Wednesday 30 June 2010

තට්ටය ගැන සත්‍යය - The truth about my bold head

Enjoy this.


Sorry guys, the UCSC online Unicode converter is not available. Sorry about the poor quality of the image.

Normal operations will hopefully resume soon.

Tuesday 29 June 2010

යුධ බිමේ අත්දැකීම් - විමල් ගේ සුරතින් ලියවෙයි!



මං හොඳින් අඳුණන පොරක් ඉන්නව මෑන් ටිකක් එක විදියක එකෙක්. (සමහර විට පොරක් නොවෙන්නත් පුළුවන්. මොකද පොර කියන එක සාපේක්‍ෂ වර්ගීකරණයක්නේ).

කොහොම වුනත් මිනිහගෙ ඊ-මේල් අත්සනේ තියෙනව මෙන්න මෙහෙම.

"මා යුද්ධයට කැමති එය හොලිවුඩ් හි සාදන ලද්දේ නම් පමණි."
I only like war if it is made in Hollywood.

පොරට එහෙම වුනාට මට නං හැබැයි හොලිවුඩ් වෙන්නම ඕනැ නෑ, බොලිවුඩ් වුනත්, කොලිවුඩ් වුනත් ප්‍රශ්ණයක් නෑ.

හාන්සි පුටුවෙ ඉඳන් යුද්ධ කරනව වගේම ජොලි වැඩක් තමයි හාන්සි පුටුවෙ ඉඳන් යුද්දෙ ගැන කතන්දර බැලීම.

මං පුංචි කාලෙ ආච්චිලගෙ ගෙදර නිවාඩු කාලෙට ගියාම ආච්චියි, සීයයි පෙට්ටගමක එකතු කරල තිබුණු පරණ රසවාහිනී කියන සඟරාවේ පිටපත් බලන එකමයි වැඩේ කියල කිව්වනේ දවස් කීපෙකට කලින් දාපු කතන්දරේ.

ඒ සමහර රසවාහිනී සඟරා මං උපදින්නත් කලින් (බුදු අම්මෝ ඒ කියන්නේ සෑහෙන්න පරණයි!) මුද්‍රණය කරපු ඒවා.

රසවාහිනී සඟරාවල නොයෙකුත් ආකාරයේ ලිපි තිබුණා. ඒ අතරින් මං කැමතිම ලිපි මාලාවක් තමයි යුධ බිමේ අත්දැකීම්.

යුධ බිමේ අත්දැකීම් ලියල තිබුනෙ, විමල් කියල ලේඛකයෙක්.

ඒක ආරූඪ කරගත්තු නමක් ද, හරි නමේ මුල් කොටසද දන්නෙ නෑ. විස්තර හොයල බලන්න ඕනැ. ආරූඪ කරගන්ත නම් ඔයිට වඩා ටිකක් හොඳ නමක් දාගන්න එපායැ නේද? කොහොම වුනත් මේ කියන විමල් තමන්ගෙ අත්දැකීම් ලබල තිබුනෙ දෙවන ලෝක යුද්දෙ කාලෙ ඊජිප්තුව, ඉතාලිය වගෙ රටවල් කිහිපයකයි.

මේ ලිපි පෙලට දීල තිබුණු නම කොහොම වුනත් ඒකෙ වැඩියෙන්ම තිබුණෙ යුද්ධ, සටන් සහ මිනීමැරීම් ගැන නම් නෙමේ, ගමන් විස්තර, කාපු බීපු හැටි ආදී අත්දැකීම් ගැනයි. අද කාලෙ නං මේ ලිපි එකතු කරල පොතක් ගහනව ෂුවර් එකටම.

යුධ බිමේ අත්දැකීම් අතර තිබුණු කතන්දර කීපයක් මට තාමත් යාන්තමට වගේ මතකයි.

ඔන්න එක ඉතාලියානු කෙල්ලෙක් විමල් ට කියනව කල්ලන්ව විස්වාස කරන්න බෑ කියල. පොර මේ කෙල්ලව බඳින්න ඇහැව්වද මන්ද? එතකොට විමල් කියන්නෙ හැබැයි දුඹුරු පොරවල් එහෙම නෑ කියලයි.

තවත් කතාවක තියෙනව ඊජිප්තුවෙදි විමල් දැක්කලු ගෑනියෙකුයි බූරුවෙකුයි අතර ලයිව් ෂෝ එකක් තියෙනව කූඩාරමක් ඇතුලෙ සල්ලි අයකරල පෙන්නන. ඒක විස්තර කරල තිබුණෙ නෑ. පොර ගියේ නැහැල්ලු ෂෝ එක බලන්න. ටිකට් මාර ගණං හින්දද, අප්පිරියා හිතුන හින්දද මන්දා?

විමල් ගෙ තීරු ලිපි පෙල කෙසේ වෙතත්, දෙවෙනි ලෝක යුද්දෙ ගැන තියෙන පොත් බොහොමයකම යුද්දෙකදි වෙන ජීවිත හානිය ගැන ලොමු දැහැගැන්වෙන ආකාරයේ විස්තර තියෙනව.

අපේ රටෙත් මෑත ඉතිහාසයේ යුද්ධ, යුද්ධ කොච්චර තිබුනද? ඔය යුද්ධවලට සමාන්දරව කොච්චර අහිංසකයෝ මළා ද? මං ලියපු "පොලිසියට බයේ දිව්ව කොල්ලා කතන්දරේ" මතකනේ?

ඒ මරණ ගැන අපිට ටික ටික අමතක වෙලා යනවා. අනූ ගනංවල මැද හරියේ නං හරි හරියට මිනී වළවල් හෑරුවා. ඒත් වෙච්ච මගුලක් නෑ. එහෙන් මෙහෙන් මිසක් සැබෑ සත්‍යය නම් නිරාවරණය වුනේ නෑ.

තව කොච්චර ඒ ආකාරයේ මිනී වළවල් ඇද්ද අර ඊරියගොල්ල ගේ සින්දුවේ කියවෙන "ඒ පැත්තේ, මේ පැත්තේ, අර පැත්තේ, අපේ පැත්තේ, තොපේ පැත්තේ, එක කොඩියේ දෙරණේ"?

අද කාලෙ හැටියට ලංකාවේ ජුරිස්ඩික්ෂන් එක ඉන්දීය සාගරේ හතර පැත්තටත් හැතැප්ම ගානක් විහිදිලා යන බවත් අමතක කරන්න බෑ, නේද?

දකුණු අප්‍රිකාවෙ වගේ තැන්වල, චිලියේ හෙම, දැම්ම ටෲත් කොමිසන් කියල ඒවා.

අපිටත් කොමිසන් නම් දාන්න තිබුණා අර බෙරේ පලුව හරිගස්ස ගත්තනං!

හැබැයි ඉතිං මුලින්ම බැකෝ යන්ත්‍ර ටිකක් ගෙනත් පොළොව ඇද තැන් ඇද හරින්න ඕනැ!!

ඒ මොනව වුනත්, කවද හරි දවසක ඒ සොහොන් බිම්වල නටපු විමල් ලා ටම තමයි ඔය සත්‍යයත් ලියන්න පුළුවන්.

මරණ මංචකවලදිවත්, කීප දෙනෙකුටවත්, ඇත්ත කියන්න හිතුනොත්?

-කතන්දරකාරයා

Monday 28 June 2010

යෝවද තම්පව රෝමනු ජේසූ - චූටි ටිචර් ලියයි


කතන්දරකාරයාට කතන්දර ලියා එවන චූටි ටිචර් පුදුමාකාර ටීචර් කෙනෙක්.

දැත්තටම කියනවා නං එයා දැන් ආදරය, විවාහය නිසා ගුරු සේවයෙන් සමු අරගෙනන දුරු රට ඉන්නා කෙනෙක්.

ඒකේ නං පුදුමයක් නෑ. මෙන්න මේකයි පුදුමය.

මේ ටිචර් බ්ලොග් එකක් ලියනවා. ඒක මොකක්ද කියලා කියන්න එපාලු. හැබැයි, මටත් කතන්දර ලියා එවනවා.

මේ ටීචර් ගාව පුදුමාකාර කතන්දර ගොඩක් නේ තියෙන්නේ!!!

මං ඊයේ එකක් දැම්මානේ. මෙන්න අද තව එකක්. මේක ලියා එව්වේ ටික දිනකට කලින්.

යෝවද තම්පව රෝමනු ජේසූ
====================

ක.සු. අන්තිමට කියපු හාමුදුරුවො ගැන කතාව ඇහුවම සාම්පූර් වලට කිට්ටු ඉස්කෝලෙ ගුරු මණ්ඩලයෙ හිටපු හාමුදුරුවො මතක් උනා මට.

ඒ උන්නන්සෙත් අපි වගේම විද්යා පීඨයකින් පිටවෙලා (අපිට කලින්) මුල් පත්වීම අරන් ආපු හාමුදුරු නමක්. වැඩි වයසක් නෑ මගෙ හිතේ. ටිකක් විතර විනෝදෙට බරයි.

ඒ දවස් වල අපිට ප්‍රින්සිපල් මැඩම් විශේෂ වරප්‍රසාදයක් දීලා තිබුනා. ඒ තමයි සිකුරාදට උදේ 10 වෙනකොට ගෙදර එන්න. මෙහෙම කලේ ඉස්කෝලෙ අපේ ගෙවල් වලට හුගාක් දුර නිසා. ඉතින් සිකුරාදට අපි ඉස්කෝලෙ එන්නෙ ලොකූ මල්ලක් අරන්. ගුරුමණ්ඩලේ සමහර අය මේකට සුනාමි බෑග් එක කියලයි කීවෙ.

දවසක් පුරුදු විදිහට ගෙදර යන සිහියෙන් උදේම 11 ළමයින්ගෙ ගණිත පාඩම ඉවර කරපු ගමන් උදිතාටත් අඩගහගෙන දුවගෙන ගුරුකාමරේ ට ඇවිත්, ආපු ගමන් මල්ලත් අරන් විදුහල්පතිනිය ලගට ගියා.

හැබැයි බෑග් එක ගෙනාවට වැඩිය බරයි. මැඩම් මොකද්ද ඇහුවත් පොඩ්ඩක් බැලුවම කවුරු හරි මගේ බෑග් එකට ලොකු පාර්සලයක් දාලා කියල මගේ අතට අහු උනා. මැඩම්ටත් හිනා. පාර්සලේ අතට ගත්තු මම ආපහු ගුරු කාමරේ ට දිව්වා.

සුසන්ත අයියා හිනාවෙවී මගබලාගෙන ඉන්නවා.

"අද බෑ, පස්සෙ දවසක දෙන්න!" මම එහෙම කියලා පාර්සලේ එයා අතට දීල ආපහු අවා.

සති අන්තෙන් පස්සෙ ඉස්කෝලෙ ගියා පුරුදු විදිහට. අපේ ස්කූල් බස් එකේමයි හාමුදුරුවො ගමන් කලෙත්.

මම සුබ උදෑසනක් හාමුදුරුවනේ කිවාම, හාමුදුරුවො දඩස් ගාල අනිත් පැත්ත හැරුනා.

මේ මොකද උනේ කියලවත් අහන්න බැරි තරම්, පුපුරනවා, සද්ද නැතුව ඉන්න එක තම්යි හොදම, මට හිතුනා.

සුසන්ත අයියලා හැමදාමත් එන්නෙ ළමයි පන්සිල් අරන් ඉවර වෙනකොට.

"කෝ නංගී හාමුදුරුවො වැඩියෙ නැද්ද?"

"...අම්මෝ..." මම විස්තරේ කිව්වා.

සුසන්ත අයියා බඩ අල්ලගෙන හිනාවෙනවා.

බලනකොට මම ආපහු ගිහින් තියලා ආපු පාර්සලේ හාමුදුරුවන්ගෙ බෑග් එකට වැඩලා. සිද්ධියෙ හැටියට හාමුදුරුවන්ගෙ පන්සලටත් ගොහින්. වැඩේ කරලා තියෙන්නෙ සුසන්ත අයියා.

"මම හොදට සිවුරක ඔතලා යටට ම දැම්මා නංගී!" සුසන්ත අයියා කිවා.

මෙහෙම කරන්න හේතුවක් තිබිලා තියෙනවා. මුලින් ඒක මගේ බෑග් එකෙ දාන්න අදහස ඇවිත් තියෙන්නෙ උන්නාන්සෙගෙන් කියලයි මට කිව්වෙ.

අන්තිමට මගේ පිටින් යේ. හාමුදුරුවො මා එක්ක කතා නොකරන බව දැන ගත්තු ප්‍රින්සිපල් මැඩම් ඇත්ත කියලා උන්නාන්සෙගෙ තරහ නැතිකරලා තිබුනා.

හොදම දේ මෙන්න මේකයි!

ඒ පාර්සලේ ඇතුලෙ තිබිලා තියෙන්නෙ හිස නැති ජේසු ප්‍රතිමාවක්...!!!

මගේ බෑග් එකෙ දාන්න පිඹුරු පත් හැදුවට උන්නාන්සෙ දැනං ඉදලා නෑ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා....

=============================

අපූරු චුටි ටීචර් විසින් ලියා එවන ලද මේ කතන්දරය ප්‍රසිද්ධ කලේ...

කතන්දරකාරයා වන මම් වම්හ.

Sunday 27 June 2010

ගුරු සේවයේ තවත් රස කතන්දර - චූටි ටීචර් ලියයි


අර අපි දන්නා චූටි ටීචර් ලියපු සාම්පුර්වලට බෝම්බ ගහපු කතන්දරේ, කිචි-කිලිය ගැන කතන්දරේ හෙම මතකයි නේද?

මෙන්න දැන් ටික දවසකට ඉස්සර චූටි ටීචර් ලියල එවපු තවත් ගුරු සේවයේ රස කතාවක්.

අපි නොදන්න ඉංගිරිසි!
================
මාත් එක්ක දුක සැප බෙදා ගත්තෙ උදිතා. එයා ගෙ විෂයය ජ්‍යාන්තර භාෂාව. අපි හිටියෙ එකම බෝඩිමේ.

ඒ ගෙදර හිටියෙ වයසක යුවලක් විතරයි.

මතකනේ අපේ පාසල තිබුනේ ආරක්‍ෂක කලාපයක් ඇතුලෙයි. සාම්පූර් වලට බෝම්බ ගහන සද්දේ ඇහෙන දුරින්.

දවසක් ඉස්කොලෙ ඇරිලා එනකොට අපිට පිටවෙන්න තියෙන ප්‍රධාන මුරපොලේ හිටිය සෙබලාගෙ තුවක්කුව ඔහු අතින් ඉබේ පත්තු උනා. කියනකොටත් ඇග හිරි වැටෙනවා. මොකක්දෝ පිනකට එතනින් අපි දෙන්නා වෙනදා යන වෙලාවට නැතුව එදා මිනිත්තු දෙකක් විතර පරක්කු උනා.

මේක අපිට ලොකු අත්දැකීමක්, පාසල් ප්‍රවාහන සේවෙ කරපු අන්කල් එක්ක කීවෙත් එ ගැන. ගෙට අතුල් වෙච්චි ගමන් බොඩිමෙ ඇන්ටි හොයගෙන ගිය උදිතා විස්තරෙ කියන්න පටන් ගත්තා. කීවෙ හොද සිංහලෙන්. මොකද ඇන්ටිට තේරෙන්න ඕනා නිසා.

"...... ඒ තුවක්කුව ඉබේ පත්තු උනා...." කීවා විතරයි ඇන්ටි කියපි"

"මිස් ෆයර් එකක් වෙන්නැති දුවේ!" කියල!

මට නම් හිනාව නවත්ත ගන්න බැරි උනා. උදිතා පස්සෙ කීවා මීට පස්සෙ ඇන්ටිට කියන්නෙම ඉංග්‍රිසියෙන් කියලා.

========================================

චූටි ටීචර් ලියා එවූ "අපි නොදන්න ඉංගිරිසි" කතන්දරේ ප්‍රසිද්ධ කලේ...

කතන්දරකාරයා වන මම් වම්හ.

Saturday 26 June 2010

අත්තනගල්ලේ කතාව ගැන පොඩි වර්ඩ් එකක්...!!!


මං ඊයේ දාපු අත්තනගල්ලේ ටුවරිස්ට් ගයිඩ් කතන්දරේ හිටිය සීය - බෝතලේ ගමේ නම හැදුනේ බෝ-පැලේ ගල් තලාව උඩ පැලවීම නිසා කියල අහල තිබුනට, වයස හින්ද ද, නොදන්න කම හින්ද ද මන්ද එයා ඒක කියන්නේ බෝතලේක තිබුණු බෝපැලයක් නිසා ඒ නම ආව කියලයි.

සීයට වැරදුනා කියමුකෝ.

