

කතන්දරකාරයා

39 comments:

  1. හප්පා.. මගේ ලඟත් තිබුනා දෙකක්.. දැන් අහන්නෙපා ඒ මොකටද දෙකක් කියල. ගොඩක් වෙලාවට සින්දුත් ඕවයෙ ලියනව නේද?

    තාමත් තියනවා මයෙ හිතේ ඔය සෙල්ලම. 10,11 දි තමා සැරටම එන්නේ ඕක.

    ReplyDelete
  2. මං දැක්ක සමරු පොත් කීපයකම අයිතිකාරයා ලියපු කව්යක් මේක
    දියවැල් ගලා යන මෙන් මහ සයුර සොයා
    කාලය වෙන්ව යයි නැවතත් නොඑමි කියා
    ඔබ ගැන මිහිරි මතකය සිහි නැගෙන නියා
    සරසනු මැන මෙහි පිටක් වැකි රසට ලියා

    උපුටා ගැනීම අපේ අම්මගෙ ඔටෝග්‍රාප් එකෙන්
    පොත් කීපයකම කිව්වේ මගේ හා අපේ නංගිගේ ඔටෝ වලත් තියනවා

    ReplyDelete
  3. මෙහෙමත් ලියනවා මතකයි...

    සමරු සමරු සමරු කියා
    පොතක් ගෙනත් දුන්න ඔයා
    මොනව ලියන්නද මන්දා

    ReplyDelete
  4. ඔටෝ තාම සම්පූර්ණයෙන් වඳවී ගොස් නැත......9,10,11 තම්යි හොඳටම අමාරු කාලේ....මා ලඟ නම් කවාදවත් එකක් තිබිලා නෑ......අනුන්ගෙ ඒවාට නම් කෙලවලා තියෙනවා...හුඟක් උන් ඕවයෙ ලියගන්නෙ කෙල්ලොන්ට කියලානෙ....අපිට පෙන්නන්වා විතරයි...හැබැයි අහුවුනුදාට හිඟ ඒවා ඔක්කොට හරියන්න ලියලා දනවා......:)

    ReplyDelete
  5. ඩිගිරි ඩිගාරේ දාගෙන පොල්කටු මාලේ
    මොකක්ද මේ පොතක් අරන් කරන විකාරේ

    කියල අන්තිම පිටුවේ ලියල තිබ්බ....

    අනිත් කාරණේ තමයි සමරු පොතේ අන්තිම පිටුවට තමයි ඉල්ලුම වැඩි.....

    ReplyDelete
  6. හ්...කතන්දර කාරයා හිතන් ඉන්නේ අපි ලිදේ ඉන්න ගෙම්බෝ කියලද...ආ...???? :\ අපිත් දන්නවා සමරුපොත් ගැන... ;)
    (හික්ස්)
    සමරුපොත් වැඩේ ඉතිං පටන් ගන්නේ 11 වසරෙදි සහ 13දී...

    මදු සදෙන් තවත් සුපුන් සදක් උදාවේ
    අපි බදුමු ඕන කෙහෙල් මලක් උනාවේ
    අපි බැන්ද කියලා ලෝකේ උන් හිනාවේ
    ගොං වස්ස ඔයා අපේ කෙහෙල් වගාවේ
    =======================================
    පානුයි පරිප්පුයි මතු දින බුදු වේවා
    ගොවයි අලයි සැරියුත් මුගලන් වේවා
    තක්කාලි හොද්ද නේරංජනා ගග වේවා
    ඒ ගග ලගදී අපි දෙන්නා හමු වේවා..!!!

    ඔන්න මගේ 11 වසරේ ඔටෝ එකේ තිබ්බ පද දෙකක් ලිව්ව...

    තව හොද හොද ඒවා තියේ...
    ලියන්න ගියොත් මං චාවේ‍‍‍....

    ඔන්න ක.කා. ‍ගේ මේ සිහිවටන කතාවෙන් මට මගේ පරණ ඔටෝ සෙට් එක බලලා සොදුරු මතකයන් අළුත් කරගන්න ලැබුණා... බොහොමත්ම ස්තූතියි ක.කා.

    ReplyDelete
  7. මටත් තියෙනවා හරිම සුන්දර මතක සටහන් සමරු පොත් සම්භන්ධයෙන් . . . ඉස්සර ගෑණු ළමයි අපේ පස්සෙන් එනවා සමරු සටහනක් තියාගන්න . . . . හෙහ් හෙහ් . . . ! එහෙමත් එක්කෙනෙක්ට තමයි ඉතින් සමරු සටහනක් ලැබෙන්නෙ !

    ReplyDelete
  8. හපෝ ඔය සමරු සටහන් තමා , 8,9,10 කොල්ලෝ , කෙල්ලෝ අතර ප්‍රසිද්ධයි !!!

    ReplyDelete
  9. මාත් හුඟක් ආසාවෙන් බලන බ්ලොග් එකක් තමා මේක හුඟ කාලෙක ඉදන්.
    ඒත් මේ කලාවට ආවෙ ලඟදි.

    අපේ කාලෙත් ඔය අන්තිම පිටුවට තමා ඉල්ලුම
    පාඨක පිටුව කියලයි කියන්නෙ

    ලස්සන සමනලයෝ කොහෙන්ද ඔය පාට
    ඇයි බොල ගෝරිල්ලෝ තොට මොකටද ඒක....

    සඳ මිදුලට එනවා...
    ආවදෙන්කො බල්ලා ලෙහනවා

    ReplyDelete
  10. මෙන්න මේ දැන් මතක් වුණ පද දෙකක්!

    පාළු පැලේ.... අඳුර පිරේ.....
    මට හෝදගන්න වතුර නැතුව මාර ලෙඩේ..

    ReplyDelete
  11. සුරතල් කරන්නට මුහුණට දෙතොල තබා
    සුරතල් පුතෙක් වේවා ඔබෙ පලමු බබා

    ඔය කවිය මම 9 වසරේ ඉදීද්දී කෙල්ලෙක් මගේ සමරු පොතේ ලිවුවේ මෙහෙමයි ...

    සුරතල් කරන්නට මුහුණට දෙතොල තබා
    මී හරකකු වේවා ඔබේ පළමු පුතා

    ඒ වෙලාවේ කෙල්ලව මරන් කන්න හිතුනත් අද සමරු පොතෙන් මතක කවිය ඕක විතරයි

    ReplyDelete
  12. මෙන්න තවත් එකක්..

    වසත් කාලය මනරම්..
    ඔබ මවක් වෙනවා නම්...

    ReplyDelete
  13. මේ අපේ තාත්තගෙ පොතේ එයාගෙ යාලුවෙක් ලියපු එකක්
    සමරුව කියා පොතකුත් බදාගෙන
    යන එන අය ලවා පල්බොරු ලියාගෙන
    මටහරි දුකයි මෙය ගෙනයන ගුනේ ගැන
    අනේ ගුනේ යනු අංගොඩ සොයාගෙන

    ගුනේ කියන්නෙ අපෙ තාත්තා...
    අනේ ඉතින් මමත් ඕක ගොඩාක් සමරුවල ලියුව...
    hik hik

    ReplyDelete
  14. ඇයි මේව...

    "මතු උපදින සංසාරේ.. හමුවෙමු අපි අම්පාරේ..."

    "සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම්..
    කොට්ටෙ පුළුන් කන්නම්...
    කිසිදා ඔබේ අත නොලැබේ නම්..
    මෙට්ටෙ කොහුත් කන්නම්..."