ඔය කතාව ගැන අහන අපි ගොඩ දෙනෙක් වරද්ද ගන්නේ ඔයිට වඩා දරුණු විදියට.

සමහරු මුලින්ම අහනවා - අනුරාධපුරේ ඉඳල බත් එකක් බැඳගෙන දවසකින් අත්තනගල්ලට එන්න පුළුවන්ද කියල.

ඒ නිසා ඔය කියන අත්තනගල්ල වැරදියි ලු. හත්තිකුට්ටි විහාරෙලු හරි තැන. මොකද එතනට වරුවෙන් යන්න පුලුවනි නේ!

මෙතනදි අපි වරද්ද ගන්න දේ තමයි, හත්තිකුට්ටි විහාරෙ නම් හරි තැන, ඔච්චර ලඟ තැනක ඉන්න සඟබෝ ව අල්ලගන්න ගෝඨ ඇයි මහා මෑන් හන්ට් එකක් කරන්නේ කියන එක.

අනික, සංඝබෝධි වුනත් මොලේ තියෙන පොරක් නං කරන්නේ පුළුවන් තරම් දුර තැනකට යනවනේ ඒ ගෝටයිම්බරයගෙන් බේරිලා.

වඩා ලොජිකල් එක්ස්පලනේෂන් එක මේකයි.

ඒ දුගියගෙ ලන්ච් පැකට් එක වේයන්ගොඩ හරියෙ රෙස්ට් හවුස් එකකින් ගත්තු එකක් වෙන්න පුළුවන්නේ. මෑන්ස් ආවේ අනුරාධපුරේ ඉඳල වුනාට, ඒ එදාම උදේ කියල කොහෙවත් කියල නෑනේ.

මිනිහ ඊට කලින් දවසේ නතර වුනු තැනදී හදාගත්තු බත් එකක් වෙන්න ඇති. අදත් මඩකලපුවේ ඉඳලා කැලේ පාරෙන් කතරගම එන අය, අතරමගදී නතරවෙලා බත් උයන්නේ. දකුනේ වන්දනා නඩත් අතර මගදී බත් උයනවා නේද? නැත්තං කඩෙන් ගන්නවා.

අනිත් ජොලි වැඩේ තමයි මේක.

ඔය කතාවේ තියෙන සුළු දෙයක් වෙන ඔය රයිස් ඇන්ඩ් කරි පැකට් එකේ අල ගිය තැන්, මුල ගිය තැන් හොයන අපි, ඒ හිතෙන්ම අමතක කරල දානව කතන්දරේ තියෙන අමූලික බොරු දේවල්.

මෙන්න ලිස්ට් එක.

1. දිය පෙරන රෙද්නේ බෙල්ල කපා ගැනීම
2. අනුරාධපුරේදී බෙල්ල අහස උඩට විසි කළ විට උඩ නතර වී කතා කිරීම
3. බත් ඇට පැලවීම

ඒ සේරටමත් වැඩිය අපේ සිරි සඟබෝ ලොක්ක වයිෆ්ව අනුරාධපුරේ දාල නේද ඔය පැනල ඇවිල්ලා තියෙන්නේ.

ඒව ගැන නෝ කතා.

බත්මුලක් මතක් කලොත් වෙන ඕනැම දෙයක් අමතකයි.

අපිත් හරි බත් ගොට්ටෝ නේද?

කතන්දරකාරයා

Friday 25 June 2010

අත්තනගල්ලේ ටුවරිස්ට් ගයිඩ්


සිංහලෙන් ඉංගිරිසියටත්, ඉංගිරිසියෙන් සිංහලටත් හුවමාරු වුණු වචන ගැන කතා කරන වෙලාවේ මතක්වුනු අත්තනගල්ලේ ටුවරිස්ට් ගයිඩ් ගේ කතන්දරේ ලියන්න ඊයේ ගත්තට අනං මනං අතුරු කතන්දර වලට පැටළුනු නිසා, ඒක අද වෙනකං කල් දාන්න වුනා.

අද කෙලින්ම කතන්දරේ ට බහින්නං.

මීට අවුරුදු කීපයකට කලින් අපි ගියා නිට්ටඹුව හරියෙ තියෙන ඓතිහාසික අත්තනගල්ල රජමහා විහාරය බලන්න. මෙතනදි තමයි අර රාජ සඟබෝ හිස දී දුගියාටා කියන සින්දුවේ කියවෙන හිස්ටෝරිකල් සීන් එක වුනාය කියල කියන්නේ.

ඔතන බුදු ගෙයි ගාව හිටියා වයසක සීය කෙනෙක්. මිනිහා වොලන්ටියර් ටුවර් ගයිඩ් කෙනෙක් විදියටයි කටයුතු කරන්නේ. පලාතේ, පන්සලේ ඉතිහාසය හෙම අතැඹුලක් සේ දන්නවා!

කීයක් හරි දුන්නොත් පරණ සිද්ධි විස්තර කරන්නං කියලා කිව්ව නිසා ඔන්න මං සල්ලි කොලයක් දුන්නා පොරට. පොර දෙන්න තියා ගත්තා නේද ඉතිහාසේ නිකං අපේ මැරෝ ල, සූරියප්පෙරුමාල් ල, ජැකෝනිස් ඇන්ටෝනියෝ ල පරද්දන සයිස් එකෙන්.

ඔය සිරිසඟබෝ කතන්දරේ මුල හරිය අපි කවුරුත් දන්නවානේ. ඇයි අර භාතිය සංතූෂ්ලත් කියන්නේ. සිරිසඟබෝධි රජවෙලා ඉන්න කාලේ පොරව අල්ල බන්ද කුන්ද දාල, ප්‍රාණ හානි වෙන්න බැට දීල, ඒ ධර්මෙ සීලෙ රක්නා රාජගෙ පණ නසා දාල රජකමට කට්ට ගහන්න ප්ලෑන් කරපු ගෝඨාභයට බයේ රජා පැනල ගිහින් වනන්තරේ තපස් දම් රකින්න පටන් ගත්ත.

බුදු අම්මෝ ගෝඨ ට බය නැත්තෙ කවුද, නේද?

රාජසඟබෝ ඔය ගියාට රජ කමට හිත කොනකින් වත් ආශාවක් තිබිල ආපහු ඇවිත් තමන්ට බැෂ්ටිය දෙයි කියල හිතල ගෝඨා අණබෙර ගැහැව්ව සඟබෝ හිස ගෙනත් දුන්නොත් මිලියන් දහයක් දෙනව කියල.

සිරිසඟබෝ දිය පෙරන රෙද්දෙන් වොලන්ටරලි බෙල්ල කපාගෙන දුගියට දුන්නු හැටි දන්නවනේ. ඉතිං, ඒ හිස් ගෙඩිය දැකපු සිරිසඟබෝ ගේ බිසව, දුගිය ගෙන් පාර අහගෙන ආවලු සිරිසඟබෝ ගෙ කලේබරය දැක ගන්න අත්තනගල්ලට.

අර අත්තනගල්ලේ පන්සලේ ගයිඩ් සීය කියන විදියට එයා ඇවිත් තියෙන්නේ බෝතලේක පැල කරපු බෝ පැලයක් අරගෙනයි. අනුරාධපුරේ ඉඳල එන ගමනෙදි රෑ නතරවෙලා තියෙන්නේ මීරිගම පැත්තෙ ගල්තලාවක.

පුදුමෙ කියන්නෙ බිසව උදේ නැගිටලා බලන කොට අර බෝතලේ පැල කරල තිබුණු බෝ පැලය ඒ ගල උඩම මුල් ඇදල ලු. නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් කේස් නේ. පැලේ තියල බිසව මාරු වුණා ලු.

බෝතලේක ගෙනා බෝ ගහ හින්ද ඒ ගල්තලාව තිබුණු ගමට නම වැටුනලු බෝතලේ කියල. මේ කියන්නේ අර නිදහස් ලංකාවේ මුල්ම අගමැති වෙලා තමන්ගෙන් පස්සෙ පුතණ්ඩියට රජකම දෙන්න සෙට් කරපු ඩී.ඇස්. ගොයියලගෙ ගම් පලාත.

ඉතිං ඔය බෝතලේ කතාව අහගෙන ඉඳල මං ගයිඩ් සීය ගෙන් ඇහැව්ව මෙන්න මෙහෙම.

"ඉතිං සීයෙ, ඊට අවුරුදු සිය ගානකට පස්සෙ රොබට් නොක්ස් වගේ කෙනෙක් ඔය ලංකාවෙ තිබුණයි කියන ජාතියෙ බෝතලයක් දැකල, එංගන්තෙට ගිහින් ඒ වචනෙ ඉංගිරිසියට හරෝල බොට්ල් කියල හදාගත්ත නේද?"

අනේ ඒ සීයට මගෙ විහිලුව තේරුණේ නෑ. පව්!

ඒ කතන්දරේ එච්චරයි.

මෙන්න බෝනස් කතන්දර බාගෙ.

මං සීයට සල්ලි දෙනව දැකපු පන්සලේ තිබුණු කෝවිලේ කපුව මට ඇවිත් කියනව, එන්න මහත්තය, මේ දේවාලෙට ඇවිත් අහවල් දෙයියංගෙ ආශිර්වාදය ලබාගන්න කියල.

මං ඒ උන්නැහෙට කිව්වෙ මෙච්චරයි.

"අනේ, අපි බුද්ධාගමේ!"

පොරට නං මගේ උපහාසය තේරුණා.

කතන්දරකාරයා තමයි දවසකටවත් මිනිහා නේද? (ඕක මට දෙතුන් පාරක්ම ආපු කමෙන්ට් එකක්!)

-කතන්දරකාරයා

ප/ලි:
මේ ඉතිහාස කතා කියන කොට මට තාත්තව මතක් වෙලා දුකක් හිතට ආවා. තාත්ත විද්‍යෝදයේ ශ්‍රාස්ත්‍රවේදී උපාධියට ඉතිහාසය ඉගෙන ගත්තු පොරක්. අපි පොඩි කාලෙ ඉබි පැටවුන්ගේ කතා විතරක් නෙමේ පරණ ඉතිහාස කතාත් කියල දුන්න.

මං සිරිසඟබෝ කතාව කියපු හැටි තාත්ත දැක්කොත් මොනව නොකියයිද?

මං ඉතිං නොට්ටිගෙ පුතෙක් නිසා, ඉතිහාස දෙපාර්තමේන්තුව පැත්ත පලාතෙ ගියේ නෑ.


ප/ප/ලි:
මේ කතාවේ දෙවන කොටස මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com.au/2010/06/blog-post_26.html

Thursday 24 June 2010

සිංහලෙන් ඉංගිරිසියට


ගිලිහෙන මතකය අතරින් අවුරුදු කීපයක් පරණ සිද්ධියක් මතක් වුනා අද උදේ. ඒ රසවතිය බ්ලොග් එක ලියන හෂිත ළමය බූන්දි ලයිව් එකේ දාපු ප්‍රශ්ණයක් නිසයි.

හෂිත අහපු ප්‍රශ්ණය මෙන්න මේ වගේ එකක්.

"වතුර කියන්නේ වෝටර් කියන ඉංගිරිසි වචනයේ වාත්තු කිරීමක් ද? නැත්තං වතුර කියන වචනය ඉංගිරිසියට පෙරලිලා වෝටර් කියන වචනය හැදුනද?"

අමුතුවෙන් කියන්න ඕනැ නෑනේ මේක නං හරිම උභතෝකෝටිකයක්.

අපි දන්න හුඟක් වචන තියෙනව ඒවා ඉංගිරිසි භාෂාවෙන් අපේ රටට ඇවිල්ල ඊට පස්සෙ සිංහලීකරණය වුනු ඒව. නිතර පාවිච්චි වෙන පෑන, පැන්සල, කෝප්පය, ජොග්ගුව ඒ වගේ වචනයි.

ඒ එක්කම, කෙලින්ම තේරෙන්නේ නැතිවුනත් රිද්මය කියන වචනයත් ඉංගිරිසි "රිදම්" එකෙන් ආපු එකක් මං හිතන්නේ.

සිංහලෙන් ඉංගිරිසියට ගිය වචන නැත්තෙමත් නෑ.

මං දන්න පලමුවෙනි උදාහරණය තමයි, අස්වැද්දුමයිස්. සිංහලෙන් අස්වද්දනවා කියන සම්පූර්ණ තේරුම තියෙන තනි ඉංගිරිසි වචනයක් නැති නිසා ඔය වචනේ හැදුණයි කියලයි අපේ තාත්ත මං පොඩි කාලෙ මට කියල දුන්නේ.

තේරුම මොකක් වුනත් ඇනකොණ්ඩා කියන වචනයත් සිංහලෙන් තමයි ඉංගිරිසියට ගිහින් තියෙන්නේ. සිංහලෙන් පිඹුරෙකුට "හෙණ කඳයා" කියනව අහං හිටපු සුද්දෙක් දකුණු අමෙරිකාව පැත්තේ ජලාශ්‍රිතව ඉන්න තඩි සර්පයෝ වර්ගයකට ඒ නම දාල. හෙණ කඳයා කියන එක සුද්දගෙ කණ අස්සෙන් ගිහින් කටින් මතුවෙලා වෙනිං කං වලට වැදිලා පැතිරෙන කොට තමයි හෙණ කඳයා, ඇනකඩයා, ඇනකොණ්ඩා වෙලා තියෙන්නේ.

ඉංගිරිසියට ගිය සංස්කෘත භාෂාවේ වචන නං සෑහෙන ගානක් තියෙනව. හොඳම උදාහරණ තමයි, අවතාර්, කර්ම, නිර්වාණ, ගුරු, පන්ඩිට් වගේ ඒවා.

ඒ වචන සිංහල භාෂාවෙත් තියෙන නිසා, සිංහලෙන් ඉංගිරිසියට ගිහිල්ල කියල හිතෙන්නත් ඉඩ තියෙනව, හරියට අර සුනිල් ආරියරත්න ලියපු දොළ ළඟ ගුරුපාර දිගේ සින්දුව වගේ.

මේ එක නිසා මං අද දාන්න හිටපු අත්තනගල්ලේ කතන්දරේ ටයිප් කරගන්න වෙලාව නැතුව ගියා. හෙට බලමු.

කතන්දරකාරයා

ප/ලි:
බුන්දි ලයිව් එකේ හෂිත ගේ ප්‍රශ්ණයට ආපු එක පිලිතුරක තිබුණු කතාවක් මේ.

අපි දන්නා පරිදි, කොකිස් කියන වචනේ සිංහල ට ඇවිත් තියෙන්නේ ලන්දේසි කුකීස් කියන වචනයෙන්.

කව්දෝ පණ්ඩිතයෙක් කිව්වලු, කොකිස් කියන නම ඇවිත් තියෙන්නේ කොකිස් හදන්නේ කොක්කකින් අල්ලලා උස්සලා හින්ද කියලා.

මේ කතාව අහපු එතුමා ගේ ශිෂ්‍යයෙක් ඇහැව්වලු, "එතකොට සෑර් පකිස් කියන වචනේ හැදිල තියෙන්නේ කොහොමද?" කියලා!

Wednesday 23 June 2010

මෙන්න අදහන්න වටින වයිෆර් ලා!


මේ කතන්දරේ බැලුවට පස්සේ අපේ කාන්තා පක්‍ෂයේ උදවිය මට ඒ ගොල්ලන් ගේ හැඳිමිටවල් වලින් පහර දෙන්න ඒවිද මන්දා?

ඒත් බය වෙන්න දෙයක් නෑ. මගේ කතන්දර හාමිනේ මාව බේර ගනීවි නොවැ.

කතන්දරේ නං ඈත ඉස්සර අහපු එකක්. මං හිතන්නේ මුවන් පැලැස්සේ වෙද මාමා වගේ පොරක් කිව්වේ, එක දාස් නමසිය බර ගනං වල රේඩියෝ එකේ.

හැබැයි අද මේක මගේ සිහියට ආවේ ප්‍රියන්ත සගයා ගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැකලායි.

ඔන්න අතීත කාලෙක, මොකද දැන් කාලෙ නං මේ වගේ දේවල් වෙයි කියල හිතන්න අමාරුයි, එක මිනිහෙක් ගෑනිව කසාද බැඳල ගෙදරට එක්කං ආපු මුල් දවසෙම කිව්වලු මෙන්න මෙහෙම.

"හැමදාම මට බත් කන්න දෙන කොට, අමතර වතුර වීදුරුවකුයි, නූලක් අමුණපු ඉඳිකට්ටකුයි මේසෙ උඩින් තියන්න හොඳේ."

ඉතිං ඒ සුවච කීකරු බිරිඳත් ඒ වැඩේ, ඒ විදියටම කළා.

අන්තිමේදි දෙන්නම වයසට ගිහින් දැං ඔන්න මිනිහ මරණ මංචකයේ ඉන්නවා. ගෑනි ඇඳ ලඟ.