    ReplyDelete
  15. thibba wage mathakai ohoma pothak matath..
    monawa liyala tthibbada kiyala dan nam mathaka naha..
    :(
    (unicode awulak nisa mese type karami)

    ReplyDelete
  16. පිපිණු අරලිය පොකුරු පවසයි සොඳුරු දිවියක නිසලතාවය
    ගලන දියඇලි ඔබට පවසයි නිසල දිවියක සොඳුරු භාවය
    (මේ පදය මතක නැතනේ)
    ගියත් වෙන්වී සදා නොමැකෙයි මගේ සිත තුල ඔබේ රාවය

    *****************************************

    1. සුරතල් කරන්නට මුහුණට දෙතොල තබා
    සුරතල් පුතෙක් වේවා ඔබෙ පලමු බබා

    2. සුරතල් කරන්නට මුහුණට දෙතොල තබා
    මී හරකකු වේවා ඔබේ පළමු පුතා

    ඒ යුග පහු වී අපේ යුගේ එද්දී,

    ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා
    මී හරකකු වේවා !!! ඔබේ පළමු පුතා


    Tarzan Tarzan on the air
    Tarzan lost his underwear
    Tarzan however don't care
    He knows Randi will bring another pair ( මේ අන්තිම දෙකම ලිව්වේ මගේ පුබුදු කියන යාළුවා තමයි)

    ReplyDelete
  17. මේක අපෙ අක්කගෙ සමරු පොතක තිබුනු එකක්.
    වංගු වංගු ගලන කොටයි ගඟක් ලස්සන
    සයිඩ් එකෙන් බලනකොටයි ඔයා ලස්සන..
    අපේ එවුන් ගාව තිබුනෙ සමරු පොත් වෙනුවට තිබුනේ ටීම් බුක් කියලා එකක්. නලු නිලියන්ගෙන් අහන ජාතියේ ප්‍රශ්න ටිකකට උත්තර ලියන්න. බොන්න කැමති බීම ? කෑම ? වගෙ ප්‍රශ්න ටිකකුයි මෙකේ ලියන්න බෑ බෑ වගෙ ඒවත් තිබුනා.

    ReplyDelete
  18. මගේ සමරු පොතේ තිබ්බ එක සටහනක් තමයි
    "පුන් කලස් මතුපිට පහන් දල්වනු විලස
    නොනිමි පහනක් වන්න සදහට
    අහිංසක හදකට . .. !
    මෙන්න මේක ගැන බ්ලොග් එක පටන් ගත්තු අවදියේ මාත් පෝස්ට් එකක් ලිව්වා . . ..

    http://dukaa.blogspot.com/2009/06/blog-post_28.html

    ReplyDelete
  19. "ගංගා දෙකක් එක්වු තැන දෙමෝදර
    අපි දෙන්නා එක්වු තැන සහෝදර "

    @හසිත
    ඔය පානුයි පරිප්පුයි කවිය වෙන මූලාශ්‍රයකින් ආපු එකක්. ඒකෙ අන්තිම පද දෙක වෙනස්.

    ReplyDelete
  20. මගේ යාළුවෙක් ගේ අයියා කෙනෙක් ඒ යාළුවා ගෙදර ගෙනිච්ච ඔටෝ එකක ලියලා තිබුනා

    "අනුන්ගේ ඔටෝ අපට මොටෝ"

    කියලා

    ReplyDelete
  21. සමරු පොත් අපි ස්කෝල් යද්දිත් තිබ්බා... මගේ එකකුත් තිබ්බ ගෙදර දැන් තියෙද දන්නෙ නැහ. ඒක ලියල තිබ්බෙ දෙන්නෙක් විතරයි. එක්කෙනෙක් ඉතින් මම ලියපු දිනිති කතාවෙ දිනිති....


    නියම ආරම්බයක් සමරු පොත් කතා වලට

    ReplyDelete
  22. හී හී.. මගෙ ගාවත් දෙකක්ම තිබුනා.. තාමත් ගෙදර ඇති මගෙහිතේ (අපේ නංගි උස්සලා නැත්තං)..

    1. කිරි ටොප්.. පැණි ටොප්.. මේ පොත හරි ටොප්..
    2. ඔටෝ මොටෝ බං.. මොටෝ එකක් ගං.. ඒකෙ නැගල බං.. බෙල්ල කඩා ගං..