ගෑනි අහනවලු මිනිහගෙන් මෙන්න මෙහෙම.

"අපි දෙන්න බැඳල දැන් අවුරුදු පනහකටත් වඩා කල් ගතවුනා. අපි බැන්ද දවසෙම ඔයා මට කිව්ව කෑම මේසෙන් අමතර වතුර වීදුරුවකුයි, නූලක් අමුණපු ඉඳිකට්ටකුයි තියන්න කියල. මං හැමදාම ඒක කළා. ඇත්තටම ඇයි එහෙම මට කිව්වෙ. දැන් අපේ යුග දිවිය ඉවර වෙන්න යන වෙලේවත් මට කියන්න ඒව ඔයා ට ඕනැ වුනේ ඇයි කියල ඔයා කැමති නං."

මනුස්සය කිව්වලු මෙහෙම.

"මං කන වෙලාවට බත් ඇටයක් හෙම බිම වැටුනොත්, ඒක ඉඳිකට්ටට අමුණල අරගෙන වතුර වීදුරුව ඇතුලට දාල හෝදල ආපහු පිඟානට දාගෙන කන්නයි මං ඒ අමතර වතුර වීදුරුවකුයි, නූලක් අමුණපු ඉඳිකට්ටකුයි ඉල්ලුවේ."

"ඒත් මං දැක්කෙ නෑ ඔයා කවදාකවත් ඒ අමතර වතුර වීදුරුවකුයි, නූලක් අමුණපු ඉඳිකට්ටයි පාවිච්චි කරනව."

"ඔව් ඇත්ත, මා අතින් කවදාකවත් බත් ඇටයක්වත් බිම නොවැටුනු නිසා මට ඒව කවදාකවත් ඕනැ වුනේ නෑ!"

මේ කතන්දරෙන් ගැහැණු අයට ගන්න තියෙන හොඳම ආදර්ශ කීපයක් තියෙනව නේද?

ගැහැණු, පිරිමි හැමෝටමත් ගන්න පුළුවන් හොඳ ආදර්ශ තියෙනව, නේද මෙයාලා?

-කතන්දරකාරයා

Tuesday 22 June 2010

කතන්දර දෙකහමාරේ කතන්දරේට ඌණ පූර්ණයක්


මං අද උදේ පෝස්ට් කරපු කතන්දර දෙකහමාරේ කතන්දරේ සමහර කෂ්ටියට තේරිලා ම නෑ. ඒකෙ මුල කතන්දර දෙක කෙසේ වෙතත් අන්තිමට තිබුණු කතන්දර බාගෙ තමයි ඔය අවුලට මුල.

මං හින්දම හොඳයි! වෙන කෙනෙකුට හෙම කිව්වනං "අනේ ඔයා කියපු කතාව මට තේරුනේ නෑ" කියල අහගන්න තිබුණා "තේරෙන්න නං තේ කන්න ඕනැ නේ හලෝ!" වගේ අප්‍රභංස කතාවක්.

රසවතිය ලියන හෂිතකාරයට නං ඔය අන්තිම කතා බාගෙ තේරිලා වගේ පොරගේ කමෙන්ට් එකෙන් පෙනුණ.

හොඳයි දැං ඉතා කෙටියෙන් විස්තර කරන්නං කෝ මගේ කතන්දර දෙකහමාරේ කතන්දරේ. ඒක කියවපු නැති අය ඉන්නව නං ඉස්සෙල්ල ගිහිං කියවල එනව හොඳා!

කතන්දරයක් ගත්තහම ඕකෙ නමත් කතාවෙම කොටසක්. කතන්දරේ බ්ලොග් එකේ දානකොට මං දාන පින්තූරෙත් අනිවාර්යයෙන්ම කතන්දරේට සම්බන්ධයි.

කතන්දර දෙකහමාරේ කතන්දරේ උඩින්ම දාල තියෙන පින්තූරේ ඉන්නේ පූසෙක් ඒ කියන්නේ කැට්. ඌ ෆොටෝ කොපි මැෂිමක් උඩින් වාඩි වෙලා (ඇත්තටම කියනව නං මේක A4 ප්‍රමාණයේ 3-in-1 ස්කෑන්, කොපි, ප්‍රින්ට් ජාතියේ ප්‍රින්ටරයක්) උගේ ම කොපියක් ගන්නවා. මේ පින්තූරෙන් මං අදහස් කලේ කොපි-කැට් (copy cat) කියන තේරුම දෙන්නයි. පූසා කොපි කරන්නේ උගේ පස්ස පැත්ත වීම බෝනස් එකක්. දැං මේකා කොපි කැට් ආස් කෙනෙක්.

දැන් කතන්දර දෙකහමාරේ කතන්දරේ දෙවෙනි කතාවේ තිබුණ විදියට, දාස් ගනං සල්ලි අරං ප්‍රියා සූරියසේන ගේ සින්දු විවෘත වේදිකාවල කියන "ගැටව් තරු" කරන්නේ කොපිකැට් වැඩක්. ඒ මදිවාට ඒක සින්දුවේ සෑබෑ ගායකයා වන ප්‍රියා සූරියසේනගේ, පද රචකයාගේ සහ සංගීත රචකයාගේ කොපි රයිට්ස් උල්ලංඝණය කිරීමක් ද වෙනවා.

ටැබූ සර් කියනවා මේ එක ප්‍රොඩක්ට් එක නෙමේලු, පැකේජිං වෙනස් නිසා වෙනම ප්‍රොඩක්ට් දෙකක් ලු. ඒ තර්කයේ තියෙන දෝෂයත් ඒකමයි, ඒ කියන්නේ පැකේජිං වෙනස් වුනාට කිසි ලෙසකින් මේක වෙන ප්‍රොඩක්ට් එකක් නොවීමයි.

ගැටව් තරු සර්විස් කරන්නේ වෙන මාකට් සෙග්මන්ට් එකක් බව නං පැහැදිලියි.

ඔන්න දැං ඔතෙන්ට එනවා කතන්දර දෙකහමාරේ කතන්දරේ පලමුවෙනි කතාව, අර නැපෝලියන් බොනපාට් ගැන තියෙන. එතන පොඩි කොල්ලගේ හිත ගිය යුධ වීරයා වුනේ නැපෝලියන් බොනපාට් නෙමේ, බොනපාට්කාරයා නැගල හිටිය අස්සයායි. තාත්තලා හිටිනෙ නැත්තං හරි වැරැද්ද කියල දෙන්න මේ පොඩි උං ලොකු වෙනකොට උන් ඇත්තටම බොනපාට් කියල අඳුනගන්නේ බොනපාට් ගේ අස්සයාවනේ නේද? එතකොට උන්නෙ ළමයි?

කතන්දර දෙකහමාරේ කතන්දරේ අන්තිම කතන්දර බාගෙන් කියවුනු විදියට, මන්දා නාලනී කලේ ග්‍රැමෆෝන් යුගයේ දී සරත් විමලවීර පද රචනය කරලා වසන්තා සඳනායක ගායනා කරපු "දොළ ළඟ ගුරු පාර දිගේ ඒවි" කියන සින්දුව තමන්ගේ ග්‍රැමෆෝන් ගී සී.ඩී. එකට ආපහු රීකන්ඩිෂන් කරලා ගායනා කරපු එකයි. නන්දා නැන්දා ගේ මේ සී.ඩී. එකේ මේ වගේ සින්දු දාසයක් තියෙනවා.

නන්දා කරල තියෙන්නේ අමු අමුවේ කොපි කිරීමක් නං නෙමේ. එයා මුල් ගීත වල ගායක ගායිකාවන් ගෙන්, අයිතිකාරයින් ගෙන් අවසර අරගෙනයි මේ සී.ඩී. එක කරල තියෙන්නේ. ඒ අයගේ විස්තරත් සී.ඩී. කේස් එකේ සඳහන් කරලා තියෙනවා.

එතන නෙමේ ප්‍රශ්ණය.

මගේ කතන්දර දෙකහමාරේ කතන්දරේ අන්තිම කතන්දර බාගේ තේරුනේ නැති කෂ්ටිය වගේ අපි අතර ඉන්න හුඟ දෙනෙක් ගාව ඔය සී.ඩී. එක නෑ. ප්‍රයිවේට් බස්වල යනකොට හරි රේඩියෝ එකෙන් හරි සින්දුව අහන කොට ඒවයෙ සුල-මුල දැනගන්න වෙන්නේ නෑනේ.

ඉතිං දොළ ළඟ ගුරුපාර සින්දුව නන්දා මාලනී ගේ ඔරිජිනල් එකක් කියල හිතෙන එක වලක්වන්න බෑ.

නන්ද ගෙ සින්දු සේරම වගේ ලියන්නේ සුනිල් ආරියරත්න නිසා දොළ ළඟ ගුරුපාරත් සුනිලුන්ටම සින්න වෙනවා සින්නක්කරේටම!

ඔන්න ඕකයි ළමයිනේ මගේ කතන්දර දෙකහමාරේ කතන්දරේ පිළිබඳ අටුවා ටීකාව.

මේ පොස්ට් එක ඔරිජිනල් එකට වගේ දෙගුණයකටත් වැඩි වුනා! හොඳයි නේද වැඩේ?

-කතන්දරකාරයා

ප/ලි
දැං කියන්න බලන්න ඔය උඩින් තියෙන පින්තූරෙයි මේ පොස්ට් එකෙයි තියෙන සම්බන්ධය, හපන්නු නං!

ප/ප/ලිඃ
ඔන්න මේ දැං දැක්ක වත් සහ ප්‍රියන්ත දෙන්නටත් වැඩේ තේරිලා කියල!

පොඩි කතන්දර දෙකහමාරක්


පොඩි කතන්දර දෙකහමාරක් මතක් වුනා. මේවයේ එකිනෙකට සම්බන්ධයක් තියෙනව තියෙනව වගේ.

මෙන්න මුල් කතාව. මේකෙ එක එක වර්ෂන් තියෙනව. මේකයි මං අහල තියෙන හොඳම එක.

ඔන්න තාත්ත කෙනෙකුයි, පුංචි පුතෙකුයි යනවලු පැරීසියේ ඇවිදගෙන. එක හන්දියක තියෙනවලු නැපෝලියන් බොනපාට් ගේ පිළිරුවක්. (දැං මගෙන් අහන්න එපා හරියටම කොහෙද ඕක තියෙන්නේ කියල හෙම).

බොනපාට්කාරය අස්සය පිට නැගල, ගාම්බීර විලාසෙන් යුද්දෙට යන්න සෙට්වෙලා ඉන්න ආකාරයේ පිළිමයක් මේක.
ඉතිං තාත්ත කියල දුන්නලු පුතාට කෙටියෙන් බොනපාට් ගැන කරුණු කාරණා හෙමත්.

ඒ සේරම අහගෙන ඉඳල කොල්ල අහනව ලු තාත්තගෙන් මෙන්න මෙහෙම.

"ඉතිං තාත්තෙ කවුද අර නැපෝලියන් බොනපාට් ගේ පිට උඩ නැගලා ඉන්න මිනිහා?".

දෙවෙනි කතාව මේකයි.

ඔය මෝඩයා ගේ පෙට්ටියේ තියෙනවනේ නොයෙකුත් ස්ටාර් තරඟ, අර ඇමරිකාවේ අයිඩොල් වැඩසටහනේ විදියට හදපු ඒවා.

ඔය එකකට ඉඳල නමක් හදා ගත්තු කොල්ලෙක්, මට නම නං හරියට මතක නෑ, ඒ මං ඔය රියලිටි ෂෝ බලන්නේ නැති හින්දා, කියමුකො, මලිත් පෙරේරා හරි ෂෙහාන් මදුරංග හරි කියල, සංගීත සංදර්ශනයක සින්දුවක් කියන්න රුපියල් විසිපන්දාහක් ගන්නවලු.

මේ කියන කොලු තරුව රුපියල් විසිපන්දාහක් අරගෙන කියන්නේ ප්‍රියා සූරියසේනගේ සින්දුවක්.

දුක කියන්නේ ඒ වේදිකාටම නගින ප්‍රියා සුරියසේන, ඒ සින්දුවම කියනවලු රුපියක් දෙදාස් පන්සීයට!

"දොල ළඟ ගුරු පාර දිගේ ඒවී" කියන නන්දා මාලනී ගේ සින්දුව අහල තියෙනවද? සුනිල් ආරියරත්නත් මාර සින්දු නේද ලියන්නේ?

-කතන්දරකාරයා

Sunday 20 June 2010

ආච්චී ගේ පෙට්ටගම


මේ කතාව මා එක්ක කිව්වේ මගේ ආච්චී.

ඔන්න එක පොලිස් කාරයෙක් රාජකාරි වැඩකට යනකොට පොඩි කොල්ලෙක් එනවලු ඉස්සරහට. කොල්ල අතේ පොඩි මල්ලක්. පොලිස් කාරයව දැක්ක ගමං කොල්ල දුවන්න වගේ සැරසුනාලු.

සැක හිතුන හින්න සැර කරල අල්ල ගෙන ඇහැව්වලු මොනවද ඔය මල්ලෙ කියල.

කොල්ල ගත් කටටම කිව්වලු "අම්මගෙ රෙද්ද" කියල.

පොලිස් කාරයට මල පැනල, කොල්ල ගෙ බෑග් එක පරීක්‍ෂා කරල බලල තියෙනව.

කොල්ල කියල තියෙන්නෙ බොරු නෙමේ. ඒකෙ තිබුනලු චීත්ත රෙද්දක්!

* * *

අම්මගෙ අම්ම තමයි ආච්චී. ඒත් "අම්මගෙ රෙද්ද" කිව්වට "ආච්චිගෙ රෙද්ද" කියල දෙයක් ජනවහරෙ නෑනෙ!

ඒ වෙනුවට තියෙන්නේ "ආච්චිට හාල් ගැරීම" තමයි.

සාමාන්‍යයෙන් ආච්චිල දෙන්නෙක් ඉන්නවනේ. අපි පොඩි කාලෙ හිටියෙ එක ආච්චි කෙනෙකෙුගෙ ගෙදර. අනිත් ආච්චිගෙ ගෙදර යනව නිවාඩුවට. ඒ යන ගමන නං කිසිම ජොලියක් නෑ. වමනේ යනවා, යනවාමයි. හැබැයි, ගිය වෙලේ ඉඳන් ආපහු එනකං එහේ ගත කරන කාලය නම් මාර ජොලි කාලයක් තමයි.

ඔය වගේ ගිය කාලෙ තමයි අර තාත්තා කෙනෙක් වෙන කතන්දරේට අදාල සිද්ධිය වුනෙත්.

අපේ සීය වගේම ආච්චිත් රජයේ ගුරු සේවයේ ඉඳල පැන්ෂන් ගත්තු කෙනෙක්. මට යාන්තමට වගේ මතකයි ආච්චි ඉස්කෝලේ වැඩ කරන කාලෙත්. ඒ කොහොම වුනත්, රැකියාව නිසා වුනත් නොවුනත් අපේ ආච්චි එක් රැස් කරල තිබුණ, පරණ සඟරා මහා ගොඩක්.

ආච්චිට හාල් ගැරීම වෙනුවට, ඒ සඟරා දාල තිබුණු පෙට්ටගමේ කිඳා බැසිම තමයි නිවාඩු කාලවල මගේ ප්‍රියතම විනෝදාංශය.

ඒ පෙට්ටගමේ තිබුණු පරණ සඟරා අතර ප්‍රධාන සඟරාව තමයි රසවාහිනී සඟරාව. ඒක ටයිම්ස්/ලංකාදීප කොම්පැනියෙන් ගහපු මාසික සඟරාවක්. දවස/සන් එකෙන් කරපු කාන්තාවන් සඳහා වූ ශ්‍රී සඟරාවත් තිබුණ වගෙයි මතකය.

මොන සඟරාව වුනත්, ඒ දවස්වල මං අතට අහුවුණු දෙයක් කියවල මිසක් අත හරින්නේ නෑ. අද මට මේ විදියට කතන්දර කියන්නත් සමහරවිට හැකිවෙලා තියෙන්නේ ඒ දවස්වල කියවපු කියවීම නිසා විය යුතුයි.

ඒකටත් එක්ක මගේ කොළු පැටිය. පොරට ඕනැ, ටෙලිවිෂන් එකේ කාර් රේස් බලන්නයි, ඉලෙක්ට්‍රොනික්ස් ගේම්ස් කරන්නයි විතරයි. කතන්දර පොත් අරහං.

එදා ආච්චිගෙ පෙට්ටගමේ තිබිල කියවපු දේවල් ගැනත් හොඳ කතන්දර දෙක තුනක් තියෙනව කියල දාන්න.

ඊට කලින් කියන්න ඕනැ නෙ, මුලින් කියපු කතාවෙ අම්මගෙ රෙද්ද බෑග් එකක දාන් හිටිය කොල්ල දිව්වෙ ඇයි කියල.

ඌව පොඩි කාලෙ ඉඳලම ගෙදරින් බය කරලයි තිබිල තියෙන්නෙ පොලිසිය ගැන කියල.

කොල්ල බත් කන්නෙ නැත්තං, "අන්න පුතේ පොලිසියෙන් එනව, ඊට කලින් බත් ටික කාපං".

කොල්ල දඟ වැඩක් කළොත්, "උඹව පොලිසියෙන් අල්ලං යයි, දඟ නොකර හිටපං".

ඉතිං ඇත්තටම පොලිස් කාරයෙක් දැක්ක ගමං කොල්ල දුවන්න ගත්තෙ ඒකයි!

මගෙ පොඩි එකාට පොත් කියවන්න කොහොම කියල පුරුදු කරවන්නද මන්ද. "පොලිසියෙන් එයි!" කියලවත් බය කරන්න ඕනැ.

නිදහස් ප්‍රේම කලාප වල ඉන්න කොල්ලො කෙල්ලො අල්ලන්න යන වෙලේ, පොඩි එකෙකුට කතන්දරයක් කියල දුන්න නං මොකද වෙන්නෙ නේද?

කතන්දරකාරයා

ප/ලි:
දැං ඉතිං ලියන්නං කො ඔය පෙට්ටගමේ පොත්වලට අදාල කතා පේලියක්.

Saturday 19 June 2010

හතර විලි ලැජ්ජාවයි!!!


එහෙම දෙයක් මට මුළු ජීවිතේටම වෙලා නෑ. ඇත්තටම පොලොව පලාගෙන යන්න හිතුණා.

කතන්දර කිය කිය කයිය ගහ ගහ පොර වගේ හිටියට මට එදා වුනේ ජෝන් මහත්තයටත් සයිස් දාපු අපේ සීය නැති වෙච්ච කෝට් එක හොයන්න ගිහින් අර විදුහල්පතිනිය ඉස්සරහ අසරණ වුණු එකටත් වැඩිය අන්ත වැඩක්.

මෙන්න මේකයි සිද්ධිය.

දැන් මාස කීපෙකට කලින් කොළඹ මැද හරියෙ එක්තරා ශාලාවක එක්තරා උස්සවයක් තිබුණ. එදා උදේ මං හිටියෙ මාතර අහ. ඒත් කොහොමින් කොහොමින් හරි ප්‍රමාදවෙලා වුනත් මාත් ආව උත්සවයට.

මගේ යාළුවෙකු ගේ අක්කයි, එයාගේ මහත්තයයිත් ඇවිත් හිටිය එතනට. මාස දෙක තුනකට පස්සෙයි එදා ඔය හම්බ වුනේ.

ඊට කලින් දවසෙ හම්බ වුනු වෙලේ මං එයාලට කියලයි තිබුණෙ මං කතන්දර කියල සිංහල බ්ලොග් එකක් ලියන බව.

මාව දැක්ක ගමන්ම අක්කණ්ඩි කියාපි මෙන්න මෙහෙම.

"අද කතන්දර මල්ලිත් මෙතනට එයි කියල හිතුන නිසා මං හොඳට හොයල බලල, අයියගෙනුත් අහල තමයි මේ බ්ලවුස් එක ඇඳන් ආවේ!"

මට එක පාරට මේ කතාව තේරුණේ නෑ. හරියට අර මං ඊයෙ දාපු කතන්දරේ පවුලයි රුවුලයි අතර සම්බන්ධය සමහරුන්ට නොතේරුණා වගේ.

මගේ මුහුණේ ප්‍රශ්ණාර්ථය අක්කට පේන්න ඇති.

"ඇයි මලේ මං බැළුවනේ ඔයාගේ අර කතන්දර බ්ලොග් එක. අර ඓශ්චර්යා රායි ගේ ෆොටෝ එක දාල තියෙන කතන්දරේ තමයි මං කැමතිම එක" අක්ක කියපි.

එතකොටයි මට වැඩේ මීටර් වුනේ. මේ කියන්නේ මං ලියපු "ලෝ කට් බ්ලවුස් - පෙන්නීම සහ හැංගීම" කියන කතන්දරේ ගැනයි!

එතන පොලොව හොඳ කොන්ක්‍රීට්. නැත්තං මං තුමා කෙලින්ම ඒක පලාගෙන යනවා, යනවාමයි.

මුලින්ම කිව්වා වගේ මගේ ජීවිතේටම එහෙම ලැජ්ජාවක් වෙලා නෑ.

කතන්දරකාරයා

Friday 18 June 2010

රැවුල් ගැන කතන්දර


ඉස්සර දේශපාලන පත්තරයක් තිබුණ "ඇත්ත" කියල. ඒක ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ නිල පුවත් පත.

අපි පොඩි කාලෙ මට මතකයි, ඕකෙ ගිය එක හෙඩ්ලයින් එකක්.

"ඊ.එල්. ගේ පවුල රැකේ!"

මේකෙ විස්තරේ කියවල බැලුවහම තමයි තේරුනේ, ඒ දවස්වල තිබුණු ආණ්ඩුවේ එක්තරා දේශපාලඥයෙක් තමන් ගේ පවුලේ අයට ලේකම් තනතුරු හෙම දීපු හැටි ගැනයි ඒ හෙඩිමෙන් විස්තර වුනේ කියල. අද කාලෙ හැටියට නං ඉතාමත් සුළු සිද්ධියක්.

කොහොම වුනත් ඔය කතාව මතක් කලේ ඥාති සංග්‍රහය ගැනවත්, පවුල් පන්සල් ගැනවත් කතාකරන්න නෙමේ. රැවුල් ගැන කතන්දරයක් කියන්නයි.

කොල්ලන්ට පොඩි කාලෙ ඉඳලම රැවුල ටික ටික වැවෙනවනේ. නමුත් දැලි රැවුල කියන්නේ නං ගැටවර කාලේ එන ලා කළු පාට රැවුලටයි.

දැං නං ඉස්කෝලෙ යන කොල්ලොත් රැවුල කපනවා. හැබැයි මං තුමා නං මුලින්ම රැවුල කැපුවේ ඉස්කෝලෙන් පැන්නුවටත් පස්සෙයි.

තවත් ටික කාලයක් යන කොට පුදුම ආසාවක් ඇතිවුනා රැවුල වවන්න. ඒ සමහර විට අපේ තාත්තා දවස ගානෙ රැවුල කපන හින්දද මන්ද? මං කොහෙමටත් නොට්ටිගෙ පුතෙක් නේ හැම අතින්ම.

මට ඕනැ වුනේ මූණ පුරාම වැවුණු හොඳම සරුසාර රැවුලක්. හැබැයි පොඩි ප්‍රශ්ණයක් තිබ්බා. ඒක තමයි රැවුලේ කොටස් වෙන වෙනම වැවුනට ඒවා එකි නෙකට හොඳ සාරෙට සම්බන්ධ නොවීම. (අපේ ග්‍රේ ළමය දාල තියෙන කොමෙන්ටුවේ කියනවා වගේ මේකට කියන්නේ coverage තියෙනව connectivity නෑ කියලා. තෑන්ක්ස් ග්‍රේ.)

කොහෙම හරි ඉතිං මාස ගානක් තිස්සේ නොකපා ඉඳලා ඔන්න යම් කිසි තත්වයකට නග්ගලා ගන්න පුළුවන් වුණා. එහෙන් මෙහෙන් පොඩි ට්‍රිම් පාරක් හෙම දාලා එක විදියකට හදලා ගත්තා.

පොඩි ආඩම්බරයකුත් හිතේ පුරෝගෙන ඔන්න මං දවසක් යනවා, ඔය කියන දවස්වල හිටපු මහනුවර තිප්පොලේ පාරක.

යාළුවෙක් හම්බ වුනා ඉස්සරහට. මූ මා දිහා බැළුවා පුදුමෙන් වගේ හරියට අමුතු සතෙක් දිහා වලනවා වගේ.

"මොකද මචං සයිඩ් බර්න්ස් වවන්න හිතුනේ?" මූ අහපි.

මදෑ කොලා, මාස ගණනක මගේ අප්‍රතිහත උත්සාහය ඌ අවතක්සේරු කළේ සිත් පිත් නැති මුරුග විදියටයි.

එදා ආපහු කාමරේට ගිය ගමන්ම කලේ මුළු රැවුලම කපල දාපු එකයි.

එදා ඉඳන් අදත් මගේ රැවුල් ස්ටයිල් එකට සයිඩ් බර්න්ස් නෑ!

-කතන්දරකාරයා

ප/ලි
මං මුලින්ම වගේ ජොබ් එකට ගිය තැන හිටියා සිස්ටම් ඇනලිස්ට් කෙනෙක් මාර සිරා රුවුලක් තියෙන. හොඳට යූරියා ගහල හැදුව වගේ මූණ පුරාම. හොඳ ප්‍රතාපවත් පෙනුමක්.

මෙන්න බොලේ අවුරුද්දක් විතර ඇතුලත මූ කැපුව රුවුල. එදා ඉඳල මිස්ට ක්ලීන් ෂේව්.

අහල බැලින්නං මේකයි වෙලා තියෙන්නෙ. එහෙන් මෙහෙන් ගහක් දෙකක් ඉදිල. වයිෆරේ අණ කරල සේරම කපල දාන්න කියල. පව්!

Thursday 17 June 2010

ගෙදර අවුලක් - මෙන්න ඇත්ත!


ඊයේ මං කියපු "ගෙදර පොඩි අවුලක්" කතන්දරේ ටිකක් අසම්පුර්ණයි.

මං ලියපු හරිය හරි. ඔන්න මං කලින් ගෙදර ආපු දවසේ හාමිනේ ගෙදරට ගොඩ වදින කොටම මං කිව්වා, "ඔයා එනකං මං හිටියේ තේ එකක් හදල බොන්න" කියලා.

"ඇයි අනේ මං නං ඔයා එන කොට තේ හදලා දෙනවානේ" කියලයි පිළිතුර ආවේ.

හාමිනේ දැනගෙන නොහිටි කාරණය තමයි මං ඒ වෙන කොට කේතලේ ප්ලග් කරලයි හිටියේ කියන එක. විනාඩි තුනකින් තේ එක හාමිනේට දීලා මූණ පුරෝලා උම්ම එකක් ගත්තා!

"මං තුමා" කුස්සියේ ඬැඩට එච්චර හපනෙක් නෙමේ. ඒත් අවස්ථාවක් ආවොත් අත අරින පුතයෙක් නෙමේ. මං උයන්න කැමතිම දේවල් තමයි, පරිප්සු සහ මස් මාංශ.

ගෙදරට කවුරු හරි පිරිසක් එන දවසට ඔය කියන දේවල් මගේ අතින් තමයි නිම වෙන්නේ. සලාද හදන එකත් මං කැමත්තෙන් කරන දෙයක්.

හැබැයි පුතෝ, වට්ටක්කා, බණ්ඩක්කා, බෝංචි වගේ අනං මනං වැඩ වලට නං මං ඇඟිල්ල ගහන්න යන්නේ නෑ. වරිගෙ නහ ගන්නෙ මක්කටැයි?

අපේ හාමිනේ හරිම එඩිතරයි. අර බෝල බෝල මැටි කේස් එකෙත් මුල් තැන අරං ඉන්නෙ එයා. මට තියෙන්නේ එතුමිය කියන කියන හැම දේටම "හා, ඩාලිං" කියන්න විතරයි.

අන්තිමට කියන්න ඕනැ, මං ඊයේ කතන්දරේ කොලේ වහලා ලිව්වෙ ඇයි කියලා.

මිනිස්සු කොච්චර හොඳ වුණත් නිවසේ ගෘහණියට ඇති වැඩ කොටස නං අඩු වෙන්නේ නෑ. සමහරුන්ට මගේ කතාවේ තිබුණු උත්ප්‍රාසය නොතේරුණා වගේ පෙනුනත්, මගේ අර්ධපූර්ණ කතන්දරේට උත්තර බැඳපු හැමෝම වගේ මට දීල තිබුණ උපදෙස් ඉතා හොඳයි.

ඇත්තම ඇත්ත කතන්දරයකින් ආයේ හමුවෙමු.

කතන්දරකාරයා

ප/ලි
මේ ඌණ පූර්ණය ලිවීම සඳහා අපේ ගෙදර කිසිවෙකුගෙන් මට කිසිදු බලපෑමක් නොවුණු බව මෙයින් සහතික කරමි.

සාස්තරේ - මේක අමූලික ඇත්ත කතන්දරයක්


තාත්ත ඉස්පිරිතාලෙට ඇතුලත් කල ආරංචිය අහල මං දමල ගහල ගමේ දුවල එන්න ගියා. සති දෙකක් නිවාඩු ඉල්ලලයි ගියේ.

ඔය කියන දවස්වල මං කොර කොර හිටපු විශ්ලේෂක තනතුරෙන් පොඩ්ඩක් නිවාඩු අරගෙන වෙනත් තනතුරක වැඩ බලමිනුයි හිටියෙ. වැඩ බලනකොට පඩිය 15%ක් විතර වැඩියි. මරු නේද?

ගමේ ඉඳල ආපහු ගෙදර එන්න ලැහැත්තිවෙන දවසෙ මට ආරංචි වුනා ඒ වැඩ බලපු තනතුර නැතිවුනාය කියල. ආපහු වැඩපොලට ගියාම පරණ ජොබ් එකටයි යන්න වෙන්නේ. පඩියත් අඩු වෙනවා!

ඔය ආරංචියත් අරගෙන ටවුමෙ මාකට් ගොඩනැගිල්ල අයිනෙං යන කොට දැක්ක එතන ඉන්නව සාත්තර කාරයෙක්. සාත්තරයක් අහන්න ගාන රුපියල් පණහයි.

ක්‍රම තුනක් තියෙනවලු. අත බලල, උපන් දිනය අනුව යනාදී වශයෙන්. ඉතිං මං දුන්න පොරට රුපියල් පණහක්.

පොර කියපි මැයි 2 දා ඉඳල හොඳ නෑ. හැබැයි මැයි 25 දා ට පස්සෙ තත්වය වෙනස් වෙනව කියල.

ඔන්න ඉතිං මැයි තුන් වෙනිද වැඩට ගියා. ආපහු පරණ ජොබ් එකටම යන්න වුණා. සියයට 15% එලවන්ස් එකටත් කෙලවුනා.

ඔය අතරේ මං දැක්ක මාරයා ගේ බ්ලොග් එකෙත් ඔය ග්‍රහ මාරු ගැන කියල තියෙනව. ඒක දැකල මට පොඩි ජොලියකුත් ගියා.

අහඹු සිදුවීමක් ද, ග්‍රහ මාරුවේ බලපෑමක් ද මන්ද, හරියටම 24 දා වෙනකොට අපලේ දුරුවෙලා ආපහු අර වැඩ බලන තනතුරටම, හැබැයි, ඊට වඩා හොඳ තත්වයක් ඇතුව එන්න කියල ආරාධනාව ආව.

මාරයි නේද?

ඉතිං මැයි 24 වෙනිද ඉඳල ආපහු ජීවිතේ ඉස්සර විඳියට කැරකෙනව. මං මේ බලන් ඉන්නෙ ජූනි 28 වෙනිද ඉඳල මොනව වෙයිද කියලයි.

විස්කි හිඳිල, මාරය මේ පැත්තෙ ආවොත් අහගන්න පුළුවන් වේවි.

කතන්දරකාරයා

Wednesday 16 June 2010

ගෙදර පොඩි අවුලක් - කාන්තා පක්‍ෂය මේක බලන්න එපා


අපේ ගෙදර වැඩ පිළිවෙල මෙන්න මෙහෙමයි.

ඔන්න මං උදේ හතට විතර දනිපනි ගාල අවදිවෙලා, බාත්රූම් එකේ සින්දු දෙකක් විතර කියල, ඇඳ පැලඳ ගෙන, කතන්දර හාමිනේ හදල දෙන තේකත් බීල කෑම එකත් අරගෙන වැඩට යනව.

හාමිනේත් ඉතිං ඇඳ පැළඳ ගෙන, පුතංඩියවත් ඉස්කෝලෙ දාල තමන්ගේ සේවා ස්ථානයට යනව.

මං තුමා ගෙදර එන්නේ රෑ බෝවෙලා. ඒ වෙන කොට කතන්දරහාමිනේ ගෙදර ඇවිත්. ආපු ගමං මං හාමිනේ දෙන තේක බීල පොඩ්ඩක් ඇඟපත හෝදගෙන, සින්දුවක් දෙකක් කියල, ජාලෙ පැත්තෙ සැරිසරනව රෑට කොටා බාන්න මොනව හරි සෙට් වෙන තුරු.