    පලි: දැනට මතක ඔච්චරයි. තව ප්‍රසිද්ධියේ දාන්න බැරි ඒවත් තියෙනවා..
    පපලි: අපේ අක්ක ගාව තිබුනා පොතක් ඔය සමරුපොත්වල ලියන ඒවා එකතුකරලා.. මමත් ඕකෙං බලාගෙන තමා ඒ දවස්වල ලියන්නෙ..

    ReplyDelete
  23. අපේ කාලේ වෙද්දී trend එක වුණේ Teen Book එකක් හදාගෙන කැමති සතා, නිළිය, කෑම, බීම වගේ ප්‍රශ්න වලට උත්තර දෙන වැඩක්.....

    කෙල්ලො වගේම කොල්ලොත් Teen Books හදාගෙන හිටියා. කෙල්ලෙක්ගෙන් විස්තර ගන්න මේ Teen book එක මාර සප් එකක් දුන්නේ..... :)

    ReplyDelete
  24. මේක තිබුනෙ යාලුවෙක් ගෙ ඔටෝ එකේ අන්තිම පිටුවෙ

    සීනි වලට කූඹි වහල මාරියෝ මාරියෝ...
    සමරු පොතේ පිටු ඉවරයි චෙරියෝ ------(මෙතන අයිතිකාරයගෙ නම )

    තව මෙහෙම එකකුත් ලියල තිබුන...

    කොන්ඩය ගොතා ගෙන පාසල් ආවාට...
    සයිඩ් එකෙන් පොඩි බැල්මක් දැම්මාට...
    හැම තිස්සෙම හිනාවෙවී හිටියාට...
    ----- කැමති වෙද තණ කන හරකෙකුට...(ට්‍රයි කරන කෙල්ලගෙ නම මුලට )

    සිත ඔබ පාමුල රඳවා... මම උඩ බැලුවා...

    බුදු අම්මෝ...

    කියලත් එකක් තිබුන...
    තව මතක් උනොත් දාන්නම්...

    ReplyDelete
  25. සහෝ,
    එක සිංදුවක් අමතක කරල
    "මාගෙ සැමරුම් පොතේ රෝස පිටුවක් පුරා" [ප්‍රියා සූරියසේන]

    තාම ඔටෝ එක ලංකාවෙ ඉස්කෝල වලින් සමුඅරන් නෑ. ඉස්සරහ නොලිව්වත් පස්සෙ පිටුනම් පිරී ඉතිරී යනව.

    මාත් බ්ලොගින් පටන්ගත්ත දවස්වලම ඔටෝ පෝස්ට් එකක් කරා
    http://athulanthaya.blogspot.com/2010/04/blog-post.html

    ReplyDelete
  26. අයර්ලන්තයේ හිටියත්හැමදාම...
    වයර්ලස් එකෙන් ගෙනයමු මිතුරු දම...

    පේරාදෙණියේ මල් ඉත්තක් කඩාගෙන..
    දුන්හිද ඇල්ලෙ දිය පොදකින් දොවාගෙන..
    දළඳා සමිඳු වෙත ගෙන ගොස් පුදාගෙන..
    එන්නම් මිතුර ඔබහට සෙත් පතාගෙන..

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. අපිට සමරු පොත් පිස්සුව හැදුනෙ O/L ඉවර වෙන කාලෙ. ඒ කාලෙ හොස්ටල් එකේ හිටපු හැමෝගෙම සමරු පොත් වල අන්තිම පිටුව වෙන් කරලා තිබ්බෙ මට. වෙන මොකටවත් නෙවෙයි හොඳවයින් අමතක නොවෙන මඩක් ගස්සවා ගන්න මට කියලා.