ඊයෙ, කවදාකවත් නැති විදියට කලින්ම ඔෆිස් එකෙන් පැනගන්න පුළුවන් වුනා.

මං ගෙදර එනකොට වෙනද වගේ කළුවර වැටිලත් නෑ. හාමිනේ ගෙදර ඇවිල්ලත් නෑ.

ඉතිං ඇඟ පත හෝදගෙන, ඔව්, ඔව්, සින්දුවක් දෙකක් කියල, පුටුවකට වෙලා පරණ පත්තරයක් බලන්න පටන් ගත්ත.

ඔන්න පැය තුන්කාලකට විතර පස්සෙ මෙන්න එනවා කතන්දරහාමිනේ පොඩි එකාත් එක්ක ගෙදර.

එයාව දැක්ක ගමන් මට හරි ජොලියක් ගියා.

"ඇති යාන්තං ඔයා ආවද? මං නං ඇවිල්ල දැං පැයක් විතර වුනා. මං මේ මග බලාගෙන උන්නේ ඔයා එනකං තේකක් බොන්න!"

ඇයි අනේ හාමිනේ ගේ කට ඇදවෙලා ගියේ? සාමාන්‍යයෙන් නං එයා තේ බොන්න කැමතියි. මට තේක හදල දුන්නු ගමංම එයත් එකක් හදාගෙන බොනවා.

අනේ මන්දා? තව සින්දුවක්වත් ලියන්න වෙයිද?

කතන්දරකාරයා

ප/ලි:
මේ දවස්වල ටිකක් බිසි. බෝල බෝල මැටි එක එක ගෙනෙනව.

Monday 14 June 2010

ගුරු සේවයේ කතන්දරයක් - පාඨශාලා පරීක්‍ෂක කිරි බීපු හැටි


කතන්දර බ්ලොග් එකේ ගුරුවරු ගැන කතන්දර කීපයක්ම ගියා. ඒ නපුරු ගුරුවරු ගැනයි වැඩියෙන්ම. ගුරුවරුන් ගේ පොයින්ට් ඔෆ් වීව් එකෙන් කියවෙන කතන්දර, එහෙම නැත්තං ගුරු සේවයේ රසකතා කියන්නේ වෙනම ම Genre එකක්.

මේ අංශයේ කතන්දර මට ලියලා එව්වා චූටි ටීචර් කෙනෙක්. මතකනේ සාම්පූර් වලට බෝම්බ දාපු කතන්දරේ හෙම?

ඔය අතරේ, තවත් කතන්දර සැපයූ සහෘදයෙක් වන ඉන්දික උපශාන්ත පටන් ගත්තු සැහැල්ලුව බ්ලොග් එකේ ලඟදි දාල තිබුණ ගුරු සේවයේ රස කතාවක්.

ඕකට කොමෙන්ට් කරන්න ගිහින් තමයි මං ඉස්සර අහල තියෙන මෙන්න මේ කතාව මතක් වුනේ.

පාඨශාලා පරීක්‍ෂක කියන්නේ රජයේ අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරක් මගෙ හිතේ. ඒ ගොල්ලන්ගෙ රාජකාරිය තමයි ඉස්කෝලවල් වලට ගිහින් අධ්‍යාපන මට්ටම හෙම හොයල බලන එක. ඉස්සර නං මං හිතන්නේ වර්ෂාවසාන විභාග කරල තියෙන්නෙත් ඒ ගොල්ලො. මතකනේ, මඩොල්දූව කතාව?

බොහොමයක් පාඨශාලා පරීක්‍ෂකල කලින් ගුරුවරු ලු. ඒ හින්දද කොහෙද රාජකාරි වැඩවලදි ගුරුවරුන් ට සයිස් දානව ලු. (මේ ලූ, ලූ කියන්නෙ මං මේව කියවල තියෙන කතාවල තිබුණු විස්තර නිසයි. මගේ තාත්තත් ගුරුවරයෙක් වුණාට මේ ගුරුසේවයේ කතා නං අපි එක්ක කියල නෑ).

ඉතිං, මේ සයිස් දැමිල්ල, ගම්බද ප්‍රදේශවල දි හරිම වැඩියිලු. ඒ විතරක් නෙමේ, පාඨශාලා පරීක්‍ෂක පොරවල් ගමේ ඉස්කෝල පරීක්‍ෂා කරන්න ගියාම, යන වාහනේට ගමේ එලවළු, පලතුරු, හාල් හෙමත් යහමින් පුරවන්න ඕනැලු තුටු පඬුරු විදියට.

සමහර මුල් ගුරුවරු එහෙම කරල තියෙනව. සමහර අය ඒ ලොකුකං වලට යටවෙලා නෑ. ඒ විශේෂයෙන්ම දේශපාලන දඬුවම් විදියට ගම්වල පාසල්වලට යවපු අය.

ඉතිං අන්න ඒ වගේ පාසලක මුල් ගුරුතුමා රාජකාරී වැඩකට ප්‍රාදේශීය අධ්‍යාපන කන්තෝරුවට ගිය වෙලේ පාඨශාලා පරීක්‍ෂක හමුවෙලා තියෙනව.

තමන් ලබන සුමානේ පාසල බලන්න එන බව කියන ගමං පාඨශාලා පරීක්‍ෂක පොරට කියල තියෙනව, හොඳවයින් අල බතල ටිකකුයි, කුරක්කං ටිකකුයි ලැහැත්ති කරල තියන්න, ඒ එක්කම උදේටයි, දවල්ටයි දෙකටම කිරි බොන්නත් ඕනැයි කියල.

දෙන්නං කො උඹට කියල හිත හිතයි මේ මුල්ගුරුවරයා ගමට ගිහින් තියෙන්නෙ එදා.

දන්නපු විදියටම පාඨශාලා පරීක්‍ෂක ආව. උදේට කෑව. කිරිත් බිව්ව. පරීක්‍ෂණ කටයුතු කළා. දවල්ටත් කෑව. කිරි එක බොන්න කලින් පොර කිරි වීදුරුවත් අතේ තියාගෙන මුල් ගුරුවරයට පොඩි කම්ප්ලේන්ට් එකක්.

"අයිසෙ, මේ කිරි හරිම වෙනස් නෙ අයිසෙ රහ! මං හිතුව මේ පලාතෙ හොඳ පරිසරේ හොඳ හින්ද, හොඳ කිරි ඇතිය කියල."

මුල් ගුරුවරයා කිව්වෙ මෙච්චරයි.

"අනේ සර්, මේ ගම් පලාත්වල කුරක්කං, මෙනේරි කන අම්මණ්ඩිලගෙ කිරිවල මොන රහ ගුණ ද සර්!"

වීදුරුවත් අත ඇරල දුවල ගිහින් වාහනේ ට නැග්ග පාඨශාලා පරීක්‍ෂකකාරයා, ආයෙ ඒ පැත්ත පලාතෙ පස් පෑගුවෙ නැති ලු!

-කතන්දරකාරයා
අඟහරුවාදා (15) ඇඩ් කරන වග නම්ඃ
මගේ සීයා ජෝන් මහත්තයාට පාඩමක් උගන්නපු හැටි කතාවත්, සීයා ගේ කෝට් එකේ කතාවත් ගුරු සේවයේ රසකතා තමයි.

Sunday 13 June 2010

කොට කලිසං ඇන්ද සකලබුජං - අද කෝ?


"සිව් සිත් කව්" කියන රසික සූරියආරච්චි ලියපු කවි එකතුව මං කැමතිම කවි පොතක්. ඒකෙ ගිය කවියක් දෙකක් මං කලිනුත් උපුටා දක්වලා තියෙනව.

ඊයෙ පොඩි පහේ පාටියකට (පොඩිත් නෑ බලාගෙන ගියාම) ගිහින් ඇවිත් නිදාගන්න කොට උදේ පාන්දර දෙකහාමාර වුනා. පාටියෙදි "භාග්‍යවන්තයෙක්" වුණු හින්දා දවසම වගේ නිදාගත්තා.

ඒ කම්මැලි කම හින්දාම මට හිතුනා මේ රසික ලියපු "සකලබුජං" කවිය උපුටලා දාන්න.

මේ මං කැමතිම කවියක්. මේ වගේ පෞද්ගලික අත්දැකීම් නැතිවුනත්, හොඳට හිතන වදින කවියක් බව නං කියන්න පුළුවන්.

කියවලා බලන්න කෝ!

====================================================
සකලබුජං

වයස හතෙ අටේ පටං
කොට කලිසම ඉනේ බැදං
අපේ ගෙදර බැල මෙහෙවර
කරපු කොලූ සකලබුජං

අම්මෙක් නැති සකලබුජං
අප්පෙක් නැති සකලබුජං
මං පාසැල් ගොස් එනතුරු
ගෙදර හිටිය සකලබුජං

අම්ම කියයි පොල් ගාපං
අක්ක කියයි අතු ගාපං
දිය ඇදපං දර පලපං
හැම දේටම සකලබුජං

නිදි මැරුවා සකලබුජං
ටොකු කෑවා සකලබුජං
ළමා දිවිය බැල මෙහෙයට
දිය කෙරුවා සකලබුජං

තිස් වසකට පෙර දිනයක
අපේ අතින් වුන වරදට
සකලබුජං
අනේ මචං
සමාවෙයං

රසික සූරියආරච්චි


====================================================

ඒ එක්කම මට මතක් වෙන්නේ ඉලංගරත්නගේ අඹ යහළුවෝ නවකතාවයි.

සකලබුජං ලා ගෙන් සමාව ඉල්ලා ඇති අයත් සිටීද?

-කතන්දරකාරයා

Saturday 12 June 2010

කතන්දරකාරයා ගේ බිත්තර තැම්බීම



ඊයෙ මං ලියපු ලොකු මාළු කෑල්ල බෙදාගත්තු කතන්දරේ ලියන වෙලේ මගෙ හිතට ආවෙ නිතරම අපේ ගෙදර හැමතිස්සෙම වාගේ සිද්දවෙන දෙයක්.

උදාහරණයක් හැටියට හදිස්සියේ දවසක ගෙදර බිත්තර තම්බනව කියල හිතන්නකෝ මස් මාංශ නැති වෙලාවක. ඕක නං ලේසි පාසු දෙයක් නෙමේ. මොකද, ෆ්‍රිජ් එකෙන් අරං වතුරෙ දාල තම්බන කොට සමහර බිත්තර බිඳෙනව. බිඳුණු බිත්තර වලට වතුර මිශ්‍රවෙන හින්ද බොහෝ වෙලාවට ඒවයේ මෙලෝ රහක් නැති වෙනවා.

සමහරු කියනව ඕකට විනාකිරි දාන්නලු, ලුනු ටිකක් දාන්නලු. එක එක විසඳුම් නං තියෙනව. කතන්දර හාමිනේ නං ඔය වැඩ වලට හරිම දස්සයි.

මගේ හොඳම යාළුවෙක් වෙන රත්නායකට වගේ සමහර වෙලාවට මටත් වෙනවා ඉඳල හිටල කුස්සිය පැත්තේ ඔය වගේ උයන පිහන වැඩ කරන්න.

මගේ අවාසනාව කියන්නේ මං බිත්තර තම්බන කොට නං එකක් බිඳෙනවා, බිඳෙනවාමයි!

ඒ මදිවට හරිම වැඩේ කියන්නෙ හැමදාම මං බිත්තර දෙකක් තම්බනකොට එකක් බිඳුනොත් හැමදාම බිඳෙන්නෙ අපේ කතන්දර හාමිනේ ගේ එකම නේ!

මගේ එක බිඳෙන්නේ හරිම කලාතුරකින්, ඒ කියන්නේ තම්බන බිත්තර දෙකම බිඳුණොතින් විතරයි.

ඔය එක උදාහරණයක් විතරයි. තවත් ඒවගේ උදාහරණ ඇති පදං තියෙනව.

ඇයි මේ ළඟදි දවසක පොඩි වෙඩින් කේක් පෙට්ටියක් හම්බ වෙච්ච වෙලේ ඒක කතන්දර හාමිනෙයි, මායි දෙන්න බෙදාගෙන කන්න හිතල මං දෙකට කපපු වෙලාවෙ, හාමිනේ ගෙ කෑල්ල පුංචියටනේ කැපුනෙ!

පව්, නේද? අනේ මන්දා මට නං හිතාගන්න බෑ, ඇයි හැමදාම කතන්දර හාමිනේටම එහෙම වෙන්නේ කියලා.

කතන්දරකාරයා

Friday 11 June 2010

ලොකු කෑල්ල


මේ කතන්දර බ්ලොග් එකේ වැඩි හරියක් තියෙන්නෙ මගේම කතන්දර. ඒ කියන්නේ, ලව් ලෙටර් ලියපු හැටි, චූ කළ හැටි, සුද්දෙකුට පාර කිව්ව හැටි, පන්ති නායකයා වුනු හැටි, පන්තියේ පලමුවෙනියා වුනු හැටි, නපුරු ගුරුවරුන්ගෙන් නිරපරාදේ ගුටිකාපු හැටි වගේ මෙකී නකී කතන්දර.

මගේ කතන්දරවලට පිලිතුරු විදියට ආපු ඉන්දික ගේ කතන්දරත්, චූටි ටීචර් ගේ කතන්දරත්, ටැබූගේ කතන්දරත් මං වෙනම දාල තියෙනව.

ඔය අස්සෙ මං එක එක කාලවලදි, එක එක තැන්වලදී අහල තියෙන එක එක කතන්දරත් මං මේ බ්ලොග් එකේ පලකරල තියෙනව හුදෙක්ම හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස. මං පෙරේද දාපු කුණුහරුප සින්දු උරුහං බාන එකයි, යාළුවො දෙන්න දුවපු හේතුව ගැන කතාවයි දෙකම ඒ වගේ එව්ව.

හැබැයි, ඒ හැම තැනදිම මං කියල තියෙනව පැහැදිලිවම ඒ කතන්දර වෙනත් අයගේ ඒවය කියන එක.

අදත් මං කියන්න යන්නේ ඒ වගේ මං කලින් අහල තියෙන කතාවක්.

ඔන්න හොඳ යාළුවො දෙන්නෙක් ගියාලු කඩේකට උදේට කන්න. ගිහින් ඉල්ලුවලු පානුයි, මාලුයි ගේන්න කියල. (මගෙත් ප්‍රියතම කෑමක් තමයි පානුයි කිරට උයපු මාළුයි. හැබැයි මං පසුගිය දවසක පරිප්පු එක්කත් පාන් ගෙඩියක්ම කෑවා.)

ඔන්න වේටර් ළමය පාන් ගෙඩියක් හතරට කපල මාළු දීසියක් එක්ක ගෙනත් තිබ්බ මේසෙ උඩින්. බැලින්නං, මාළු කෑලි දෙකෙන් එකක් පැහැදිලිවම පුංචියි අනිත් එක ලොකුයි.

එක යාළුවෙක් කරපු දේ පැන්න, හැන්ද ගත්ත, කෙලින්ම ලොකු කෑල්ල තමන්ගෙ පිඟානට බෙදාගත්ත.

අනිත් යාළුවට ඇල්ලුවෙ නෑ ඒ කරපු වැඩේ.

ඉතිං, පොර කෙලින්ම කිව්ව ඒ බව.

"මචං උඹ මුලින්ම ලොකු මාළු කෑල්ල බෙදාගත්තු එක හරි නෑ නේද?"

එතකොට ලොකු කෑල්ල බෙදාගත්තු යාළුව අනිකගෙන් ඇහැව්ව මෙන්න මෙහෙම.

"හොඳයි, උඹ නං ඉස්සෙල්ලා මාළු දීසියෙන් බෙදා ගත්තෙ, උඹ ගන්නෙ මොන කෑල්ලද? ලොකු එකද, පොඩි එකද?"

"මං නං ගන්නේ පොඩි කෑල්ල!" උත්තරේ ලැබුණ.

"ඉතිං, එහෙනං කිසි ප්‍රශ්ණයක් නෑනෙ. ඔය තියෙන්නේ පොඩි කෑල්ල දැං බෙදා ගනිංකෝ!"

කට උත්තර නැතිවෙනව කියන්නෙ මෙන්න මේ වගේ අවස්ථාවලටයි.

කතන්දරකාරයා

Thursday 10 June 2010

මැරෙන දවස කලින් දන්නවා...?


මාතලන් ගොයියා ඊයේ දාපු පෝස්ට් එක බලපු වෙලෙයි මේ කතාව සිහියට ආවේ.