    අනිත් අයට කියලා මමත් මඩ ගස්සවා ගත්තා. මගේ සමරු පොත ගෙදර තියෙන්නෙ. ආපහු ගෙදර ගියාම කියවලා බලන්න ඕනෙ. සමහර විට බ්ලොග් එකේ ලියන්න රස කතන්දර ටිකකුත් මතක් කර ගන්න පුළුවන් වෙයි.

    O/L කාලෙන් පස්සෙනම් හම්බවුනේ සමරු පොත් 2යි තුනයි. අන්තිමට සමරු පොතක් හම්බ වුනේ 2007 දි.

    විශ්වවිද්‍යාලයෙදි පොඩි හේතුවක් හින්දා මගෙත් එක්ක තරහ වෙච්ච කෙනෙක් අවුරුදු 4ක් විතරම මගෙත් එක්ක කතා කළේවත් නෑ. විශ්ව විද්‍යාල ශිෂ්‍ය ජීවිතේ අන්තිම දවස් වල එයා මට පොතක් සමරු පොතක් දීල කිවුවා මාව මතක් වෙන්න මොනව හරි ලියල දෙන්න කියල. ඒක තමයි විශ්ව විද්‍යාල ජීවිතේදි මට හම්බ වෙච්ච එකම සමරු පොත.මම ඒකෙ කවි දෙකක් ලියල දුන්නා.

    නොදැනුනි සිවු වසක් ගතවී ගිය අයුරු
    කාලය ඉතිරි නැත කරනට තව ඇසුරු
    සමුගමි මෙලෙස තබමින් සටහන් සමරු
    පතනෙමි ඔබට සියළුම සැප යස ඉසුරු

    රහසක් කියමි මිතුරියෙ මෙය නොවෙයි බොරු
    ඉපදුණු කෙනා ජීවත් වෙයි මැරෙන තුරු
    නැගෙතත් බටහිරින් උදයට නැගෙන හිරු
    දිවි ඇති තෙක්ම අපි හැම වෙමු හිත මිතුරු

    ReplyDelete
  29. මා ල දිවයිනේ
    සි හිලැල් පවනේ
    හි මිදිරි උදයේ
    වේ යෝ දෙන්නෙක්
    වා ද කරනවා....

    ReplyDelete
  30. වංගු වංගු ගලන කොටයි ගගක් ලස්සන...
    සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන......

    ReplyDelete
  31. @ All

    මේක තමයි දැන් මගේ සමරු පොත.

    බලන්න එක දවසට කී දෙනෙක් සමරු සටහන් ලියලාද?

    ස්තුතියි සැමට.

    කාසි බෝ වේවා
    ඔබට ජයවේවා
    දිවි ගෙවන අතරේ
    මාව සිහි වේවා!

    ReplyDelete
  32. කොතරම් යාලුවො හිටියත් ඉහල පෙලේ
    xxxxxxx නේද අන්තිම පිටුව ඉවර කලේ

    ReplyDelete
  33. අපේ අක්කගෙ සමරු පොතකත් තිබුණා කවියක්.. යාළුවෙක්ට පොත පාස් කරද්දි කොල්ලෙක් ලියපු එකක්..

    සමරුව කියා පොත් කබලක් තියාගෙන
    කොල්ලන් අල්ලන්න හැදුවොත් බලාගෙන

    ReplyDelete
  34. අයිස් කූර සැමදාටම රජවේවා!.
    නයිස් තැනක මගෙ මරණය සිදුවේවා!.

    Ranga Jayasinghe.

    ReplyDelete
  35. පෙම් ගී ගයයි බකමූණයි - උගෙ නෝනයි
    සමරු පොතේ පිටු මෙතනින් අවසානයි.

    ReplyDelete
  36. පෙම් ගී ගයයි බකමූණයි - උගෙ නෝනයි
    සමරු පොතේ පිටු මෙතනින් අවසානයි

    ReplyDelete
  37. ඔය දෙන්නා පැන යන දාට හද පානේ..
    ඉටි පන්දමයි පොල් කටුවයි මම ගානේ..

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.