මාතලන් ගේ නැසීගිය මාමණ්ඩිය හොඳ ජ්‍යෝතීර්වේදියෙක් ලු. උන්නැහේගෙන් වැඩිපුර කේන්දර බලවගෙන තියෙන්නේ දේසපාළුවෝ. කේන්දරේ බලලා මැරෙන දිනෙත් කියන්න පුළුවන්ලු. රණසිංහ ප්‍රේමදාස ගැනත් එහෙම ලියලා තිබුණාය කියන්නේ.

මාමණ්ඩිත් තමන් මැරෙන දවස දැනගෙන ඉඳලා. අසනීප වෙලා ඉන්න කාලෙ නිතරම දවස අහනවාලු. අන්තිමට කියපු දවසටම මැරුණලු.

සමහරවිට මාරයාගේ හෝරාව ලියන කුමාරත් දන්නව ඇති ඔය සාස්තරේ!!!

මාතලන් ගේ මාමණ්ඩි ගැන කතාව අහලා මට හිතුනේ, තමන් අහවල් දවසේ මැරෙනවා කියලා විශ්වාස කරගෙන හිටියම, සමහර විට, එහෙම වෙන්නත් බැරි නෑ නේද කියලයි. මේ ගැන අරුණි ගෙ අදහස මොකක්ද දන්නෙ නෑ.

මෙන්න අද කතන්දරේ. මං අහල තියෙන එකක්.

ඔන්න දැන් ටික කාලෙකට කලින් එක මනුස්සයෙක් ගියාලු චිත්‍රපටියක් බලන්න තනියම. රාත්‍රී 9.30 ෂෝ එක.

ඒකෙ කතාව තියෙන්නේ ප්ලේන් එකක් කඩන් වැටිලා නොමැරී ඉතුරුවෙන එකම එක මනුස්සයා දූපතකට ගසාගෙන යන එක.

චිත්‍රපටිය බලන වෙලේ මේ පොරට නින්ද ගිහින්. හෝල් එකේ වැඩි සෙනගක් ඉඳලත් නෑ, 9.30 ෂෝ එකනේ.

ඉතිං නින්දෙදි හීනෙන් පොර දැකලා තියෙනවා තමන් මේ වගේ අනතුරකට ලක්වෙලා, චිත්‍රපටියේ වගේම පාළු දූපතකට ගසාගෙන යනවා.

ඒ දුපතේ ඉඳලා තියෙනවා වනචාරී ග්‍රෝත්‍රයක්. උන් මේ පොරව අල්ලලා කුදලාගෙන උන්ගේ නායකයා ලඟට ගෙනිහිල්ලා.

නායකයා නියෝග කළා ලු හිස ගසා දාන්න.

ඉතිං අර අබා එකේ වගේ ගහලයා කඩුවෙන් මේ පොරගේ බෙල්ල කපන්නයි යන්නේ.

ඔන්න කඩුව ඉස්සුවා. දැන් වේගයෙන් පහලට එනවා.

මේ වෙනකොට චිත්‍රපටිය ඉවරවෙලා මිනිස්සු ගිහින්. හෝල් එක වහන්න බලන කොට මැනේජර් දැකල තියෙනවා පොරක් ඉන්නවා නිදාගෙන.

"මහත්තයා නැගිටින්න, නැගිටින්න, ෂෝ එක ඉවරයි!" කියල කූද්දන්න අත තියෙන කොටම තමයි අපේ පොරගේ හීනේ අර කඩුව බෙල්ලට පාත් වෙලා තියෙන්නේ.

පොර එතනම ක්‍ෂණයකින් මලා.

මරණ පරීක්‍ෂණයේ දී කියවුනා හාට් ඇටෑක් එකකින් ලු මැරිල තියෙන්නේ.

මිනිස් සිතේ හාස්කම් විශ්වාස නොකරන අයට මේවා හොඳ පාඩම්.

මං නං හොඳට දන්නවා මැණික් අතරින් බොරළු වෙන් කරලා හඳුණාගන්න!!!

කතන්දරකාරයා
ප/ලි
ඔය කියන චිත්‍රපටිය දැකල තියෙනවද? අර ටොම් හෑන්ක්ස් ඉන්නෙ.

Wednesday 9 June 2010

කල්ප, විකල්ප සහ කුණුහරුප


පෙම් කවි එක්ක ලව් ලෙටර් ගණුදෙණුවක පැටළුණු අපේ අයිය කෙනෙක් ගේ යාළුවෙක් කෙල්ලෙකුට බොක්කෙන්ම ට්‍රයිකරල, කවිත් ලියල, ඒත් බූට් කාල සෝකෙන් හිටිය කතාව ලියපු වෙලේ, මට මතක් වුනා ඒ වගේ එකම කෙල්ලට ආදරේ කරල ඒ කෙල්ල නොලැබුණාම සදහටම තනිවෙලා ඉන්න හිතන කොල්ලො ගැන ඉතාම ජනප්‍රිය කවියක්.

ජනප්‍රිය නං ඉතිං අසභ්‍ය වෙන්න ඕනැනෙ නේද?

ඉතිං ඒ ආකාරයේ කවියක් මේ කොල්ලො කුරුට්ටො සහ කෙල්ලො කිරිට්ටියොත් බලන බ්ලොග් එකේ දාන්න බැරි හින්ද මං ලිව්ව ඒකෙ හොඳ සභ්‍ය වර්ෂන් එකක්.

ඔරිජිනල් වර්ෂන් එක විකල්ප කවිය විදියට හඳුන්වල මං මගේ සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ කවිය දැම්ම ඊයෙ බ්ලොග් පෝස්ට් එකේ.

සමහරු නොදන්නව වගේ හිටියට මං හිතුව විදියටම හුඟක් දෙනෙකුට තමන් දන්න ඇත්ත කවිය මතක් වෙලා නිකං නලියන නලියන ගතියක් ඇවිල්ල තියෙනව. කුණුහරුප කවිය දන්නව, නමුත් ලියන්වත්, කියන්නවත් බෑ. හරිම අසහනකාරී තත්වයක් ඒක.

ඒක දැකපු වෙලෙයි මට මතක් වුනේ අද කියන්න යන පොඩි කතන්දර කෑලි දෙක.

*****

ඔන්න කෙල්ලො දෙන්නෙක් දවසක් එකතු වෙලා මුල්ලකට වෙලා පොඩි කුසු කුසුවක් ලු.

දන්වනේ කෙල්ලො දෙන්නෙක් එකතු වුනාම මොනව ගැනද කතා කරන්නෙ කියල. ඔව්, කොල්ලො ගැන. එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙමයි.

ඔන්න එක කෙල්ලෙක් අනිත් කෙල්ලගෙන් අහනවලු "ඉතිං අනේ මට කියන්නකො සුදේෂ් ගැන. කෝ අද එයා කොහේ ගිහින්ද ආවෙ නැත්තෙ?"

"අනේ මං එයා එක්ක තරහ වුනා අනේ."

"අනේ ඒ මොකද අනේ?"

"එයා හරියට කුණුහරප සින්දු දන්නව අනේ?"

"ආපෝ ඉතීං, එයා ඔයා ඉන්න තැන ඒව කියනවද?"

"නෑ අනේ කියන්නෙ නං නෑ. එයා ඒව මට ඇහෙන්න උරුහං බානව!"

*****

මෙන්න තවත් කතාවක්.

ඔන්න දවසක් පොරවල් දෙකක් ටවුන් එකේ පාරක් දිගේ ඇවිදගෙන යනවලු. දෙන්න හොඳ යාළුවොලු. ඇතින් ඉස්සරහට ගෑණු දෙන්නෙකුත් එනව පේනවලු.

ඒ බව දැක්ක ගමන් එක පොරක් කඩාගෙන බිඳගෙන පාරෙ අයිනෙ තිබුණ හෝටලයක් ඇතුලට ගිහින් පස්සෙ දොරෙන් පිටවෙලා හැංගුණා ලු.

මෙන්න බොලේ බැලින්නං අනිත් පොරත් දුවගෙන එනවලු හෝ ගාල.

"මචං මාර වැඩේ නේ තව පොඩ්ඩෙන් වෙන්නෙ, මගෙ ගෑනියි හොර ගෑනියි දෙන්න එකට එනව දැක්ක අපි ඉස්සරහට ඒකයි මං හැංගුනේ" මුලින්ම දුවපු පොර කිව්වලු.

"මටත් ඕකම තමයි මචෝ වෙන්න ගියේ.. ..!!!" ඒ අනිත් එකා කිව්ව දේ.

කතන්දරකාරයා

Tuesday 8 June 2010

තවත් ලව් ලෙටර් එකක තවත් කතාවක්


අල්ලපු පන්තියෙ කෙල්ලෙක් මට ලව් ලෙටර් ලියපු එක ගැන මගේම කතන්දරේට වැඩිය ජොලි කතන්දරේ තමයි අපේ අයිය කෙනෙකුට කෙල්ලෙක් දීපු කවි ලියුම ගැන කතන්දරේ.

ඒ කවියට අපේ අයිය කාරය ලියපු පිලිතුරු කවිය මට දැන් අමතකයි. මං හිතුව අපේ බ්ලොග් කියවන අය අතර සෑහෙන්න රසවත් නිර්මාණ කරන්න හැකියාව තියෙන අය ඉන්න නිසා කවුරු හරි ඒ වැඩේ සම්පූර්ණ කරයි කියල. ඒක හිතන තරං ලේසි වැඩක් නෙමේ වගේ. අයිය කාරයගේ කවිය මට අමතක වෙන්න ඇත්තෙත් ඒ හින්දයි.

අදත් මං කියන්න යන්නෙ, මං පොඩි කාලෙ අහපු ලව් ලෙටර් එකක තිබුණ පුංචි කවියක් ගැන කතාවක්.

මේක අපේ අර කවි සහිත ලව් ලෙටර් ලියපු අයිය ගේ යාළුවෙක් කෙල්ලෙකුට දීපු ලියුමක තිබුණු එකක්.

සැනසුම සතුට මා වෙත සැමදින ගෙනෙන
මිහිරාවියේ ඔබ මගෙ හද මිණිපහන
මා ඉදිරියේ ඇත්නම් ඔය සුදු මූණ
ආහර ජලය කිසිවක් මට නැත ඕන

ඔය කවි ලිව්වට ඒ කෙල්ල ඌට කැමති වුනේ නැහැයිලු. කෙල්ලෙක් කැමති වෙයිද තමන්ගේ මූණ බත් පිඟානක් වගෙයි කියන පොරකට නේද? කොහොම වුනත් ඉතිං අපේ පොර නිතරම හිටියෙ හරිම සෝකෙන්, ඩිප ගහල.

සමහරු ඉන්නවනේ අර සත්‍ය ප්‍රේම බෘංග රාජයෝ කියන අය. එකම කෙල්ලෙකුට ආදරේ කරල, එයාවම බඳින්න තමයි හිතන් ඉන්නෙ. කෙල්ල බෑ කිව්වොත්, කෙල්ලගෙ දෙමව්පියො අකමැතිවුනොත් ජීවිත කාලෙටම නොබැඳ ඉන්නයි බලන්නෙ.

මේ ලියන වෙලාවෙ මට මතක්වුනේ, ඒ වගේ පොරවල් ගැන පස්සෙ කාලෙක මං අහපු කවියක්. මේකෙ වර්ෂන් දෙකක් තියෙනවා. මං දෙකම දන්නවා වුනාට මෙතන දාන්නෙ හොඳ එක. අනිත් වර්ෂන් එක දන්න අය ඕනිම නං ඒක මුමුණල තමන්ටම කියා ගන්න. මෙතන ලියන්න හෙම නං එන්න එපා රජෝ.

හදවත ඇතත් රත්තරනින් හදාලා
කොයි කෙල්ලත් එකයි බල, පෙම පුදලා
මේක නොදත් අපෙ අයියල අඬාලා
නොබැඳම මැරෙති එක කෙල්ලම පතාලා

මට පේනව පේනව වගේ ඔය කවිය කියවල කීප දෙනෙක්ම ඇඹරෙන හැටි ඒකෙ තමන් දන්න විකල්ප වර්ෂන් එක සිහිවෙලා.

කතන්දරකාරයා
ප/ලි
හුඟ දවසකින් ප/ලි කෑල්ලක් දාන්නත් බැරිවුණා!

Monday 7 June 2010

ලව් ලෙටර් එකක් ගැන කතාවක්


කාලෙකට ඉස්සෙල්ල මං ලිව්ව මට මතකයි අල්ලපු පන්තියෙ කෙල්ලෙක් මට ලව් ලෙටර් එකක් ලියල, ඒක පන්ති නායිකාවගෙන් පන්ති භාර ටීචර්ටත්, එයාගෙන් ඉස්කෝලේ විනය භාර ටීචර්ටත් ගිහිල්ල වෙච්ච වැඩේ ගැන කතන්දරේ.. ඊට පස්සෙ මං ඕකට තව අතුරු කතාවකුත් ලිව්ව.

අද මං කියන්න යන්නෙ, මං පොඩි කාලෙ අහපු ලව් ලෙටර් එකක් ගැන කතන්දරයක්. ඇත්ත ටම කියනව නං මුලු ලෙටර් එකම ගැන නෙමේ, ඒකෙ තිබුණ පුංචි කවියක් ගැන කතාවක්.

මේක අපේ අයිය කෙනෙකුට කෙල්ලෙක් දීපු ලියුමක තිබුණු එකක්.

යට උඩින්
යාය දිගේ
ටත් හොරෙන්
ක් ටක් ගා
ල වෙලා
ළු ලියලා
රේනු සලා
න්නවාද මොකද හොරේ?

තේරුණානෙ අහල තියෙන ප්‍රශ්ණය?

ඔය ලියුමට මුල පිරුණු හැටිත් රසවත් කතාවක්. ඔන්න මේ අයිය ගමේ නැදෑ ගෙදරක නතරවෙලා ඉන්න කාලෙ, අල්ලපු ගෙදර ඉඳල තියෙනව ලස්සන කෙල්ලෙක්.

පොර පොඩ්ඩක් අවදියෙන් ඉඳල තියෙන්නෙ මේ "අංශය" ගැන.

එක දවසක් කෙල්ල ගෙදර පිටිපස්සෙ ගොටුකොල පාත්තියෙ ගොටුකොල කඩනවලු.

අපේ පොර ඇහැව්වලු "මොකටද ඔය කොල කඩන්නෙ සම්බෝලෙටද, මලවන්නද?" කියල.

"නෑ, මේ කියවන්න!" කෙල්ල කිව්වලු.

"මං දන්නෙ නෑනෙ, කොලවල අකුරුත් ලියල තියෙනව කියල, අනේ මටත් දෙන්නකො ඔය අකුරු ලියල තියෙන කොලයක්" අපේ මෑන් කිව්වලු.

ඒ කතාවෙන් පස්සෙ අයියට හම්බ වෙච්ච සෙනෙහෙ කොලේ තමයි අර කවිය තිබිල තියෙන්නෙ.

ඔය කවියට අපේ අයිය කාරය කවියෙන්ම දුන්නු උත්තරේත් මට ඒ දවස්වල කිව්ව. ඒත් ඒක දැන් මට අමතකවෙලා ගිහින්.

බැයිද කාට හරි ගැලපෙන කවි උත්තරයක් ලියන්න?

කතන්දරකාරයා

Sunday 6 June 2010

තවත් මනමාල කතාවක්


වෙන්ඩ මනමාලයෙක් කෙල්ලගෙ තාත්තගෙ ප්‍රශ්ණවලට උත්තර දෙන්න ගිහින් වැඩේ අනාගත්තු හැටි ගැන කතන්දරේ ලියන වෙලේ මට මතක් වුනා මෙන්න මේ අපූරු කතන්දර පොඩිත්ත. මේකත් මං ඉස්සර අහපු කතන්දරයක්.

ඔන්න මනමාල පාර්ශවයේ කෂ්ටිය මනමාලිව බලන්න යන මුල් දවසලු ඒක.

කුලියට ගත්තු කාර් එකේ ඩ්‍රයිවරුයි කපු මහත්තයයි ඉස්සරහින්. අම්මයි, පුතයි තාත්තයි පිටි පස්සෙ සීට්වල.

දන්නවනෙ ඉතිං කට්ටිය කියන්නෙ කෑගල්ලෙ කියල, කෑගල්ලෙ කොහෙද කිව්වහම නෙළුන්දෙනියෙ කියනව, නෙළුන්දෙනියෙ කොහෙද කියල ඇහැව්වහම, නෙළුන්දෙනියෙන් හැරිල මහ පාරෙ ගිහින් හන්දියෙන් හැරිල එදන ඉඳලත් තව හැතැප්ම ගාණක් යන්න තියෙනවනෙ.

කට්ටිය කතා බහේ.

"ඉතිං කපු මහත්තයෝ කොහොමද මනමාලිගෙ පාර්ශවය හොඳ ඉඩකඩම් දේපල තියෙන අය කිව්ව නේද?"

"මේ මොනව කියනවද, පලාතම ඒ අයගෙ වගෙ තමා."

"ඉතිං ඔහොම, ඔහොම ගිහිං, ඔන්න කෙල්ලගෙ ගෙවල් දිහාවටත් ලංවුණා."

"කපු මහත්තයෝ මේ රබර් වතු හෙම කාගෙද හැබෑටම?"

"වෙන්න්න්න.... කාගෙද...... ?"

"ආ! එතකොට අර පේන පොල්වත්ත?"

"වෙන.... කාගෙද...... ?"

"එතකොට අර පේන තේ වගාව?"

"වෙන.... කාගෙද...... ?"

"ආ! එතකොට අර අර පැත්තෙ තියෙන රබර් වවපු කෑල්ල?"

"වෙන.... කාගෙද...... ?"

ටික දවසකට පස්සෙ මගුල තීන්දු වෙලා, කසාදෙත් කෙරුණ. පස්සෙන් පහු තමයි මනමාලයට දැනගත්තෙ, ඇත්තටම ඒ ඉඩම් එකක්වත් මනමාලිගෙ කෂ්ටියට අයිති ඒවා නෙමේ, "වෙන කාටද" අයිති ඒව කියල.

කතන්දරකාරයා

Saturday 5 June 2010

මනමාල මහතාගෙන් ඇසූ ප්‍රශ්ණාවලිය


ටික දවසකට කලින් මං කතන්දරයක් කිව්වනේ මං හොඳ වෙන්න බලන කෙනෙක් කියල මං කාලෙකට ඉස්සර කියපු ප්‍රකාශයක් පස්සෙ දවසක මගේ වරදකින් මාව බේරපු හැටි ගැන.

මෙන්න තවත් හොඳ වෙන්න බලන පොරක් ගැන, මං අහල තියෙන, කතන්දරයක්.

මේ කියන පොර ගියාලු දෙමව්පියො එක්ක මනමාලියෙක් බලන්න.

ඉතිං කට්ටිය සතුටු සාමීචියෙ ඉන්න වෙලාවෙ මනමාලි වෙන්න ඉන්න කෙල්ලගෙ තාත්ත මනමාල පොර ගැන ප්‍රශ්ණ අහන්න පටන් ගත්තලු.

"මේ ළමය සිගරැට් හෙම බොනවද?"

"අපෝ නෑ."

"බොන්නෙම නැද්ද?"

"දන්නෙ නැද්ද ඉඳල හිටල එකක් බොනව."

"ඒ කිව්වෙ?"

"දන්නෙ නැද්ද ඔය ඩ්‍රින්ක් එකක් දාන දවසට හෙම."

"ඒ කියන්නෙ නිතරම අරක්කු බොනවද?"

"අපෝ නෑ."

"බොන්නෙම නැද්ද?"

"දන්නෙ නැද්ද ඉඳල හිටල ඩ්‍රින්ක් එකක් දානව."

"ඒ කිව්වෙ?"

"දන්නෙ නැද්ද ඔය යාළුවො එක්ක බාර් එකකට ගියොත් හෙම."

"ඒ කියන්නෙ නිතරම යාළුවො එක්ක බොන්න බාර් එකට යනවද?"

"අපෝ නෑ."

"ඒ කිව්වෙ?"

"දන්නෙ නැද්ද ඔය ඉඳල හිටල අස්සයෙක් වැඩ කරපු දවසට විතරයි යාළුවො එක්ක බාර් එකට යන්නෙ."

ඉතිං එදා "වෙන්ඩ මනමාලයගෙ" පාර්ශවයෙ කට්ටිය "වෙන්ඩ මනමාලිගෙ" ගෙදරින් එහෙන් පිටත්වෙලා තමන්ගෙ ගෙදරට එන කොට එහෙට ටෙලිග්‍රෑම් එකක් ඇවිල්ලලු, "වෙන්ඩ මනමාලිගෙ" තාත්තගෙන්.

"අපේ දියණිය පිළිබඳ විවාහ යෝජනාව ඉටු කළ නොහැක. කේන්ද්‍ර කොපිය තැපෑලෙන් එවමි."

හැම වෙලේම අවංක වෙන්න යන එකත් එච්චර ප්‍රඥාගෝචර නෑ වගේ නේද?

කතන්දරකාරයා

Friday 4 June 2010

වන් මෑන් ෂෝ - ටැබූ ලියයි.....!


මෙන්න තවත් ටැබූ ලියු ටැබූ නොවන කතන්දරයක්. මේ කතාව ටැබූ ලිව්වෙ මං ලියපු ඡායාරූපයක කතන්දරයක් කියන කතන්දරේට කොමෙන්ටුවක් විදියටයි.

========================================
මට අවුරුදු පහකට විතර කලින් වෙච්චි සිද්ධියක් මතක් වුනා. කතන්දර කියන්න කැමැත්තක් නැති වුනත් මේක නම් නොකියාම බැහැ.

අපේ ගෙදර කට්ටියට ඕනැ වුනා ඒකාලෙ ඉතාම ජනප්‍රිය චිත්‍රපටයක් බලන්න. කරුමෙට මේ කැමැත්ත ඇති වෙනකොට මේ චිත්‍රපටිය නගරෙ පෙන්නලා අවසාන වෙලා ගම් දනව් වලට ගිහිං. හුඟාක් අමාරුවෙන් හොයා ගත්ත කොළඹ දිස්ත්‍රික්කෙ මායිමේ විතර තියෙන හෝල් එකක් ඒක පෙන්නන. ගියා ඉරිදා දවසක.

කාර්-පාක් එකට සෑහෙන කාලෙකින් වාහනයක් දාල නැති පාටයි. (කාර්-පාක් කිව්වට ගේට්ටුවක් තිබුණු මුඩු ඉඩමක්.) ඔන්න මනුස්සයෙක් ඇවිත් ගේට්ටුව ඇරල දුන්න. මාත් ඒ මනුස්සයට කිව්ව කාර් එක බලා ගන්න කියල. පොරත් හා කිව්ව.

දැන් ඔන්න පෝලිමේ ඉන්නව. බැල්කනි, ODC, ෆස්ට් ක්ලාස්,ගැලරි ඔක්කෝටම එක පෝලිමයි. ඔන්න අර කාර් පාක් එකේ හිටපු මනුස්සය ඇවිත් ටිකට් දෙන්න පටන් ගත්ත. ටිකට් ගත්තට ඇතුළට යන්න බෑ දොරවල් වහල. ටික වෙලාවකට පස්සෙ ඒ මනුස්සයම ඇවිත් දොරවල් ඇරල, තමන්ම ටික වෙලාවකට කලින් නිකුත් කරපු ටිකට් කඩල ප්‍රේක්ෂකයන්ට ඇතුළට යන්න දුන්න. හොඳ වෙලාවට වැඩි සෙනඟක් නෑ. අපියි තව ජෝඩු දුසිමකුයි විතර. හැමදාම ඔහොම වෙන්න ඇති සමහර විට.

ඉන්ටවල් මෙන්න පොර ආයෙත් එනව රටකජු, කඩල, ටොෆී ලෑල්ලක් උස්සගෙන.

කොහොමද මල්ටි ටාස්කිං? නියම වන් මෑන් ෂෝ එකක්. අන්තිමට රුපියල් දහයක්ද කොහෙදත් ගත්ත 'කාර් එක බලා ගත්තට'. කළේ නැත්තෙ මගෙ හිතේ ප්‍රොජෙක්ටර් එක රන් කරපු එක විතරයි. ඒකත් කළාද දන්නෙ නෑ, දැක්කෙ නැතුවට.

මම දන්න තව මනුස්සයෙක් ඉන්නව බාබර් සාප්පුවයි කඩේකුයි තනියම රන් කරන. කඩේට මිනිස්සු ආවොත් කොන්ඩේ රැවුල් කැපිල්ල මඟදි නතර කරල යනවා බඩු දෙන්න.
========================================

ටැබූගේ පිහිටෙන් දවස් දෙකක් ම ගතවුනා....!!!

කතන්දරකාරයා

තුම්මුල්ල ගැන ටැබූ ලියු ටයිනි කතන්දර


ලියනගේ අමරකීර්ති ගෙ අටවක පුත්තු පොතේ ප්‍රධාන චරිතය වන දමයන්තගේ හිතේ ජීවත්වුනා අඩහඳයා කියල නිවුන්නෙක්.

අපි කාගෙත් හිත ඇතුලෙ තවත් කෙනෙක් අඩු තරමින් ඉන්නව. ඒක නිකං ටැබූල දන්න අපි නොදන්න ගණිතයේ එන ඩුවලිටි තියරි එකෙන් විස්තර කරන්න පුළුවන් එකක් වෙන්න ඕනැ.

ටැබූ සබ්ජෙක්ට්ස් ගැන ලියන ටැබූ ගේ හිත ඇතුලෙ ඉන්නව කතන්දරකාරයෙක්. කතන්දරකාරයගෙ හිත ඇතුලෙ ඉන්නව ටැබූ කතාවලට ආස අඩහඳයෙක්.

මෙන්න - ටැබූ ගේ අඩහඳයා ලියූ තුම්මුල්ල ගැන පොඩි කතා ටිකක්. මේ කතන්දරේ ටැබූ ලිව්වෙ මං ලියපු "තේ එකක් බොමුද මචං?" කියන කතන්දරේට ප්‍රතිචාරයක් විදියටයි.

================================================
තුම්මුල්ල (තුන්+මුල්ල) ගැන කතා එමටයි. මෙන්න කියන්න පුළුවන් ඒවා කීපයක්.

1.
"මේ මැයි ගහ යට දවසක් දා - වැස්සට අපි උන්නා" කියන මිල්ටන් මල්ලව ආරච්චිගේ ජනප්‍රිය ගීතයට පාදක වන මැයි ගස් ඇත්තේ තුම්මුල්ලේ.

2.
තුම්මුල්ලේ දැනට ඇති ද්විත්ව වටරවුම (Double Roundabout) වෙනුවට කාලයකට ඉහත තිබුණේ තනි වටරවුමක්ලු. මාත් දැකලා නැහැ. අහලා තියෙනවා පමණයි.)

ඒ දිනවල එතැන හැමදාම වාහන තදබදේලු. අද වගේ නෙවෙයි හැට ගණන් වල වාහන තදබදයක් කියන්නේ කලාතුරෙකින් සිදුවන දෙයක්. ඊට විසඳුමක් හැටියට තමයි දේශීය ඉංජිනේරුවන් විසින් මේ ද්විත්ව වටරවුම (Double Roundabout) යෝජනා කොට තියෙන්නේ.

ඒ වෙනකොට එහෙම දෙයක් ලෝකේ කොතැනකවත් තිබුණේ නැතිලු. මේ නිසා ඊට විරුද්ධව විශාල හඬක් ඇතිවුනාලු. මේ විරෝධය යටපත් කරගෙන තමයි තුම්මුල්ලේ ද්විත්ව වටරවුම හදලා තියෙන්නේ. නමුත් හදපු දා ඉඳන් කලින් තිබුණු තදබදය නැතිවුනාලු.

3.
එක් යුගයක තුම්මුල්ල සංකේතවත් කළ දෙයක් තමා එහි වූ බුදුපිළිමය. අද වගේ හන්දියක් හන්දියක් ගානේ බුදුපිළිම නැති කාලේ මේ ප්‍රසිද්ධ බුදු පිළිමයක්. කරුණාතිලක හඳුවල ඒ ගැන කවියකුත් ලියා තිබෙනවා මතකයි. නමුත් මේ බුදු පිළිමය අද නෑ. දැන් ඒ වෙනුවට ඇත්තේ ඊට කුඩා බුදුපිළිමයක්. පරණ චිත්‍රපටවල (මට මතක හැටියට හාරලක්ෂේ) අර පරණ පිළිමය දකින්න පිළිවන්.

4.
අන්තිමට මේ මට රැග් සීසන් එකේ මුහුණ දෙන්න වෙච්චි දෙයක්.

ජ්‍යෙෂ්ඨ උත්තමයා: ඒයි කියපන් බලන්න තුම්මුල්ල තියෙන්නෙ කොහෙද කියලා?

මම (බයෙන් බයෙන්): බම්බලපිටියට පොඩ්ඩක් මෙහායින්නේ...

ජ්‍යෙෂ්ඨ උත්තමයා: @#$%^&*, තෝ දන්න @#$%^&*. තුම්මුල්ල තියෙන්නෙ @#$%^&*! තොපි මොනවද ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගත්තෙ?
=====================================================

තවත් අඩහඳයා ගේ කතාවක් එක්ක හමුවෙමුකෝ!

කතන්දරකාරයා

Thursday 3 June 2010

ටැබූ, කතන්දරකාරයා වලිය ෂේප්!


ඔන්න අපි පුංචි කාලෙ පත්තරයක් තිබුණා සත්දින කියලා. ඉරිදට එන සතිපතා පත්තරයක්. හැබැයි ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ. ඒක පබ්ලිෂ් කලේ මට මතක හැටියට මල්ටිෆැක්ස් ල. වැඩිය නැගල ගිය පත්තරයක් නෙමේ.

මට මතක හැටියට ඒකෙ කතෘ සිසිර කුමාර මාණික්කආරච්චි කියල පරණ ලේඛකයෙක්, ලේක්හවුස් එකේ හිටපු පොරක්.

ඔන්න එක සතියක මේ පත්තරේ මුල් පිටුව පුරා තඩි අකුරෙන් හෙඩ්ලයින් එකක් තිබුණ මෙන්න මෙහෙම.

ජේ.ආර්.
ප්‍රේමදාස
හබය
ඉවරයි.


මුළු මුල් පිටුවෙම තිබුණෙ ඔය වචන ටික විතරයි. වැඩි විස්තර ඇතුලෙ පිටුවක.

ඇතුලෙ පිටුවෙත් වැඩි ලොකු ජූසි කතාවක් තිබුණෙ නෑ. ජේ.ආරුයි, ප්‍රේමදාසයි අතර නොහොඳ නෝක්කාඩුවක් තිබුණලු, දැන් ඒක ඉවරලු. සාමාන්‍ය ජනතාවට වැඩි ප්‍රයෝජනයක් ඇති දෙයක් නෙමේ ඒ කතාව.

ඒකටත් එක්ක මෙන්න මේ හෙඩිම බලන්නකෝ.

ටැබූ
කතන්දර
කාරයා
වලිය
ෂේප්!


මේ හෙඩිමෙන් කියවෙන කතන්දරේ මෙන්න මෙහෙමයි.

ඔන්න ලඟදි ඉඳල කතන්දර බ්ලොග් එකේ වැඩිපුර යන්නේ චූ කතන්දර, කක්කුස්සි කතන්දර, නාන කාමර කතන්දර වගේ සාමාන්‍යයෙන් නොකියන කතා.

අපේ ටැබූ සර් සබයට ආවෙ ඔය ටැබූ කතා නොහොත් සාමාන්‍යයෙන් නොකියන කතා කියලනේ. ඉතිං ඕකත් මතක් වෙන්න වගේ ටැබූ දාල තිබුණ පොඩි කොමෙන්ටුවක්, මං ඊයෙ දාපු නානකාමර කතන්දරේ පසු සටහන පෝස්ට් එකට.

කතන්දරකාරයා සාමාන්‍යයෙන් නොකියන කතා දිගටම කිව්වොත් ටැබූ සර් කතන්දර කියන්න පටන් ගෙන කතන්දරකාරයාව බ්ලාස් යවනවලු.

ඕක දැක්ක මං මොකද දන්නවද කලේ? කාලෙකට ඉස්සර ඉඳල හිත හිත හිටපු එක දෙයක් වහාම පටන් ගත්ත. ඒක තමයි ටැබූ සර් කතන්දර බ්ලොග් එකට ප්‍රතිචාර විදියට ලියපු කතා ආපහු අළුත් පෝස්ට් විදියට දාන එක.

අද උදේ එකක් දැම්මා. ඉදිරියටත් දාන්න තියෙනවා. ඊ ලඟට, කතන්දරකාරයා, ඇත්තටම ටැබූ කතන්දර ලියන්නයි යන්නේ.

මේක දැකපු ටැබූ, පොඩි විහිළුවක් නේ කලේ කියලා, කමෙන්ට් එකක් දාලා උදේ පාන්දරම.

ඉතිං:

ටැබූ
කතන්දර
කාරයා
වලිය
ෂේප්!

-කතන්දරකාරයා

ටැබූ නමැති කතන්දරකාරයා ලියන කතන්දර


ටැබූ සබ්ජෙක්ට්ස් හෙවත් සාමාන්‍යයෙන් නොකියන කතා නමැති බ්ලොග් අඩවිය ලියන ස්විම් ෆෑන් නොහොත් ටැබූ නමැති බ්ලොග්කරුවා ගැන අමුතුවෙන් හඳුන්වන්න ඕනෙ නෑනේ.

මාත් මුලින්ම කියවලා රස විඳපු බ්ලොග් එකක් තමයි ඔය ටැබූ සබ්ජෙක්ට්ස්.

පස්සෙ, පස්සෙ, ටැබූ දේශපාලන කතා ලියන්න පටන්ගත්ත වැඩිපුර. ඊලඟට පොර ඉංගිරිසියෙන් ලියන්න ගත්ත.

පාඨක බලවත් ඉල්ලීම මත දැන් දැං ආයෙත් සිංහලෙනුත් ලියනව.

මං වගේ කතාකරන භාෂාවෙන් වගේම, ව්‍යාකරණකූල නූතන භාෂාවෙනුත්, පුරාතන සිංහල භාෂාවෙනුත් ලියන් ටැබූ දස්සයි. පොර ලියපු හොදම ක්ලැසිකල් සිංහල රචනයක් තමයි චුල්ල රාජපක්‍ෂ ජාතකය.

කොච්චර දේශපාලන කතා, ටැබූ කතා ලිව්වත්, පොර ඇතුලේ හොඳ උත්ප්‍රාසී නැඹුරුවක් තියෙන කතන්දරකාරයෙක් ඉන්නව. අර දමයන්තගෙ අඩහඳය වගේ කේස් එකක්.

මට ඕක තේරුනේ, මගේ කතන්දරවලට කොමෙන්ට්ස් විියට,ටැබූ දාල තියෙන කතන්දර කියවපු වෙලේයි.

මං මේ හදන්නෙ, ඒ ටැබූ ලියපු කතන්දර ටික ආපහු අළුත් පෝස්ට් විදියට දාන්නයි.

මෙන්න පලමුවෙනි එක - සීයා ගේ Blue Film බැලීම

=======================================
අයියල මල්ලිල දෙන්නෙක් මටත් සෙට් උනා A/L කාලෙදි. මගෙ යාළුව මල්ලි. මුන්ගෙ ගෙදර තමා අපේ ඒ දවස් වල වල බහින ස්පොට් එක. මොකද ඒ ගොල්ලන්ගේ රස්සා හැටියට අම්මයි තාත්තයි දෙන්නම දවල්ට ගෙදර නෑ. ඕනැ අටමඟුලක් කරගත්තෑකි.

ගෙදර හිටියෙ අම්මගෙ තාත්ත (සීයා) විතරයි. පොරට වයස නිසා යම් මානසික ආබාධයක් තිබුන. කවුරුත් එක්ක කතාවක් නෑ. කතා කළත් බයිල කියවන්නෙ. ඇවිදින්න හෙම පුළුවන්. මේ සීය නැති වෙනව මාසයකට සැරයක් විතර. එළියට ඇවිදින්න ගිහින් ගෙදර එන පාර හොයා ගන්න බැරුව. ඉතින් අපි යන්න ඕනැ හොයන්න. මේ හන්ද මුන්ගෙ පවුලෙනුත් අපි ඒ ගෙදර සෙට් වෙන එකට විරුද්ධත්වයක් තිබුනෙ නෑ.

දවසක් මුන් දෙන්න යාළුවො ටිකක් එක්ක (මම එදා සෙට් වෙන්න වුනේ නෑ, මොකක් හෝ හේතුවක් නිසා) සාලෙ දාගෙන බලනවලු බ්ලූ ෆිල්ම් එකක්. සාමාන්‍යයෙන් සීයගෙන් මේවට බාධාවක් නෑ. තේරෙන්නෙ නෑනෙ. ඒත් එදා මේ යෝදය ඇවිල්ල ඉඳගත්තලු ඉස්සරහින්ම. දැන් ඇණතියාගෙන බලාගෙන ඉන්නවලු TV එක දිහා ඇස් ලොකු කරගෙන. කොල්ලො ටිකට මැරෙන්න හිනාළු.

මේක නෙවෙයි ලස්සනම කතාව.

මල්ලි ඇහුවළු අයියගෙන් "TV එක වහමුද?" කියල.

අයිය කියනවලු "ඔන්න ඔහේ බලපුදෙන් බං. දැන් නොබල මිනිහ කවද ඕව බලන්නද" කියල!
=======================================

තව තියෙනව දෙක තුනක් ටැබූ ලියපු කතන්දර. මං ඉස්සෙල්ල ඒව දාල, ඊලඟට පටන් ගන්නව මගේම ටැබූ කතන්දර ලියන්න.

කතන්දරකාරයා
p/s:
මේ වැඩේ අදම කරන්න හිතුනේ ටැබූ මගේ ඊයේ දාපු පොස්ට් එකට කොමෙන්ට් කරමින් කරල තිබුණු සොඳුරු තර්ජනයක් නිසයි.

Wednesday 2 June 2010

නාන කාමරේ සින්දු කීම - මගේ අදහස


නාන කාමරේ දී අපි සින්දු කියන්න, හොඳ හොඳ කල්පනාවල යෙදෙන්න හේතුව මොකක්ද ඇත්තටම?

ටැබූ නං කියන්නේ, මේක භෞතික විද්‍යාවෙන් විස්තර කරන්න පුළුවන් කියල. මහාචාරියෙක් කිව්වය කියන්නෙ!

කුඩාචාරියෙක් වෙන මකරා නොහොත් චානක නං අන්න උත්තර බැඳලත් තිබුනා!

ඒත්, මට නං මේකට හේතුව කියල හිතෙන එක වත් ගේ කොමෙන්ටුවෙන් විතරයි ටිකක් වත් කියවෙන්නෙ.

වත් කියන විදියට මේකට හේතුව නාන ලිඳෙන් නාන කාමරේට අපි කරපු සංක්‍රාන්තියයි.

මං ඕක කියන්නෙ මෙන්න මෙහෙමයි. නාන කාමරේ අපි හෙළුවෙන් ඉන්න නිසා, අන්න ඒ නිදහස භුක්ති විඳින්න තමයි ඔය සින්දු කවි වෙන්නෙ.

ඉස්සර අපි පොඩි කාලෙ වෙළ ලඟ ලිඳට ගියා නාන්න, එතනට තව ගමේ හුඟක් අය ආව. ඒ එකෙක්වත් සින්දු කිව්වයැ.

ඒකටත් එක්ක දැන්, නාන කාමරේට ගිය ගමන් කෙලින්ම ජෝතිපාලට පණ එනව. අමරදේවල මිය යනව.

නිදහස, නිදහස, වෙන මොකක්ද?

ඒ දවස්වල නිඝන්ඨනාථ පුත්ත යි, ගෝලයොයි හෙමත් හොඳ හොඳ බජන් ගායනා කරමිනුයි ඉන්න ඇත්තෙ, නේද?

කතන්දරකාරයා
ප/ලි
මගේ නාන කාමරේ සින්දුවට මියුසික් දාල කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවදෝ?
මෙන්න ඒක නැවතත්.

නාන කාමරේ, නාන කාමරේ, නේක නේක සිතුවිලි මවනා නාන කාමරේ
නාන කාමරේ, නාන කාමරේ, දෝරෙ ගලා යයි මගෙ සිතුවිලි සෑම කාලයේ

උදේ රැයින් එමි මා සැමදා ඔබේ සුව සොයා
හදේ නිදන් වී ඇති සිතුවිලි නැගෙයි පොදි කකා
මුවෙන් ගීතයක් වී එන්නට නැගෙයි පොදි කකා

නාන කාමරේ, නාන කාමරේ, නේක නේක සිතුවිලි මවනා නාන කාමරේ
නාන කාමරේ, නාන කාමරේ, දෝරෙ ගලා යයි මගෙ සිතුවිලි සෑම කාලයේ

සැඳෑ කලේ සේවය නිමවී එමි නිවස බලා
නිවා ගතේ වේදනා ඔබ දෙයි සතුට සදා
ඇඟේ වතුර බිඳු ගෑවෙන විට එයි සතුට සදා

නාන කාමරේ, නාන කාමරේ, නේක නේක සිතුවිලි මවනා නාන කාමරේ
නාන කාමරේ, නාන කාමරේ, දෝරෙ ගලා යයි මගෙ සිතුවිලි සෑම කාලයේ

Tuesday 1 June 2010

ලව් ස්ටෝරීස් සමාජ සමීක්‍ෂණය - විශ්ලේෂණය


ආදර කතන්දර වලින් අප වඩාත් කැමති කොල්ල පෝසත් කතාවලටද, කෙල්ල පෝසත් කතාවලටද කියල හොයන්න මං පටන් ගත්තු සමාජ සමීක්‍ෂණය දැන් අවසානයි!

මං එදා මේ වැඩේ පටන් ගත්තු දවසෙ කියාගෙන ආව වගේ, මේකට පොඩි ඉතිහාසයක් තියෙනව. ඒ කියන්නෙ, මේ සමීක්‍ෂණය ගැන අදහස මට මුලින්ම ඔළුවට ආවෙ මීට අවුරුදු බර ගාණකට කලින්.

ඒ දවස්වල මං මේ ගැන පුංචිම පුංචි සමීක්‍ෂණයක් කළා. පුංචිම පුංචි කියල කිව්වෙ, ඒ සමීක්‍ෂණය කලේ මං අපේ පුූචි අම්මලා ගේ ගෙදර නිවාඩුවකට ගිහින් ඉන්න කාලෙ, පුංචි අම්මගෙ යාළුවො අතරට සීමා වුුනු එකක් හින්දම නෙමේ. එදා සමීක්‍ෂණයේ සාම්පල් එක හරිම පොඩි එකක් වුණු හින්දයි.

මේ පාර නං එකසිය හැත්තෑ අටක් ඡන්ද වැටිල තියෙනව.

කොහොම වුනත්, එදා මං බැහැපු නිගමන කිහිපය මෙන්න මේවයි.

පිරිමි වැඩිය කැමති - කොල්ල පෝසත් කෙල්ල දුප්පත් කතාවලට. කාර් එකේ ගිහින් කෙල්ලව ගෙනත් සැප දෙන්නයි බහුතරයකගෙ අපේක්‍ෂාව වුනේ.

ගැහැණු වැඩිය කැමතිත් ඒ කතාවලටමයි. සිටු කුමාරයෙක් ඇවිත් තමන්ව අරං ගිහින් රජ සැප දෙයි කියන එක තමයි ගැහුණු බහුතරකගෙ සිහිනය.

ඒ එක්කම, කෙල්ල පෝසත්, කොල්ල දුප්පත් ලව් ස්ටෝරීස් තාත්වික නෑ කියලයි දෙපාර්ශවයේම බහුතර අදහස වුනේ.

මේ පාර සමීක්‍ෂණයේ ප්‍රතිපලය මෙහෙමයි.

මූලික ඡන්ද
කොල්ල පෝසත් කතාවලට කැමති කොල්ලෝ = 72
කොල්ල පෝසත් කතාවලට කැමති කෙල්ලෝ = 16
කෙල්ල පෝසත් කතාවලට කැමති කොල්ලෝ = 82
කෙල්ල පෝසත් කතාවලට කැමති කෙල්ලෝ = 8

නිගමන

1. වැඩියෙන් ඡන්දය දී ඇත්තේ (87%) කොල්ලෝ ය. එනයින් වැඩියෙන් කතන්දර බ්ලොග් එක බලන්නේ ද වැඩියෙන් සිංහල බ්ලොග් බලන්නේ ද කොල්ලෝ යැයි සිතිය හැක.

2. කොල්ල පෝසත් කතාවලට කැමති පිරිසට (49%) වඩා කෙල්ල පෝසත් කතාවලට කැමති පිරිස මදක් ඉහල ගොස් තිබේ. මෙය එදා තත්වයට වඩා හාත්පසින් වෙනස් එකකි. මෙයින් මට බැස ගත හැකි නිගමනය නම් අද කොල්ලෝ තමන්ව අවතක්සේරු කරගන්නවා වැඩිය කියාය.

නැත්තං එදා කෙල්ලන් ගේ මානසිකත්වයට ඔවුන් පත්වී තිබේද?

කතන්දරකාරයා
p/s:
මං නං ගණං කාරයෙක් නෙමේ, දන්නවනේ. දන්න අය ඉන්නවනං දෙන්නකෝ ඉතිං විමර්ෂණ!

නාන කාමරේ, නාන කාමරේ, දෝරෙ ගලා යයි මගෙ සිතුවිලි සෑම කාලයේ


ඔන්න එක බෝඩිමක නාන කාමරේ අගුල තිබුනේ නැතිලු. හැබැයි කිසි දවසක අත්වැරදීම් වෙලා නෑ. මොකද නාන්න යන අය හැමෝම ඇතුලේ ඉන්න හැම තත්පරේම සින්දු කියන නිසා.

හුඟ දෙනෙක් සින්දු ප්‍රැක්ටිස් කරන්නේ නාන කාමරේ තමා. සමහර විට අද බිහිවෙලා ඉන්න ලොකු ගායකයොත් පොඩි කාලෙ නාන ගමං සින්දු කියල පටන් ගත්තු අය වෙන්න පුළුවන්.

තවත් සමහරු ටොයිලට් යන්නේ පොතක් අරගෙනයි. ඒ නං නාන ගමං කියවන්න නෙමේ. එතනදි අංක දෙක කර්තව්‍යය කරන ගමං කියවන්නයි.

මම නං නානකාමරේ දි, නාන ගමං කරන්නේ කල්පනා කරන එකයි. හිතල කරන්නේ නෑ. ඉබේම කල්පනාවට වැටෙනවා.

අළුත් කතන්දරවලට මාතෘකා හෙමත් හිතට එනවා ඔය වෙලාවට.

ඔන්න ඉතිං පහුගිය දවසක නනා ඉන්න වෙලේ මට ආපි හොඳම සිතුවිල්ලක්.

ගෑනු කෙනෙකුට බුදු වෙන්න බැරිද?

හිතන්න ඉන්නව හොඳ රජ කුමාරියක්. සසර පුරා ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ල ඉන්නව මේ ආත්මෙ බුදු වෙන්න.

ඉතිං ළමයව තාත්තට බලාගන්න දාල, එයා යනව තපසට . චාන්දනී ඇමතිනිය තමයි ගිහින් බස්සන්නෙ. හිතාගන්න පුළුවන්නෙ ඉතුරු හරිය?

මට මේ සිතුවිල්ල ආවෙ විනාඩි දහයක විතර නෑමේ අවසාන හරියෙදියි. නාල ඉවර වෙලා ඇඟ පිහදාන වෙලේ තමයි මේ සිතුවිල්ලෙ හොඳම ජොලි හරිය ඔළුවට සැපත් වුනේ.

ඔය කාන්තා බුද්ධ කතාව ලිව්වට පස්සෙ පුළුවනි නේ, ඒ පසුබිම කරගෙන ජාතක කතා ලියන්නෙ පන්සිය ගණනක්.

බුදු අම්මෝ, බ්ලොග් එකක් අටවගෙන අවුරුදු දෙකක් තිස්සෙම ලියන්න පුළුවනි නේද?

ඇත්තම කියනවනං එහෙම කාන්තා බුදු කෙනෙක් එනවලු. එයා ගෙ පෙරුම් පුරණ බෝසත් කාලෙක නම තාරා දේවි ලු.

ඒ කතාව තියෙන නිසා, මට තියෙන්නෙ පනසිය පනස් ජාතක පොතේ අළුත් වර්ෂන් එකක් ලියන එක විතරයි.

කතන්දරකාරයා
ප/ලි
මෙන්න මං නාන කාමරයේ දී ලියූ නාන කාමර ගීතයක්.

නාන කාමරේ, නාන කාමරේ, නේක නේක සිතුවිලි මවනා නාන කාමරේ
නාන කාමරේ, නාන කාමරේ, දෝරෙ ගලා යයි මගෙ සිතුවිලි සෑම කාලයේ

උදේ රැයින් එමි මා සැමදා ඔබේ සුව සොයා
හදේ නිදන් වී ඇති සිතුවිලි නැගෙයි පොදි කකා
මුවෙන් ගීතයක් වී එන්නට නැගෙයි පොදි කකා

නාන කාමරේ, නාන කාමරේ, නේක නේක සිතුවිලි මවනා නාන කාමරේ
නාන කාමරේ, නාන කාමරේ, දෝරෙ ගලා යයි මගෙ සිතුවිලි සෑම කාලයේ

සැඳෑ කලේ සේවය නිමවී එමි නිවස බලා
නිවා ගතේ වේදනා ඔබ දෙයි සතුට සදා
ඇඟේ වතුර බිඳු ගෑවෙන විට එයි සතුට සදා

නාන කාමරේ, නාන කාමරේ, නේක නේක සිතුවිලි මවනා නාන කාමරේ
නාන කාමරේ, නාන කාමරේ, දෝරෙ ගලා යයි මගෙ සිතුවිලි සෑම කාලයේ